ක්‍රියා 6:1-15

6  ගෝලයන්ගේ ගණන වැඩි වෙමින් පැවති ඒ කාලයේදී ග්‍රීක බස කතා කරන+ යුදෙව් ගෝලයෝ හෙබ්‍රෙව් බස කතා කරන යුදෙව් ගෝලයන්ට විරුද්ධව චෝදනා නඟන්න පටන්ගත්තෝය. එම චෝදනාවට හේතුව නම් දිනපතා සියලුදෙනා අතරේ ආහාර බෙදා දෙනු ලැබූ විට ග්‍රීක බස කතා කරන වැන්දඹුවන්ව නොසලකාහැරීමය.+  එහෙයින් යේසුස්ගේ නියෝජිතයෝ* දොළොස්දෙනා, ගෝලයන් සියලුදෙනාව තමන් ළඟට කැඳවා මෙසේ කීවෝය. “දෙවි පවසා ඇති දේවල් ගැන ඉගැන්වීමේ කාර්යය නතර කර මේසවල ඉඳගෙන සිටින අයට කෑම බෙදා දීමට අපේ කාලය වැය කිරීම හරි නැහැ.+  ඒ නිසා සහෝදරයෙනි, මේ අත්‍යවශ්‍ය කාර්යය සඳහා ඔබ අතරේ හොඳ නමක් දිනාගෙන ඇති පුරුෂයන් හත්දෙනෙකුව සොයාගන්න.+ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කරන* ප්‍රඥාවන්ත අය විය යුතුයි.+  එවිට යාච්ඤාව සඳහාත් දෙවි පවසා ඇති දේවල් ඉගැන්වීමේ කාර්යය සඳහාත් අපගේ සම්පූර්ණ කාලය වැය කරන්න අපට හැකි වෙයි.”+  සියලුදෙනාම එම යෝජනාවට එකඟ වූ නිසා ඔවුහු ඒ කාර්යය සඳහා ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟා ගෙන ඇති දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව නිතරම කටයුතු කළ+ මිනිසෙකු වූ ස්තේපන්වද ෆිලිප්,+ ප්‍රොකරස්, නිකානොර්, තිමොන්, පාමිනස් සහ කලින් යුදෙව් ආගමට හැරී සිටි අන්තියෝකියේ විසූ නිකලායස්වද තෝරාගත්තෝය.  ඔවුන්ව නියෝජිතයන් ඉදිරියට ගෙනාවෝය. නියෝජිතයෝ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර ඔවුන් මත තම අත් තැබුවෝය.+  දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගිය අතර+ යෙරුසලමේ සිටි ගෝලයන්ගේ ගණනද දිගින් දිගටම වැඩි විය.+ පූජකයන් විශාල පිරිසක්ද+ යේසුස්ගේ අනුගාමිකයෝ වූහ.+  ස්තේපන් තුළින් සියලුදෙනාටම දෙවිගේ මහත් කරුණාවත් බලයත් දැකගත හැකි විය. ඔහු ඔවුන් අතරේ මහත් ලකුණුද ආශ්චර්යයන්ද සිදු කරමින් සිටියේය.+  මේ අතර ස්තේපන් සමඟ විවාද කිරීමට ‘නිදහස ලැබූවන්ගේ සිනගෝගය’ ලෙස හැඳින්වූ සිනගෝගයෙන් පිරිසක්ද සිරේනියෙන් හා ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් පිරිසක්ද+ සිලීසියාවෙන්+ සහ ආසියාවෙන් පිරිසක්ද පැමිණියෝය. 10  නමුත් ඔහු ප්‍රඥාවෙන්+ හා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව කතා කළ දේට විරුද්ධව කිසිම දෙයක් කීමට ඔවුන්ට නොහැකි විය.+ 11  එවිට ඔවුහු රහසින් මිනිසුන් කිහිපදෙනෙකුව කැඳවා, “ඔහු මෝසෙස්ටත් දෙවිටත් විරුද්ධව අපහාසාත්මක දේවල් කියනවා අපිට ඇහුණා”+ කියා පැවසීමට ඔවුන්ව පෙලඹුවෝය.+ 12  ඉන්පසු ඔවුහු ජනතාවද වැඩිමහල්ලන්වද නීතිය පිටපත් කරන්නන්වද උසිගන්වා, හදිසියෙන්ම ඔහු වෙතට කඩාවැද ඔහුව බලෙන් අල්ලාගෙන යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියෝය.+ 13  එහිදී ඔවුන් බොරු සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කළ අතර+ ඔවුහු මෙසේ පැවසූහ. “මේ මිනිසා මේ ශුද්ධ ස්ථානයටත් නීතියටත් විරුද්ධව දිගටම කතා කරනවා.+ 14  ඔහු කියන්නේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් කියන තැනැත්තා මේ ස්ථානය කඩා දමා මෝසෙස් අපට දුන් චාරිත්‍ර වාරිත්‍ර සියල්ල වෙනස් කරනවා කියලයි.” 15  එවිට මන්ත්‍රණ සභාවේ අසුන්ගෙන සිටි සියලුදෙනා ඔහු දෙස බැලුවෝය.+ ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් දිස් වූ ආකාරය ඔවුන්ට දැකගත හැකි විය.+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෝ.”
මූ.අ., “දෙවිගේ බලයට මුළුමනින්ම යටත් වන.”