ක්‍රියා 26:1-32

26  අග්‍රිපා+ රජ පාවුල්ට මෙසේ පැවසුවේය. “ඔබේ නිර්දෝෂකම ඔප්පු කිරීම සඳහා කතා කරන්න දැන් ඔබට අවසර තිබෙනවා.” එවිට පාවුල් තම අත දිගු කර+ මෙසේ කීවේය.+  “අග්‍රිපා රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට විරුද්ධව එල්ල කර තිබෙන හැම චෝදනාවකින්ම+ මා නිදොස් බව ඔප්පු කිරීම සඳහා අද ඔබතුමන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.  ඔබතුමන්ට යුදෙව්වරුන්ගේ සියලු චාරිත්‍ර ගැනත් ඔවුන් අතර පවතින මතභේද ගැනත් මනා අවබෝධයක් තිබෙන බව මම දන්නවා.+ ඒ නිසා මම ඔබතුමන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මට ඉවසිලිවන්තව සවන් දෙන්න කියායි.  “ඇත්තෙන්ම මගේ තරුණ කාලයේ පටන්ම මා උපන් දේශයෙත් ඉන්පසු යෙරුසලමෙත් මා ගත කළ ජීවිතය+ ගැන සියලුම යුදෙව්වරුන් දන්නවා.  මාව ඒ කාලයේ පටන් හඳුනාගෙන සිටි ඔවුන්ට පුළුවන් කැමති නම් ඒ ගැන සාක්ෂි සපයන්න. මම යුදෙව් ආගම අකුරටම පිළිපදින+ පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක්ව සිටියා.+  නමුත් ඔවුන් දැන් මට විරුද්ධව බොහෝ චෝදනා එල්ල කරනවා. එයට හේතුව දෙවි අපේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දුවේ ඉටු වීම+ ගැන මම බලාපොරොත්තුවෙන් සිටීමයි.+  මා විතරක් නොවෙයි, අපේ ගෝත්‍ර දොළහට අයත් සියලුදෙනාත් ඒ පොරොන්දුවේ ඉටු වීම අද්දකින්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් දෙවිට මහත් උද්‍යෝගයෙන් දිවා රෑ දෙකේම සේවය කරන්නේ ඒ නිසයි.+ රජ්ජුරුවනි, ඒ බලාපොරොත්තුවම මටත් තිබෙන නිසයි යුදෙව්වරුන් මට විරුද්ධව චෝදනා එල්ල කරන්නේ.+  “මිය ගොස් ඇති අයව දෙවි නැවත නැඟිටුවන බව විශ්වාස කරන්න බැරි දෙයක් කියා ඔබ සිතන්නේ ඇයි?+  මමත් කාලයක් සිතාගෙන සිටියේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ගේ නාමය දරන කණ්ඩායමට විරුද්ධව පුළුවන් තරම් පීඩා කළ යුතු බවයි. 10  ඒ නිසා මම යෙරුසලමේ සිටි විට ඔවුන්ට පීඩා කළා. මම නායක පූජකයන්ගෙන් අවසර ලබාගෙන+ ඒ ශුද්ධ අයගෙන් බොහෝදෙනෙකුව සිරගෙවල්වල දැම්මා.+ ඔවුන්ව මරණයට පත් කිරීමට තීරණය කරද්දී මමත් ඒ සඳහා මගේ කැමැත්ත දුන්නා. 11  හැම සිනගෝගයකදීම මම ඔවුන්ට බොහෝ වාර ගණනක් දඬුවම් කළා.+ මම ඔවුන්ට බල කළේ ක්‍රිස්තුස්ව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නයි. මම ඔවුන් කෙරෙහි දැඩි කෝපයකින් සිටි නිසා වෙනත් නුවරවලට පවා ගොස් ඔවුන්ට පීඩා කරන්න පියවර ගත්තා. 12  “ඉතින් ඒ සඳහා මම නායක පූජකයන්ගේ අවසර ඇතුව දමස්කය+ බලා ගමන් කරමින් සිටියා. 13  රජ්ජුරුවනි, ඉර මුදුන් වන වේලාවේදී පමණ අපි ගමන් කරද්දී අහසින් හිරුරැස්වලටත් වඩා දීප්තිමත් ආලෝකයක් මා වටාත් මා සමඟ ගමන් කරමින් සිටි අය වටාත් විහිදී ගියා.+ 14  අප සියලුදෙනාම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ ඇයි? එසේ කිරීම දිගින් දිගටම කෙවිටට පයින් ගැසීමක් හා සමානයි. එයින් අනතුරක් සිදු වන්නේ ඔබටයි’+ කියා හෙබ්‍රෙව් භාෂාවෙන් කියන හඬක් මට ඇහුණා. 15  එවිට මම, ‘ස්වාමීනි, ඔබ කවුද’ කියා ඇසුවා. ස්වාමීන් පිළිතුරු දුන්නේ මෙසේයි. “මම යේසුස්. ඔබ පීඩා කරන්නේ මටයි.+ 16  දැන් නැඟිටින්න.+ මන්ද මම ඔබට මෙසේ දර්ශනය වන්නේ විශේෂ හේතුවක් නිසයි. මම ඔබව සේවකයෙක් සහ සාක්ෂිකරුවෙක් ලෙස තෝරාගන්නවා.+ ඒ, ඔබ දුටු හා ඉදිරියේදී මම ඔබට දකින්න සලස්වන දේවල් ගැන ප්‍රකාශ කිරීමටයි. 17  මම ඔබව මේ ජනතාව හා වෙනත් ජාතීන් අතරට යවන විට ඔවුන් ඔබට විරුද්ධ වන නිසා ඔවුන්ගෙන් ඔබව ගලවන්න මට සිදු වෙනවා.+ 18  ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’ 19  “අග්‍රිපා රජ්ජුරුවනි, ස්වර්ගයෙන් මා දුටු ඒ දර්ශනය මම නොසලකාහැරියේ නැහැ.+ 20  ඒ නිසා මම මුලින්ම දමස්කයටත්+ ඊළඟට යෙරුසලමටත්+ පසුව මුළු යුදය පුරාත් වෙනත් ජාතීන් වෙතටත්+ ගියා. මම එහි සිටි අයට පැවසුවේ පසුතැවිලි වී තම පසුතැවිල්ලට එකඟව ක්‍රියා කිරීමෙන් දෙවි වෙතට හැරෙන්න අවශ්‍ය බවයි.+ 21  යුදෙව්වන් මාව දේවමාලිගාවේදී අල්ලා මරා දමන්න තැත් කළේ අන්න ඒ හේතුව නිසයි.+ 22  නමුත් මට දෙවිගේ උපකාරය ලැබුණු නිසා+ මෙදින දක්වා සෑම තරාතිරමකම සිටින අයට සාක්ෂි දරන්න මට හැකි වී තිබෙනවා. මම ඔවුන්ට පවසන්නේ සිදු වන බවට අනාගතවක්තෘවරුන්+ සහ මෝසෙස්+ පැවසූ දේවල් පමණයි. 23  එනම් ක්‍රිස්තුස් වධ විඳිය යුතු බවත්+ මරණයෙන් නැවත නැඟිටුවනු ලබන පළමුවෙනියා ලෙස+ ඔහු මේ ජාතියට හා වෙනත් ජාතීන්ට+ ආලෝකයක් ලබා දෙන බවත්+ මම පැවසුවා.” 24  පාවුල් තම නිර්දෝෂකම ඔප්පු කිරීමට ඒ දේවල් පවසමින් සිටියදී, ෆෙස්ටස් මහත් හඬකින් මෙසේ පැවසුවේය. “පාවුල්, ඔබේ සිහිය විකල් වෙලා!+ ඔබ ඕනෑවටත් වඩා උගතෙක් වෙන්න ගිහින් ඔබේ සිහිය දැන් නැති වෙලයි තියෙන්නේ.” 25  නමුත් පාවුල්, “අතිගරු ෆෙස්ටස්තුමනි, මගේ සිහිය විකල් වෙලා නැහැ. මම කියන දේවල් ඇත්තයි. ඒවාට සාධාරණ පදනමකුත් තිබෙනවා. 26  රජතුමන්ට මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසයි මම කිසි බියක් සැකක් නැතුව එතුමන්ට මේවා ගැන කිව්වේ. මේ කිසිම දෙයක් රහසින් සිදු වී නැති නිසා මේවා අනිවාර්යයෙන්ම එතුමන්ගේ අවධානයට ලක් වී ඇති බව මම දන්නවා.+ 27  අග්‍රිපා රජ්ජුරුවනි, ඔබතුමන් අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරනවාද? ඔබතුමන්ට ඔවුන් ගැන විශ්වාසයක් ඇති බව මම දන්නවා.”+ 28  එවිට අග්‍රිපා පාවුල්ට මෙසේ පැවසුවේය. “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාවත් ක්‍රිස්තියානියෙක් කරයි.” 29  පාවුල් එයට පිළිතුරු දුන්නේ මෙසේය. “දෙවි ඉදිරියේ මගේ පැතුම නම් කවදා හෝ දවසක ඔබතුමන් පමණක් නොව අද මට සවන් දෙමින් සිටින සියලුදෙනාම මා මෙන් වේවා කියායි. නමුත් දැන් මට සිදු වී තිබෙනවා වගේ ඔබේ අත් පාවලට විලංගු වැටෙන්න කියා නම් මම පතන්නේ නැහැ.” 30  එවිට රජද ආණ්ඩුකාරයාද බර්නීස්ද ඔවුන් සමඟ ඉඳගෙන සිටි මිනිස්සුද පිටත් වී යෑමට සූදානම් වූහ. 31  ඔවුහු එතැනින් විසිර යද්දී, “මේ මිනිසා මරණ දණ්ඩනය+ හෝ සිරදඬුවමක් හෝ ලබන්න සුදුසු කිසිම දෙයක් කළ කෙනෙක් නොවෙයි” කියා එකිනෙකා අතරේ කතා වුණෝය. 32  මේ අතර අග්‍රිපා ෆෙස්ටස්ට මෙසේ කීවේය. “මේ මිනිසා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේ නැත්නම්+ ඔහුව නිදහස් කර හරින්න තිබුණා.”

පාදසටහන්

හෝ, “දෙවි සඳහා වෙන් කර ඇති අය.”