Skip to content

පටුනට යන්න

දරුවෙනි, යෙහෝවා දෙවිට සේවය කිරීමද ඔබේ තීරණය?

දරුවෙනි, යෙහෝවා දෙවිට සේවය කිරීමද ඔබේ තීරණය?

දරුවෙනි, යෙහෝවා දෙවිට සේවය කිරීමද ඔබේ තීරණය?

“ඔබ මෙහෙ කරන්ට කැමති කෙනෙකු අදම තෝරාගන්න.”—යෝෂුවා 24:15.

1, 2. පල්ලිවල බව්තීස්මය සම්බන්ධයෙන් අනුගමනය කර ඇති වැරදි පිළිවෙත කුමක්ද?

ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ ටර්ටූලියන් නම් ලේඛකයා සත්‍ය ඉගැන්වීම්වලින් ඈත් වූ සභාවල අනුගමනය කළ ළදරු බව්තීස්මය නමැති පිළිවෙතට එරෙහි වෙමින් මෙසේ පැවසුවා. “දරුවන් ක්‍රිස්තියානීන් විය යුත්තේ ඔවුන්ට ක්‍රිස්තුස් ගැන අවබෝධයක් ලැබුණායින් පසුවයි.” නමුත් ඒ කාලයේ සිටි තවත් සභා නායකයෙකු වූ ඔගස්ටින් එම මතයට එකඟ නොවෙමින් පැවසුවේ බව්තීස්මය තුළින් ජන්ම පාපයෙන් නිදොස් විය හැකි බවයි. හදිස්සියේවත් බව්තීස්ම නොවූ ළදරුවෙක් මිය ගියොත් ඔහුට නිරාගින්න හිමි වන බවත් ඔහු පැවසුවා. ප්‍රතිඵලයක් ලෙස ළදරු බව්තීස්මය නමැති පිළිවෙත එයින් සම්මත වුණා.

2 අද දිනත් පල්ලිවල මෙම පිළිවෙත අනුගමනය කරනු ලබනවා. මීට අමතරව යුරෝපීය රටවල් වෙනත් දිලිඳු රටවල් අල්ලාගත් යුගයේදී ඔවුන් යටත් කළ “අන්‍යාගමිකයන්ව” බලහත්කාරයෙන් බව්තීස්ම කිරීමේ පිළිවෙතද අනුගමනය කළා. නමුත් ළදරුවන්ව බව්තීස්ම කිරීමවත්, අන්‍යාගමිකයන්ව බලහත්කාරයෙන් බව්තීස්ම කිරීමවත් බයිබලයේ ඉගැන්වීම්වලට කොහෙත්ම එකඟ නැහැ.

උපතින්ම කැපවී නැහැ

3, 4. දෙවිට කැපවූ දෙමාපියන් සිටින දරුවන්ට පවා දෙවිට කැමැත්තෙන්ම කැපවෙන්න පුළුවන් කොහොමද?

3 දරුවන් දෙවිට ශුද්ධ බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිට සේවය කරන්නේ තම දෙමාපියන්ගෙන් එක්කෙනෙක් පමණක් වුණත් මෙය සැබෑවක්. (1 කොරින්ති 7:14) නමුත් මෙවැනි දරුවන් යෙහෝවා දෙවිට කැපවූ සේවකයන් බව මින් අදහස් කරන්නේ නැහැ. දෙවිට කැපවූ දෙමාපියන්ගෙන් නිසි පුහුණුවක් ලබාගෙන දෙවිට කැපවී සේවය කරන්න කැමැත්තෙන්ම තීරණයක් ගැනීමට එවැනි දරුවන්ට පුළුවන්. සලමොන් රජ මේ ගැන මෙසේ පැවසුවා. “මාගේ පුත්‍රය, ඔබේ පියාණන්ගේ ආඥාව රක්ෂා කරන්න. ඔබේ මෑණියන්ගේ පනත අත් නාරින්න. . . . ඔබ යන කල ඒක ඔබ ගෙන යන්නේය. ඔබ නිදන කල ඒක ඔබ රක්නේය. ඔබ පුබුදින කල ඔබ සමඟ කතා කරන්නේය. මක්නිසාද . . . ආඥාව පහනකි. ව්‍යවස්ථාව එළියකි. ඉගැන්වීමේ තරවටු වනාහි ජීවනයේ මාර්ගයෝය.”—හිතෝපදේශ 6:20-24.

4 දෙමාපියන් මෙලෙස සපයන මඟ පෙන්වීම් දරුවන්ට ආරක්ෂාවක්. නමුත් එම ආරක්ෂාව යටතේ දිගටම සිටින්න නම් දරුවන් කැමැත්තෙන්ම එය අනුගමනය කළ යුතුයි. සලමොන් මෙසේද පැවසුවා. “ඥානවන්ත පුත්‍රයෙක් පියා සතුටු කරයි. එහෙත් අඥාන පුත්‍රයෙක් තමන් මවට බරක් වේ.” “මාගේ පුත්‍රය, අසා ඥානවන්ත වෙන්න. ඔබේ සිතද මාර්ගයේ ගෙන යන්න.” (හිතෝපදේශ 10:1; 23:19) එසේනම් දරුවන් දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් මඟ පෙන්වීම් සහ හික්මවීම් පිළිගත යුත්තේ කැමැත්තෙන්මයි. අප කවුරුත් උපතින්ම “ඥානවන්ත” අය නම් නොවෙයි. ඒ නිසා අප ‘ඥානවන්තයන් බවට පත් වී’ කැමැත්තෙන්ම ‘ජීවනයේ මාර්ගයේ’ ගමන් කරන්න අවශ්‍යයි.

දෙවි සිතන ආකාරයට සිතන්න උගන්වන්නේ කොහොමද?

5. පාවුල් දරුවන්ට හා පියවරුන්ට දුන්නේ මොන වගේ උපදෙස්ද?

5 පාවුල් මෙසේ ලිව්වා. “දරුවෙනි, ස්වාමීන් තුළ ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද, මෙය ධර්මිෂ්ඨය. පොරොන්දුවක් ඇති පළමුවන ආඥාව මෙයයි: ‘ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න.’ එසේ කිරීමෙන්, ‘ඔබට ශුභසිද්ධ වනු ඇත. ඔබ පොළොවෙහිදී බොහෝ කල් ජීවත් වනු ඇත.’ පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:1-4.

6, 7. දෙවි සිතන ආකාරයට සිතන්න දරුවන්ට ඉගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය ඔවුන්ට අනිසි බලපෑම් එල්ල කිරීමක් ලෙස නොසැලකිය යුත්තේ ඇයි?

6 දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඇති දැඩි කරනවා කියද්දී එයින් අදහස් වෙනවාද දෙමාපියන් ඔවුන්ට යම් අනිසි බලපෑමක් කරනවා කියා? නැහැ. දරුවන්ට යහපත් සදාචාර ප්‍රමිති උගන්වන නිසා කිසිවෙක් ඔවුන්ව විවේචනය නොකළ යුතුයි. දෙවි කෙනෙක් නොපවතින බව විශ්වාස කරන කෙනෙක් ඒ ගැන තම දරුවන්ට උගන්වද්දී කිසිවෙක් ඔවුන්ව විවේචනයට ලක් කරන්නේ නැහැ. රෝමානු කතෝලික දෙමාපියන් තම දරුවන්ට කතෝලික ආගම උගන්වන විට කිසිවෙක් ඔවුන්වද විවේචනයට ලක් කරන්නේ නැහැ. එමනිසා දරුවන්ට සත්‍ය ඉගැන්වීම් හා සදාචාර ප්‍රමිති කියා දෙමින් දෙවි සිතන ආකාරයට සිතන්න උගන්වන යෙහෝවාගේ සාක්ෂිකාර දෙමාපියන්ට විරුද්ධව චෝදනා එල්ල කිරීම සාධාරණ දෙයක් නොවෙයි.

7 එෆීස 6:4හි සඳහන් ‘යෙහෝවා සිතන ආකාරයට සිතන්න ඉගැන්වීම’ යන්නෙන් අදහස් කරන දේ එක්තරා ශබ්දකෝෂයක විස්තර කර තිබෙන්නේ මෙසේයි. “කෙනෙක් සිතන ආකාරය නිවැරදි කිරීමත්, වරද නිවැරදි කිරීමත්, දෙවි ගැන වඩාත් හොඳින් තේරුම්ගැනීමත්” ඉන් අදහස් වෙනවා. (Theological Dictionary of the New Testament) කිසි දරුවෙක් තම මිතුරන්ගෙන් තමා කොන් වෙනවාට කැමති නැහැ. යම් අවස්ථාවලදී ඔවුන්ගෙන් එල්ල වන පීඩනය නිසා දෙමාපියන් ලබා දෙන පුහුණුවට දරුවන් විරුද්ධ වෙන්න පුළුවන්. එම මිතුරන් මත්ද්‍රව්‍ය ගැනීමට, මත්පැන් පානය කිරීමට හෝ අනාචාරයේ යෙදීමට යම් බලපෑම් කරනවා විය හැකියි. මෙහිදී අනිසි බලපෑමක් එල්ල කරන්නේ පුහුණුව ලබා දුන් දෙමාපියන් නොව මිතුරනුයි. එවැනි භයානක දේවල යෙදීමෙන් ඇති වන ප්‍රතිඵල ගැන තේරුම් කරදීමට දෙමාපියන් උත්සාහ දරනවා. මෙසේ දරුවා සිතන ආකාරය සකස් කිරීමට උත්සාහ කරන මව හෝ පියාව විවේචනය කළ යුතුද?

8. ‘විශ්වාස කිරීමට’ තිමෝතිව ‘පෙලඹෙව්වා’ කියද්දී අදහස් වන්නේ කුමක්ද?

8 පාවුල් තරුණ තිමෝතිට පැවසුවේ මෙසේයි. “ඔබ විසින් ඉගෙනගත්තාවූද, විශ්වාස කිරීමට ඔබව පෙලඹෙව්වාවූද දේවල්වල පවතින්න. මන්ද, ඔබ ඒවා ඉගෙනගත්තේ කාගෙන්දැයි ඔබ දන්නෙහිය. එසේම, ළදරු වියේ පටන් ඔබ ශුද්ධ ලියවිල්ල දැනගෙන සිටින බවත් ඔබ දන්නෙහිය. මේ ශුද්ධ ලියවිල්ලට ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ වූ ඇදහිල්ල මාර්ගයෙන්, ගැලවීම ලබාගැනීම සඳහා ඔබව නැණවත් කළ හැක.” (2 තිමෝති 3:14, 15) තිමෝතිගේ කුඩා කාලය පටන් ඔහුගේ මව සහ ආච්චි ශුද්ධ ලියවිල්ලෙන් ඔහුට දැනුම ලබා දුන් අතර, දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟාගන්න ඔහුට උපකාර කළා. (ක්‍රියා 16:1; 2 තිමෝති 1:5) නමුත් පසු කාලයකදී ඔවුන් ක්‍රිස්තියානීන් බවට පත් වුණත් ක්‍රිස්තියානියෙක් වෙන්න කියා තිමෝතිට බල කළේ නැහැ. ඒ වෙනුවට ශුද්ධ ලියවිල්ලෙන් පැහැදිලි සාක්ෂි පෙන්නුම් කරමින් නිවැරදි නිගමනයකට එළඹෙන්න ඔවුන් ඔහු තුළ ‘පෙලඹීමක්’ ඇති කළා.

තේරීමක් කරන්න කියා දෙවි ඔබට ආරාධනා කරනවා

9. (අ) දෙවි අපට දුන් උතුම් වරප්‍රසාදය කුමක්ද? කුමන හේතුවක් නිසාද? (ආ) දෙවිගේ කුලුඳුල් පුත්‍රයා තමාට ලබා දුන් නිදහස භාවිත කළේ කෙසේද?

9 අපව කිසිම හැඟීමක් දැනීමක් නැති යන්ත්‍ර වගේ නිර්මාණය කරන්නත් දෙවිට හැකියාවක් තිබුණා. එසේ කළා නම් දෙවි බලාපොරොත්තු වන දේ හැර වෙන කිසිවක් අපට කරන්න බැහැ. නමුත් නිදහසේ තේරීම් කිරීමේ උතුම් වරප්‍රසාදය ඔහු අපට දානය කළා. එසේ කළේ මිනිසුන් ස්වකැමැත්තෙන්ම සේවය කරනවා දකින්න යෙහෝවා දෙවි ප්‍රිය කරන නිසයි. බාල මහලු හැමෝම එසේ කරනවා දකිද්දී දෙවිට දැනෙන්නේ මොන තරම් සතුටක්ද! දෙවි බලාපොරොත්තු වන දේට කැමැත්තෙන්ම යටත් වූ අය අතර ප්‍රධාන තැන ගන්නේ ඔහුගේම කුලුඳුල් පුත්‍රයා වන යේසුස්. දෙවිම ඔහු ගැන මෙසේ පැවසුවා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි.” (මතෙව් 3:17) මෙම ප්‍රේමණීය පුත්‍රයාත් තම පියාව අමතමින් කිව්වේ “මාගේ දෙවි, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි. එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිතෙහි තිබේ” කියායි.—ගීතාවලිය 40:8; හෙබ්‍රෙව් 10:9, 10.

10. යෙහෝවා දෙවි පිළිගන්නේ මොන වගේ සේවයක්ද?

10 තම පුත්‍රයාගේ මඟ පෙන්වීම යටතේ සේවය කරන සියලුදෙනාමත් ඔහු හා සමානව තමන් බලාපොරොත්තු වන දේට කැමැත්තෙන්ම යටත් වෙනවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. අනාගත සිද්ධියකට යොමු දක්වමින් ගීතිකාකරු මෙසේ ගායනා කළා. “ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ ශුද්ධකමේ අලංකාරයෙන් යුක්ත වූ ඔබගේ තරුණකමේ පිනි ඔබට ඇත.” (ගීතාවලිය 110:3) යෙහෝවාගේ සංවිධානයට අයත් ස්වර්ගයේ සහ පොළොවේ සිටින සියලුදෙනාම ඔහුට යටත්ව සිටින්නේ සිය කැමැත්තෙන්මයි.

11. දෙවිට කැපවූ දෙමාපියන් විසින් ඇති දැඩි කළ දරුවන් ඉදිරියේ තිබෙන තේරීම කුමක්ද?

11 දරුවෙනි, ඔබ හොඳින් තේරුම්ගත යුතු දෙයක් තිබෙනවා. ඔබට බව්තීස්ම වෙන්න ඔබේ දෙමාපියන්වත් සභාවේ වැඩිමහල්ලන්වත් බල කරන්නේ නැහැ. යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා වූ ආශාව ඇති විය යුත්තේ ඔබේ හදවතින්මයි. යෝෂුවා ඊශ්‍රායෙල් සෙනඟට පැවසුවේ “අවංකකමිනුත් සැබෑ කමිනුත් දෙවිට මෙහෙ කරන්න. . . . ඔබ මෙහෙ කරන්නට කැමති කෙනෙකු අදම තෝරාගන්න” කියායි. (යෝෂුවා 24:14-22) යෙහෝවා දෙවිට කැපවී ඔහු බලාපොරොත්තු වන දේ කිරීමට ඔබේ මුළු ජීවිතය යොදාගැනීමට වූ තීරණය ගත යුත්තේ ඔබයි.

තීරණය ඔබේ අතේ

12. (අ) දරුවන්ට යම් පුහුණුවක් දෙන්න දෙමාපියන්ට පුළුවන් වුණත්, ඔවුන් වෙනුවෙන් ඔවුන්ට කළ නොහැක්කේ කුමක්ද? (ආ) දරුවෙක් තමා ගන්නා තීරණ ගැන දෙවිට වගකියන්න පටන්ගන්නේ කවදා සිටද?

12 දෙමාපියන් දෙවිට දක්වන විශ්වාසවන්තකම දරුවන්ට ආරක්ෂාවක් වුණත් එය හැමදාටම නොවෙයි. (1 කොරින්ති 7:14) යාකොබ් එය පැහැදිලි කළේ මෙසේයි. “යමෙකු හරි දේ කිරීමට දැනගෙනත්, ඔහු එය කරන්නේ නැත්නම් ඔහුට එය පාපයකි.” (යාකොබ් 4:17) දරුවන්ට දෙමාපියන් වෙනුවෙන් දෙවිට සේවය කරන්න බැහැ වගේම දෙමාපියන්ටද දරුවන් වෙනුවෙන් දෙවිට සේවය කරන්න බැහැ. (එසකියෙල් 18:20) ඔබ යෙහෝවා දෙවි සහ ඔහු අරමුණු කරන දේ ගැන ඉගෙනගෙන තිබෙනවාද? එය ඔබේ ජීවිතයට අදාළ වන අයුරු තේරුම්ගැනීමටත් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් පුළුවන් වයසකද ඔබ සිටින්නේ? එසේනම් නම් දෙවිට සේවය කරනවාද කියා ඔබ තීරණයක් ගත යුතුයි. මන්ද දෙවි එය ඔබගෙන් බලාපොරොත්තු වන නිසයි.

13. බව්තීස්ම නොවූ යෞවන දරුවන් තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

13 ඔබ, දෙවිට කැපවූ දෙමාපියන් සිටින, රැස්වීම්වලට නොකඩවා සහභාගි වෙමින් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වන බව්තීස්ම නොවූ යෞවන දරුවෙක්ද? එසේනම් අවංකවම මෙම ප්‍රශ්න ඔබගෙන්ම අසාගන්න. ‘මම මේ සියල්ල කරන්නේ මොන ආකල්පයකින්ද? මම රැස්වීම්වලට හා සේවයට සහභාගි වන්නේ මගේ දෙමාපියන් බල කරන නිසාද? නැත්නම් යෙහෝවා දෙවිව සතුටු කරන්න මම කැමති නිසාද?’ දරුවෙනි “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි” ඔබ ඔබටම ‘ඔප්පු කරගෙන’ තිබෙනවාද?—රෝම 12:2.

කල් දමන්නේ ඇයි?

14. බව්තීස්මය අනවශ්‍ය ලෙස කල් නොදැමිය යුතු බව පැහැදිලි වන්නේ බයිබලයේ තිබෙන කවර උදාහරණවලින්ද?

14 “මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?” යේසුස් පොරොන්දු වූ ගැලවුම්කරු බව දැනගත් ඉතියෝපියානු මිනිසෙක් ඒ ප්‍රශ්නය ඇසුවේ තමාට ශුභාරංචිය දේශනා කළ ෆිලිප්ගෙනුයි. මෙම මිනිසාට ශුද්ධ ලියවිල්ල ගැන ප්‍රමාණවත් දැනුමක් තිබුණු නිසා තමා වහාම ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් ලෙස යෙහෝවා දෙවිට සේවය කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බව තේරුම්ගත්තා. ඔහු ගත් තීරණය නිසා ඔහු ඉමහත් සේ ප්‍රීති වුණා. (ක්‍රියා 8:26-39) තවත් ස්ත්‍රියක් වූ ලිදියා ගැන බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ “පාවුල් පවසමින් සිටි දේට අවධානය දීමට යෙහෝවා ඇගේ සිත විවෘත” කළා කියායි. වහාම “ඇයත් ඇගේ ගෙයි වැසියනුත් බව්තීස්ම” වුණා. (ක්‍රියා 16:14, 15) ෆිලිප්පි නම් නුවරේ සිටි, සිරගෙයි භාරකරුට පාවුල් හා සීලස් ‘යෙහෝවාගේ වචනය පැවසූ’ විට “ඔහුද ඔහුගේ ගෙයි වැසියෝද අප්‍රමාදව බව්තීස්ම වූහ.” (ක්‍රියා 16:25-34) මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ කුමක්ද? ඔබට යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණ ගැන මූලික දැනුමක් තිබෙනවාද? ඔහු ඔබෙන් බලාපොරොත්තු වන දේ කරන්න ඔබ තුළ අවංක ආශාවක් තිබෙනවාද? සභාවේ සහෝදරයන් අතර ඔබට හොඳ නමක් තිබෙනවාද? ඔබ නොකඩවා රැස්වීම්වලට හා ශුභාරංචිය දේශනා කිරීමේ සහභාගි වෙනවාද? එසේනම් බව්තීස්ම වීම කල් දමන්න ඔබට තිබෙන බාධාව කුමක්ද?—මතෙව් 28:19, 20.

15, 16. (අ) ඇතැම් යෞවන දරුවන් බව්තීස්ම වීමට අදිමදි කරන්නේ කවර වැරදිසහගත සිතුවිල්ල නිසාද? (ආ) දෙවිට කැපවී බව්තීස්ම වීම යෞවන දරුවන්ට ආරක්ෂාවක් විය හැක්කේ කෙසේද?

15 සමහරුන් මෙම වැදගත් පියවර ගැනීමට අදිමදි කරන්නේ හදිස්සියේවත් වරදක් කළොත් දෙවිට ඒ සම්බන්ධයෙන් ගණන් දෙන්න සිදු වෙයි කියන බිය නිසයි. ඔබත් එවැනි කෙනෙක්ද? උදාහරණයකට ඔබට රියැදුරු බලපත්‍රයක් ගන්න අවශ්‍යයි කියා සිතන්න. යම් දිනක රිය අනතුරක් සිදු වේයයි යන බියෙන් එම බලපත්‍රය ලබාගැනීමෙන් ඔබ වැළකී සිටිනවාද? එසේනම් බව්තීස්ම වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඔබට තිබෙනවා නම් ඔබත් එම පියවර ගැනීමට අදිමදි නොකළ යුතුයි. ඇත්තෙන්ම බව්තීස්ම වූ කෙනෙක් තම ජීවිතය දෙවිට කැප කර ඇති නිසාත්, ඔහු බලාපොරොත්තු වන දේ කිරීමට එකඟ වී ඇති නිසාත් වැරදි දේවලින් වැළකී සිටින්න ප්‍රබල හේතුවක් ඔහුට තිබෙනවා. (ෆිලිප්පි 4:13) දරුවෙනි, බව්තීස්මය කල් දැමූ පමණින් දෙවි ඉදිරියේ ගණන් දෙන්න අවශ්‍ය වන්නේ නැහැයි කියා සිතන්න එපා. ඔබ දැනුම් තේරුම් ඇති වයසකට පැමිණෙන විට ඔබ බව්තීස්ම වුණත් නැතත් ඔබ ක්‍රියා කරන ආකාරය ගැන දෙවිට ගණන් දෙන්න සිදු වෙනවා.—රෝම 14:11, 12.

16 ලොව පුරා සිටින සාක්ෂිකරුවන්ගෙන් විමසන විට ඔවුන් පවසන්නේ යෞවන කාලයේ බව්තීස්ම වීමට ඔවුන් ගත් තීරණය ඔවුන්ට මහත් ආරක්ෂාවක් වී ඇති බවයි. උදාහරණයකට බටහිර යුරෝපයේ සිටින 23 හැවිරිදි යෞවනයෙක් තමා අවුරුදු 13දී බව්තීස්ම වූ ආකාරය මතකයට නංවනවා. ඔහු කියන්නේ ‘යොවුන් වියට ආවේණික වූ ආශාවලට’ හසු නොවෙන්න ඒ තීරණය ඔහු තුළ මහත් පෙලඹීමක් ඇති කළ බවයි. (2 තිමෝති 2:22) ළාබාල වයසේ සිටම ඔහු තීරණය කළේ කවදා හරි පූර්ණ කාලීනව දෙවිට සේවය කරනවා කියායි. දැන් ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්නේ ඉමහත් සතුටක් ලබමිනුයි. ඇත්තෙන්ම ඔබ ඇතුළුව දෙවිට සේවය කරන්න තෝරාගන්නා සෑම යෞවනයෙකුටම බොහෝ ආශීර්වාද අපේක්ෂා කළ හැකියි.

17. දිගටම ‘යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගැනීම’ අවශ්‍ය වන්නේ ඇයි?

17 කෙනෙක් කැපවී බව්තීස්ම වන විට ඔහු හෝ ඇය තම ජීවිතයේ සියලුම පැතිවලදී දෙවිගේ කැමැත්තට එකඟව කටයුතු කිරීමට පටන්ගන්නවා. එම කැපවීමට එකඟව ජීවත් වෙන්න නම් “සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” අවශ්‍යයි. ඉන් අදහස් වන්නේ කලින් නිෂ්ඵල දේවල් සඳහා යෙදවූ කාලය බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීමටත්, රැස්වීම්වලට නිතිපතා සහභාගි වීමටත්, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ කටයුත්තට හැකි උපරිමයෙන් දායක වන්නටත් මිඩංගු කිරීමයි. (එෆීස 5:15, 16; මතෙව් 24:14) යෙහෝවා දෙවිට අප කරන කැපවීමත් ඔහු බලාපොරොත්තු වන දේ කිරීමට අපට තිබෙන ආශාවත් අපගේ ජීවිතයේ හැම පැත්තකටම යහපතක් සිදු කරනවා. උදාහරණයකට විනෝදය, කෑම බීම හා සංගීතය සම්බන්ධයෙන් අප කරන තේරීම් වඩාත් ඥානවන්තව කරන්න අපට හැකි වෙනවා. අපගේ විනෝදය සඳහා තෝරා ගන්නේ පාරාදීස පොළොවේදීත් කළ හැකි යමක්ද? ‘යෙහෝවාගේ කැමැත්තට’ එකඟව විනෝද විය හැකි ක්‍රම රැසක් ඇති බව ප්‍රීතිමත් යෞවන සාක්ෂිකරුවන් බොහොමයක් ඔබට කියනවා නිසැකයි.—එෆීස 5:17-19.

“අපි ඔබ සමඟ යන්නෙමු”

18. යෞවන දරුවන් තමන්ගෙන් අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

18 ක්‍රිස්තු පූර්ව 1513 සිට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දිනය දක්වා දෙවි ඊශ්‍රායෙල් ජාතියව සැලකුවේ තමා විසින් තෝරාගත්, තමා වෙනුවෙන් සාක්ෂි දරන, තමාට නමස්කාර කරන, සංවිධානය වූ ජාතියක් හැටියටයි. (යෙසායා 43:12) සෑම ඊශ්‍රායෙල් දරුවෙක්ම උපන් දා සිටම එම ජාතියට අයත් වුණා. ඒ පිළිබඳව තේරීමක් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. නමුත් පෙන්තකොස්ත දවසේ සිට “දෙවි තම නාමය උදෙසා” අලුත් ජාතියක්, එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව මිහිපිට බිහි කළා. (1 පේතෘස් 2:9, 10; ක්‍රියා 15:14; ගලාති 6:16) පාවුල් පැහැදිලි කළේ ක්‍රිස්තුස් “තමන්ට පමණක් අයත් වූ සෙනඟක් තමා සඳහා පවිත්‍ර” කරගත් බවයි. (තීතස් 2:14) ඒ සෙනඟ කවුද කියා තීරණය කිරීමට යෞවන දරුවන් වන ඔබටත් නිදහස තිබෙනවා. එසේනම් “සැබෑව රක්ෂා කරන ධර්මිෂ්ඨ ජාතිය” කවුද? බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්නේ කවුද? යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන්නේ කවුද? මිනිසාට තිබෙන එකම බලාපොරොත්තුව ලෙස දේවරාජ්‍යය ගැන දේශනා කරමින් සිටින්නේ කවුද? (යෙසායා 26:2-4) තමන් ක්‍රිස්තියානීන්යයි කියාගන්නා පල්ලි සහ විවිධ සභා මෙන්ම වෙනත් ආගම් දෙස බලන්න. දෙවිගේ සැබෑ සේවකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව බයිබලයේ සඳහන් ප්‍රමිතිවලට එකඟව ඔවුන් ජීවත් වෙනවාද කියා සලකා බලන්න.

19. ලොව පුරා සිටින මිලියන ගණන් අයට තදින් කාවැදී තිබෙන්නේ කුමක් ගැනද?

19 මෙම “ධර්මිෂ්ඨ ජාතිය” අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බව ලොව පුරා මිලියන ගණන් අයට තදින් කාවැදී තිබෙනවා. ඒ මහත් පිරිසට බොහෝ යෞවන දරුවනුත් ඇතුළත්. ඔවුන් සියලුදෙනාම එකම හඬින් පවසන්නේ “අපි ඔබ සමඟ යන්නෙමු. මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයැයි ඇසීමු” කියායි. (සෙකරියා 8:23) යෞවන දරුවෙනි, අපගේ අවංක බලාපොරොත්තුව හා යාච්ඤාව වන්නේ ඔබත් දෙවිගේ සෙනඟට එකතු වී ‘ජීවිතය තෝරාගනී’ කියායි. ඒ ජීවිතය නම් යෙහෝවා දෙවි ලබා දෙන පාරාදීස පොළොවේ සදාකාල ජීවනයයි.—ද්විතීය කතාව 30:15-20; 2 පේතෘස් 3:11-13.

පුනරීක්ෂණය

• දෙවි සිතන ආකාරයට සිතන්න ඉගැන්වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

• යෙහෝවා දෙවි පිළිගන්නේ අප ඔහුට කුමනාකාරයට සේවය කළොත්ද?

• දෙවිට කැපවූ දෙමාපියන් සිටින දරුවන් ඉදිරියේ තිබෙන තේරීම කුමක්ද?

• බව්තීස්මය අනවශ්‍ය ලෙස කල් නොදැමිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූර]

ඔබ සවන් දෙන්නේ කාටද?

[28වන පිටුවේ පින්තූරය]

දෙවිට කැපවී බව්තීස්ම වීම ඔබට ආරක්ෂාවක් විය හැක්කේ කොහොමද?

[29වන පිටුවේ පින්තූරය]

බව්තීස්ම වීමට ඔබට ඇති බාධාව කුමක්ද?