මාක් 3:1-35

3  නැවතත් යේසුස් සිනගෝගයකට ඇතුල් වුණේය. එහි අතක් පණ නැති මිනිසෙක් සිටියේය.+  ඔහු ඒ මිනිසාව සබත් දවසේදී සුව කරයිද කියා පරිසිවරු මහත් ඕනෑකමින් බලා සිටියෝය. එසේ කළේ ඔහුව සුව කළොත් යේසුස්ට විරුද්ධව චෝදනා කිරීමේ අදහසිනි.+  එවිට යේසුස් අතක් පණ නැති ඒ මිනිසාට, “නැඟිට, මේ පිරිස මැදට එන්න” කියා කීවේය.  ඉන්පසු ඔහු පරිසිවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “සබත් දවසේදී මොන වගේ දේවල් කිරීමද හොඳ? හොඳ ක්‍රියාවක්ද නැත්නම් නරක ක්‍රියාවක්ද? ජීවිතයක් බේරාගැනීමද+ නැත්නම් එය නැති කර දැමීමද?” එවිට ඔවුහු නිහඬව සිටියහ.  ඔවුන්ගේ සිත්වල දැඩිකම+ ගැන බොහෝ සෙයින් දුක් වූ යේසුස් ඔවුන් දෙස උදහසින් බලා, “ඔබේ අත දිගු කරන්න” කියා ඒ මිනිසාට කීවේය. ඔහු අත දිගු කළ විට එය සුව විය.+  එතැනින් වහාම පිටත් වූ පරිසිවරු ඔහුව මරා දැමීම සඳහා+ හෙරොද්ගේ පක්ෂයට අයත්ව සිටි අයව+ හමු වී ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන්ගත්හ.  නමුත් යේසුස් තම ගෝලයන් සමඟ එතැනින් පිට වී ගලීල මුහුද දෙසට ගියේය. ගලීලයෙන් සහ යුදයෙන් පැමිණි විශාල සමූහයක් ඔහු පසුපස ගියෝය.+  යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දානයේ එගොඩින්ද තීර්+ සහ සීදොන් යන නුවරවල් අවටින්ද විශාල සමූහයක් ඔහු කරමින් සිටි බොහෝ දේ ගැන අසා ඔහු සිටි තැනට ආවෝය.  ඒ සෙනඟ අතරේ තමන්ට තෙරපෙන්න සිදු වන බව යේසුස් දැන සිටි නිසා තමන්ට කුඩා ඔරුවක් නිතරම සූදානම් කර තබන ලෙස ඔහු තම ගෝලයන්ට කීවේය. 10  මන්ද ඔහු බොහෝදෙනෙකුව සුව කළ නිසා බරපතළ රෝග වැලඳී සිටි සියලුදෙනාම ඔහුව ස්පර්ශ කිරීමට+ තෙරපෙමින් ඔහු වෙතට පැමිණියහ. 11  භූතයෝ+ පවා ඔහුව දුටු හැමවිටම ඔහු ඉදිරියෙහි දණින් වැටී, “ඔබ දෙවිගේ පුත්‍රයා”+ කියා කියමින් කෑගැසූහ. 12  නමුත් තමන් කවුද කියා ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු බොහෝ වර ඔවුන්ට තදින් අණ කළේය.+ 13  ඔහු කන්දකට නැඟ, තෝරාගත් කිහිපදෙනෙකුව+ තමන් වෙතට කැඳෙව්වේය. ඔවුහු ඔහු වෙතට ගියහ.+ 14  මෙසේ ඔහු තමන් සමඟ නිතර සිටීම සඳහා දොළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සාදා ඔවුන්ව තම “නියෝජිතයන්”* ලෙස නම් කළේය. ඔහු ඔවුන්ව තෝරාගත්තේ දේශනා කිරීමේ කාර්යය සඳහා පිටත් කිරීමටය.+ 15  එසේම භූතයන් දුරු කිරීම සඳහාද+ ඔවුන්ට බලය දෙන ලදි. 16  දොළොස්දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමට ඇතුළත් වූ අය මෙසේය. ඔහු පේතෘස් යන වාසගම+ දුන් සීමොන්ද, 17  සෙබදීගේ පුත් යාකොබ් සහ යාකොබ්ගේ සහෝදර වූ+ යොහන්ද, (ඔහු මොවුන්ට ගර්ජනාවේ පුත්‍රයන් යන අර්ථය ඇති බොවනර්ගේස් යන වාසගමද දුන්නේය.) 18  අන්දෘ, ෆිලිප් සහ බාතොලමෙව්ද මතෙව් සහ තෝමස්ද අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්ද තදියස් සහ මහත් උද්‍යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන්ද, 19  පසු කාලයකදී ඔහුට ද්‍රෝහි වූ යූදස් ඉස්කාරියොත්ද+ යන අයයි. ඉන්පසු ඔහු එක්තරා නිවසකට ඇතුල් විය. 20  නැවතත් සමූහයා එතැනට එක් රොක් වූ නිසා ඔවුන්ට කෑම කන්නවත් වේලාවක් ලැබුණේ නැත.+ 21  යේසුස්ගේ නෑදෑයන්ට+ ඔහු ගැන ආරංචි වී, “ඔහු සිහිවිකල් වී සිටියි”+ කියා පවසමින් ඔහුව රැගෙන යෑමට පැමිණියෝය. 22  එසේම යෙරුසලමේ සිට පැමිණි නීතිය පිටපත් කරන්නෝද, “ඔහුට බෙල්සෙබුබ්* ආවේශ වෙලා. ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා මාර්ගයෙන්”+ කියා පැවසූහ. 23  එවිට ඔහු ඔවුන්ව තමන් ළඟට කැඳවා, උදාහරණ යොදාගනිමින් ඔවුන්ට මෙසේ කීවේය. “සාතන්ට සාතන්වම දුරු කරන්න පුළුවන් කොහොමද? 24  යම් රාජ්‍යයක් තුළ භේද ඇත්නම් ඒ රාජ්‍යයට කොහොමටවත් පවතින්න බැහැ.+ 25  යම් නිවසක සිටින අය අතර භේද තිබෙනවා නම් ඒ නිවසේ සිටින අයටත් එකට ජීවත් වෙන්න බැහැ.+ 26  එමෙන්ම සාතන් තමන්ටම විරුද්ධව ක්‍රියා කර තමන්ට පක්ෂ අය අතර භේද ඇති කළොත් ඔහුටත් පැවතිය නොහැකියි. ඔහු නැති වී යයි.+ 27  යම් හොරෙක් ශක්තිමත් මිනිසෙකුගේ නිවසට කඩාවැද ඔහුගේ නිවසේ ඇති බඩු බාහිරාදිය කොල්ල කනවා නම්+ ඔහු මුලින්ම ඒ මිනිසාව බැඳ දැමිය යුතුයි. එසේ නොකළොත් ඔහුට කොල්ල කන්න හැකි වන්නේ නැහැ.+ 28  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මිනිසුන් මොන පාපයක් කළත් මොන තරම් අපහසාත්මක දේවල් පැවසුවත් ඔවුන්ට ඒවා සඳහා සමාව ලබාගත හැකි බවයි.+ 29  නමුත් කෙනෙක් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස කළොත් ඔහුගේ ඒ වරදට කොහොමටවත් සමාවක් නැහැ. ඔහුගේ ඒ පාපයට කිසි දිනක සමාවක් නොලැබෙයි.”+ 30  ඔහු ඒ දේවල් පැවසුවේ, “ඔහුට භූතයෙක් වැහිලා”+ කියා ඔවුන් පැවසූ නිසාය. 31  ඔහු සමූහයන්ට කතා කරමින් සිටියදී ඔහුගේ මවද සහෝදරයෝද+ ඔහු සමඟ කතා කිරීම සඳහා පිටත සිටගෙන සිටියහ.+ 32  ඒ අවස්ථාවේදී විශාල පිරිසක් ඔහු වටා ඉඳගෙන සිටි නිසා ඔවුහු, “ඔබේ මවත් සහෝදරයනුත් ඔබව සොයාගෙන ඇවිත්”+ කියා ඔහුට කීවෝය. 33  නමුත් ඔහු, “කවුද මගේ මව? කවුද මගේ සහෝදරයන්”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. 34  ඉන්පසු ඔහු තමන් වටා ඉඳගෙන සිටි අය දෙස බලමින් මෙසේ පැවසුවේය. “මෙන්න, මගේ මව සහ මගේ සහෝදරයෝ!+ 35  මගේ සහෝදරයා හෝ සහෝදරිය හෝ මව හෝ වන්නේ දෙවිගේ කැමැත්ත කරන තැනැත්තායි.”+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”
සාතන්ට භාවිත කරන තවත් නමකි.