නික්මයාම 21:1-36

21  “සෙනඟ විසින් පිළිපැදිය යුතු නීති මේවාය.+  “ඔබ හෙබ්‍රෙව් ජාතිකයෙකුව දාසයෙකු ලෙස මිල දී ගන්නේ නම්+ ඔහු අවුරුදු හයක් ඔබට සේවය කළ යුතුයි. හත්වෙනි අවුරුද්දේදී කිසි මුදලක් නොගෙවා ඔහුට නිදහස්ව යා හැකියි.+  ඔහු දාසකමට පැමිණියේ තනියෙන් නම් ඔහු නිදහස් වන අවස්ථාවේදී තනියෙන්ම යා යුතුයි. ඔහු දාසකමට පැමිණියේ තම භාර්යාව සමඟ නම් ඇයටද ඔහු සමඟ යා හැකියි.  ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක් විවාහ කර දුන්නේ නම් එමෙන්ම ඇය ඔහුට දාව පුත්‍රයන් හෝ දූවරුන් බිහි කළේ නම් ඔහුගේ භාර්යාව හා දරුවන් අයිති වන්නේ ඔහුගේ ස්වාමියාටයි.+ එහෙයින් ඔහු නිදහස් වන අවස්ථාවේදී තනියෙන්ම යා යුතුයි.+  නමුත් නිදහස් කරන අවස්ථාවේදී, ‘මම මගේ ස්වාමියාටත් මගේ භාර්යාවටත් දරුවන්ටත් බොහෝ සෙයින් ආදරය කරමි. ඒ නිසා මට නිදහස් වී යා නොහැකියි’ කියා දාසයා පැවසුවොත්+  ඔහුගේ ස්වාමියා ඔහුව සැබෑ දෙවි ඉදිරියට කැඳවිය යුතුයි. ඔහුව දොර ළඟට හෝ උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන විදිය යුතුයි. එසේ කළ පසු ඔහු හැමදාටම තම ස්වාමියාට අයිතිය.+  “මනුෂ්‍යයෙකු තම දියණියව දාසකමට විකුණුවොත්+ දාසයන්ව පිටත් කර යවන ආකාරයට ඇයව පිටත් කර යැවිය නොහැකි බව ඇගේ ස්වාමියා මතක තබාගත යුතුයි.  ඇයව උපභාර්යාවක් ලෙස භාරගැනීමට ඇගේ ස්වාමියා අකමැති වුණොත්+ වෙනත් කෙනෙකුට ඇයව මුදවාගැනීමට අවසර තිබේ. නමුත් ඇගේ ස්වාමියා ඇයට අසාධාරණයක් කළ නිසා ඇයව විදේශිකයෙකුට විකිණීමට ඔහුට අයිතියක් නැත.  නමුත් මනුෂ්‍යයෙක් දාසියෙකුව මිල දී ගෙන තම පුත්‍රයාට භාර්යාවක් ලෙස ඇයව දුන්නොත් ඇයට දියණියකට මෙන් සැලකිය යුතුයි.+ 10  ඔහු ඇයට අමතරව වෙනත් ස්ත්‍රියක විවාහ කරගත්තත් ඇයට කෑම බීම හා ඇඳුම් පැළඳුම් නොඅඩුව සැපයිය යුතුයි.+ ඔහු ස්වාමිපුරුෂයෙකුගේ යුතුකම්ද ඇය වෙනුවෙන් ඉටු කළ යුතුයි.+ 11  ඔහු ඉහත සඳහන් වගකීම් තුන පැහැරහැරියොත් ඇයට නිදහස්ව යෑමට හැකියි. ඒ සඳහා ඇය කිසි මුදලක් ගෙවීමට අවශ්‍ය නැත. 12  “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 13  නමුත් අත්වැරදීමක් නිසා යමෙකු මිය ගියොත් වරද කළ තැනැත්තාට පලා යෑමට ස්ථානයක් මම නියම කරන්නෙමි.+ මන්ද ඔහු එම තැනැත්තාව හිතාමතා මැරුවේ නැත. එවැනි දෙයක් සිදු වීමට සැබෑ දෙවි ඉඩහැරියේය.+ 14  මනුෂ්‍යයෙකු තවත් කෙනෙකු සමඟ තිබෙන කෝපය නිසා සැලසුම්සහගතව එම තැනැත්තාව මරා දැමුවොත්+ ඔහු ආරක්ෂාව පතා මාගේ පූජාසනය වෙතට දිව ගියත් ඔහුව මරා දැමිය යුතුයි.+ 15  යමෙකු තම මවට හෝ පියාට හෝ පහර දුන්නොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 16  “යමෙකු මිනිසෙකුව පැහැරගෙන+ ඔහුව වෙනත් කෙනෙකුට විකුණුවොත්+ එසේත් නැත්නම් පැහැරගත් මිනිසා තමා ළඟ සිටියදීම හසු වුණොත් ඔහුව මරා දැමිය යුතුයි.+ 17  “යමෙකු තම මවට හෝ පියාට හෝ ශාප කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 18  “මනුෂ්‍යයන් දෙදෙනෙකු රණ්ඩු කරන අතරතුර එක් කෙනෙකු අනික් තැනැත්තාට ගලකින් හෝ උදැල්ලකින් හෝ පහර දුන්නොත් පහර ලැබූ තැනැත්තා නොමැරී ඔත්පළව සිටිනවා නම් ඔබ කළ යුත්තේ මෙයයි. 19  ඔහු ඔත්පළව සිටියත් යම් දෙයක උපකාරය ඇතුව ඔහුට ඇවිදීමට හැකි නම් පහර දුන් තැනැත්තා දඬුවමින් නිදහස්ය. නමුත් සම්පූර්ණ සුවයක් ලබන තෙක් ඔහුට කිසිම වැඩක් කිරීමට නොහැකි නිසා ඔහු විඳින පාඩුව වෙනුවෙන් ඔහුට වන්දියක් ගෙවිය යුතුයි. 20  “මනුෂ්‍යයෙකු තමාගේ දාසයාට හෝ දාසියට හෝ පොල්ලකින් පහර දුන්+ නිසා ඔහු හෝ ඇය මැරුණොත් ඔහු අනිවාර්යයෙන්ම ඒ සඳහා වන්දි ගෙවිය යුතුයි.+ 21  නමුත් ඒ දාසයා හෝ දාසිය දවස් දෙක තුනක් ජීවත් වුණොත් ඔහුට දඬුවම් නොකළ යුතුයි. මන්ද ඒ දාසයාව හෝ දාසියව මිල දී ගත්තේ ඔහුයි. 22  “මනුෂ්‍යයන් දෙදෙනෙකු පොරබඳින විට ගැබිනි මවකට පහරක් වැදී දරුවා+ ඒ මොහොතේදීම බිහි වුණොත් ඔබ මෙසේ කළ යුතුයි. දරුවාට හෝ මවට ඒ පහරින් දරුණු අනතුරක් සිදු වී නැතත් ඒ ස්ත්‍රියගේ පුරුෂයා නියම කරන වන්දිය වරදකරු අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. විනිශ්චයකරුවන්ගේ අධීක්ෂණය යටතේ ඔහු එම වන්දිය ගෙවිය යුතුයි.+ 23  නමුත් මවට හෝ දරුවාට හෝ දරුණු අනතුරක් සිදු වුණොත් ජීවිතයකට ජීවිතයක්ද+ 24  ඇසකට ඇසක්ද දතකට දතක්ද අතකට අතක්ද පයකට පයක්ද+ 25  පිලිස්සීමකට පිලිස්සීමක්ද තුවාලයකට තුවාලයක්ද පහරකට පහරක්ද වන්දියක් ලෙස දිය යුතුයි.+ 26  “මනුෂ්‍යයෙකු තමාගේ දාසයාගේ හෝ දාසියගේ ඇස දරුණු ලෙස තුවාල වන තරමට පහර දුන්නොත් ඇසට වන්දියක් ලෙස ඒ දාසයාව හෝ දාසියව නිදහස් කර යැවිය යුතුයි.+ 27  ඔහු තම දාසයාගේ හෝ දාසියගේ දතක් ගැලවෙන තරමටම පහර දුන්නොත් දතට වන්දියක් ලෙස ඒ දාසයාව හෝ දාසියව නිදහස් කර යැවිය යුතුයි. 28  “ගවයෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ඇන මැරුවොත් එම ගවයාට අනිවාර්යයෙන්ම ගල් ගසා මැරිය යුතුයි.+ උගේ මස් නොකෑ යුතුයි. උගේ අයිතිකරු දඬුවමෙන් නිදහස්ය. 29  නමුත් ගවයා ඊට කලිනුත් අනින්න පුරුදුව සිටියා නම් හා ඒ ගැන අයිතිකරුට දන්වා තිබුණත් ඔහු ඒ ගැන කිසිවක් නොකළා නම් අයිතිකරුව මරා දැමිය යුතුයි. ගවයාටත් ගල් ගසා මැරිය යුතුයි. 30  නමුත් අයිතිකරුට වන්දි මුදලක් ගෙවීමට නියම කරන්නේ නම් ඔහුගේ ජීවිතය මුදවාගැනීම සඳහා ඔහු ඒ මුළු මුදලම ගෙවිය යුතුයි.+ 31  ඌ දරුවෙකුට ඇන්නත් දැරියකට ඇන්නත් ඒ නීතියම අදාළයි.+ 32  ඌ ඇන්නේ යමෙකුගේ දාසයෙකුට හෝ දාසියකට නම් අයිතිකරු ඔහුගේ හෝ ඇයගේ ස්වාමියාට ෂෙකෙල්* තිහක්+ ගෙවිය යුතුයි. ගවයාට ගල් ගසා මැරිය යුතුයි. 33  “වළක වැස්ම ඇර තැබීම නිසා හෝ වළක් හාරා එය වසා නොදැමීම නිසා හෝ ගවයෙකු නැත්නම් බූරුවෙකු එයට වැටුණොත්+ 34  එයට වග කිව යුතු තැනැත්තා එම සතාගේ වටිනාකමට අනුව අයිතිකරුට වන්දියක් ගෙවිය යුතුයි.+ මළ සතාගේ මස් ඔහුට ගත හැකියි. 35  එක් මනුෂ්‍යයෙකුගේ ගවයෙකු තව කෙනෙකුගේ ගවයෙකුට ඇන ඌ මැරුණොත් ඔවුන් දෙදෙනා පණපිටින් සිටින ගවයාව විකුණා මුදල සම සේ බෙදාගත යුතුයි. මළ සතාවද ඔවුන් බෙදාගත යුතුයි.+ 36  නමුත් ගවයා ඊට කලිනුත් අනින්න පුරුදුව සිටියා නම් හා අයිතිකරු ඒ ගැන කිසිවක් නොකළා නම්+ ඔහු අනිවාර්යයෙන්ම මිය ගිය සතා වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි.+ ඔහු ගවයෙකු වෙනුවට ගවයෙකු දිය යුතුයි. මළ සතාගේ මස් ඔහුට ගත හැකියි.

පාදසටහන්

ෂෙකෙලයක් යනු ග්‍රෑම් 11.4කි.