ලූක් 9:1-62

9  යේසුස් ගෝලයන් දොළොස්දෙනාව කැඳවා, සියලු භූතයන් දුරු කිරීමටත් ලෙඩ රෝග සුව කිරීමටත් බලය ඔවුන්ට ලබා දුන්නේය.+  ඔහු දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට හා රෝගීන්ව සුව කිරීමට ඔවුන්ව පිටත් කර යැවූ විට,  ඔවුන්ට මෙසේ කීවේය. “ගමනට කිසිම දෙයක් ගෙනි යන්න එපා. සැරයටියක්වත් කෑම මල්ලක්වත් රොටිවත් රිදී කාසිවත් අමතර ඇතුල් වස්ත්‍රයක්වත්* රැගෙන යන්න එපා.+  යම් ප්‍රදේශයකට ගොස් නිවසකට ඇතුල් වූ පසු එහි සිටින කෙනෙක් ඔබව පිළිගත්තොත් එම නිවසේ නවාතැන් ගන්න. එම ප්‍රදේශයේ සේවය කර අවසන් වන තුරුම එහි නැවතී සිටින්න.+  යම් කිසි තැනක ජනයා ඔබව පිළිගන්නේ නැත්නම් ඔබ එම නුවරින් පිට වී යන විට+ ඔබේ පාදවලින් දූවිලි ගසා දමන්න.* එසේ කළ යුත්තේ ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කළ බවට සාක්ෂියක් ලෙසයි.”+  එවිට ඔවුහු තම ගමන ආරම්භ කරමින් ඒ ප්‍රදේශය පුරාම ගමින් ගමට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කළෝය. එසේ යන අතරේ ඔවුහු රෝගීන්වද සුව කළෝය.+  සිදු වෙමින් තිබුණු ඒ සෑම දෙයක් ගැනම දේශාධිපති හෙරොද්ට ආරංචි වූ අතර ඔහු සිටියේ මහත් කැලඹීමකිනි. මන්ද සමහරු යොහන් මරණයෙන් නැඟිට ඇති බවත්,+  තවත් අය එලියා පැමිණ ඇති බවත් තවත් සමහරු පුරාණයේ සිටි අනාගතවක්තෘවරයෙකු මරණයෙන් නැවත නැඟිට ඇති බවත් පවසමින් සිටියෝය.  එහෙයින් හෙරොද් මෙසේ පැවසුවේය. “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි.+ ඒත් මේ පුද්ගලයා කවුද? මට ඔහු ගැන බොහෝ දේවල් ආරංචි වෙනවා.” එහෙයින් යේසුස්ව දැක බලා ගැනීමට ආශාවක් ඔහු තුළ ඇති විය.+ 10  යේසුස්ගේ නියෝජිතයන්* දොළොස්දෙනා ආපසු පැමිණි විට තමන් කළ සියල්ල යේසුස්ට විස්තර කළෝය.+ එවිට ඔහු ඔවුන්ව කැඳවාගෙන ඔවුන් සමඟ තනිව කාලය ගත කිරීමට+ බෙත්සයිදාව නම් නුවරට ගියේය. 11  නමුත් එය දැනගත් සමූහයා ඔහු පසුපස ගියෝය. ඔහු ඔවුන්ව කාරුණිකව පිළිගෙන දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන්ට කතා කරමින්+ ඔවුන් අතර විවිධ අසනීපවලින් පෙළී සිටි අයව සුව කළේය.+ 12  අඳුර වැටීගෙන එද්දී දොළොස්දෙනා ඔහු ළඟට ඇවිත්, “අපි ඉන්නේ පාළු තැනකයි. සෙනඟට දැන් යන්න දුන්නොත් හොඳයි. එතකොට අවට ගම් පළාත්වලට ගොස් කෑම සහ නවාතැන් හොයාගන්න ඔවුන්ට පුළුවන් වෙයි” කියා ඔහුට කීවෝය.+ 13  නමුත් ඔහු, “ඔවුන්ට මොනව හරි කන්න දෙන්න ඔබට බැරිද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහුද, “අප ළඟ තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණයි.+ මේ විශාල සමූහයට කෑම දෙන්න නම් අපිට ගිහිල්ලා කෑම මිල දී ගන්න වෙයි”+ කියා පිළිතුරු දුන්නෝය. 14  ඔවුන් සමඟ සිටි සමූහයා අතර පුරුෂයන් පන්දහසක් පමණ සිටියෝය.+ එවිට යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. “සියලුදෙනාව පනස්දෙනා බැගින් කණ්ඩායම්වලට බෙදා ඔවුන්ට කෑමට ඉඳගන්න කියා කියන්න.”+ 15  ඔවුන් පැවසූ දේට කීකරු වෙමින් සියලුදෙනාම ඉඳගත්තෝය. 16  එවිට ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙස බලා යාච්ඤා කර, රොටි කැබලිවලට කඩා, සමූහයා අතරේ බෙදා දීමට ගෝලයන්ට දුන්නේය.+ 17  සියලුදෙනාම කෑම කා තෘප්තිමත් වූහ. ඉතුරු වූ කෑමවලින් කූඩ දොළහක් පුරවාගැනීමටද ඔවුන්ට හැකි විය.+ 18  පසු අවස්ථාවක ඔහු තනිව යාච්ඤා කරමින් සිටියදී, ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට පැමිණියෝය. එවිට ඔහු, “සමූහයා මම කවුරුන් කියලද කියන්නේ” කියා ඔවුන්ගෙන් ප්‍රශ්න කළේය.+ 19  ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ. “සමහරුන් නම් ඔබට කියන්නේ යොහන් බව්තීස්ත කියලයි. තවත් අය ඔබට එලියා කියාත් තවත් සමහරුන් පුරාණයේ සිටි අනාගතවක්තෘවරයෙක් නැවත ඇවිත් කියාත් කියනවා.”+ 20  එවිට ඔහු, “ඔබ හිතන්නේ මම කවුරු කියාද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. පේතෘස් පිළිතුරු දෙමින්,+ “දෙවි විසින් එවා ඇති ක්‍රිස්තුස් ඔබයි”+ කියා කීවේය. 21  ඒ ගැන කිසිවෙකුට නොකියන්න කියා+ ඔවුන්ට තදින් අවවාද කළ ඔහු, 22  ඔවුන්ට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රයාට බොහෝ දුක් වේදනාවලට මුහුණ දෙන්න සිදු වෙයි. වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඔහුව ප්‍රතික්ෂේප කරයි. ඉන්පසුව ඔහුව මරා දමයි.+ නමුත් තුන්වෙනි දින ඔහුව නැවත නැඟිටුවයි.”+ 23  නැවතත් ඔහු සියලුදෙනාට මෙසේ පැවසුවේය. “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර+ තමන්ගේ වධකණුව* රැගෙන දිගටම එනම්, දිනපතා මා අනුව එන්න අවශ්‍යයි.+ 24  යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමැත්තෙන් සිටියොත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය නැති කරගන්නාට එය ගලවාගන්න හැකි වෙයි.+ 25  ඇත්තෙන්ම මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් ඔහුගේ ජීවිතය නැති වුණොත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? එසේ නැත්නම් ඔහුට අන් සියල්ල අහිමි වුණොත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ 26  යමෙක් මගේ ගෝලයෙක් වෙන්නත් මා පවසන දේවල් පිළිගන්නත් ලැජ්ජා වුණොත් මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන්ගේ තේජසින් වැජඹෙමින්, ශුද්ධ දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඒ තැනැත්තාව පිළිගන්න මනුෂ්‍ය පුත්‍රයාත් කැමති වන්නේ නැහැ.+ 27  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, දෙවිගේ රාජ්‍යය ගැන යමක් දකින්න පෙර මෙතැන සිටගෙන සිටින්නන්ගෙන් සමහරදෙනෙක් කිසිවිටකත් මරණය අද්දකින්නේ නැති බවයි.”+ 28  ඇත්තෙන්ම ඒ දේ පවසා දවස් අටකට පමණ පසු පේතෘස්, යොහන් සහ යාකොබ් සමඟ යේසුස් යාච්ඤා කිරීමට කන්දකට ගියේය.+ 29  ඔහු යාච්ඤා කරමින් සිටියදී ඔහුගේ මුහුණේ පෙනුම+ සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහුගේ වස්ත්‍ර දිදුලන සුදකින් බැබළුණේය.+ 30  එවිට ඔහු සමඟ මිනිසුන් දෙදෙනෙක් කතා කරමින් සිටියෝය. ඒ දෙදෙනා නම් මෝසෙස් සහ එලියාය.+ 31  ඔවුන්ගෙන් මහත් තේජසක් විහිදුණු අතර අනාවැකිවල සඳහන් ආකාරයට යෙරුසලමේදී ඔහු මෙලොවින් සමුගන්නා ආකාරය ගැන ඔවුහු කතා කළෝය.+ 32  මේ අතර පේතෘස් සහ ඔහු සමඟ සිටි දෙදෙනා නිදාගෙන සිටියෝය. නමුත් ඔවුහු අවදි වූ විට යේසුස්ගේ තේජස+ සහ ඔහු සමඟ සිටි මිනිසුන් දෙදෙනාව දුටුවෝය. 33  එම මිනිසුන් දෙදෙනා යේසුස්ගෙන් වෙන් වී යද්දී පේතෘස් තමා පවසන්නේ කුමක්ද කියා තේරුම් නොගෙන යේසුස්ට මෙසේ කීවේය. “ගුරුතුමනි, මේ අවස්ථාවේදී මෙතැන සිටින්න ලැබීම අපට ලොකු සතුටක්. අපි මෙහි කූඩාරම් තුනක්, එකක් ඔබටත් එකක් මෝසෙස්ටත් එකක් එලියාටත් සාදන්නම්.”+ 34  පේතෘස් කතා කරමින් සිටියදී වලාකුළක් ඇවිත් ඔවුන්ව වසාගත්තේය. ඒ දේ සිදු වූ විට ඔවුන් තුළ මහත් බියක් ඇති විය.+ 35  එවිට, “මේ මගේ පුත්‍රයාය. මා තෝරාගෙන තිබෙන්නේ මොහුවයි.+ මොහුට සවන් දෙන්න”+ කියා පැවසූ හඬක්+ ඒ වලාකුළ අතරින් නික්ම ආවේය. 36  ඒ හඬ ඇසුණායින් පසු ඔවුන් සමඟ සිටියේ යේසුස් පමණි.+ තමන් දුටු දේවල් ගැන කිසි දෙයක් ඒ දවස්වලදී ඔවුහු කා සමඟවත් කතා කළේ නැත.+ 37  ඊළඟ දින ඔවුන් කන්දෙන් බැස ආ විට යේසුස්ව හමු වීමට විශාල පිරිසක් රැස්ව සිටියෝය.+ 38  එවිට ඒ පිරිස අතරින් මිනිසෙක් මහත් හඬකින් මෙසේ කීවේය. “ගුරුතුමනි, මේ ඉන්නේ මගේ එකම+ පුතායි. අනේ මගේ පුතාට අනුකම්පා කරන්න.+ 39  භූතයෙක්+ ඔහුට ආවේශ වෙනවා. එහෙම වෙද්දී ඔහු එකපාරටම කෑගහලා පෙණ දමමින් බිම පෙරළෙනවා. භූතයා මගේ දරුවාගෙන් ලෙහෙසියෙන් පිට වෙන්නෙත් නැහැ. පිට වුණායින් පස්සේ දරුවාට හොඳටම තුවාලයි. 40  භූතයාව දුරු කරන්න කියා ඔබේ ගෝලයන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන්ට ඒ දේ කරන්න බැරුව ගියා.”+ 41  එවිට යේසුස් මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා තුළ කිසිම විශ්වාසයක් නැහැ. ඔබ නොමඟ ගිය පරම්පරාවක්.+ මා ඔබ සමඟ තව කොපමණ කල් සිටින්නද? ඔබ ගැන තව කොපමණ කල් ඉවසන්නද? ඔබේ පුතාව මෙහෙට ගෙනෙන්න.”+ 42  දරුවාව ගෙන එන විට භූතයා ඔහුව බිම දැමුවේය. එවිට දරුවා තදින් ගැහෙන්න පටන්ගත්තේය. නමුත් යේසුස් භූතයාට තදින් කතා කර දරුවාව භූතයාගෙන් නිදහස් කළේය. ඉන්පසු ඔහු දරුවාව ඔහුගේ පියාට භාර දුන්නේය.+ 43  ඒ අවස්ථාවේදී දෙවිගේ මහත් බලය+ දුටු සියලුදෙනා පුදුම වූහ. යේසුස් කළ දේ දුටු සියලුදෙනා පුදුමයෙන් බලාගෙන සිටියදී ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. 44  “මා දැන් කියන මේ දේවල් හොඳින් සිතේ තබාගන්න. මන්ද මනුෂ්‍ය පුත්‍රයාව මිනිසුන් අතට පාවා දෙන්න නියමිතයි.”+ 45  ඔහු පැවසූ ඒ දේ තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි විය. එයට හේතුව නම් ඒ වචනවල තේරුම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන්ට ඒ අවස්ථාවේදී නොතිබීමයි. එමෙන්ම ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න අසන්නත් ඔවුහු බිය වූහ.+ 46  තවත් අවස්ථාවක තමන් අතරේ උතුම්ම තැනැත්තා වන්නේ කවුද කියා ඔවුන් අතරේ වාදයක් ඇති විය.+ 47  ඔවුන්ගේ සිතේ තිබෙන දේවල් දැනගෙන සිටි යේසුස් කුඩා දරුවෙකුව තමන් ළඟට කැඳවා,+ 48  “මා නිසා* යමෙකු මෙම කුඩා දරුවා මෙන් සිටින කෙනෙකුව පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.+ ඇත්තෙන්ම උතුම් වන්නේ+ ඔබ සියලුදෙනා අතරේ නිහතමානීව සේවය කරන තැනැත්තායි”+ කියා ඔවුන්ට කීවේය. 49  එවිට යොහන්, “ගුරුතුමනි, භූතයන් දුරු කරන මිනිසෙක් අපිට හමු වුණා.+ ඔහු එය කරන්නේ ඔබේ නාමයෙන්. ඔහු අපට එකතු වුණේ නැති නිසා+ අපි ඔහු කරන දේ නතර කරන්න උත්සාහ කළා”+ කියා කීවේය. 50  එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔහුව නතර කරන්න එපා. මන්ද කෙනෙක් ඔබට විරුද්ධව වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඔහු සිටින්නේ ඔබට පක්ෂවයි.”+ 51  යේසුස් ස්වර්ගයට යෑමට දවස් ළඟා වූ විට+ ඔහු යෙරුසලම බලා යෑමට කිසිම බියක් සැකක් නොමැතිව පියවර ගත්තේය. 52  එහෙයින් ඔහු තමන්ට කලින් පණිවිඩකරුවන් කිහිපදෙනෙකු යැව්වේය. ඔවුහු ගොස් යේසුස්ට අවශ්‍ය දේවල් සූදානම් කිරීමේ අදහසින් සමරිතානුවන්ගේ ගමකට ඇතුල් වූහ.+ 53  නමුත් යේසුස් පැමිණි විට ඔහුව පිළිගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. එයට හේතුව වූයේ ඔහු යෙරුසලම බලා යෑමට පියවර ගත් නිසාය.+ 54  එය දුටු යාකොබ් සහ යොහන් යන ගෝලයෝ,+ “ස්වාමීනි, අපි ස්වර්ගයෙන් ගින්නක් එවන මෙන් ඉල්ලා+ ඔවුන්ව විනාශ කර දමනවාට කැමතිද” කියා ඇසූහ. 55  නමුත් ඔහු ඔවුන් දෙස බලා ඔවුන් පැවසූ දේ ගැන ඔවුන්ට තදින් අවවාද කළේය. 56  එතැනින් ඔවුහු වෙනත් ගමකට ගියෝය. 57  ඔවුන් මඟ දිගේ යද්දී, එක් මිනිසෙක් යේසුස්ට මෙසේ පැවසුවේය. “මම කැමතියි ඔබ සමඟ ඕනෑම තැනකට යන්න.”+ 58  යේසුස් ඔහුට මෙසේ කීවේය. “හිවලුන්ට ගුහා තිබුණත් අහසේ කුරුල්ලන්ට ලගින්න තැන් තිබුණත් මනුෂ්‍ය පුත්‍රයාට තම හිස තබන්නවත් තැනක් නැහැ.”+ 59  පසුව ඔහු, “මගේ අනුගාමිකයෙක් වන්න” කියා වෙන කෙනෙකුට කීවේය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “මගේ පියාව තැන්පත් කරන තුරු මට කල් දෙන්න.”+ 60  එවිට යේසුස්, “මිය ගිය අයව තැන්පත් කරන්න මිය ගිය අයටම ඉඩහරින්න.+ ඔබ ගොස් දෙවිගේ රාජ්‍යය ගැන සෑම තැනම ප්‍රකාශ කරන්න”+ කියා ඔහුට කීවේය. 61  තවත් කෙනෙක්, “ස්වාමීනි, මම කැමතියි ඔබව අනුගමනය කරන්න. නමුත් මුලින්ම මගේ නිවසේ සාමාජිකයන්ගෙන් සමුගන්න මට අවසර දෙනවාද”+ කියා ඇසුවේය. 62  යේසුස් ඔහුට මෙසේ කීවේය. “නඟුලකට අත තැබූ පසු+ ආපසු හැරී බලන කෙනෙක්+ දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි.”

පාදසටහන්

මූ.අ., “වස්ත්‍ර දෙකක්.”
මතෙ 10:14හි පාදසටහන බලන්න.
හෝ, “යවනු ලැබූවන්.”
උපග්‍ර. 6 බලන්න.
හෝ, “මාගේ නාමයෙන්.”