ලූක් 14:1-35

14  යේසුස් සබත් දවසකදී පරිසිවරුන් අතර සිටි ප්‍රධානියෙකුගේ නිවසේ තිබූ භෝජන සංග්‍රහයකට ගියේය.+ එහි සිටි සියලුදෙනාම ඔහු දෙස බලා සිටියේ මහත් විමසිල්ලකිනි.+  මේ අතර සිරුර ඉදිමී රෝගාතුරව* සිටි එක්තරා මිනිසෙක් ඔහු ඉදිරියෙහි සිටියේය.  ඔහුව දුටු යේසුස් නීතිය ගැන මනා දැනුමක් ඇති අයගෙන් සහ පරිසිවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “සබත් දවසේදී කෙනෙකුව සුව කිරීම නීතියට එකඟද නැද්ද?”+  නමුත් ඔවුහු ඊට පිළිතුරක් නොදුන්නෝය. එවිට ඔහු ඒ මිනිසාව අතින් අල්ලා ඔහුව සුව කර පිටත් කර හැරියේය.  පසුව යේසුස් ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “සබත් දවසේදී ඔබේ පුතා හෝ ඔබට අයිති ගොනෙකු ළිඳකට වැටුණොත්+ ඔබ මොනවාද කරන්නේ? ඔබ වහාම ගොස් ඔහුව හෝ ඌව පිටතට ගන්නේ නැද්ද?”+  ඊට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකි විය.+  ඉන්පසුව භෝජන සංග්‍රහයට ආරාධනා ලැබූ අය ප්‍රධානතම ආසන තෝරාගන්නා ආකාරය දුටු යේසුස් ඔවුන්ට මෙම උපමාව විස්තර කළේය.+  “කෙනෙක් ඔබට විවාහ උත්සවයකට ආරාධනා කළ විට ප්‍රධානතම ආසනවල ඉඳගන්න එපා.+ සමහරවිට ඔබට වඩා වැදගත් කෙනෙකුට ආරාධනාවක් ලැබී තිබෙන්න පුළුවන්.  එවිට ආරාධනාව කළ තැනැත්තා ඇවිත්, ‘මොහුට මේ ආසනය දෙන්න’ කියා ඔබට කිව්වොත් ඔබට ලැජ්ජාවෙන් පහත්ම ආසනය දක්වා යන්න සිදු වෙයි.+ 10  එමනිසා ඔබට ආරාධනාවක් ලැබුණු විට පහත්ම ආසනය තෝරාගන්න.+ එහිදී ඔබට ආරාධනා කළ මිනිසා ඇවිත්, ‘මුල් පෙළේ ආසනයකට යන්න’ කියා ඔබට කියයි. එවිට සියලු අමුත්තන් ඉදිරියෙහි ඔබට ගෞරවය ලැබෙයි.+ 11  උසස් වෙන්න උත්සාහ කරන සියලුදෙනාම අවමානයට පත් වෙයි. නමුත් නිහතමානී ලෙස කටයුතු කරන තැනැත්තා ගෞරවයට පත් වෙයි.”+ 12  ඊළඟට ඔහු තමන්ට ආරාධනා කළ තැනැත්තාටද මෙසේ කීවේය. “ඔබ දවල් කෑමක් හෝ සන්ධ්‍යා භෝජනයක් හෝ පිළියෙල කරන විට ඔබේ මිතුරන්ට, සහෝදරයන්ට, නෑදෑයන්ට හෝ ධනවත් අසල්වැසියන්ට ඒ සඳහා ආරාධනා කරන්න එපා. සමහරවිට ඔවුනුත් පසු කලක ඔබට ආරාධනා කරයි. එවිට එය ඔබට කරන ගෙවීමක් හා සමාන වෙයි. 13  නමුත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන විට දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න.+ 14  ඔබ කළ සංග්‍රහය වෙනුවෙන් කිසිවක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති නිසා ඔබට පුළුවන් සතුටු වන්න. මන්ද ධර්මිෂ්ඨයන්ව නැවත නැඟිටුවන අවස්ථාවේදී ඔබ කළ දේට ආශීර්වාද ලැබෙයි.”+ 15  ඒ දේවල් ඇසූ අමුත්තෙක්, “දෙවිගේ රාජ්‍යයේදී භෝජනයකට සහභාගි වීමට ආරාධනා ලබන තැනැත්තා සන්තෝෂවත් කෙනෙක්”+ කියා ඔහුට කීවේය. 16  යේසුස් ඔහුට මෙසේ කීවේය. “එක්තරා මිනිසෙක් විශාල සන්ධ්‍යා භෝජනයක් පිළියෙල කළා. ඒ සඳහා ඔහු බොහෝදෙනෙකුට ආරාධනා කළා.+ 17  සන්ධ්‍යා භෝජනය ආරම්භ කිරීමට අවස්ථාව පැමිණි විට ඔහු තම දාසයාව යවා, ‘එන්න,+ දැන් සියල්ල සූදානම්’ කියා ආරාධිතයන්ට දැන්නුවා. 18  නමුත් ඒ සියලුදෙනාම නෑවිත් සිටීමට හේතු මවන්න පටන්ගත්තා.+ පළමුවෙනියා, ‘මම කෙතක් මිල දී ගත්තා. මට එය බලන්න යන්න අවශ්‍යයි. මට සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ’+ කියා ඔහුට කිව්වා. 19  වෙන කෙනෙක්, ‘මම ගොන්බාන පහක් මිල දී ගත්තා. මම දැන් යන්නේ උන් වැඩට හොඳද කියා බලන්නයි. ඒ නිසා සමාවෙන්න. මට එන්න විදිහක් නැහැ’+ කියා පැවසුවා. 20  තව කෙනෙක්, ‘මම මේ දැන් විවාහ වුණා.+ ඒ නිසා මට එන්න බැහැ’ කියා පැවසුවා. 21  සිදු වූ දේ දාසයා ඇවිත් තම ස්වාමියාට දැන්වූවා. එවිට ස්වාමියා කෝපයෙන්, ‘දැන්මම නුවරේ ප්‍රධාන වීථිවලටත් අතුරු පාරවලටත් යන්න. එතැන සිටින දිලිඳු, අබ්බගාත, අන්ධ සහ කොර මිනිසුන්ව මෙතැනට ගෙන එන්න’+ කියා තම දාසයාට පැවසුවා. 22  ඉන්පසු දාසයා ඇවිත්, ‘ස්වාමීනි, ඔබ අණ කළ දේ මම කළා. නමුත් තවත් ඉඩ තිබෙනවා’ කියා පැවසුවා. 23  එවිට ස්වාමියා දාසයාට පැවසුවේ මෙයයි. ‘මගේ නිවස පිරී යන තරමටම සෙනඟ සිටිය යුතුයි.+ ඒ නිසා පාරවල් හා දෙවැටවල් දිගේ ගොස්+ එහි සිටින අයටත් මගේ නිවසට එන්න කියා බල කරන්න. 24  මම මුලින් ආරාධනා කළ කිසිවෙකුට මගේ සන්ධ්‍යා භෝජනය භුක්ති විඳින්න මම කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ.’”+ 25  විශාල සමූහයක් ඔහු සමඟ ගමන් කරමින් සිටි අවස්ථාවකදී ඔහු හැරී ඔවුන්ට මෙසේ පැවසුවේය. 26  “කෙනෙකුට මා ළඟට එන්න අවශ්‍ය නම් ඔහු තම පියාටත් මවටත් බිරිඳටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත් වඩා මට ප්‍රේම කළ යුතුයි. ඇත්තෙන්ම ඔහු තම ජීවිතයටත් වඩා මට ප්‍රේම කළ යුතුයි.+ එසේ නොකළොත් ඔහුට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 27  මගේ ගෝලයෙක් වෙන්න යමෙක් කැමති නම් ඔහු තම වධකණුව* උසුලාගෙන මා අනුව එන්න අවශ්‍යයි. එසේ නොකළොත් ඔහුට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 28  උදාහරණයකට මෙහෙම සිතන්න. ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?+ 29  එසේ කළේ නැත්නම් ඔහුට හැකි වන්නේ එහි අත්තිවාරම දමන්න පමණයි. එය සම්පූර්ණ කිරීමට ඔහුට හැකි වන්නේ නැහැ. එවිට බලා සිටින සියලුදෙනාම ඔහුට සමච්චල් කරයි. 30  ‘මේ මිනිසා වැඩේ පටන්ගත්තත් ඔහුට එය ඉවර කරගන්න බැරි වුණා’ කියා ඔවුන් පවසයි. 31  මේ උදාහරණය ගැනත් සිතන්න. යම් රජෙක් තවත් රජෙකුට විරුද්ධව යුද්ධයට සැරසෙනවා. දස දහස්දෙනෙකුගෙන් යුත් තමාගේ හමුදාවට විසි දහස්දෙනෙකුගෙන් යුත් සතුරු හමුදාව සමඟ සටන් කළ හැකිද කියා ඔහු යුද්ධයට යන්න කලින් සාකච්ඡා කර බලන්නේ නැද්ද?+ 32  ඔහුට එම සටනට මුහුණ දෙන්න බැරි වෙයි කියා ඔහු තේරුම්ගත්තොත් සතුරු හමුදාව දුර සිටියදීම ඔහු තානාපතීන් පිරිසක් ඔවුන් වෙතට යවා ඔවුන් සමඟ සමාදාන වෙන්න පියවර ගනියි.+ 33  එමනිසා මෙය මතක තබාගන්න. කෙනෙකුට තමා සතු සෑම දෙයක්ම අත්හැරිය නොහැකි නම්+ ඔහුට මගේ ගෝලයෙක් විය නොහැකියි. 34  “ලුණු කොතරම් ප්‍රයෝජනවත්ද කියා සියලුදෙනාම දන්නවා. නමුත් ලුණුවල ලුණු රසය නැති වුණොත් ඒ නැති වූ රසය නැවත ලබා දෙන්නේ කොහොමද?+ 35  එය පස් හැටියටවත් පොහොර හැටියටවත් පාවිච්චි කරන්න බැහැ. ඒ නිසා මිනිසුන්ට සිදු වන්නේ ඒවා ඉවත දමන්නයි. මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.”+

පාදසටහන්

මෙම රෝගය නිසා සිරුරේ තිබෙන වතුර එකතු වී මුළු සිරුරම ඉදිමෙයි.
උපග්‍ර. 6 බලන්න.