Skip to content

පටුනට යන්න

මාක් පොතෙන් විශේෂාංග

මාක් පොතෙන් විශේෂාංග

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි

මාක් පොතෙන් විශේෂාංග

සුවිශේෂ හතර අතරින් කෙටිම එක වන්නේ මාක්ගේ සුවිශේෂයයි. මෙම පොත මාක් විසින් ලියනු ලැබුවේ යේසුස්ගේ නැවත නැඟිටුවීමෙන් අවුරුදු 30කට පමණ පසුවයි. යේසුස්ගේ අවුරුදු තුනහමාරක දේවසේවා කාලය තුළදී සිදු වූ ඉතාමත් වැදගත් සිදුවීම් රාශියක් මෙහි වාර්තා කර තිබෙනවා.

පෙනෙන විදිහට ඔහු මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ යුදෙව්වන්ට නොව ක්‍රිස්තියානීන් බවට පත් වූ රෝම ජාතිකයන්ටයි. මාක් තම වාර්තාවේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ ඉතා ක්‍රියාශීලීව ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ආරම්භ කළ, ආශ්චර්යවත් ක්‍රියා කරන දෙවිගේ පුත්‍රයා හැටියටයි. එමෙන්ම ඔහු වැඩි අවධානයක් දී තිබෙන්නේ යේසුස් ඉගැන්වූ දේවලට වඩා යේසුස් කළ දේවලටයි. මාක්ගේ වාර්තාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් ගැලවුම්කරු වන යේසුස් කෙරෙහි අපගේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමටත් දේවසේවයේ ක්‍රියාශීලීව හවුල් වීමටත් අප තුළ පෙලඹීමක් ඇති කරයි.—හෙබ්‍රෙ. 4:12.

ගලීලයේදී සිදු කළ දැවැන්ත මෙහෙවර

(මාක් 1:1-9:50)

යොහන් බව්තීස්ත කළ සේවය සහ යේසුස් පාළුකරයේ ගත කළ දින 40 ගැන තොරතුරු ඡේද 14ක් තුළ ඉතා කෙටියෙන් මාක් සඳහන් කරනවා. ඊළඟට ඔහු වාර්තා කරන්නේ යේසුස් ගලීලයේදී සිදු කළ දේශනා සේවය පිළිබඳවයි. “එකෙණෙහිම” යන වචනය වතා ගණනාවක්ම ඔහුගේ වාර්තාව පුරා අපට දැකගන්න පුළුවන්. ඉන් පැහැදිලි වන්නේ ඔහු එම සිද්ධීන් ඉතාම කෙටි සහ හදිසිතාවයෙන් යුතුව වාර්තා කර තිබෙන ආකාරයයි.—මාක් 1:10, 12.

අවුරුදු තුනකට ආසන්න කාලයක් තුළදී යේසුස්, ගලීලයේ දේශනා සංචාර තුනක් අවසන් කළා. ඒවායින් බොහෝමයක් මාක් වාර්තා කරන්නේ ඒවා සිදු වූ අනුපිළිවෙළටයි. නමුත් යේසුස්ගේ කන්ද උඩ දේශනාව ඇතුළු ඔහු ඉදිරිපත් කළ දීර්ඝ දේශනයන් මාක් වාර්තා කර නැහැ.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:15“නියම කරන ලද කාලය” පැමිණ තිබුණේ කුමක් කිරීමටද? ඒ තම දේවසේවය ආරම්භ කිරීමට බව යේසුස් පැවසුවා. එමෙන්ම දේවරාජ්‍යය ළං වී තිබූ බවත් යේසුස් පැවසුවේ එහි පත් කරන ලද රජු වන යේසුස් ඔවුන් සමඟ සිටි නිසයි. මෙසේ යේසුස් පැවසූ ශුභාරංචියට ඇහුම්කන් දී ඊට එකඟව කටයුතු කිරීමටත් ඒ මගින් යෙහෝවා දෙවිගේ අනුමැතිය දිනාගැනීමටත් අවංක හදවත් තිබූ ජනයාට අවස්ථාව ලැබුණා.

1:44; 3:12; 7:36තමා කළ ආශ්චර්යවත් ක්‍රියා ප්‍රසිද්ධ වෙනවාට යේසුස් අකමැති වුණේ ඇයි? මවිත කරවන හෝ අසත්‍යය තොරතුරු ඇසීමෙන් ජනයා තමා ගැන වැරදි නිගමනයකට පැමිණෙනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කැමති වුණේ ජනයා තමන් වෙතට ඇවිත් එවන් ආශ්චර්යවත් ක්‍රියා ඔවුන්ගේම ඇස්වලින් දැක තමන් ක්‍රිස්තුස් කියා ඒත්තුගන්නවාටයි. (යෙසා. 42:1-4; මතෙ. 8:4; 9:30; 12:15-21; 16:20; ලූක් 5:14) නමුත් ගෙරසීනයේදී භූතයෙක් ආවේශව සිටි මිනිසාව සුව කළ අවස්ථාවේදී පමණක් ඒ ගැන ඔහුගේ නෑදෑයන්ට පවසන්න කියා යේසුස් පැවසුවා. ඒ ඇයි? එම සිද්ධිය දුටු ජනයා යේසුස්ගෙන් ඉල්ලා සිටියේ වහාම ඒ ප්‍රදේශයෙන් පිටවන්න කියායි. ඒ නිසා මිනිසුන් සමඟ කතා බහ කරන්නවත් ඔහුට කාලයක් තිබුණේ නැහැ. ඌරු රුළ විනාශ වීම ගැන මිනිසුන් යේසුස්ට දොස් කියන්න හෝ ඔහුව විවේචනය කරන්න ඇති. නමුත් යේසුස් එම මිනිසාට කළ කාරුණික ක්‍රියාව දකින සහ අසන බොහෝදෙනා යේසුස් ගැන නිවැරදි වැටහීමක් ඇති කරගන්න ඇති.—මාක් 5:1-20; ලූක් 8:26-39.

2:28—යේසුස්ව “සබත් දවසේ පවා ස්වාමියා” කියා හඳුන්වන්නේ ඇයි? සබත් දවස ඇතුළු මෝසෙස්ට දුන් නීතිය සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ එය “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක්” කියායි. (හෙබ්‍රෙ. 10:1) එම නීතියට අනුව සතියකදී දවස් හයක් වැඩ කළ යුතු වූ අතර සබත් දවස ලෙස සැලකුවේ සත්වෙනි දවසයි. යේසුස් සුව කිරීම් බොහෝමයක් සිදු කළේ එම දවස තුළදීයි. ඒ හා සමානව මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් පසුව ඇරඹෙන ‘සබත් දවස’ හෙවත් දහස් අවුරුදු පාලනය තුළදී යේසුස් විසින් මිනිසුන්ට බොහෝ ආශීර්වාද කිරීමට නියමිතයි. ඒ අනුව දේවරාජ්‍යයේ රජ වන යේසුස් ‘සබත් දවසේද ස්වාමියායි.’—මතෙ. 12:8; ලූක් 6:5.

3:5; 7:34; 8:12යම් දේවල් සම්බන්ධයෙන් යේසුස්ට හැඟුණු ආකාරය පිළිබඳ විස්තර මාක් සොයාගත්තේ කෙසේද? මාක්, යේසුස්ගේ මුල් ගෝලයන් 12දෙනාගෙන් කෙනෙකු හෝ ඔහුගේ කිට්ටු මිත්‍රයෙකු නොවේ. තිබෙන සාක්ෂිවලට අනුව ඔහු යේසුස් පිළිබඳ බොහෝ තොරතුරු ලබාගත්තේ ඔහුගේ කිට්ටු මිතුරෙක් මෙන්ම යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස්ගෙන් බව සිතිය හැකියි.—1 පේතෘ. 5:13.

6:51, 52ගෝලයන් විසින් වටහා නොගත්තාවූ “රොටිවල අරුත” කුමක්ද? යේසුස් මෙසේ පැවසීමට පැය කිහිපයකට පෙර රොටි පහක් හා මසුන් දෙදෙනෙක් ගෙන 5000කට වඩා වැඩි පිරිසකට ආශ්චර්යවත් ලෙස කන්න දුන්නා. එයින් ගෝලයන් වටහාගත යුතු වුණේ යෙහෝවා දෙවි යේසුස්ට කොතරම් බලයක් දී තිබුණාද යන්නයි. (මාක් 6:41-44) එය ඔවුන් හොඳින් තේරුම්ගෙන තිබුණා නම් යේසුස් වතුර මත ඇවිදගෙන එන විට ඔවුන් එතරම් පුදුම වන්නේ නැහැ.

8:22-26—යේසුස් අන්ධ මිනිසාව එකවර සුව නොකළේ ඇයි? එකවරින්ම ඔහුව සුව නොකිරීම යේසුස්ගේ පැත්තෙන් ඔහුට පෙන්වූ කාරුණික ක්‍රියාවක් විය හැකියි. එම අන්ධ මිනිසා බොහෝ කාලයක් පුරා කිසිම ආලෝකයක් දැක තිබුණේ නැති නිසා එකවර මහත් ආලෝකයක් දැකීම ඔහුට අපහසුයි. ඒ නිසා ටිකෙන් ටික ආලෝකයට හුරුවීම සඳහා යේසුස් ඔහුව සුව කළේ ක්‍රමානුකූලවයි.

අපට ගත හැකි පාඩම්:

2:18; 7: 11; 12:18; 13:3. යුදෙව් ජාතිකයන් නොවන අයට නුහුරු චාරිත්‍ර වාරිත්‍ර, යම් යෙදුම්, විශ්වාසයන් පිළිබඳව මෙන්ම යම් ස්ථාන ගැනත් මාක් ඔහුගේ සුවිශේෂයේ සඳහන් කර තිබෙනවා. උදාහරණයකට පරිසිවරුන් “සිරිතක් ලෙස නිරාහාරව” සිටීම, “දෙවිට කැප කළ පඬුරක්” යන අර්ථය ඇති කොර්බාන් යන වචනය, “නැවත නැඟිටීමක් නැතැයි” පැවසූ සද්දුසිවරුන් ගැන, “ඔලීව කන්දේ” සිට බලන විට දේවමාලිගාව පෙනෙන ආකාරය වැනි දේවල් ගැන ඔහු වාර්තා කර තිබෙනවා. මාක් මෙහි විශේෂයෙන්ම අමතන්නේ යුදෙව් නොවන පාඨකයන්ටයි. ඒ නිසා යේසුස්ගේ පෙළපත ගැන ඔහු සඳහන් කර නැහැ. මේ සම්බන්ධයෙන් මාක් අපට කදිම ආදර්ශයක් තබනවා. එනම් අප දේවසේවයේ හවුල් වන විට හෝ සභාවේ කතාවක් ඉදිරිපත් කරන විට අපගේ අසන්නන්ගේ පසුබිම හොඳින් වටහාගෙන කතා කිරීමටයි.

3:21.යේසුස්ගේ නෑදෑයන් ඔහුව දෙවිගේ පුත්‍රයා හැටියට විශ්වාස කළේ නැහැ. වර්තමානයේදීත් තම ඇදහිල්ල වෙනුවෙන් නෑදෑයන්ගේ විරුද්ධවාදීකම්වලට හෝ අපහාස කිරීම්වලට ලක් වන අයගේ හැඟීම් හොඳින් තේරුම්ගන්න යේසුස්ට හැකි බව අපට විශ්වාසයි.

3:31-35. යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහු දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයා බවට පත් වූ අතර “ඉහළ තිබෙන යෙරුසලම” හෙවත් ස්වර්ගික සංවිධානය ඔහුගේ මව බවට පත් වුණා. (ගලා. 4:26) එතැන් සිට ඔහු තම නෑදෑයන්ට වඩා කිට්ටු බැඳීමක් එම ස්වර්ගික පවුලට අයත් ඔහුගේ ගෝලයන් සමඟ ඇති කරගත්තා. මෙයින් අපට කාවද්දන්නේ අපත් ජීවිතයේ මුල් තැන දිය යුත්තේ දෙවිගේ නමස්කාරයට හා අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයට බවයි.—මතෙ. 12:46-50; ලූක් 8:19-21.

8:32, 33. සුව පහසු ජීවිතයක් ගත කරන්න කියා අන් අය අපව පෙලඹවිය හැකියි. නමුත් ක්‍රිස්තියානීන් හැටියට අප උත්සාහ කරන්නේ පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කිරීමට නිසා එවැනි ආකල්පයක් වර්ධනය කරගැනීම නුසුදුසු බව අප වටහාගත යුතුයි. යේසුස්ගේ අනුගාමිකයන් සැමවිටම “තමාවම නොසලකා” එනම් ආත්මාර්ථකාමී ආශාවන් සහ අරමුණු අතහැර දැමිය යුතුයි. ඒ වෙනුවට “වධකණුව ගෙන” එනම් පීඩා, අවමාන හෝ සමහරවිට මරණය පවා විඳීමට කැමැත්තෙන් සිටිය යුතුයි. එමෙන්ම අප ‘දිගටම යේසුස් අනුව’ ගමන් කළ යුතුයි. ඉන් අදහස් කරන්නේ යේසුස්ව ආදර්ශයට ගනිමින් ජීවත් විය යුතු බවයි. ඒ අනුව ක්‍රිස්තියානියෙකු වීමට නම් කෙනෙක් යේසුස් මෙන් පරිත්‍යාගශීලි ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුයි.—මතෙ. 16:21-25; ලූක් 9:22, 23.

9:24. අපගේ විශ්වාසයන් ගැන අන් අයට පැවසීමට අප ලැජ්ජා නොවිය යුතුයි. එමෙන්ම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අවශ්‍ය නම් ඒ ගැන දෙවිට යාච්ඤා කිරීමටද අප පසුබට නොවිය යුතුයි.—ලූක් 17:5.

අවසන් මාසය

(මාක් 10:1-16:8)

ක්‍රිස්තු වර්ෂ 32 අවසානයේදී යේසුස් “යොර්දානෙන් එගොඩ වී යුදයේ මායිම්වලට” පැමිණි අතර සෙනඟ නැවතත් ඔහු වටා එක්රොක් වුණා. (මාක් 10:1) ඒ ප්‍රදේශයෙත් දේශනා කළ පසු ඔහු නැවත යෙරුසලම බලා පිටත් වුණා.

දිනය නීසාන් අටවනදායි. එදා යේසුස් බෙතානියේ එක් නිවසකට කෑම වේලක් සඳහා ගිය අවස්ථාවේදී ස්ත්‍රියක් ඉතා මිල අධික සුවඳ තෙලක් ගෙන එය යේසුස්ගේ හිසේ ආලේප කළා. යේසුස් රජෙකු ලෙස යෙරුසලමට පැමිණි අවස්ථාවේ සිට ඔහුගේ නැවත නැඟිටුවීම දක්වා ඇති සිදුවීම් මාක් මෙම කොටසෙහි වාර්තා කරනවා. ඔහු ඒවා වාර්තා කර තිබෙන්නේ සිදු වූ අනුපිළිවෙළටමයි.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

10:17, 18—තමාට “යහපත් ගුරුතුමෙනි” කියා ඇමතූ එක්තරා මිනිසෙකුව යේසුස් නිවැරදි කළේ ඇයි? එම ගෞරවනීය ආමන්ත්‍රණය යේසුස් ප්‍රතික්ෂේප කර එය ලබන්න වටින තැනැත්තා වන යෙහෝවා දෙවිට එය පිරිනැමුවා. ඉන් යේසුස් පෙන්වූයේ සියලු යහපත් දේවල උල්පත හෙවත් ආරම්භය යෙහෝවා දෙවි පමණක් බවයි. එමෙන්ම මෙහිදී යේසුස් තවත් සත්‍යයක් අවධාරණය කළා. එනම් හොඳ නරක කුමක්ද කියා නියම කිරීමේ අයිතිය තිබෙන්නෙත් යෙහෝවා දෙවිට පමණක් බවයි.—මතෙ. 19:16, 17; ලූක් 18:18, 19.

14:25“දෙවිගේ රාජ්‍යයෙහිදී මා අලුත් වයින් බොන දවස එන තුරු මිදිවැලෙන් ලැබෙන පලයෙන් මම තවත් කිසිසේත් නොබොන්නෙමි” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? ස්වර්ගයේ වයින් තිබෙන බවක් යේසුස්ගේ එම ප්‍රකාශයෙන් අදහස් වන්නේ නැහැ. බයිබලය තුළ වයින්වලින් බොහෝවිට සංකේතවත් කරන්නේ ප්‍රීතියයි. ඒ අනුව යේසුස් වයින් යන වචනය යොදාගත්තේ තම අභිෂේක ලත් සහෝදරයන් හා සමඟ ස්වර්ග රාජ්‍යයේදී එකට සේවය කිරීමේ ප්‍රීතිය සංකේතවත් කිරීමටයි.—ගීතා. 104:15; මතෙ. 26:29.

14:51, 52—මෙහි සඳහන් “නග්නව පලා” ගිය තරුණයා කවුද? මෙම සිද්ධිය ගැන වාර්තා කරන්නේ මාක් පමණයි. එමනිසා මේ තරුණයා වෙන කවුරුවත් නොව මාක් බව අපට සිතන්න පුළුවන්.

15:34—“මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්ද?” කියා පැවසීමෙන්, යේසුස්ට දෙවි කෙරෙහි තිබූ ඇදහිල්ල දුර්වල වී තිබූ බවක් අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. යේසුස් එම වචන පැවසීමට හේතුව කුමක්ද කියා නිශ්චිතවම කිව නොහැකියි. ඒ වුණත් යේසුස්ව මරණය දක්වා පරීක්ෂා කිරීමට දෙවි, සාතන්ට ඉඩ දී ඇති බවත් තමාගේ රැකවරණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් යේසුස් වටහාගෙන ඇති බවක් එම ප්‍රකාශයෙන් පෙනී යනවා. එමෙන්ම ගීතාවලිය 22:1හි තමා ගැන පවසා ඇති අනාවැකිය ඉෂ්ට කිරීමේ අදහසින් යේසුස් එසේ පැවසුවා කියාද සිතන්න පුළුවන්.—මතෙ. 27:46.

අපට ගත හැකි පාඩම්:

10:6-9. විවාහය ඇති කිරීමේදී දෙවිගේ අරමුණ වුයේ ඔවුන් දෙදෙනා සැමදාටම එකට ජීවත් වීමයි. එමනිසා විවාහ දිවියේ කුමන ප්‍රශ්නයක් මතු වුණත් ඉක්මන් වී දික්කසාද වීමට පියවර නොගත යුතුයි. ඒ වෙනුවට දෙදෙනාම බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගනිමින් එය විසඳාගැනීමට දැඩි වෑයමක් දැරිය යුතුයි.—මතෙ. 19:4-6.

12:41-44. දිලිඳු වැන්දඹුවගේ ආදර්ශයෙන් අපට උගන්වන්නේ සැබෑ නමස්කාරයේ දියුණුව සඳහා අප නොමසුරුව අපගේ සහය ලබා දිය යුතු බවයි.

[29වන පිටුවේ පින්තූරය]

සිදු වූ සියල්ල ඔහුගේ නෑදෑයන්ට පවසන්න කියා යේසුස් මේ මිනිසාට පැවසුවේ ඇයි?