1 කොරින්ති 10:1-33

10  සහෝදරයෙනි, අපගේ මුතුන්මිත්තන්ට සිදු වූ දේ ඔබ අමතක කරනවාට මා කැමති නැත. වලාකුළක් ඔවුන් සියලුදෙනාටම ඉහළින් පිහිටා තිබිණ.+ එලෙසම ඔවුහු මුහුද මැදින් ගමන් කර,+  ඒ වලාකුළ හා මුහුද මාර්ගයෙන් මෝසෙස්ව අනුගමනය කළ අය ලෙස බව්තීස්ම වූහ.+  සියලුදෙනාම දෙවිගෙන් ලැබූ ආහාරය භුක්ති වින්දෝය.+  ඔවුහු දෙවිගෙන් ලැබූ ජලයද පානය කළෝය.+ ඔවුන් ජලය පානය කළේ දෙවි ලබා දුන් පර්වතයෙන්ය.+ ඔවුන්ට ඒ පර්වතය+ සෑමවිටම උපකාරයක් විය. ඒ පර්වතයෙන් නියෝජනය වූයේ ක්‍රිස්තුස්වය.+  නමුත් ඒ අයගෙන් බොහෝදෙනෙකුට දෙවිගේ අනුමැතිය ලැබුණේ නැත.+ එහෙයින් ඔවුහු පාළුකරයේදීම මිය ගියෝය.+  එම සිදුවීම්වලින් අපට පාඩමක් ඉගෙනගත හැකියි. ඔවුන් හානිකර දේවලට ආශා කළ ලෙස අපත් හානිකර දේවලට ආශා කරන අය නොවිය යුතුයි.+  ලියවිලිවල සඳහන් ආකාරයට, “සෙනඟ ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.”+ ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් සමහරුන් කළා සේ අප රූපවලට වඳින අය නොවිය යුතුයි.+  ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+  යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+ 10  ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+ 11  ඔවුන්ට සිදු වූ ඒ දේවලින් අපට පාඩමක් ඉගෙනගත හැක. ඒවා ලියනු ලැබුවේ මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වන අපට+ අනතුරු ඇඟවීමක් ලෙසය.+ 12  කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.+ 13  වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න.+ නමුත් දෙවි විශ්වාසවන්තය.+ එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත.+ මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි.+ එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ. 14  මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+ 15  මා ඔබට කතා කරන්නේ ඔබට හොඳ වටහාගැනීමේ හැකියාවක් තිබෙන බව සිතාගෙනය.+ එහෙයින් මා කියන දේ ගැන ඔබටම තීරණයක් ගත හැකියි. 16  අප දෙවිට ස්තුති කර අතිනත යවන ස්තුති කිරීමේ කුසලානයෙන්+ අදහස් කරන්නේ කුමක්ද? එයින් අප ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් ප්‍රයෝජන ලබන ආකාරය අදහස් වන්නේ නැද්ද? අප කඩා අතිනත යවන රොටියෙන්+ අදහස් කරන්නේ කුමක්ද? එයින් ක්‍රිස්තුස්ගේ ශරීරයෙන් අප ප්‍රයෝජන ලබන ආකාරය අදහස් වන්නේ නැද්ද?+ 17  එදා භාවිත කළේ එක රොටියක්ය. අප සියලුදෙනා ඒ එක රොටියෙන් කන නිසා+ අප බොහෝදෙනෙකු සිටියත්+ අපගෙන් සෑදෙන්නේ එකම ශරීරයයි.+ 18  උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟ ගැන සලකා බලන්න.+ එදා ඔවුන් පූජා කළ දේ ඔවුන් ආහාරයට ගත් විට ඔවුන් පූජාසනයට හවුල් වුණා කියා පැවසිය හැක.+ 19  මා එසේ පවසන්නේ දේවතා රූපයකට පූජා කළ දෙයකට හෝ දේවතා රූපයකට යම් වටිනාකමක් තිබෙන නිසාද?+ 20  නැත. මා කියන්නේ වෙනත් ජාතීන්ට අයත්ව සිටින මිනිසුන් යමක් පූජා කරන විට ඔවුන් ඒ පූජාව කරන්නේ දෙවිට නොව භූතයන්ට බවය.+ එහෙයින් ඔබ භූතයන් සමඟ හවුල් වෙනවාට මම කැමති නැත.+ 21  ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත්+ භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. “යෙහෝවා දෙවිගේ මේසයට”+ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන. 22  එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද? 23  ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත් ඒ සෑම දෙයකින්ම ප්‍රයෝජනයක් ලැබෙයි කියා කිව නොහැක.+ එලෙසම ඕනෑම දෙයක් කිරීමට අවසර තිබුණත්+ ඒ සෑම දෙයකින්ම අන් අය දිරිගැන්වීමක් ලබන බව කිව නොහැක.+ 24  සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා+ අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.+ 25  මස් විකුණන ස්ථානයක තිබෙන ඕනෑම දෙයක් කෑමට ගන්න ඔබට පුළුවන.+ නමුත් ඒ ගැන විමසීමෙන් වළකින්න. එවිට ඔබේ හෘදය සාක්ෂියට එය බලපාන්නේ නැත.+ 26  මන්ද, “පොළොව හා එහි ඇති සියල්ල+ යෙහෝවා දෙවිට+ අයිති” බව මතක තබාගන්න. 27  දෙවිට නමස්කාර නොකරන කෙනෙකුගෙන් ඔබට යම් ඇරයුමක් ලැබුණොත් ඔබ එහි යෑමට කැමති නම් එහි ගොස් ඔහු ඔබට පිළිගන්වන ඕනෑම දෙයක් කෑමට ගන්න ඔබට පුළුවන.+ කෑමට දෙන දේ ගැන ප්‍රශ්න නොකරන්න. එවිට එය ඔබේ හෘදය සාක්ෂියට බලපාන්නේ නැත.+ 28  නමුත් ඒ අතරවාරයේ යමෙක් පැමිණ, “මෙය පූජාවකදී ඔප්පු කළ දෙයක්” කියා ඔබට පැවසුවොත් එය නොකා සිටින්න. එසේ නොකළොත් එය හෙළි කළ තැනැත්තාට මෙන්ම හෘදය සාක්ෂියටත් එය බලපෑ හැකිය.+ 29  මා “හෘදය සාක්ෂිය” කියා පවසන්නේ ඔබේ හෘදය සාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදය සාක්ෂිය ගැනය. එහෙයින් මට නිදහසක් තිබුණත් වෙන කෙනෙකුගේ හෘදය සාක්ෂියට අනුව විනිශ්චයට ලක් වෙන්න මා අකමැති නිසා මගේ නිදහස පාවිච්චි නොකරමි.+ 30  මා දෙවිට ස්තුති කර යමක් කෑමට ගත් පසු නින්දාවට ලක් වෙන්නත් මම නොකැමැත්තෙමි.+ 31  ඒ අනුව ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.+ 32  යුදෙව්වන්ටවත් ග්‍රීකයන්ටවත්* දෙවිගේ සභාවට අයත් සියලුදෙනාටවත් හානියක් විය හැකි දෙයක් කිරීමෙන් වැළකී සිටින්න.+ 33  මගේ උත්සාහය වන්නේ මගේම වාසිය හෝ ප්‍රයෝජනය ගැන නොව+ වැඩිදෙනාගේ ප්‍රයෝජනයට හේතු වන දේ ගැන සිතමින් සෑම දෙයකදීම සියලුදෙනාව සතුටු කිරීමයි.+ මා එසේ කරන්නේ ඔවුන්ව ගලවාගැනීම සඳහාය. ඔබත් එසේම කරන්න.+

පාදසටහන්

එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.
රෝම 1:16හි පාදසටහන බලන්න.