Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාක්ෂිකරුවෙකු නොවන නෑදෑයෙකු හෝ මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීම සුදුසුද?

විවාහ මංගල්‍යයක් ඉතාම ප්‍රීතිමත් අවස්ථාවක්. ක්‍රිස්තියානීන්ද එවැනි අවස්ථාවලදී සතුටු වීමට කැමැත්තක් දක්වනවා. සාක්ෂිකරුවෙකු නොවන නෑදෑයෙකු හෝ මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගි වෙනවාද නැද්ද යන කාරණයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් යම් ගැටලුවලට මුහුණ දීමට ඉඩ තිබෙනවා. මෙහිදී සාක්ෂිකරුවන් නොවන දෙමාපියන් යටතේ සිටින බව්තීස්ම ලත් දරුවෙකුට නම් එම කාරණයේදී ඔහුගේ දෙමාපියන්ට යටත් වීමට සිදු වෙනවා. (එෆීස 6:1-3) නමුත් පල්ලියේ පවත්වන විවාහ මංගල්‍යයකට තමන් සමඟ සහභාගි වෙන්න කියා සාක්ෂිකරුවෙකු නොවන ස්වාමිපුරුෂයෙක් ක්‍රිස්තියානි බිරිඳකගෙන් ඉල්ලා සිටියොත් ඇය කුමක් කළ යුතුද? ආගමික වතාවත්වලට හා ඒ හා බැඳි චාරිත්‍රවලට කිසිම ආකාරයකින් සම්බන්ධ නොවීමේ අධිෂ්ඨානයෙන් යුතුව එහි යෑමට ඇය තීරණය කරන්න ඉඩ තිබෙනවා.

ඊට සහභාගි වෙනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක් වුවත් එම තීරණය ගැනීමේදී ඔවුන් දෙවිට වග කිව යුතු බවත් ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති සලකා බැලිය යුතු බවත් සෑම ක්‍රිස්තියානියෙක්ම මතක තබාගත යුතුයි.

ක්‍රිස්තියානීන් වන අපේ එකම ආශාව වන්නේ අප ගන්නා සෑම තීරණයකදීම යෙහෝවා දෙවිව සතුටට පත් කිරීමයි. යේසුස් පැවසුවේද ‘දෙවිට නමස්කාර කරන්නන් සත්‍යතාවෙන් යුතුව ඔහුට නමස්කාර කළ යුතුය’ කියායි. (යොහන් 4:24) එමනිසා බයිබල් ඉගැන්වීම්වලට පටහැනි චාරිත්‍ර වාරිත්‍රවලට හා යාච්ඤා මෙහෙයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොහෙත්ම හවුල් වන්නේ නැහැ.—2 කොරින්ති 6:14-17.

එමෙන්ම තමාගේ තීරණය අන් අයටත් බලපෑ හැකි බව ක්‍රිස්තියානියෙක් තේරුම්ගන්නවා. ඔබ එම උත්සවයට ගියා කියා සිතන්න. ඔබ පල්ලියේ පවත්වන මංගල උත්සවයට ගියත් එහි කෙරෙන චාරිත්‍රවලට හවුල් වන්නේ නැහැ. එවිට ඔබේ නෑදෑයන් ඒ ගැන අමනාපයට පත් වෙයිද? තවත් පැත්තක් ගැන සිතන්න. එවැනි මංගල උත්සවයකට සහභාගි වීමෙන් ඔබට ගැටලුවක් සිදු නොවන බවත් එසේ වීමට ඉඩ නොදෙන බවත් ඔබේ පවුලේ සාමාජිකයන් පවසනවා. එමෙන්ම ගැටලුවක් සිදු නොවන බවට ඔබටත් විශ්වාසයි. නමුත් ඔබේ සෙසු නමස්කාරකයන් ඉන් බාධාවට පත් වෙයිද? එය ඔවුන්ගේ හෘදය සාක්ෂියට කෙසේ බලපායිද? (රෝම 14:13) ඒ ගැනත් කල්පනා කර බැලීම ඉතාම ඥානවන්තයි.

මෙවැනි මංගල උත්සවවලදී වෙනත් අභියෝගවලටද මුහුණ දීමට අපට සිදු විය හැකියි. උදාහරණයක් හැටියට, යුවළගේ යහළුවා හෝ යෙහෙළිය හැටියට පෙනී සිටින්න ආරාධනාවක් ලැබුණා යයි සිතන්න. එසේ නැත්නම් මංගල්‍යයේ සිදු කෙරෙන සියලුම චාරිත්‍රවලට හවුල් වීමට සාක්ෂිකරුවෙක් නොවන ඔබේ ස්වාමිපුරුෂයා කැමැත්තෙන් සිටිනවා කියා සිතන්න. එවැනි අවස්ථාවලදීත් කල්පනාකාරී වීම සුදුසුයි. එය නිකම්ම ලියාපදිංචි කිරීමක් වැනි රජයේ නිලධාරියෙක් ඉදිරිපිට කෙරෙන දෙයක් නම් එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ.

නමුත් විවාහ මංගල්‍යයක් ආගමික ස්ථානයක පවත්වන විටදී හෝ පූජකයෙක් විසින් එය සිදු කරන විටදී, එසේ නැතහොත් විවාහ මංගල්‍යය කුමන ස්ථානයක පැවැත්වුවත්, ඊට විවිධ ආගමික වතාවන් ඇතුළත් වනවා නම් ඒ කාරණා ගැන බැරෑරුම්ව සිතිය යුතුයි. එම කාරණා සලකා බැලීමෙන් පසු බයිබල් ප්‍රතිපත්ති කඩ නොකිරීම සඳහාත් නව යුවළ හා නෑදෑ හිතමිතුරන්ව අපහසුතාවයට පත් විය හැකි අවස්ථා මඟ හරවාගැනීම සඳහාත් එම උත්සවයට සහභාගි නොවීමට ඔබ තීරණය කරන්න පුළුවන්. (හිතෝපදේශ 22:3) අනෙක් අතට ඔබ ඊට සහභාගි වෙන්න තීරණය කරනවා නම් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඔබ හවුල් වන්නේ සහ නොවන්නේ කුමන දේවලටද කියා ඔවුන්ට කාරුණිකව පහදා දිය හැකියි.

සියලුම කාරණා කිරා මැන බැලුවායින් පසු, ආගමික චාරිත්‍රවලට හවුල් නොවී මංගල උත්සවයට පමණක් සහභාගි වීමට සමහර ක්‍රිස්තියානීන් තීරණය කරන්න පුළුවන්. අනිත් අතට එසේ සහභාගි වීමෙන් තමන්ගේ ඇදහිල්ලට තර්ජනයක් විය හැකි තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙයි කියා සිතන ක්‍රිස්තියානියෙකු ඊට නොයන්න තීරණය කරන්නත් ඉඩ තිබෙනවා. විවාහ මංගල්‍යට සහභාගි නොවී පසුව පැවැත්වෙන ප්‍රිය සාදයට සහභාගි වීමට කෙනෙක් තීරණය කළත් “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” අදිටන් කරගත යුතුයි. (1 කොරින්ති 10:31) මෙවැනි තීරණ ගැනීමේදී එකිනෙකා තම තමාට තිබෙන ‘වගකීම් නමැති බර උසුලන්න’ අවශ්‍යයි. (ගලාති 6:5) ඔබ කුමන තීරණයක් ගත්තත්, දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමේ වටිනාකම කිසි මොහොතක අමතක කරන්න එපා.