මතෙව් 8:1-34

8  යේසුස් කන්දෙන් බැස ආ පසු මහත් සමූහයක් ඔහු පසුපස ගියෝය.  එවිට ලාදුරු රෝගයෙන් පෙළුණු මිනිසෙක්+ ඇවිත් ඔහු ඉදිරියේ දණින් වැටී, “ස්වාමීනි, ඔබ කැමති නම් ඔබට පුළුවන් මාව පවිත්‍ර කරන්න” යයි කීවේය.  එහෙයින් ඔහු තම අත දිගු කර ඔහුව ස්පර්ශ කරමින්, “මා කැමතියි. පවිත්‍ර වෙන්න”+ යයි කීවේය. ඒ මොහොතේදීම ඔහුට තිබූ ලාදුරු රෝගය සුව විය.+  එවිට යේසුස්, “මේ ගැන කාටවත් කියන්න එපා.+ ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිට+ ඔහුට ඔබව පරීක්ෂා කරන්න ඉඩ දෙන්න. ඉන්පසු මෝසෙස් අණ කළ පූජාව ඔප්පු කරන්න.+ එය ඔබ සුව වී ඇති බවට පූජකයන්ට සාක්ෂියක් වෙයි” කියා ඔහුට කීවේය.  යේසුස් කපර්ණවුමට ඇතුල් වූ විට+ හමුදා නිලධාරියෙක් ඔහු වෙතට ඇවිත් බැගෑපත්ව,  “ස්වාමීනි, මගේ මෙහෙකරුවා අංශභාග රෝගය නිසා ඔත්පළ වෙලා මහත් සේ දුක් විඳිනවා” කියා පැවසුවේය.  යේසුස්ද, “මම එතැනට ඇවිත් ඔහුව සුව කරන්නම්” කියා කීවේය.  එවිට හමුදා නිලධාරියා මෙසේ කීවේය. “ස්වාමීනි, ඔබ මගේ වහල යටට ඒමට තරම්වත් මම සුදුස්සෙක් නොවෙයි. ඔබ මෙතනදීම ඔහුට සුව වෙන්න එක වචනයක් කිව්වත් මගේ මෙහෙකරුවා සුව වෙයි.  මන්ද මාත් බලධාරීන් යටතේ සේවය කරන මිනිසෙක්. මා යටතෙත් හේවායෝ සිටිනවා. මා කෙනෙකුට ‘යන්න’+ කියා පැවසුවොත් ඔහු යයි. වෙන කෙනෙකුට ‘එන්න’ කියා පැවසුවොත් ඔහු එයි. මගේ දාසයාට ‘මෙය කරන්න’ කියා කිව්වොත් ඔහු එය කරයි.” 10  මෙය අසා යේසුස් විස්මයට පත් විය. එවිට තමා පසුපස පැමිණි අයට ඔහු මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඊශ්‍රායෙලයේ සිටින කිසිවෙකු තුළ මෙතරම් විශ්වාසයක් මා දුටුවේ නැති බවයි.+ 11  මා කියන මේ දේත් සැලකිල්ලට ගන්න. බොහෝ පිරිසක් නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද+ ඇවිත් ස්වර්ග+ රාජ්‍යයෙහි+ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ එකම මේසයෙහි ඉඳගනියි. 12  නමුත් රාජ්‍යය හිමි වීමට සිටි පුත්‍රයන්ව+ පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි.”+ 13  ඉන්පසු යේසුස් හමුදා නිලධාරියාට මෙසේ කීවේය. “යන්න. ඔබේ විශ්වාසය නිසා ඔබ බලාපොරොත්තු වූ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙයි.”+ ඒ පැයේදීම මෙහෙකරුවා සුවය ලැබුවේය. 14  යේසුස්, පේතෘස්ගේ ගෙට ඇතුල් වූ විට ඔහුගේ බිරිඳගේ මවට+ උණ රෝගයක් වැලඳී+ ඇය ඇඳට වී සිටිනවා දුටුවේය. 15  ඔහු ඇගේ අත ස්පර්ශ කළ විට+ ඇගේ උණ රෝගය සුව වූ අතර ඇය නැඟිට ඔහුට සංග්‍රහ කරන්න පටන්ගත්තාය.+ 16  සවස් වූ විට භූතයන් ආවේශ වූ බොහෝදෙනෙකුව ඔහු වෙතට ගෙනෙන ලදි. ඔහු අණ කළ පමණින් ඒ භූතයන් දුරු වූ අතර ඔහු අසනීපව සිටි සියල්ලන්වද සුව කළේය. 17  එසේ වූයේ අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් කී මේ දේ ඉටු වීම සඳහාය. එනම්, “ඔහු තම කරපිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝගයි.”+ 18  තමන් වටා විශාල සමූහයක් එක් රොක් වී සිටිනවා දුටු යේසුස්, එගොඩට+ ඔරුව පදවන්න කියා කීවේය. 19  එවිට නීතිය පිටපත් කරන්නෙක් ඔහු වෙතට පැමිණ, “ගුරුතුමනි, ඔබ යන ඕනෑම තැනකට මමත් ඔබ අනුව එන්න කැමතියි”+ කියා කීවේය. 20  නමුත් යේසුස් ඔහුට මෙසේ කීවේය. “හිවලුන්ට ගුහා තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ.”+ 21  එවිට ගෝලයන්ගෙන් කෙනෙක් ඇවිත් “ස්වාමීනි, මගේ පියාව තැන්පත් කරන තුරු මට කල් දෙන්න” කියා කීවේය. 22  යේසුස් ඔහුට මෙසේ කීවේය. “දිගටම මා අනුව එන්න. මිය ගිය අයව තැන්පත් කරන්න මිය ගිය අයටම ඉඩහරින්න.”+ 23  ඔහු ඔරුවකට නැඟුණු විට+ ඔහුගේ ගෝලයෝද ඔහු සමඟ ගියෝය. 24  ටික වේලාවකින් ඔරුව කුණාටුවකට හසු විය. ඔරුව රළ පහරින් වැසී යන තරම් එය බිහිසුණු එකක් විය. නමුත් යේසුස් සිටියේ නිදාගෙනය.+ 25  එවිට ඔවුහු ඇවිත් ඔහුව අවදි කරමින්,+ “ස්වාමීනි, අපව බේරගන්න. අපිව ගිලෙන්නයි යන්නේ” කියා පැවසුවෝය. 26  නමුත් ඔහු, “ඇයි ඔබ මේ තරම් භය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද”+ කියා ඇසුවේය. පසුව ඔහු නැඟිට, සුළඟටත් මුහුදටත් තදින් කතා කළේය. එවිට මහත් නිශ්චලතාවක් ඇති විය.+ 27  ඔවුහු මහත් පුදුමයකින්, “ඇත්තටම මොහු කවුද?+ සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා” කියා පැවසුවෝය. 28  ඔහු එගොඩ තිබුණු ගදරීනයන්ගේ පළාතට+ පැමිණියේය. එවිට සොහොන් ගෙවල් අතරින් නික්ම ආ භූතයන් ආවේශ වූ මිනිසුන් දෙදෙනෙක්+ ඔහු වෙතට පැමිණියහ. ඔවුන් ඉතා දරුණු වූ නිසා ඒ පාරෙන් යන්න කිසිවෙකුටවත් ධෛර්යයක් තිබුණේ නැත. 29  ඔවුහු කෑගසමින්, “දෙවිගේ පුත්‍රය,+ ඔබ හා අප අතර කිසිම ගනු දෙනුවක් නැහැ! ඉතින් ඔබ මෙතැනට ආවේ නියමිත කාලයට කලින්+ අපට වධ දෙන්නද”+ කියා ඇසූහ. 30  මේ අතර ඔවුන්ට සෑහෙන ඈතකින් තිබූ තණබිමක විශාල ඌරු රැළක් සිටියහ. 31  එහෙයින් භූතයෝ, “ඔබ අපව දුරු කරනවා නම් ඒ ඌරු රැළට වැහෙන්න අපට ඉඩ දෙන්න”+ කියා ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. 32  එමනිසා ඔහු, “පිටත්ව යන්න” කියා ඔවුන්ට පැවසුවේය. එවිට ඔවුහු ඒ මිනිසුන්ගෙන් පිට වී ඌරන්ට වැහුණෝය. මුළු ඌරු රැළම වේගයෙන් දුව ගොස් ප්‍රපාතයකින් දියට වැටී මිය ගියෝය.+ 33  එම සතුන් රැකබලා ගත් අය එතැනින් පලා ගොස් නුවරට ඇතුල් වී භූතයන් ආවේශ වූ මිනිසුන්ට සිදු වූ දේ ඇතුළුව සිද්ධියට අදාළ සියලු තොරතුරු ගැන නුවරේ වැසියන්ට කීවෝය. 34  එවිට ඒ නුවරේ සියලු වැසියෝ යේසුස්ව හමු වෙන්න ඇවිත් ඔහුගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ තම ප්‍රදේශවලින් පිට වී යන ලෙසයි.+

පාදසටහන්