ක්‍රියා 25:1-27

25  ෆෙස්ටස්, පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් වී+ දින තුනකට පසු සිසේරියේ සිට යෙරුසලම බලා ගියේය.+  එවිට නායක පූජකයෝ සහ යුදෙව්වරුන්ගේ ප්‍රධානියෝ පාවුල්ට විරුද්ධව නඟා තිබුණු චෝදනා ඔහුට ඉදිරිපත් කළෝය.+ ඔවුන් ඉල්ලා සිටියේ,  තමන්ගේ මෙම පැමිණිල්ලට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාවුල්ව යෙරුසලමට ගෙන්වන ලෙසය. ඔවුන් එසේ ඉල්ලා සිටියේ පාවුල් පැමිණෙන විට මඟ රැක සිටින කණ්ඩායමක්+ මාර්ගයෙන් ඔහුව මරා දැමීමේ අදහසිනි.  නමුත් පාවුල්ව සිසේරියේ රඳවා තබන බවත් තමා වැඩි කල් නොගොස් එහි ආපසු යන බවත් ෆෙස්ටස් ඔවුන්ට පැවසුවේය.  ඔහු මෙසේද පැවසුවේය. “ඔබේ නායකයන්ට පුළුවන් මා සමඟ ඇවිත් ඒ මිනිසාට විරුද්ධව යම් චෝදනාවක් ඇත්නම් ඒවා එහිදී ඉදිරිපත් කරන්න.”+  එහෙයින් ඔහු ඔවුන් අතරේ දින අටක් හෝ දහයක් ගත කළ පසු සිසේරියට ගියේය. ඊළඟ දිනයේ විනිශ්චයාසනයේ අසුන්ගත් ඔහු,+ පාවුල්ව එතැනට රැගෙන එන්න කියා අණ කළේය.  පාවුල් පැමිණි විට යෙරුසලමේ සිට ආ යුදෙව්වන් ඔහුව වට කරගෙන ඔහුට විරුද්ධව බරපතළ චෝදනා+ රැසක් එල්ල කළත් ඊට සාක්ෂි වශයෙන් කිසිම තොරතුරක් ඉදිරිපත් කරන්න ඔවුන්ට නොහැකි විය.  නමුත් පාවුල් ඊට පිළිතුරු වශයෙන් මෙසේ පැවසුවේය. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත්+ සීසර්ට විරුද්ධවත් කිසිම පාපයක් කර නැහැ.”+  ෆෙස්ටස් යුදෙව්වරුන්ගේ සිත් දිනාගැනීමේ අදහසින්,+ “යෙරුසලමට ගොස් එහිදී මා ඔබව විනිශ්චය කරනවාට ඔබ කැමතිද”+ කියා පාවුල්ගෙන් ඇසුවේය. 10  පාවුල් ඊට පිළිතුරු දුන්නේ මෙසේය. “මම දැන් සිටින්නේ සීසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහියි.+ මාව විනිශ්චය කළ යුතු නියම තැන මෙතැනයි. ඔබතුමන්ට පැහැදිලිව ඔප්පු වී ඇති ආකාරයට යුදෙව්වරුන්ට විරුද්ධව මම කිසිම වරදක් කර නැහැ.+ 11  නමුත් මරණ දණ්ඩනය ලැබීමට තරම් වරදක්+ මා කර ඇති බව ඔප්පු වුණොත්+ එම දඬුවමින් ගැලවීමට මම උත්සාහ කරන්නේ නැහැ. මේ මිනිසුන් මට විරුද්ධව එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැහැ. ඒ නිසා ඔවුන්ව සතුටු කිරීමේ අදහසින් මාව ඔවුන්ට භාර දෙන්න නීතියෙන් කිසි කෙනෙකුට අවසර නැහැ. මම දැන් කියා සිටින්නේ මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍ය බවයි!”+ 12  එවිට ෆෙස්ටස් තම උපදේශක මණ්ඩලය සමඟ කතා කළ පසු, “ඔබ සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලා ඇති නිසා ඔබව සීසර් වෙතට යවනවා” කියා කීවේය. 13  දින කිහිපයක් ගෙවී ගිය පසු ෆෙස්ටස්ව නිල වශයෙන් බැහැදැකීමට අග්‍රිපා රජ හා බර්නීස් සිසේරියට ගියෝය. 14  ඔවුන් දින කිහිපයක්ම එහි ගත කළ නිසා ෆෙස්ටස් පාවුල්ගේ ප්‍රශ්නය ගැන රජුට දන්වමින් මෙසේ කීවේය. “ෆීලික්ස්ගේ කාලයේ පටන් නිදහස් නොකළ සිරකරුවෙක් මෙහි සිටිනවා. 15  මම යෙරුසලමට ගිය විට නායක පූජකයන් සහ යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කරමින්+ ඔහුට දඬුවම් කරන්න කියා ඉල්ලා සිටියා. 16  නමුත් මම ඔවුන්ට කිව්වේ චෝදනා ලැබූ මිනිසාට තමාට විරුද්ධව චෝදනා කරන අය ඉදිරියේ ඒ චෝදනා ගැන පිළිතුරු දීමට මුලින්ම අවස්ථාවක් ලබා දිය යුතු බවයි. එවැනි අවස්ථාවක් නොදී චෝදනා කරන අයව සතුටු කිරීමට ඔහුව ඔවුන්ට භාර දීම රෝම නීතියට පටහැනි බවත් මම පැහැදිලි කළා.+ 17  ඒ නිසා ඔවුන් මෙහෙ ආවා. එවිට මම ප්‍රමාද නොවී ඊළඟ දවසේම විනිශ්චයාසනයෙහි ඉඳගෙන ඒ මිනිසාව ඔවුන් ඉදිරියට ගෙන එන ලෙස අණ කළා. 18  ඒ මිනිසා යම් දුෂ්ට දේවල් කර තිබෙනවා කියා මම සිතුවත් චෝදනා ඉදිරිපත් කළ අය ඊට පිළිගත හැකි කිසි සාක්ෂියක් ඉදිරිපත් කළේ නැහැ.+ 19  ඔවුන් අතර තිබෙන මතභේදයට හේතුව නම් ඔවුන් තම දෙවිට කරන නමස්කාරය+ හා යේසුස් කියන තැනැත්තායි. ඒ තැනැත්තා මිය ගියත් පාවුල් තරයේ කියා සිටින්නේ ඔහු ජීවත් වන බවයි.+ 20  ඒ මතභේදය ගැන මොන වගේ තීන්දුවක්ද දෙන්නේ කියා මම හරි හැටි නොදැන සිටි නිසා යෙරුසලමට ගොස් එහිදී මෙම කාරණය ගැන විනිශ්චයක් ලබන්න තමන් කැමතිද කියා මම පාවුල්ගෙන් ඇහුවා.+ 21  නමුත් ඔහු ඉල්ලා සිටියේ ශ්‍රීමත් අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඔහුට අවශ්‍ය බවයි.+ ඒ නිසා මම අණ කළා ඔහුව සීසර් වෙතට යවන තෙක් සිරභාරයේ තබන්න කියා.” 22  එවිට අග්‍රිපා, “මමත් මේ මිනිසා කියන දේට සවන් දෙන්න කැමතියි”+ කියා ෆෙස්ටස්ට කීවේය. “එසේනම් හෙට ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න මම පියවර ගන්නම්” කියා ඔහු පිළිතුරු දුන්නේය. 23  ඊළඟ දින අග්‍රිපා සහ බර්නීස් මහත් හරසරින් ඇවිත්+ හමුදා නිලධාරීන් සහ නුවරේ වංශවත් අය සමඟ රාජ සභාවට ඇතුල් වූහ. එවිට ෆෙස්ටස්ගේ අණ පරිදි පාවුල්ව ඔවුන් ඉදිරියට ගෙනෙන ලදි. 24  ෆෙස්ටස් මෙසේ කීවේය. “අග්‍රිපා රජ්ජුරුවනි, මෙහි අප සමඟ පැමිණ සිටින සියලු මනුෂ්‍යයෙනි, යෙරුසලමේදීත් මෙහිදීත් විශාල යුදෙව් සමූහයක් මා ඉදිරියට ඇවිත් චෝදනා ඉදිරිපත් කළේ මේ මිනිසාට විරුද්ධවයි. ඔවුන් කෑගසමින් කියා සිටියේ ඔහුට මරණ දණ්ඩනය ලබා දිය යුතු බවයි.+ 25  නමුත් මට වැටහී ගියේ ඔහු මරණ දණ්ඩනය ලබන්න තරම් වරදක් කර නැති බවයි.+ එමනිසා මේ මිනිසා ශ්‍රීමත් අධිරාජ්‍යයාගේ තීන්දුව ඉල්ලා සිටි විට+ ඒ සඳහා ඔහුව එතුමාණන් වෙතට යවන්න මම තීරණය කළා. 26  නමුත් එතුමාණන්ට මම ලියා යවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අග්‍රිපා රජ්ජුරුවනි, මොහුව විශේෂයෙන්ම ඔබතුමන් ඉදිරියට ගෙන එන්න මම අදහස් කළේ ඒ නිසයි. මෙලෙස නඩු විභාගයක් කළ පසු+ මා ලිවිය යුතු දේ ගැන යම් අදහසක් මට ලබාගන්න හැකි වෙයි. 27  ඇත්තෙන්ම සිරකරුවෙකුට විරුද්ධව ඇති චෝදනා දන්වන්නේ නැතුව ඔහුව ශ්‍රීමත් අධිරාජ්‍යයා වෙතට යැවීම ඥානවන්ත දෙයක් නොවෙයි.”

පාදසටහන්