ලූක් 16:1-31

16  ඉන්පසු යේසුස් තම ගෝලයන්ට මෙසේද කීවේය. “එක්තරා ධනවත් මිනිසෙක් තම නිවසේ වැඩකටයුතු සේවකයෙකුට භාර දී තිබුණා.+ ඒ සේවකයා තමන්ගේ දේපොළ නැති නාස්ති කර දමනවා කියා ඒ මිනිසාට දැනගන්න ලැබුණා.+  ඒ නිසා ඔහු ඒ සේවකයාව කැඳවා, ‘ඔබට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒ නිසා ඔබට දී තිබෙන සියලු වගකීම් මම නැවත ගන්නවා. සෑම දෙයක්ම මට ආපසු භාර දෙන්න’+ කියා ඔහුට පැවසුවා.  එවිට සේවකයා මෙසේ සිතුවා. ‘මගේ ස්වාමියා+ මට පැවරූ සියලුම වගකීම්වලින් මාව පහ කරන්න යන නිසා මම දැන් මොනවද කරන්නේ? බිම කොටා වගා කරන්න තරම් ශක්තියක් මට නැහැ. අනික මට හිඟා කන්නත් බැහැ.  මට හොඳ අදහසක් ආවා. ඒ අනුව කටයුතු කළොත් මගේ වගකීම් මට අහිමි වුණත් මිනිස්සු මාව ඔවුන්ගේ නිවෙස්වලට පිළිගනීවි.’+  ඉන්පසු ඔහු තම ස්වාමියාට ණය වී සිටි අයව එක් එක් කෙනා බැගින් කැඳවා පළමු තැනැත්තාගෙන්, ‘ඔබ මගේ ස්වාමියාට කොච්චරක් ණයද’ කියා ඇසුවා.  ඔහු පිළිතුරු වශයෙන්, ‘ඔලීව තෙල් බාත්* සියයක්’ කියා පැවසුවා. එවිට සේවකයා, ‘ඔබේ ගනු දෙනුව සඳහන් ලියවිල්ල ගෙන ඉක්මන් කර පනහක් කියා ලියාගන්න’ කියා ඔහුට කිව්වා.  ඊළඟට ඔහු තව කෙනෙකුගෙන්, ‘ඔබ කොච්චරක් ණයද’ කියා ඇසුවා. ඔහු පැවසුවේ, ‘තිරිඟු කෝර්* සියයක්’ කියායි. ‘ඔබේ ගනු දෙනුව සඳහන් ලියවිල්ලේ අසූවක් කියා ලියාගන්න’ කියා සේවකයා ඔහුට කිව්වා.  නිවස භාරව සිටි සේවකයා අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු ඥානවන්තව කටයුතු කළ නිසා+ ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළා. ඇත්තෙන්ම ආලෝකයේ දරුවන්ට වඩා මෙම සමාජයේ ජීවත් වන අයට තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා.+  “මම ඔබට කියන්නේ, මෙලොවේදී ඔබ උපයන ධනයෙන්*+ මිතුරන් ඇති කරගන්න+ කියායි. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.+ 10  ඉතා සුළු කාරණයකදී විශ්වාසවන්තව කටයුතු කරන තැනැත්තා බැරෑරුම් කාරණාවලදීත් විශ්වාසවන්තව කටයුතු කරයි. ඉතා සුළු කාරණයකදී වංක ලෙස කටයුතු කරන තැනැත්තා බැරෑරුම් කාරණාවලදීත් වංක ලෙස කටයුතු කරයි.+ 11  ඒ නිසා ඔබ උපයාගත් ධනය පාවිච්චි කරන ආකාරයෙන් ඔබ විශ්වාසවන්ත කෙනෙක් බව ඔප්පු වන්නේ නැත්නම් ඔබට සැබෑ වූ ධනය භාර දෙන්නේ කවුද?+ 12  ඔබ වෙනත් කෙනෙකුට අයත් දේවල් විශ්වාසවන්තව රැකබලා ගත්තේ නැත්නම්+ ඔබට හිමි ත්‍යාගය දෙන්නේ කවුද? 13  නිවසක වැඩ කරන කිසිම සේවකයෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකු වෙනුවෙන් වැඩ කරන්න බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. ඒ හා සමානව දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.”+ 14  යේසුස් පැවසූ මේ සියල්ලට සවන් දෙමින් සිටි පරිසිවරු, මුදලට කෑදර අය වූ නිසා ඔහුව සමච්චලයට ලක් කළෝය.+ 15  එහෙයින් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මිනිසුන් ඉදිරියේ ධර්මිෂ්ඨයි කියා මවාපෑවත්+ ඔබේ සිත්වල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියා දෙවි දන්නවා.+ ඇත්තෙන්ම මිනිසුන් වැදගත් කියා සලකන දේවල් දෙවිට පිළිකුලක්.+ 16  “නීතියේ සඳහන් දේවල් සහ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් යොහන්ගේ කාලය දක්වා ප්‍රකාශ කළා.+ එතැන් පටන් ශුභාරංචියක් ලෙස ප්‍රකාශ කරන්නේ දෙවිගේ රාජ්‍යය ගැනයි. හැම ජාතියකටම අයත් මිනිසුන් එහි ආශීර්වාද ලබාගැනීමට මහත් වෑයමක් දරනවා.+ 17  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි ඇති සෑම අකුරකින් අංශුමාත්‍රයක් වුණත්+ ඉතා වැදගත් බව මතක තබාගන්න. 18  “තම බිරිඳව දික්කසාද කර වෙනත් ස්ත්‍රියක්ව විවාහ කරගන්නා පුරුෂයා අනාචාරයේ* යෙදෙනවා. තම පුරුෂයාගෙන් දික්කසාද වූ ස්ත්‍රියක්ව යම් කෙනෙක් විවාහ කරගත්තොත් ඔහුද අනාචාරයේ යෙදෙන කෙනෙක් ලෙස සැලකිය යුතුයි.+ 19  “එක්තරා ධනවත් මිනිසෙක්+ සිටියා. ඔහු පුරුදු වී සිටියේ මිල අධික දම් පැහැති වස්ත්‍ර හා ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම් අඳින්නයි. සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ඔහු දිනපතාම කල් ගෙව්වේ මහත් ප්‍රීතියකින්.+ 20  මේ අතර ලාසරුස් නම් හිඟන්නෙකුව නිතිපතාම ඔහුගේ දොරටුව අසලට ගෙනැවිත් තබනු ලැබුවා. ඔහුගේ ඇඟ පුරාම වණ හටගෙන තිබුණා. 21  ඔහු සිතාගෙන සිටියේ තමාට ධනවතාගේ මේසයෙන් වැටෙන දේවලින් තම කුසගින්න නිවාගත හැකි බවයි. මේ අතර බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණ ලෙව කෑවා. 22  යම් කලක් ගත වූ පසු එම හිඟන්නා මිය ගියා.+ එවිට දේවදූතයන් ආබ්‍රහම්+ අසලම*+ සිටීමට ඔහුව රැගෙන ගියා. “මේ අතර ධනවතාත් මිය ගිය+ නිසා ඔහුවත් තැන්පත් කරනු ලැබුවා. 23  මිනී වළෙහි දුක් විඳිමින් සිටි ඔහු+ ඉහළ බැලූ විට දුර ඈත සිටි ආබ්‍රහම්වත් ඔහු අසලම සිටින ලාසරුස්වත් දුටුවා. 24  ඔහු හඬ නඟා මෙසේ පැවසුවා. ‘ආබ්‍රහම්, මගේ පියාණෙනි,+ මට අනුකම්පා කරන්න. මම මේ ගිනි ජාලාවේ සිටින්නේ මහත් වේදනාවෙන්.+ ඒ නිසා ලාසරුස්ගේ ඇඟිල්ල වතුරේ තවරා මගේ දිව සිසිල් කිරීමට+ ඔහුව මා ළඟට එවන්න.’ 25  එවිට ආබ්‍රහම් මෙසේ පිළිතුරු දුන්නා. ‘දරුව, ඔබ ජීවතුන් අතර සිටියදී ඔබ ගත කළ සැපවත් ජීවිතය ඔබට මතක නැද්ද? නමුත් ලාසරුස් ගත කළේ ඉතා දුක්බර ජීවිතයක්. දැන් ඔහුට සැනසීම ලැබිලා. නමුත් දැන් ඔබ සිටින්නේ මහත් වේදනාවකිනුයි.+ 26  ඒ විතරක් නොවෙයි, ඔබත් අපත් අතර ඇති පරතරය+ ඉතා විශාලයි.+ ඒ නිසා ඔබ ළඟට එන්න අප කැමති වුණත් ඒ දේ කරන්න බැහැ. ඒ වගේම ඔබ සිටින තැනින් කිසිවෙකුට අප සිටින තැනට එන්නත් බැහැ.’+ 27  ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නා. ‘එසේනම් පියාණෙනි, ලාසරුස්ව මගේ පියාගේ ගෘහයට යවන මෙන් මම ඔබෙන් ඉල්ලනවා. 28  මට සහෝදරයන් පස්දෙනෙක් සිටිනවා. ඔහු ඔවුන්ව හොඳින් දැනුවත් කළොත් ඔවුන්ට මේ වධ වේදනා විඳින ස්ථානය උරුම වෙන්නේ නැහැ.’ 29  නමුත් ආබ්‍රහම් මෙසේ පැවසුවා. ‘ඔවුන්ට මෝසෙස්+ සහ අනාගතවක්තෘවරුන්+ සිටිනවා. ඔවුන්ට පුළුවන් ඒ අයට සවන් දෙන්න.’+ 30  එවිට ඔහු, ‘ආබ්‍රහම්, මගේ පියාණෙනි, එහෙම වෙන්නේ නැහැ. නමුත් මිය ගිය කෙනෙක් ඔවුන් ළඟට ගියොත් ඔවුන් අනිවාර්යයෙන්ම පසුතැවිලි වෙයි’ කියා පැවසුවා. 31  නමුත් ආබ්‍රහම් පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මෝසෙස්ට+ සහ අනාගතවක්තෘවරුන්ට ඔවුන් සවන් දෙන්නේ නැත්නම් කෙනෙක් මරණයෙන් නැඟිට්ටත් ඔහුව විශ්වාස කිරීමට ඔවුන් පෙලඹෙන්නේ නැහැ.’”

පාදසටහන්

මිනුම් ඒකකයකි. බාත් එකක් ලීටර් 22ක් පමණ වේ.
මිනුම් ඒකකයකි. කෝර් එකක් තිරිඟු කිලෝග්‍රෑම් 170ක් පමණ වේ.
මූ.අ., “අධර්මිෂ්ඨකමින් උපයාගත් ධනයෙන්.”
මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.
මූ.අ., “ආබ්‍රහම්ගේ ළපැත්තේ.”