Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඔහු පෙළනු ලැබුවෙත්, දුකට පත් කරනු ලැබුවෙත් යොහෝවාගේ කැමැත්ත ලෙසය.’ [නව අනුවාදය] මෙය යෙසායා 53වන පරිච්ඡේදයේ 10වන වගන්තියේ සඳහන් සුප්‍රසිද්ධ මෙසියානු අනාගතවාක්‍යයකි. මෙහි ගැබ් වී ඇති අර්ථය කුමක්ද?

යෙසායා 53:10හි සඳහන් දෙය පිළිබඳව ප්‍රශ්නයක් මතු වන්නේ ඇයි කියා තේරුම්ගත හැකියි. අපගේ දයානුකම්පිත හා මුදු මොළොක් ගුණැති දෙවි යමෙකුව වේදනාවට පත් කිරීම සඳහා හෝ රෝගීබවට පත් කිරීම සඳහා කැමැත්තක් දක්වන බව සැබෑ ක්‍රිස්තියානීහු විශ්වාස නොකරති. දෙවි අහිංසක මිනිස්සුන්ට පහර දී සතුටක් නොලබන බවද බයිබලය අපට සහතිකයක් සපයයි. (ද්විතීය කථාව 32:4; යෙරෙමියා 7:30, 31) ඈත අතීතය දෙස හැරී බලන විට, යෙහෝවා දෙවි විවිධ අවස්ථාවලදී සාධාරණ හේතූන් මත මනුෂ්‍යයන්ට දුක් විඳීමට ඉඩ හැර තිබුණ බව පෙනෙන්න තිබුණත්, එය ඔහුගේ ප්‍රඥාවට හා ප්‍රේමයට පටහැනි දෙයක් නොවීය. තවද ඔහු තමාගේ ප්‍රේමනීය පුත් වන යේසුස්ට දුක්විඳීමට සැලැස්වූයේද නැත. එසේ නම් මෙම පරිච්ඡේදයේ ඇත්තෙන්ම පවසන්නේ කුමක්ද?

මෙම පද සියල්ලම හොඳින් අධ්‍යයනය කළ විට එහි පවසන්නේ කුමක්ද කියා අපට වටහාගත හැක. මෙහි “කැමැත්ත” යන වචනය අවස්ථා දෙකක සඳහන් වී ඇත. ‘ඔහු පෙළනු ලැබුවෙත්, දුකට පත් කරනු ලැබුවෙත් යෙහෝවාගේ කැමැත්ත ලෙසය. මෙසේ ඔහුගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් ඔහු සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නේය. ඔහු මඟින් යෙහෝවාගේ කැමැත්ත මැනවින් සඵල වේ’ යයි යෙසායා 53:10හි [නව අනුවාදය] අපට කියවීමට තිබේ.

මුළු ශුද්ධ ලියවිල්ල පුරා දිවයන තේමා පණිවුඩය නම් දේව රාජ්‍යය මඟින් ඉටු කරන යෙහෝවාගේ අරමුණ වේ. මෙම පදයේ අවසානයේදී සඳහන් “යෙහෝවාගේ කැමැත්ත” යන්නෙන් අඟවන්නේ එම අරමුණයි. මෙම කැමැත්ත ඉටු කිරීමේදී යෙහෝවා විසින් තම ස්වාධිපත්‍යය නිදොස් කරගන්නා අතර මුළු මනුෂ්‍ය සංහතියටම උරුම පාපයද මෙතුළින් ඉවත් වේ. (1 ලේකම් 29:11; ගීතාවලිය 83:17; ක්‍රියා 4:24; හෙබ්‍රෙව් 2:14, 15; 1 යොහන් 3:8) මේ සියල්ලටම එකම පිළිතුර වන්නේ දෙවිගේ පුත්‍රයා මනුෂ්‍යත්වය ලබාගැනීම හා ඔහුගේ ජීවිතය මිදීමේ මිලයක් ලෙස පිදීමයි. මේ සිද්ධියේදී යේසුස්ට නොයෙකුත් දුක් පීඩා විඳීමට සිදු වූ බව අපි දන්නෙමු. බයිබලයේ අපට පවසන්නේ ‘ඔහු වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්තේය’ කියාය. එබැවින් එසේ දුක් වින්ද නිසා යේසුස් බොහෝ ප්‍රයෝජන ලැබූ බව පැහැදිලිය.—හෙබ්‍රෙව් 5:7, 8, 10.

තමාට ඉටු කිරීමට තිබූ පැවරුම ඉතා පරිශුද්ධ එකක් වුවත් එය ක්‍රියාත්මක කිරීමේදී දුක් විඳීමට සිදු වෙයි කියා යේසුස් දැනගෙන හිටියා. එය යොහන් 12:23, 24 ඉතා පැහැදිලිව අපට මෙසේ විස්තර කර ඇත. “මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ. සැබවක් සැබවක් නුඹලාට කියමි—ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.” දුක්ඛිත මරණයක් දක්වාම තමා අඛණ්ඩතාව රැකගත යුතු බව යේසුස් තේරුම්ගෙන සිටියේය. එම වාර්තාවේ තවදුරටත් මෙසේ පවසයි: “දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා [ගළවන්න.] නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි. පියාණෙනි, ඔබගේ නාමය මහිමයට [පමුණුවන්නයයි] කීවේය. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.”—යොහන් 12:27, 28; මතෙව් 26:38, 39.

අපිට යෙසායා 53:10හි සඳහන් දෙය තේරුම්ගන්න පුළුවන් වන්නේ එහි අවට පාඨ සම්බන්ධය අනුවය. තම පුතාව පෙළනු ලැබීම සඳහාත්, දුකට පත් කරනු ලැබීම සඳහාත් ඉඩහැරීමට සිදු වන බව යෙහෝවා හොඳින් දැන සිටියේය. නමුත් අවසානයේදී එයින් සියලුදෙනාටම යහපතක් සිදු වන මහිමාන්විත ප්‍රතිඵල අත් වන බැවින් යේසුස්ට එය අද්දැකීමට ඔහු ඉඩහැරියේය. එයාකාරයෙන් මෙසියස්ව ‘පෙළීමට’ යෙහෝවා කැමති වූයේය. යේසුස්ද තමාට ඉටු කළ හැකි දේ සම්බන්ධයෙන් තම කැමැත්ත පළ කළ අතර තමා ඉටු කළ දේ සම්බන්ධයෙන් සතුටු විය. ඇත්තෙන්ම, යෙසායා 53:10හි සඳහන් අවසන් වදන්වලට අනුව, ‘යෙහෝවාගේ කැමැත්ත ඔහුගේ අතෙහි සඵල වුණේය.’