මතෙව් 19:1-30

19  යේසුස් ඒ වචන කියා නිම කළ පසු ගලීලයෙන් පිටත් වී යොර්දාන් ගඟෙන් එතෙර පිහිටි යුදයේ මායිම්වලට ගියේය.+  මහත් සමූහයෝද ඔහු පසුපස ගියහ. ඔහු එහිදී ඔවුන්ව සුව කළේය.+  එවිට පරිසිවරුද ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් ඔහු ළඟට ආවෝය. ඔවුහු, “කුමන හේතුවක් නිසා හෝ මිනිසෙකු තම බිරිඳව දික්කසාද කිරීම නීත්‍යනුකූල දෙයක්ද”+ කියා ඔහුගෙන් ඇසූහ.  ඔහු ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඒ ගැන කලින් කියවා නැද්ද? දෙවි මිනිසුන්ව සෑදූ කාලයේදී ඔහු ඔවුන්ව පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් සෑදුවා.+  ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී+ තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’+ කියාද ලියා තිබෙනවා.  එසේ ඔවුන් එතැන් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”+  එවිට ඔවුහු, “එසේනම් අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළ හැකි බව මෝසෙස් පැවසුවේ ඇයි”+ කියා ඔහුගෙන් ඇසූහ.  ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඉඩ දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති පිරිසක්+ වන නිසයි. නමුත් පටන්ගැන්මේදී එවැනි දෙයක් සිදු වූයේ නැහැ.+  මා ඔබට කියන්නේ, වේශ්‍යාකම* නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ* යෙදෙන බවයි.”+ 10  ගෝලයෝද, “මිනිසෙකු හා තම බිරිඳ අතර තත්වය එසේනම් විවාහ නොවී සිටීම වඩාත් හොඳයි”+ කියා ඔහුට කීවෝය. 11  එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “හැමදෙනාම එම වදන් පිළිගන්නේ නැහැ. විවාහ නොවී සිටීමේ දීමනාව ඇති අය පමණයි එය පිළිගෙන ඒ සඳහා ඉඩකඩ සලසාගන්නේ.+ 12  උපතේදී උරුම වූ යම් දෝෂයක් නිසා+ සමහරු විවාහ නොවී සිටියි. තවත් අය විවාහ නොවන්නේ ඔවුන්ව මිනිසුන් විසින් නපුංසකයන් බවට පත් කර ඇති නිසයි. තවත් පිරිසක් විවාහ නොවී සිටින්නේ ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමටයි. එවැනි සේවයක් කිරීමට ඉඩකඩ සලසාගන්නා පුද්ගලයාට එසේ කළ හැකියි.”+ 13  ඉන්පසු කුඩා දරුවන්ව යේසුස් ළඟට ගෙනෙන ලදි. එසේ කළේ යේසුස් කුඩා දරුවන්ට ආශීර්වාද කර ඔවුන් ගැන යාච්ඤා කරන පිණිසය. නමුත් එය දුටු ගෝලයෝ ඒ දෙමාපියන්ට තදින් කතා කළෝය.+ 14  එනමුත් යේසුස්, “එහෙම කරන්න එපා. මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි”+ කියා කීවේය. 15  ඔහු ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කර එතැනින් පිටත්ව ගියේය.+ 16  මේ අතර එක්තරා තැනැත්තෙක් ඔහු වෙතට ඇවිත්, “ගුරුතුමනි, සදාකාල ජීවනය ලබාගන්න මා කළ යුත්තේ කුමනාකාරයේ යහපත් දේවල්ද”+ කියා ඔහුගෙන් ඇසුවේය. 17  ඔහු ඔහුට මෙසේ කීවේය. “යහපත් දේ කුමක්ද කියා ඔබ මගෙන් අසන්නේ ඇයි? යහපත්ව සිටින්නේ එක් තැනැත්තෙක් පමණයි.+ නමුත් ඔබට ජීවනය ලබාගන්න ඕනෑ නම් දිගටම දෙවිගේ ආඥා පවත්වන්න.”+ 18  එවිට ඔහු, “ඒ කුමන ආඥාද”+ කියා ඔහුගෙන් ඇසුවේය. යේසුස් පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න.+ අනාචාරයේ* නොහැසිරෙන්න.+ සොරකම් නොකරන්න.+ බොරු සාක්ෂි නොදෙන්න.+ 19  ඔබේ පියාටද ඔබේ මවටද ගෞරව කරන්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ කියා පැවසුවේය. 20  එවිට තරුණයා, “මම ඒ සියලුම දේවල් පිළිපදිනවා. මම තව කළ යුත්තේ කුමක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. 21  යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවය සම්පූර්ණ කරන්න ඕනෑ නම් ගොස් ඔබ සතු දේවල් විකුණා එයින් ලැබෙන මුදල් දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගත හැකි වෙයි.+ ඉන්පසු ඇවිත් මගේ අනුගාමිකයෙක් වන්න.”+ 22  තරුණයා එය ඇසූ විට තමන්ට බොහෝ ධන සම්පත් තිබූ නිසා ශෝකයෙන් යන්න ගියේය.+ 23  යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කර දෙයක් වන බවයි.+ 24  නැවතත් මා ඔබට කියන්නේ, ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසු බවයි.”+ 25  ගෝලයෝ එය අසා, “එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කාටද”+ කියා මහත් පුදුමයකින් ඇසූහ. 26  යේසුස් ඔවුන්ගේ මුහුණු දෙස බලා, “මිනිසුන්ට නම් ඒ දේ කොහොමටවත් අත් කරගන්න බැහැ. නමුත් දෙවිට සියල්ල කළ හැකියි”+ කියා ඔවුන්ට පැවසුවේය. 27  එවිට පේතෘස්, “බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද”+ කියා ඔහුගෙන් ඇසුවේය. 28  යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+ 29  මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.+ 30  “නමුත් ප්‍රථමයන්ව සිටි බොහෝදෙනෙක් අන්තිමයන් බවටත් අන්තිමයන් ප්‍රථමයන් බවටත් පත් වෙයි.+

පාදසටහන්

එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.
මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.
මතෙ 19:9හි දෙවෙනි පාදසටහන බලන්න.