Skip to content

පටුනට යන්න

ප්‍රේමණීය සේවකයෙක් වූ ලූක්

ප්‍රේමණීය සේවකයෙක් වූ ලූක්

ප්‍රේමණීය සේවකයෙක් වූ ලූක්

වර්ෂය ක්‍රිස්තු වර්ෂ 65. මේ වන විට පාවුල් සිටින්නේ රෝමයේ සිරභාරයේයි. වැඩි කල් නොගොස් ඔහුට මරණ දණ්ඩනය ලැබෙන්න ඉඩ තිබෙනවා. ශුභාරංචිය දේශනා කිරීම නිසා සිරභාරයේ සිටින පාවුල් තමාගේ මිත්‍රයෙකු යයි හඳුන්වා දීම කොතරම් අනතුරුදායකද කියා ලූක් හොඳින්ම දන්නවා. නමුත් මේ අසීරු අවස්ථාවේදී පාවුල්ගේ සහයට ඉන්නේ ලූක් පමණයි!—2 තිමෝති 4:6, 11.

ලූක් යන නම බයිබලය කියවන අයට නම් හොඳට පුරුදුයි. ඒ ඔහුගේ නම දරන සුවිශේෂය බයිබලයේ අඩංගු වී තිබෙන නිසයි. ලූක් පාවුල් සමඟ බොහෝ දුර ඈත ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයටද හවුල් වුණා. එමනිසා පාවුල් ඔහුව හැඳින්වූයේ “ප්‍රේමණීය වෛද්‍යවරයා” සහ “හවුල් සේවක” හැටියටයි. (කොලොස්සි 4:14; ෆිලෙමොන් 24) බයිබලයේ ලූක් ගැන බොහෝ තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. එමෙන්ම ඔහුගේ නම සඳහන් වන්නෙත් අවස්ථා තුනකදී පමණයි. නමුත් ඔහු ගැන සොයාගෙන ඇති තොරතුරු සලකා බලද්දී, පාවුල් කළාක් මෙන් ලූක්ගේ විශ්වාසවන්තභාවය අගය කිරීමට ඔබත් පෙලඹෙයි.

ලේඛකයෙක් සහ දේශනා කරන්නෙක්

ලූක් සහ ක්‍රියා යන පොත් දෙකෙන්ම අමතන්නේ තෙයෝෆිලස් නමැති පුද්ගලයාව නිසා මේ පොත් දෙකම ලියනු ලැබුවේ ලූක් බව පැහැදිලියි. (ලූක් 1:3; ක්‍රියා 1:1) යේසුස්ගේ දේවසේවය හා සම්බන්ධ ක්‍රියාවන් තමන් දැක ඇති බවක් ලූක් සඳහන් කරන්නේ නැහැ. නමුත් තම සුවිශේෂයට තොරතුරු එක්රැස් කරගත්තේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් බවත් ඒවා “සියල්ල මුල පටන් නිවැරදිව සොයා බලා” ඇති බවත් ඔහු පවසනවා. (ලූක් 1:1-3) ඉන් පෙනෙන්නේ ලූක් යේසුස්ගේ අනුගාමිකයෙක් වී තිබෙන්නේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසින් පසුව බවයි.

සමහරුන් විශ්වාස කරන්නේ ලූක් ඉපදුණේ සිරියාවේ අන්තියෝකිය නගරයේ බවයි. ඊට හේතුව වශයෙන් ඔවුන් ක්‍රියා පොතේ සඳහන් එක් වාර්තාවක් සැලකිල්ලට ගන්නවා. එය නම් සුදුසුකම් ලත් පුරුෂයන් සත්දෙනෙකුව තෝරාගැනීමේ සිද්ධියයි. තෝරාගත් අයගෙන් එක්කෙනෙකුව පමණක් “අන්තියෝකියේ විසූ” යන විස්තරය සහිතව ලූක් සඳහන් කර තිබෙන අතර අනෙක් අය පැමිණියේ කොහෙන්ද කියා ඔහු සඳහන් කර නැහැ. නමුත් එසේ අන්තියෝකිය ගැන ලූක් විශේෂයෙන් සඳහන් කර තිබෙන්නේ එය ඔහුගේ උපන් නගරය නිසා යයි අපට ස්ථිරවම කියන්න බැහැ.—ක්‍රියා 6:3-6.

ලූක් තමාගේ නම ක්‍රියා පොතේ සඳහන් කර නැහැ. ඒ වෙනුවට ඔහු යම් තොරතුරු වාර්තා කර ඇත්තේ “අපි,” “අපේ” සහ “අපට” යන වචන යොදාගෙනයි. ඉන් ඇඟවෙන්නේ එහි සඳහන් යම් සිද්ධීන්වලට ඔහුත් පෞද්ගලිකවම සම්බන්ධ වී ඇති බවයි. පාවුල් සහ ඔහුගේ සහයකයන් සුළු ආසියාව හරහා ගිය ගමන් මඟ ගැන ලූක් වාර්තා කරන්නේ මේ ආකාරයටයි. “ඔවුහු මිසියාව පසු කර ත්‍රෝවසට පැමිණියෝය.” එක් මිනිසෙක් “මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න” කියා කන්නලව් කරන ආකාරය පාවුල් දර්ශනයකින් දුටුවේ මේ ප්‍රදේශයේදීයි. ඉන්පසුව සිදු වූ දේ ලූක් වාර්තා කරන්නේ මේ ආකාරයටයි. “ඔහු දර්ශනය දුටු විගස, ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙස දෙවි අපව කැඳවූ බව තේරුම්ගෙන, මැසිඩෝනියාවට යන්න අපි සූදානම් වුණෙමු.” (ක්‍රියා 16:8-10) ලූක් මුලින්ම “ඔවුන්” කියා පවසා පසුව “අපි” කියන වචනය භාවිත කරනවා ඔබ දුටුවාද? ඉන් අඟවන්නේ පාවුල් සහ ඔහුගේ පිරිසට ලූක් එක්වූයේ ත්‍රෝවසයේදී බවයි. ඉන්පසු ලූක්, පාවුල් සමඟ නැවතත් දේවසේවයේ හවුල් වන්නේ වෙනත් අවස්ථාවකදීයි. ඒ ෆිලිප්පියේදීයි. එහි කළ සේවය ගැන ලූක් වාර්තා කරන ආකාරයෙන් එය අපට පැහැදිලි වෙනවා. “සබත් දවසේදී, යාච්ඤා කිරීමට ස්ථානයක් එහි ඇතැයි අපට සිතුණු බැවින්, අපි දොරටුවෙන් පිට ගඟක් අද්දර පිහිටි තැනකට ගියෙමු. එහිදී අපි ඉඳගෙන, රැස්ව සිටි ස්ත්‍රීන්ට කතා කරන්න පටන්ගත්තෙමු.” ඔවුන් කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙස ලිදියා නමැති ස්ත්‍රියත් ඇගේ නිවසේ සියලුදෙනාත් දෙවිට කැප වී බව්තීස්ම වුණා.—ක්‍රියා 16:11-15.

ෆිලිප්පියේදී මේ අයට පීඩාවලට මුහුණ දීමටත් සිදු වුණා. ඊට හේතුව වුණේ පාවුල් විසින් භූත ආත්මයක් වැහී සිටි සේවිකාවක්ව සුව කිරීමයි. ඇය “පේන කීමෙන්” ඇගේ ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා තිබුණා. නමුත් දැන් ඇයට ඒ බලය අහිමි වූ නිසා තමන්ට තවදුරටත් ලාභ ලබන්න නොහැකි බව තේරුම්ගත් ඒ ස්වාමිවරුන් පාවුල්ව සහ සීලස්ව අල්ලා පහර දී හිරගෙට දැමුවා. නමුත් පෙනෙන විදිහට ලූක්ව අත්අඩංගුවට ගත්තේ නැහැ. පාවුල් සහ සීලස් නිදහස ලැබුවායින් පසුව “ඔවුහු සහෝදරයන්ව හමු වී ඔවුන්ව දිරිගන්වා පිටත්ව ගියෝය” කියා ලූක් වාර්තා කරනවා. (ක්‍රියා 16:16-40; 20:5, 6) මෙහිදී ලූක් “ඔවුහු” කියා සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් සමඟ ඔහු ඒ ගමන නොගිය බවයි. ඒ වෙනුවට දේශනා කිරීමේ වැඩකටයුතු බලාගැනීම සඳහා සමහරවිට ඔහු ෆිලිප්පියේ නතර වෙන්න ඇති.

තොරතුරු රැස් කිරීම

ලූක් තමාගේ සුවිශේෂයට සහ ක්‍රියා පොතට තොරතුරු එක්රැස් කරගත්තේ කොහෙන්ද? ලූක්, පාවුල් සහ පිරිස සමඟ ෆිලිප්පියේ සිට යෙරුසලමට පැමිණි අතර එහිදී පාවුල්ව නැවතත් අත්අඩංගුවට ගත්තා. නමුත් යෙරුසලමට යන අතරතුරදී පාවුල් සහ පිරිස කෙටි කලකට නවාතැන් ගත්තේ සිසේරියේ එවැන්ජලිස්ත ෆිලිප්ගේ නිවසේයි. (ක්‍රියා 20:6; 21:1-17) මුල් කාලයේදී සමාරිය ප්‍රදේශයේ සිදු කළ දේශනා කටයුතු පිළිබඳ තොරතුරු ලූක්, ෆිලිප්ගෙන් ලබාගත්තා කියා සිතන්න පුළුවන්. ෆිලිප් ඒ ප්‍රදේශයේ දේශනා කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කළ කෙනෙක් නිසා ලූක්ට බොහෝ තොරතුරු ඔහු ලබා දෙන්න ඇති. (ක්‍රියා 8:4-25) ඊට අමතරව ලූක් තොරතුරු ලබාගත්තේ වෙන කාගෙන්ද?

පාවුල්ට සිසේරියේ අවුරුදු දෙකක් සිරභාරයේ සිටින්න සිදු වුණා. මේ අතරවාරයේදී ලූක් තමන් ලියූ සුවිශේෂය සඳහා හොඳින් ගවේෂණය කර තොරතුරු ලබාගත්තා කියා සිතන්න පුළුවන්. එමෙන්ම යේසුස්ගේ ජීවිතය හා පවුල් පසුබිම පිළිබඳ තොරතුරු නුදුරින් පිහිටි යෙරුසලමෙන් ලබාගැනීමටත් ඔහුට අවස්ථාව තිබුණා. ලූක්ගේ සුවිශේෂයේ විශේෂත්වය වන්නේ අනෙකුත් සුවිශේෂවල සඳහන්ව නැති යේසුස්ගේ ජීවිතය හා දේවසේවය සම්බන්ධ බොහෝ සිද්ධීන් වාර්තා වී තිබීමයි. ලූක් පමණක් වාර්තා කරන එවැනි සිද්ධීන් 82ක් එහි තිබෙන බව එක් විශාරදයෙක් වාර්තා කළා.

යොහන් බව්තීස්තගේ උපත පිළිබඳව තොරතුරු ඔහුගේ මව වන එලිසබෙත්ගෙන්ද යේසුස් පිළිබඳ තවත් තොරතුරු ඔහුගේ මව වන මරියාගෙන්ද ලබාගන්න ඇති කියා සිතන්න පුළුවන්. (ලූක් 1:5-80) ප්‍රාතිහාර්යමය ලෙස මසුන් අසු වූ සිද්ධිය ගැන සමහරවිට පේතෘස්, යාකොබ් හෝ යොහන් ලූක්ට පවසන්න ඇති. (ලූක් 5:4-10) එමෙන්ම යහපත් සමරිතානුවරයා, පටු දොරටුව, නැති වූ කාසිය, අකීකරු පුත්‍රයා, සහ ධනවතා හා ලාසරුස් පිළිබඳ යේසුස්ගේ උපමා සඳහන් වී තිබෙන්නෙත් ලූක්ගේ වාර්තාවේ පමණයි.—ලූක් 10:29-37; 13:23, 24; 15:8-32; 16:19-31.

ලූක් එදා සිටි මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් සහ ගතිගුණවලට හොඳ අවධානයක් දුන් කෙනෙක්. යේසුස් උපන් අවස්ථාවේදී මරියා රැගෙන ආ පූජාව, වැන්දඹුවගේ පුත්‍රයාව නැඟිටුවීම, ස්ත්‍රියක් යේසුස්ගේ පාදවල තෙල් ආලේප කිරීම වැනි සිද්ධීන්ද ලූක් වාර්තා කර තිබෙනවා. එමෙන්ම යේසුස්ට ආගන්තුක සත්කාර කළ ස්ත්‍රීන් ගැනද මාර්තා සහ මරියා යේසුස්ට දැක්වූ ආගන්තුක සත්කාරය ගැනද ඔහු සඳහන් කරනවා. බොහෝ කාලයක් පුරා දෙකට නැමී සිටි ස්ත්‍රිය, දිය උදර රෝගය වැළඳී සිටි මිනිසා, කුෂ්ඨ රෝගීන් දසදෙනා වැනි අයව සුව කිරීම ගැන මෙන්ම මිටි පුද්ගලයෙක් වූ සකේවුස් යේසුස්ව දැක බලා ගන්න ගසකට නැග්ග සිද්ධියත් යේසුස්ගේ පැත්තකින් වධ කණුවේ ඇණ ගසා සිටි අපරාධකරුවා පෙන්වූ පසුතැවිල්ල ගැනත් ලූක් වාර්තා කරනවා.—ලූක් 2:24; 7:11-17, 36-50; 8:2, 3; 10:38-42; 13:10-17; 14:1-6; 17:11-19; 19:1-10; 23:39-43.

යේසුස්ගේ උපමාවේ සඳහන් පහර කා වැටී සිටි පුද්ගලයාට සමරිතානුවරයා කළ ප්‍රතිකාරය ගැන ලූක් සඳහන් කරන ආකාරය සැලකිල්ලට ගන්න. එහි සඳහන් ලෙස සමරිතානුවරයා විෂබීජ නාශකයක් හැටියට වයින්ද, වේදනාව සමනය කිරීමේ ඖෂධයක් හැටියට තෙල්ද වත් කර තුවාල, රෙදි පටියකින් වෙළනු ලැබුවා. ලූක් වෛද්‍යවරයෙක් වූ නිසා මේ තොරතුරු සියල්ලම වාර්තා කිරීමට උනන්දු වූ බව මින් පැහැදිලියි.—ලූක් 10:30-37.

පාවුල්ගේ සහයට

පාවුල් සිසේරියේ සිරභාරයේ සිටිද්දී ‘ඔහුගේ [පාවුල්ගේ] ආශ්‍රිතයන්ගෙන් කිසිවෙකුට ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්න’ කියා රෝම ආණ්ඩුකාර ෆීලික්ස් නියෝග කළා. (ක්‍රියා 24:23) පාවුල්ව බැහැදකින්න පැමිණි ආශ්‍රිතයන් අතර ලූක්ද සිටියා කියා කිව හැකියි. පාවුල් අසනීප වූ අවස්ථාවලදී ඔහුට යම් ප්‍රතිකාර කිරීම, මෙම “ප්‍රේමණීය වෛද්‍යවරයා” කළ උපස්ථාන අතරින් එකක් වන්න ඇති.—කොලොස්සි 4:14; ගලාති 4:13.

ටික කලකට පසුව පාවුල් සීසර්ගේ තීන්දුව ඉල්ලූ නිසා ඔහුව රෝමයට යවන්න එවකට සිටි ආණ්ඩුකාර ෆෙස්ටස් තීරණය කළා. ඉතාලිය දක්වා යන මේ දීර්ඝ ගමනේදීද ලූක් විශ්වාසවන්තව පාවුල් ළඟින්ම සිටියා. ඒ ගමන අතරතුරේදී ඔවුන්ගේ නැව මුහුණ පෑ අනතුර ගැනද නොමැකෙන වාර්තාවක් ලූක් ක්‍රියා පොතේ සඳහන් කර තිබෙනවා. (ක්‍රියා 24:27; 25:9-12; 27:1, 9-44) පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ සිටියදී පවා දෙවිගේ බලය ඇතිව ලිපි ගණනාවක්ම ලියූ අතර ඉන් දෙකකම ලූක් ගැනත් සඳහන් කර තිබෙනවා. (ක්‍රියා 28:30; කොලොස්සි 4:14; ෆිලෙමොන් 24) ලූක් ක්‍රියා පොත ලියනු ලැබුවේ පාවුල් සිරගත වී සිටි මේ අවුරුදු දෙක අතරතුර බව පැහැදිලියි.

පාවුල් සිටියේ සිර අඩස්සියේ වුණත් දේවරාජ්‍යය හා සම්බන්ධ කටයුතුවල කාර්යබහුලව සිටියා. ඒ සඳහා පාවුල්ව බැහැදැකීමට පැමිණි ඔහුගේ අනිකුත් සහයකයන් වන තිකිකස්, අරිස්තාකස්, මාක්, ජස්ටස්, එපෆ්‍රස් සහ ඔනේසිමස් යන අයවද ලූක්ට එහිදී හමුවන්න ඇති.—කොලොස්සි 4:7-14.

තමාගේ මරණය ආසන්න බව දෙවන වරට සිරගත කළ අවස්ථාවේදී පාවුල්ට දැනුණා. ඒ කාලයේදී පාවුල් සමඟ එකට සේවය කළ සමහර අය ඔහුව හැර ගියත් ලූක් ඉතාමත් විශ්වාසවන්තව සහ ධෛර්යවන්තව පාවුල් ළඟින්ම සිටියා. එවැනි තත්වයක් හමුවේ ලූක්ගේ නිදහස පවා බොහෝ දුරට සීමා වෙන්න ඇති. සමහරවිට පාවුල්ගේ ලේකම් හැටියට කටයුතු කරන්නත් ලූක්ට සිදු වුණා විය හැකියි. “මා සමඟ සිටින්නේ ලූක් පමණි” යන පාවුල්ගේ වචනත් ලූක් වාර්තා කරන්න ඇති. ඉන් වැඩි කාලයක් යන්න කලින් පාවුල්ගේ හිස ගසා දමන්න ඇති කියා සිතිය හැකියි.—2 තිමෝති 4:6-8, 11, 16.

ලූක් කියන්නේ තමා ගැනවත් සලකන්නේ නැතිව නිහතමානීව කටයුතු කළ ක්‍රිස්තියානි ගෝලයෙක්. ලූක් වෛද්‍යවරයෙක් හැටියට තමාගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රසිද්ධියක් ලබන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට ජීවිතයේ ප්‍රධාන තැන දීමට ඔහු තීරණය කළා. එමනිසා අප සියලුදෙනාත් ලූක් මෙන් ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කිරීමටත් යටහත් පහත් ලෙස කටයුතු කරමින් දෙවිගේ නාමයට ගෞරවය ගෙන දෙන ආකාරයෙන් ක්‍රියා කිරීමටත් අධිෂ්ඨාන කරගනිමු.—ලූක් 12:31.

[19වන පිටුවේ කොටුව]

තෙයෝෆිලස් කියන්නේ කවුද?

ලූක් තමාගේ සුවිශේෂය මෙන්ම ක්‍රියා පොතද ලියන්නේ තෙයෝෆිලස් නමැති තැනැත්තාටයි. නමුත් ලූක්ගේ සුවිශේෂයේ ඔහුව අමතා තිබෙන්නේ “අති උත්තම තෙයොෆිලස්නි” කියායි. (ලූක් 1:3) “අති උත්තම” යන පදවි නාමය සාමාන්‍යයෙන් භාවිත කළේ රෝම අධිරාජ්‍යයේ උසස් නිලයක් දැරූ ඉතාම ධනවත් කෙනෙකුටයි. වරක් යුදයේ ආණ්ඩුකාර ෆෙස්ටස්ව, පාවුල් ඇමතුවෙත් ඒ ආකාරයටයි.—ක්‍රියා 26:25.

තෙයෝෆිලස් යේසුස් පිළිබඳව අසා තිබූ අතර තවත් තොරතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටි බව පෙනෙන්න තිබෙනවා. තෙයෝෆිලස්ට ‘වාචිකව උගන්වා තිබෙන දේවල සත්‍යතාව සම්පූර්ණයෙන්ම දැනගැනීමට’ තම සුවිශේෂයේ තොරතුරු උපකාරවත් වෙයි කියා ලූක් සිතුවා.—ලූක් 1:4.

ග්‍රීක විශාරදයෙක් වන රිචර්ඩ් ලෙන්ස්කි පවසන්නේ ලූක්, තෙයෝෆිලස්ව “අති උත්තම” යන පදවියෙන් අමතන විට ඔහු ක්‍රිස්තියානියෙකු බවට පත් වී නොසිටි බවයි. ඊට හේතුව හැටියට ඔහු සඳහන් කරන්නේ “එදා තිබූ ක්‍රිස්තියානි ලියවිලිවල කිසිම සහෝදරයෙකුව එවන් පදවියකින් ආමන්ත්‍රණය කර නැති” බවයි. නමුත් ලූක් පසුව ක්‍රියා පොත ලියන විට ඔහුව ඇමතුවේ “අති උත්තම තෙයෝෆිලස්” කියා නොව “තෙයෝෆිලස්නි” කියායි. (ක්‍රියා 1:1) ඒ අනුව විශාරද ලෙන්ස්කිගේ නිගමනය මෙයයි. “ලූක් තම සුවිශේෂය තෙයෝෆිලස්ට ලියන විට ඔහු ක්‍රිස්තියානි ගෝලයෙක් බවට පත් වී සිටියේ නැහැ. නමුත් ක්‍රියා පොත ලියා ඔහුට යවන විට ඔහු යේසුස්ගේ ගෝලයෙක් බවට පත්ව සිටියා.”