මාක් 13:1-37

13  ඔහු දේවමාලිගාවෙන් පිටත් වී යද්දී ඔහුගේ එක් ගෝලයෙක්, “ගුරුතුමනි, බලන්න මේ අලංකාර ගොඩනැඟිලි දිහා! එහි ගල් කොයි තරම් විශාලද” කියා ඔහුට පැවසුවේය.+  එවිට යේසුස්, “ඔබ දකින මේ මහත් ගොඩනැඟිලි+ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙහි තිබෙන සෑම ගලක්ම+ බිමට හෙළනු ලබනවා”+ කියා පැවසුවේය.  පසුව ඔහු ඔලීව කන්දේ දේවමාලිගාව පෙනෙන ස්ථානයක වාඩි වී සිටියේය. එවිට පේතෘස්,+ යාකොබ්, යොහන් සහ අන්දෘ පමණක්+ ඔහු ළඟට ඇවිත් ඔහුගෙන් මෙසේ ඇසූහ.  “ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඒ වගේම මේ සියල්ල අවසන් වීමට නියමිත කාලය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?”+  එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “කාටවත් ඔබව නොමඟ යවන්න ඉඩ දෙන්න එපා.+  ‘මමයි ක්‍රිස්තුස්’ කියමින් බොහෝදෙනෙක් මාගේ නාමයෙන් ඇවිත් බොහෝදෙනෙකුව නොමඟ යවයි.+  විවිධ තැන්වල සිදු වන යුද්ධ ගැන ඔබට ආරංචි වෙයි. නමුත් භය වෙන්න එපා. ඒ දේවල් සිදු විය යුතුයි. නමුත් සියල්ලේ අවසානය එය නොවෙයි.+  “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි.+ එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා+ හා ආහාර හිඟකම් ඇති වෙයි.+ නමුත් ඒ සියල්ල දරුණු විපත්තිවල ආරම්භයක් පමණයි.+  “ඒ අතරම ඔබ කල්පනාකාරීව සිටිය යුතුයි. මන්ද මිනිසුන් ඔබව උසාවිවලට භාර දෙයි.+ සිනගෝගවලදී ඔබට තළයි.+ ඔබට ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියෙහි පෙනී සිටින්නත් සිදු වෙයි. ඒ සෑම දෙයක්ම ඔබට විඳින්න සිදු වන්නේ මා නිසයි. එය මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.+ 10  අවසානයට කලින්*+ සියලු ජාතීන්ට ශුභාරංචිය+ දේශනා කළ යුතුයි. 11  මිනිසුන් ඔබව අත්අඩංගුවට ගන්නා විට කුමක් කියන්නද කියා සිතමින් කනස්සලු වෙන්න එපා.+ ඒ පැයේදී ඔබ කතා කළ යුතු දේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබට කියා දෙයි. මන්ද ඔබ කතා කරන්නේ ඔබේ හැකියාවෙන් නොව දෙවිගේ බලයේ උපකාරයෙනුයි.+ 12  සහෝදරයා තම සහෝදරයාවත් පියා තම දරුවාවත් මරණයට පත් කිරීම සඳහා+ සතුරන් අතට භාර දෙයි. දරුවන්ද තම දෙමාපියන්ට විරුද්ධ වී ඔවුන්ව මරා දැමීමට සතුරන් අතට භාර දෙයි.+ 13  ඔබ මගේ නාමය දරන නිසා සියල්ලන් ඔබට වෛර කරයි.+ නමුත් ගැලවීම ලබන්නේ+ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.+ 14  “නමුත් විනාශය සිදු කරන+ පිළිකුල් දෙය,+ නොතිබිය යුතු තැනක තිබෙනවා ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි),+ යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි.+ 15  වහල්තලයේ සිටින්නා පහතට ඇවිත් තම ගෙයින් කිසිවක් ගැනීම සඳහා එයට ඇතුල් නොවිය යුතුයි.+ 16  කෙතෙහි සිටින තැනැත්තා තමාගේ පිට වස්ත්‍රය ගැනීමට ආපසු හැරී නොයා යුතුයි.+ 17  ඒ දවස්වලදී ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් මොන තරම් දුෂ්කරතා ඇති වේවිද!+ 18  ඔබට පලා යන්න සිදු වන දවස ශීත කාලයේදී උදා නොවන්න කියා නොකඩවා යාච්ඤා කරන්න.+ 19  මන්ද දෙවි පොළොව සෑදූ කාලයේ පටන් මේ වන තුරු සිදු නොවූ නැවතත් කිසිදා සිදු නොවන+ පීඩාවක්+ ඒ දවස්වලදී ඇති වෙයි. 20  ඇත්තෙන්ම යෙහෝවා දෙවි+ ඒ දවස් කෙටි කළේ නැත්නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ. නමුත් ඔහු ඒ දවස් කෙටි කරන්නේ+ තමන් තෝරාගත්+ අය නිසයි.+ 21  “කෙනෙක්, ‘බලන්න! ක්‍රිස්තුස් මෙතැනය,’ ‘අන්න! ඔහු එතැනය’+ කියා ඔබට කිව්වොත් එය විශ්වාස නොකරන්න.+ 22  මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද පැමිණ,+ හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ යැවීමට+ ලකුණු හා පුදුම දේවල් පෙන්වයි.+ 23  පරෙස්සම් වන්න.+ මම ඔබට කල්තියාම මේ ගැන අනතුරු අඟවා තිබෙනවා.+ 24  “ඒ දවස්වලදී එම පීඩාවෙන් පසුව හිරු අඳුරු වෙයි. සඳෙන් කිසි එළියක් දකින්න නොලැබෙයි. 25  තාරකා අහසින් වැටෙයි. අහසේ සියලු බලයන්ද සොලවනු ලබයි.+ 26  එවිට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයෙන්ද තේජසින්ද වලාකුළුවලින් එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+ 27  එවිට ඔහු දේවදූතයන්ව එවා තමා වෙනුවෙන් තෝරාගත් අයව+ පොළොවෙන්ද ස්වර්ගයෙන්ද එනම්, සෑම තැනකින්ම රැස් කරයි.+ 28  “අත්තික්කා ගසෙන් මේ දේ ඉගෙනගන්න. එහි අලුතින් වැඩුණු අතුවලින් දලු ලියලන විට ගිම්හානය ළඟ බව ඔබ දන්නවා.+ 29  එලෙසම මා පැවසූ මේ දේවල් සිදු වෙනවා ඔබ දකින විට ඔහුගේ පැමිණීම ළඟ බව එනම්, දොරකඩ අසලටම පැමිණ ඇති බව දැනගන්න.+ 30  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසිසේත් පහව නොයන බවයි.+ 31  අහසත්+ පොළොවත් පහව ගියත් මගේ වචන+ පහව යන්නේ නැහැ.+ 32  “නමුත් මා පැවසූ ඒ දේවල් සිදු වන දවස හෝ වේලාව* කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් එය දන්නේ නැහැ. ඒ ගැන දන්නේ පියාණන් පමණයි.+ 33  නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා+ අවදිව, සෝදිසියෙන් සිටින්න.+ 34  තම නිවසින් පිට වී පිටරට+ සංචාරයක් සඳහා ගිය මිනිසෙකු ගැන සිතා බලන්න. මුලින්ම ඒ මිනිසා තම දාසයන්ට යම් බලතල දී එකිනෙකාට තම තමන් කළ යුතු වැඩ කොටස් පවරා දුන්නා. ඉන්පසු ඔහු සෝදිසියෙන් සිටින්න කියා දොරටු පාලකයාට අණ දී තම ගමන සඳහා පිටත් වුණා. 35  ඒ හා සමානව ඔබත් සෝදිසියෙන් සිටින්න.+ නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද* නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ.+ 36  ඔහු හදිසියෙන්ම එන විට ඔබ නිදා සිටිනවා ඔහුට දකින්න ඉඩ තියන්න එපා.+ ඔබ සෝදිසියෙන් සිටිය යුත්තේ ඒ නිසයි. 37  මා ඔබට කියන දේ සියලුදෙනාටම කියන්න කැමතියි. එනම් සෝදිසියෙන් සිටින්න.”+

පාදසටහන්

මූ.අ., “මුලින්ම.”
මූ.අ., “පැය.”
ග්‍රීකවරු හා රෝමවරු මුර කිරීමට රාත්‍රිය කොටස් හතරකට බෙදූහ. “කුකුළා හඬලන වේලාව” යනු මධ්‍යම රාත්‍රියේ සිට පෙ.ව. 3 දක්වා කාලයයි.