මාක් 6:1-56

6  එතැනින් පිටත්ව ගිය ඔහු සිය ගෝලයන් සමඟ තම ගමට ගියේය.+  සබත් දවස පැමිණි විට ඔහු සිනගෝගයේ උගන්වන්න පටන්ගත්තේය. සවන් දෙමින් සිටි අයගෙන් වැඩිදෙනෙක් පුදුමයට පත් වී, “මේ මිනිසාට මේ තරම් ප්‍රඥාවක් කොහෙන්ද?+ ඔහුට කොහොමද මෙතරම් බලවත් ක්‍රියා කරන්න තරම් බලයක් ලැබුණේ? මේ වගේ බලයක් ඔහුටම දී තිබෙන්නේ ඇයි?  ඔහු නිකම්ම නිකම් වඩුවෙක්.+ ඔහු මරියාගේ පුතා+ නේද? ඔහු යාකොබ්,+ යෝසෙප්, යූදස් සහ සීමොන්ගේ සහෝදරයා+ නේද? ඔහුගේ සහෝදරියනුත් මේ ගමේම අය නේද” කියා පවසමින් ඔහුව ප්‍රතික්ෂේප කළෝය.+  එවිට යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරයෙකුට ගෞරවය නොලැබෙන්නේ තමාගේම ගමේදීත්+ තමාගේම නෑදෑයන් අතරේදීත් තමාගේම ගෙදරදීත්+ පමණයි.”  එහෙයින් ලෙඩින් සිටි කිහිපදෙනෙකු මත තම අත් තබා ඔවුන්ව සුව කළා මිස ඔහුට එහිදී වෙන කිසි බලවත් ක්‍රියාවක් කිරීමට ඉඩකඩ නොලැබිණ.  ඔවුන් තුළ විශ්වාසයක් නොතිබීම ගැන ඔහු පුදුම විය. එහෙයින් ඔහු අවට ගම්වල සංචාරය කරමින් එහි ඉගැන්වූවේය.+  ඔහු දොළොස්දෙනාව කැඳවා, ඔවුන්ව දෙදෙනා බැගින්+ යැවීමට පියවර ගත්තේය. භූතයන්ව පලවාහැරීමට+ ඔවුන්ට බලයද දුන්නේය.  ඔහු ඔවුන්ට දුන් මඟ පෙන්වීම් මෙසේය. එනම් ගමන සඳහා සැරයටියක් හැර වෙන කිසිම දෙයක් රැගෙන නොයන්න. රොටිවත් කෑම මල්ලක්වත්+ රැගෙන නොයන්න කියාත් තම ඉඟටි පටියේ පසුම්බිවල තඹ කාසි නොදමන්න+ කියාත් ඔහු පැවසුවේය.  මීට අමතරව පාවහන් පැළඳ යන ලෙසත් ඇතුල් වස්ත්‍ර දෙකක් රැගෙන නොයන* ලෙසත්+ ඔහු ඔවුන්ට පැවසුවේය. 10  ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “ඔබ යම් ප්‍රදේශයකට ගොස් නිවසකට ඇතුල් වූ පසු+ එහි සිටින කෙනෙක් ඔබව පිළිගත්තොත් එම නිවසේ නවාතැන් ගන්න.+ ඒ ප්‍රදේශයේ සේවය කර අවසන් වන තුරුම එහි නැවතී සිටින්න. 11  යම් තැනකදී ඔවුන් ඔබව පිළිගන්නේවත් ඔබ කියන දේ අසන්නේවත් නැත්නම් ඔබ එතැනින් පිට වූ විට ඔවුන්ට සාක්ෂියක් ලෙස ඔබේ පාදවල තිබෙන දූවිලි ගසා දමන්න.”*+ 12  ඒ අනුව ඔවුහු පිටත් වී, පසුතැවිලි වෙන්න+ කියා ජනයාට දේශනා කළහ. 13  ඔවුහු බොහෝ භූතයන්ව දුරු කර,+ ලෙඩින් සිටි බොහෝදෙනෙකුට තෙල් ආලේප කර+ සුව කළහ.+ 14  යේසුස්ගේ නාමය ප්‍රසිද්ධ වූ ආකාරය හෙරොද් රජුටත් ආරංචි විය. මන්ද, “බව්තීස්ම කරන්නා වූ යොහන් මරණයෙන් නැඟිටලා. ඔහුට මේ වගේ බලවත් ක්‍රියා කරන්න හැකි වී තිබෙන්නේ ඒ නිසයි” කියා සමහරු පවසමින් සිටියහ.+ 15  නමුත් තවත් අය, “මොහු එලියා”+ කියාත් තවත් සමහරු, “පෙර සිටි අනාගතවක්තෘවරුන් මෙන් මොහුත් අනාගතවක්තෘවරයෙක්”+ කියාත් පවසමින් සිටියහ. 16  හෙරොද්ට ඒ දේවල් ගැන ආරංචි වූ විට, “මේ මා විසින් හිස කපා දැමූ යොහන්ම විය යුතුයි. ඔහු මරණයෙන් නැඟිටලා”+ කියා කීවේය. 17  එයට හේතු වූ සිද්ධිය මෙයයි. හෙරොද් තම සහෝදරයා වන ෆිලිප්ගේ භාර්යාව වන හෙරෝදියස්ව විවාහ කරගත්තේය. ඉන්පසු ඔහු ඇයව සතුටු කිරීමට මිනිසුන් යවා යොහන්ව අත්අඩංගුවට ගෙන ඔහුව බැඳ සිරගෙයි දැමුවේය.+ 18  මන්ද, “ඔබේ සහෝදරයාගේ භාර්යාව ඔබේ භාර්යාව ලෙස තබාගැනීම නීත්‍යනුකූල දෙයක් නොවෙයි”+ කියා යොහන් කිහිප වරක් හෙරොද්ට කියා තිබිණ. 19  එහෙයින් හෙරෝදියස් ඔහු කෙරෙහි වෛර බැඳගත් අතර+ ඔහුව මරා දැමීමට අවශ්‍ය වුණත් එසේ කිරීමට අවස්ථාවක් ඇයට නොලැබිණ.+ 20  යොහන් ශුද්ධ හා ධර්මිෂ්ඨ මිනිසෙකු+ බව හෙරොද් දැන සිටි නිසා ඔහුට යම් අනතුරක් කරන්න ඔහු බිය විය.+ ඔහු යොහන් කියන දේවලට නිතරම පාහේ සවන් දුන් අතර+ එයින් මහත් ආස්වාදයක්ද ලැබුවේය. එහෙයින් ඔහු යොහන් සම්බන්ධයෙන් කවර තීරණයක් ගත යුතුද කියා සිතමින් ළත විය. 21  නමුත් හෙරොද් තමාගේ උපන් දිනය+ සැමරීමට තම උසස් නිලධාරීන් වෙනුවෙන්ද සේනාධිපතීන් වෙනුවෙන්ද ගලීලයේ ප්‍රධානීන් වෙනුවෙන්ද සන්ධ්‍යා භෝජනයක් පිළියෙල කළ විට හෙරෝදියස් බලබලා සිටි අවස්ථාව උදා විය.+ 22  ඒ උත්සවයේදී හෙරෝදියස්ගේ දුව ඇවිත් සියලුදෙනා වෙනුවෙන් නැටුවාය. ඇගේ නැටුමෙන් හෙරොද් සහ ඔහු සමඟ ඉඳගෙන සිටි අය+ මහත් වින්දනයක් ලැබූ නිසා රජ තරුණියට මෙසේ පැවසුවේය. “දුව කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. මම ඒ දේ දුවට දෙන්නම්.” 23  ඔහු දිවුරමින් මෙසේද පැවසුවේය. “මගෙන් ඉල්ලන ඕනෑම දෙයක් මම දෙන්න කැමතියි.+ මගේ රාජ්‍යයෙන් භාගයක් වුණත් මම ඔබට දෙනවා.”+ 24  එවිට ඇය තම මව වෙතට ගොස්, “මම මොනවාද ඉල්ලන්නේ” කියා ඇගෙන් ඇසුවාය. “බව්තීස්ම කරන්නා වන යොහන්ගේ හිස ඉල්ලන්න”+ කියා ඇය පැවසුවාය. 25  ඇය ඉක්මනින්ම රජු වෙතට දුව ගොස්, “ඔබ යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා මට දැන්මම දෙනවාට මම කැමතියි” කියා කීවාය. 26  එය අසා රජුට මහත් දුකක් දැනුණත් තමා කළ දිවුරුම නිසාත් කෑමට ඉඳගෙන සිටි අය ඉදිරියේ අපහසුතාවකට පත් වෙන්න අකමැති වූ නිසාත් ඇගේ ඉල්ලීම ඉටු කිරීමට ඔහු පියවර ගත්තේය.+ 27  එහෙයින් ඔහු ආරක්ෂක භටයෙකුව වහාම පිටත් කරමින් යොහන්ගේ හිස ගෙන එන මෙන් ඔහුට අණ කළේය. ඔහු සිරගෙයට ගොස් යොහන්ගේ හිස ගසා දැමුවේය.+ 28  පසුව එය තැටියක තබා තරුණියට ගෙනැවිත් දෙන ලදි. තරුණිය එය ඇගේ මවට දුන්නාය.+ 29  සිදු වූ දේ යොහන්ගේ ගෝලයන්ට ආරංචි වූ විට ඔවුහු ඇවිත් ඔහුගේ මළ සිරුර රැගෙන සොහොන් ගෙයක තැන්පත් කළහ.+ 30  මේ අතර යේසුස්ගේ නියෝජිතයන්* දොළොස්දෙනා ඔහු ඉදිරියට පැමිණ, තමන් කළ සියල්ල ගැනද තමන් ඉගැන්වූ සියල්ල ගැනද ඔහුට දැන්වූහ.+ 31  ඔහු ඔවුන්ට, “එන්න, අපි පාළු තැනකට යමු.+ අපිට පුළුවන් ටිකකට විවේක ගන්න”+ කියා කීවේය. මන්ද බොහෝදෙනෙක් ඔවුන් වටා සිටි නිසා ඔවුන්ට කෑම කන්නවත් විවේකයක් තිබුණේ නැත.+ 32  එහෙයින් විවේක සුවයෙන් සිටිය හැකි පාළු තැනකට ඔවුහු ඔරුවෙන් පිටත්ව ගියහ.+ 33  ඔවුන් එසේ පිටත්ව යනවා ජනයා දුටුවේය. ඒ ගැන තවත් බොහෝදෙනෙකුටද ආරංචි විය. සියලු නුවරවලින් පැමිණි ඔවුහු දුව ගොස් ඔවුන්ටත් කලින් ඒ පාළු තැනට පැමිණියෝය.+ 34  ඔහු ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන්+ සිටි නිසා ඔහුට ඔවුන් ගැන මහත් අනුකම්පාවක් ඇති විය.+ එහෙයින් ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය.+ 35  සවස් වූ නිසා ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් මෙසේ කීවෝය. “දැන් හොඳටම හවස් වෙලා.+ අපි ඉන්නෙත් හරිම පාළු තැනක. 36  සෙනඟට කෑම අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ට දැන් යන්න දුන්නොත් හොඳයි. එතකොට ළඟපාත ගම් පළාත්වලට ගිහින් කෑමට මොනව හරි දෙයක් මිල දී ගන්න ඔවුන්ට පුළුවන්.”+ 37  එවිට ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔවුන්ට මොනව හරි කන්න දෙන්න ඔබට බැරිද?” එවිට ඔවුහු, “ඔවුන් සියලුදෙනාටම අවශ්‍ය රොටි ගන්න අපට ඩිනාරි* දෙසීයක් විතර අවශ්‍ය වෙයි. අපි කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ” කියා ඇසූහ.+ 38  ඔහු “ඔබ ළඟ රොටි කීයක් තිබෙනවාද කියලා ගිහින් බලන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහු ඇවිත්, “රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් තිබෙනවා”+ කියා කීවෝය. 39  එවිට ඔහු සියලුදෙනාට කණ්ඩායම් වශයෙන්+ තණබිම මත+ ඉඳගන්න කියා කීවේය. 40  ඔවුහු සියදෙනා බැගින්ද පනස්දෙනා බැගින්ද කණ්ඩායම් වශයෙන් ඉඳගත්හ.+ 41  ඔහු රොටි පහද මසුන් දෙදෙනාවද ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවමින් යාච්ඤාවක් කළේය.+ ඉන්පසු ඔහු රොටි කැබලිවලට කඩා,+ ඒවා සෙනඟට ලබා දීම සඳහා ගෝලයන්ට දුන්නේය. ඔහු මසුන් දෙදෙනාවත් එසේ බෙදා දුන්නේය. 42  කෑම කා තෘප්තියට පත් වීමට සියලුදෙනාටම හැකි විය.+ 43  ඉන්පසු ඔවුහු ඉතුරු කෑමවලින් කූඩ දොළහක් පුරවාගත්හ. මීට අමතරව තවත් මසුන් ප්‍රමාණයක්ද ඉතිරිව තිබිණ. 44  රොටි කෑ අය අතරෙහි පුරුෂයන් පන්දහසක් සිටියෝය.+ 45  තමන්ට පෙර එගොඩ පිහිටි බෙත්සයිදාවට වහාම යන්න කියා යේසුස් ගෝලයන්ට අණ කළේය. ඒ අතරතුරේදී ඔහු රැස්ව සිටි සමූහයාවද පිටත් කර යැව්වේය.+ 46  ඔහු ඔවුන්ගෙන් සමුගෙන යාච්ඤා කිරීමේ අදහසින් කන්දකට ගියේය.+ 47  අඳුර වැටෙමින් තිබෙද්දී ගෝලයන් සිටි ඔරුව තිබුණේ ගලීල මුහුද මැදය. ඒ අවස්ථාවේදී ඔහු සිටියේ තනිව ගොඩබිමෙහිය.+ 48  තදින් සුළං හැමූ නිසා ගෝලයන් ඉතා අමාරුවෙන්+ ඔරුව පදවන ආකාරය යේසුස් දුටුවේය. රාත්‍රියේ හතරවෙනි යාමයේදී* පමණ ජලය මත ඇවිදගෙන ගිය ඔහු, ඔවුන් අසලට ගියේය. පෙනෙන විදිහට ඔහු ඇවිදගෙන ගියේ ඔවුන්ව පසු කරගෙන යෑමේ අදහසිනි. 49  ඔහු ජලය මත ඇවිදිනවා දුටු ඔවුහු, “ඒ අවතාරයක්” කියා සිතා කෑගැසූහ.+ 50  ඔහුව එසේ දුටු ඔවුන් තුළ ඇති වුණේ මහත් කැලඹීමකි. නමුත් ඔහු වහාම ඔවුන් සමඟ කතා කර, “භය වෙන්න එපා. මේ මමයි. දැන් ධෛර්යවත් වෙන්න” කියා පැවසුවේය.+ 51  ඔහු ඔවුන් සිටි ඔරුවට නැංගේය. සුළඟද නැවතුණේය. එය දුටු ඔවුහු බොහෝ සෙයින් පුදුමයට පත් වූහ.+ 52  ඔවුන් එසේ පුදුමයට පත් වූයේ රොටි රැගෙන ඔහු කළ ආශ්චර්යයෙන් වටහාගත යුතු දේ ඔවුන් වටහාගෙන නොසිටි නිසාය. ඒ දේ තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත.+ 53  ඔවුහු එගොඩ වී ගෙනසරෙත් වෙතට පැමිණ, ඒ අසල ඔරුව බැන්දෝය.+ 54  ඔවුන් ඔරුවෙන් ගොඩ බැස්ස වහාම ඒ අවට සිටි මිනිස්සු ඔහුව හඳුනාගත්තෝය. 55  ඔවුහු ප්‍රදේශය පුරා දුව ගොස් රෝගාතුරව සිටින අයව යහන් මත තබාගෙන ඔහු සිටිනවා කියා ආරංචි වූ ස්ථානයට උසුලාගෙන එන්න පටන්ගත්හ. 56  ඔහු යම් කිසි ගම්මානයකට හෝ නුවරකට හෝ ගම්බද පළාතකට+ හෝ පැමිණි විට ඔවුහු ලෙඩුන්ව රැගෙන වෙළඳපොළවල් අසල රැස් වූහ. ඔවුහුද ඔහුගේ පිට වස්ත්‍රයේ වාටිය පමණක්වත්+ අල්ලන්න+ ඉඩ දෙන මෙන් ඔහුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ. එය ඇල්ලූ සියලුදෙනාම සුවය ලැබූහ.+

පාදසටහන්

මූ.අ., “පැළඳ නොගන්නා.”
මතෙ 10:14හි පාදසටහන බලන්න.
හෝ, “යවනු ලැබූවන්.”
ග්‍රෑම් 3.85ක් බර රෝමානු රිදී කාසියක්.
මතෙ 14:25හි පාදසටහන බලන්න.