Skip to content

පටුනට යන්න

දෙවිගේ කැමැත්ත කිරීමට වූ ඔවුන්ගේ ආශාව

දෙවිගේ කැමැත්ත කිරීමට වූ ඔවුන්ගේ ආශාව

දෙවිගේ කැමැත්ත කිරීමට වූ ඔවුන්ගේ ආශාව

සියලුම ක්‍රිස්තියානීන්ට ආදර්ශයක් තැබූ යේසුස් තම පියාට යාච්ඤා කළේ “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කියායි. (ලූක් 22:42) ඒ හා සමාන ඔහුගේ මෙම නිහතමානී යටත්කම අද දින සිටින මිලියන ගණන් දෙවිගේ සේවකයන් විසින් පෙන්වා තිබෙනවා. ඒ අය අතරට 120වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් 52දෙනාද වෙනවා. ඔවුන්ට පැවරුම් පිරිනැමීමේ වැඩසටහන පැවතියේ 2006 මාර්තු 11වන දායි. අසීරු තත්වයන් යටතේ වුවත් විවිධ රටවල දෙවිගේ සේවය කිරීමට එම ශිෂ්‍යයන් ඉමහත් ආශාවෙන් සිටියා.

දෙවිගේ කැමැත්ත කිරීම තම ජීවිතවල පළමු තැනට දැමීමට මෙම ශිෂ්‍යයන් පෙලඹුණේ ඇයි? බොලිවියාවේ සේවය කිරීමට පැවරුම් ලැබූ ක්‍රිස් සහ ලෙස්ලි ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “අපේම කැමැත්තට දේවල් කරන එක අපි අත්හැර දමා තිබෙන නිසා යෙහෝවා දෙවිගේ සංවිධානයේ ඕනෑම දෙයක් කිරීම සඳහා ඉදිරිපත් වෙන්න අපි කැමතියි.” (මාක් 8:34) ඇල්බේනියාවට පැවරුම් ලැබූ ජේසන් සහ ෂරීත් ඒ හා සමාන දෙයක් පැවසුවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් අප ලැබූ හැම පැවරුමකම යම් යම් අභියෝග තිබුණා. ඒ වුණත් යෙහෝවා දෙවි කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය තැබීම වටින බව අපි හොඳින් වටහාගෙන තිබෙනවා.”

යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට ලැබූ දිරිගැන්වීම

මේ ප්‍රීතිමත් උත්සවයට සහභාගි වීමට නිව් යෝර්ක් නගරයේ පැටර්සන්වල පිහිටි මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයට රටවල් 23කින් අමුත්තන් පැමිණ සිටියා. චිත්‍ර සම්පාදන අංශයේ සේවය කරන බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වන ජෝර්ජ් ස්මිත් යාච්ඤාවකින් වැඩසටහන ආරම්භ කළා. පැමිණි අයව පිළිගත්තේ මෙම වැඩසටහනේ සභාපති වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ස්ටීවන් ලෙට් විසිනි. සහෝදර ලෙට් ශිෂ්‍යයන්ට පැවසුවේ ඔවුන් ඉටු කිරීමට සූදානමින් සිටින්නේ ඉතා “බලවත් වූ” කාර්යයක් බවයි. “බලකොටු” වැනි වැරදි ඉගැන්වීම් “බිඳ හෙළීමට තරම්” හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ ශුද්ධ ලියවිල්ල සතු බලය නිසයි. (2 කොරින්ති 10:4, 5) ඔහු අවසන් කළේ මෙසේ කියමින්. “ඔබ යන රටේදී ඔබට හමුවන අවංක හදවත් ඇති අය තුළ මුල් බැස ගත් වැරදි ඉගැන්වීම් බිඳ හෙළන්නට යෙහෝවා දෙවි ඔබව තෝරාගැනීම කොතරම් ප්‍රීතිමත් දෙයක්ද!”

ලෝක මූලස්ථානයේ සාමාජිකයෙක් වන සහෝදර හැරල්ඩ් ජැක්සන්ගේ කතාවේ තේමාව වුණේ “මතක තබාගත යුතු දේවල් කිහිපයක්” යන්නයි. ‘පළමුකොට රාජ්‍යයද දෙවිගේ ධර්මිෂ්ඨකමද සොයන්න’ යන අවවාදය කවදාවත් අමතක කරන්න එපා කියා ඔහු ඒ ශිෂ්‍යයන්ට අවධාරණය කළා. (මතෙව් 6:33) “ප්‍රේමය ගොඩනංවන්නේය” යන කාරණය වගේම එය සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට මඟක් වන බවත් ඔවුන් මතක තබාගත යුතුයි. (1 කොරින්ති 8:1) ඔහු පැවසුවේ “අන්‍යයන් සමඟ කටයුතු කරද්දී හැමවිටම ඔබට මඟ පෙන්වන්න ප්‍රේමයට ඉඩහරින්න!”කියායි.

ඊළඟට 1979 සිට 2003 දක්වා වෙනත් රටවල සේවය කළ දැන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජෙෆ්රි ජැක්සන් ශිෂ්‍යයන්ගෙන් මෙහෙම ඇහුව්වා. “ඔබ සමබරව වැඩ කරන කෙනෙක්ද?” තමා ගැනත් දේවසේවය ගැනත් සමබර ආකල්පයක් ඇතිව සිටීමේ අවශ්‍යතාව ගැන ඔහු කතා කළා. සත්‍ය බීජ වැපිරීමේදී හා ඒවාට වතුර දැමීමේදී ක්‍රිස්තියානීන් වෙහෙස වී වැඩ කිරීම ඔවුන්ගේ වගකීමයි. නමුත් ‘එය වැඩීමට සලස්වන්නේ දෙවිය.’ (1 කොරින්ති 3:6-9) සහෝදර ජැක්සන් තවදුරටත් මෙහෙම කිව්වා. “තමාගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබට තිබෙන ලොකුම වගකීම කුමක්ද? එය නම් යෙහෝවාටත් ඔබ සේවය කරන්න යන අයටත් ප්‍රේම කිරීමයි.”

ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන ලෝරන්ස් බෝවන්ගේ කතාවේ තේමාව වුණේ “ඔබ හැසිරිය යුතු ආකාරය ගැන කල්පනාකාරී වන්න” යන්නයි. යෙහෝවා දෙවි පාළු දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව ගෙන එද්දී ඔවුන්ට මඟ පෙන්වා ආරක්ෂා කළ ආකාරය ගැන ඔහු මතක් කළා. (නික්මයාම 13:21, 22) “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව මාර්ගයෙන් දෙවි අද දින අපටත් මඟ පෙන්වීම සහ ආරක්ෂාව සපයනවා. (1 තිමෝති 3:14, 15) අවංක අයට මඟ පෙන්වීම සහ ආරක්ෂාව ලබා දෙන බයිබල් සත්‍යයට මේ නව ශිෂ්‍යයන් ඇලී සිටින්න අවශ්‍යයි.

තවත් උපදේශකයෙක් වන වොලස් ලීවරන්ස් ඔවුන්ට උනන්දු කළේ අපට ‘පිටුපසින්’ ඇසෙන ශබ්දයක් හා සමානව වන මීට සියවස් ගණනාවකට කලින් ලියා සම්පූර්ණ කළ දෙවිගේ වචනය තිබෙන බව අමතක කරන්න එපා කියායි. එඬේරෙක් බැටළුවන්ගේ පිටුපසින් සිට තම බැටළුවන්ට මඟ පෙන්වනවා වගේ යෙහෝවා දෙවිත් තම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් තම සෙනඟට මඟ පෙන්වනවා. (යෙසායා 30:21; මතෙව් 24:45-47) දාස පංතිය කෙරෙහි අගයක් වැඩි කරගන්න එම පාසැල ඔවුන්ට උපකාර කළා. ඒ වගේම “දාසයා” විසින් ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනයද සපයා දී තිබෙනවා. කථිකයා මෙසේ පවසමින් ඔවුන්ව උනන්දු කළා. “තොරතුරුවලින් පිරී ඇති මෙම නිධානය පාවිච්චි කර අන්‍යයන්ට උගන්වන්න.”—මතෙව් 13:52.

දේශනා සේවයේදී යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම

මෙම පාසැල අතරතුරේදී දේශනා සේවයේ සහභාගි වූ ශිෂ්‍යයන් ලැබූ අද්දැකීම් කිහිපයක් ගැන ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන මාක් නූමෙයා ගෙනහැර දැක්වූවා. ඔහුගේ තේමාව වූයේ “ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තිබෙන මහත් ඕනෑකම” යන්නයි. (රෝම 1:15) ලැබෙන සෑම අවස්ථාවකදීම මහත් උද්‍යෝගයකින් දේශනා කළ ශිෂ්‍යයන් කිහිපදෙනෙක් සමඟම ඔහු සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා.

සහෝදර කෙනත් ෆ්ලොඩින්, එක්සත් ජනපදයේ දැන් සේවය කරන සංචාරක අවේක්ෂකයන් තුන්දෙනෙක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් ශිෂ්‍යයන් තවත් දිරිගැන්වුණා. දකුණු සහ මධ්‍යම අමෙරිකාවේ කලක් සේවය කළ රිචර්ඩ් කෙලර් සහ ආලහාන්ඩ්‍රෝ ලාකියෝ වෙනත් රටවල සේවය කරද්දී තමන් මුහුණ දුන්නා වූ විවිධ කරදර හිරිහැර ගැන වගේම ලැබූ ආශීර්වාද ගැනත් විස්තර කළා. මෝසාර් ෆෙලිස්බීනෝ තමන් හැදුණු වැඩුණු බ්‍රසීලයේදී එරටට සේවය කිරීමට පැමිණි අය සමඟ හවුලේ වැඩ කිරීමෙන් අනර්ඝ පුහුණුවක් ලැබූ ආකාරය ගැන කිව්වා.

ඩේවිඩ් ෂේෆර්ගේ කතාවේදී වෙනත් රටවල සේවය කළ අද්දැකීම් ලැබූ රොබර්ට් ජෝන්ස්, වුඩ්වර්ත් මිල්ස් සහ ක්‍රිස්ටෝෆර් ස්ලේ සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. පීඩා කරදර අද්දකිද්දී එම සහෝදරයන් තිදෙනා යෙහෝවා දෙවි මත රඳා සිටිමින් ක්‍රියා කළ ආකාරය ගැන කියද්දී එම ශිෂ්‍යයන් ඊට කිට්ටු අවධානයක් දුන්නා. යෙහෝවා දෙවිගේ සංවිධානය මගින් තමන්ට ලැබුණු පුහුණුව නිසා වෙනත් රටකදී තමන් කළ සේවය හොඳින් කිරීමට හැකි වූ බව ඔවුන් ශිෂ්‍යයන්ට සහතික වුණා. සහෝදර මිල්ස් එය සාරාංශ කළේ මෙහෙම කියමිනුයි. “ගිලියද් පාසැලේදී බයිබලයේ තොරතුරු රාශියක් තේරුම්ගන්න ලැබුණත් මට වැඩියෙන්ම කාවැදුණේ එහිදී ඉගෙනගත් යටහත්කම සහ ප්‍රේමයයි.”

“යෙහෝවා දෙවි කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ” යන ප්‍රධාන කථාව ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන සහෝදර ගයි පියස්. ආදම් පව් කළේ දෙවිගේ පැත්තෙන් සිදු වූ යම් අඩු පාඩුවක් නිසාද? සමහරුන් කියනවා වගේ දෙවි ආදම්ව මැව්වේ අඩුවක් ඇතිවද? කොහෙත්ම නැහැ. “දෙවි මනුෂ්‍යයා ඇද නැතුව මැවුවේය” කියා බයිබලය පවසනවා. (දේශනාකාරයා 7:29) යේසුස් පොළොවේ සිටියදී ඉතාමත් දරුණු පීඩා මැද වුණත් දෙවිට පක්ෂපාතව සිටීමෙන් ඔප්පු කළ දේ ගැන සඳහන් කරමින් කථිකයා පැවසුවේ “තමන් වරදට වැටීම ගැන නිදහසට කරුණු කියන්න හෝ ඉදිරිපත් කරන්න කිසිම හේතුවක් ආදම්ට තිබුණේ නැහැ” කියායි. ඒදන් උයනේදී ආදම් මුහුණ දුන් පරීක්ෂාව යේසුස් මුහුණ දී ජය ගත් පරීක්ෂා තරම් අමාරු එකක් නෙවෙයි. ඒ වුණත් ආදම් පව් කළා. නමුත් යෙහෝවා දෙවි කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. ඔහු අරමුණු කළ දේ ඉටු වෙනවාමයි. (යෙසායා 55:11) සහෝදර පියස් ශිෂ්‍යයන්ට මෙහෙම කිව්වා. “ඔබගේ ආත්ම පරිත්‍යාගී ස්වභාවය තුළින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමේ වරප්‍රසාදය ඔබට තිබෙනවා. ඔබ කොහේ සේවය කළත් යෙහෝවා දෙවි ඔබ සමඟ වේවා!”

විවිධ රටවල ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලින් ලැබුණු සුබ පැතුම් කියවීමෙන් පසු සභාපති වන සහෝදර ලෙට් විසින් ශිෂ්‍යයන්ට ඔවුන්ගේ පැවරුම් ලබා දුන්නා. බෙතෙල් පවුලේ දිගු කලක් පුරා සේවය කරන සහෝදර වර්නන් වයිස්ගාවර් අවසාන යාච්ඤාව කළා.

දෙවිගේ කැමැත්ත කරන්න ඔවුන්ට තිබෙන උද්‍යෝගය මෙම වැඩසටහනින් පසු තවත් වැඩි වූ බව පැමිණි සිටි 6,872දෙනාට හැඟුණා. (ගීතාවලිය 40:8) එහි ශිෂ්‍යයන් වූ ඇන්ඩෘ සහ ඇනා මෙහෙම කිව්වා. “අපි කැප වුණේ යෙහෝවා දෙවිටයි. ඒ නිසා යෙහෝවා දෙවි අපෙන් ඉල්ලන ඕනෑම දෙයක් කරන්න අපි දෙවිට පොරොන්දු වුණා. දැන් අප්‍රිකාවේ කැමරූන් රටට යන්න කියලා දෙවි අපෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඒක සතුටින් භාර ගත්තා.” ඒ දෙදෙනා ඇතුළු අනෙකුත් ශිෂ්‍යයන් හැමදෙනාමත් තෘප්තිය ගෙන දෙන කාර්යයක් පටන්ගැනීම සඳහා මහත් ආශාවෙන් බලා සිටිනවා. ඔවුන්ගේ ආශාව දෙවිගේ කැමැත්ත කිරීමටයි.

[17වන පිටුවේ කොටුව]

සහභාගි වූවන්ගේ විස්තර

නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 6

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 20

ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව: 52

වයසේ සාමාන්‍යය: 35.7

සත්‍යය තුළ සිටින වසර ගණනේ සාමාන්‍යය: 18.3

පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින වසර ගණනේ සාමාන්‍යය: 14.5

[18වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලත් 120වන පංතිය

පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තු ගත කර තිබෙනවා.

(1) රයිට්, එස්.; ස්වාරෙස්, බී.; ක්‍රිසන්ට්, බී.; ඩැවන්පෝට්, එල්. (2) ජොන්සන්, ඒ.; අලි, සී.; කැඩි, කේ.; ගුරේරෝ, පී.; ආසෙස්, ඒ. (3) ඔර්තෙස්, එල්.; ලයිල්, කේ.; උසෙතා, එම්.; පෙරෙත්, ආර්.; බැකස්, කේ.; කාතරීනා, සී. (4) පාමර්, බී.; ලවිං, ඩී.; මක්ඩොනෝ, ජේ.; බොස්ටොක්, ඩී.; බෙනිටාටොස්, එල්. (5) ජාසිකි, එම්.; සාරාෆියානොස්, ඊ.; ස්ටෙල්ටර්, සී.; වයිරා, ආර්.; වූන්, ජේ.; ප්‍රෙන්ටිස්, කේ. (6) ඩැවන්පෝට්, එච්.; ක්‍රිසන්ට්, එච්.; පෙරෙත්, එම්.; වයිරා, ඊ.; ස්වාරෙස්, ඒ.; කාතරීනා, අයි.; රයිට්, සී. (7) කැඩි, කේ.; මක්ඩොනෝ, ජේ.; ඔර්තෙස්, එම්.; වූන්, ජේ.; අලි, ජේ.; ආසෙස්, එම්. (8) සාරාෆියානොස්, ජී.; ලයිල්, ඩී.; උසෙතා, සී.; ස්ටෙල්ටර්, පී.; ප්‍රෙන්ටිස්, ජී.; ජොන්සන්, ඒ.; බෙනිටාටොස්, සී. (9) පාමර්, ජේ.; ජාසිකි, ඩබ්.; බැකස්, ජේ.; බොස්ටොක්, එස්.; ගුරේරෝ, ජේ. එම්.; ලවිං, එස්.