Skip to content

පටුනට යන්න

විඳදරාගැනීම නිසා ලැබූ ප්‍රීතිය

විඳදරාගැනීම නිසා ලැබූ ප්‍රීතිය

ජීවිත කතාව

විඳදරාගැනීම නිසා ලැබූ ප්‍රීතිය

මාරියෝ රෝෂා ඩි සූසා

“රෝෂා මහතා මේ සැත්කමින් පස්සේ ජීවත් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.” වෛද්‍යවරයා ඒ බලාපොරොත්තු සුන් කරවන වචන කියලා දැන් අවුරුදු 20ක් ගත වෙලා. ඒත් මම තාමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියට සේවය කරනවා. මේ අවුරුදු ගණනාව පුරා විඳදරාගෙන සේවය කරන්න මට පුළුවන් වුණේ කොහොමද?

මගේ ළමා කාලය ගෙවුණේ බ්‍රසීලයේ ඊසාන දිගට වෙන්න තිබෙන බාහියා කියන ප්‍රාන්තයේ සාන්ටූ එස්ටාවු නම් ගමේ ගොවි පොළකයි. මට අවුරුදු හතක් විතර වෙද්දී ගොවි පොළේ වැඩ කරන්න මම තාත්තට උදව් වුණා. හැමදාම ඉස්කෝලෙ ඇරිලා ආවාට පස්සේ තාත්තා මට කරන්න වැඩක් දෙනවා. කාලය ගත වෙද්දී තාත්තා යම් වැඩවලට අපි හිටිය ප්‍රාන්තයේ අගනුවර වන සැල්වදෝර්වලට විටින් විට ගියා. ඒ යන හැම වෙලාවකදීම ගොවි පොළේ වැඩ බාර දීලා ගියේ මටයි.

අපිට විදුලි බලයවත් ජලනල පහසුකම්වත් අද තිබෙන වෙනත් ආකාරයේ පහසුකම්වත් තිබුණේ නැහැ. ඒත් අපි හිටියේ සතුටින්. මම සරුංගල් යැව්වා. යාළුවෝ එක්ක එකතු වෙලා ලීවලින් සෙල්ලම් බඩු හදලා ඒවත් එක්ක සෙල්ලම් කළා. මම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙත් හිටියා. පල්ලියේ තිබුණු උත්සවවලදී මම ක්ලැරිනට් කියන නළාව පිම්ඹා. එක දවසක් මම එහි තිබූ ඊස්ටෝරියා සෙග්‍රාඩා (පරිශුද්ධ ඉතිහාසය) කියන නමින් තිබූ පොතක් දැක්කා. බයිබලය ගැන මට තිබූ කුතුහලයක් ඇවිස්සුවේ ඒ පොතයි.

මට අවුරුදු 20ක් වෙද්දී ඒ කියන්නේ 1932දී බ්‍රසීලයේ ඊසාන දිග පැත්තේ ඇති වුණු දරුණු නියඟය නිසා අපේ හරක් ටික මැරිලා ගියා වගේම වගාවත් පාළු වුණා. ඒ නිසා මම රස්සාවක් හොයාගෙන සැල්වදෝරයට ගියා. එහිදී මට ට්‍රෑම් රථ රියදුරෙක් හැටියට රස්සාවක් හම්බ වුණා. පස්සේ මම පොඩි ගෙයක් කුලියට අරගෙන මගේ පවුලේ අයවත් එහාට ගෙන්න ගත්තා. තාත්තා 1944දී මිය ගියාම මුළු පවුලේම බර මගේ කර පිට වැටුණා. මට අම්මාවයි නංගිලා අටදෙනාවයි මල්ලීලා තුන්දෙනාවයි බලාගන්න සිද්ධ වුණා.

ට්‍රෑම් රථ රියදුරෙක් පූර්ණ කාලීන දේවසේවකයෙක් වූ හැටි

සැල්වදෝරයට ගිය ගමන්ම වගේ මම බයිබලයක් මිල දී ගත්තා. අවුරුදු ගණනාවක්ම මම ගියේ බැප්ටිස්ට් පල්ලියටයි. මාත් එක්ක මිත්‍ර වුණ තවත් රියදුරෙක් වන ඩූර්වාල් එක්ක මම බයිබලය ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. එක දවසක් එයා මට මළවුන් කොහේද? * කියන පොත් පිංචය දුන්නා. අමරණීය ආත්මයක් තියෙන බව මම ඒ කාලේ විශ්වාස කළත් ඒ පොත් පිංචයේ තියෙන බයිබල් පද බලන්න මට මහත් කුතුහලයක් තිබුණා. මරණයේදී සිදු වන්නේ කුමක්ද කියා බයිබලයේ කියන දේ දැක්කාම මම පුදුම වුණා.—දේශනාකාරයා 9:5, 10; ගීතාවලිය 146:3.

මගේ උනන්දුව ගැන වටහාගත් ඩූර්වාල් පූර්ණ කාලීනව දේවසේවය කළ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන ආන්ටෝනියෝ ආන්ද්‍රාඩීව මට මුණගැස්සුවා. අපි තුන් වතාවක් සාකච්ඡා කළාට පස්සේ ආන්ටෝනියෝ මට කිව්වා එයාත් එක්ක අනිත් අයට බයිබලය උගන්වන්න එන්න කියලා. පළමුවෙනි ගෙවල් දෙකේ කතා කළාට පස්සේ එයා මට කිව්වා “ඊළඟ ගෙදරට ඔයා කතා කරන්න” කියලා. එතකොට මාව සීතල වෙලා ගියා. නමුත් එක පවුලක් මට හොඳින් ඇහුම්කන් දීලා මම දුන්න පොත් දෙකක්ම ගත්තාම මට ඇති වුණේ පුදුම සතුටක්. අදත් මට ඒ වගේ කෙනෙක්ව හමු වුණාමත් දැනෙන්නේ එදා වගේම සතුටක්.

වර්ෂ 1943 අප්‍රියෙල් 19වෙනිදා යේසුස්ගේ මරණය සිහිකිරීම පැවති දවසේමයි මම බව්තීස්ම වුණේ. ඒ සැල්වදෝරයේ අත්ලාන්තික් සාගරයේයි. ඒ කාලයේ අද්දැකීම් ලත් දේවසේවකයන් හිටියේ ස්වල්පදෙනයි. ඒ නිසා සහෝදර ආන්ද්‍රාඩීගේ නිවසේ එකතු වූ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමට සහය වෙන්න මාව පත් කළා. ඔහුගේ නිවස තිබුණේ සැල්වදෝරයේ ඉහළ සහ පහළ පෙදෙස් එක්වන ස්ථානයේ තිබූ පටු මාවතකයි.

මුල් කාලයේ ඇති වූ විරුද්ධවාදිකම්

දෙවන ලෝක මහා යුද්ධය කාලයේදී (1939-45)වැඩිදෙනා අප ගෙයින් ගෙට කරන සේවය ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. අපගේ ප්‍රකාශනවලින් වැඩි හරියක්ම මුද්‍රණය කළේ අමෙරිකා එක්සත් ජනපදයේ නිසා නිලධාරීන් හිතුවේ අපි උතුරු අමෙරිකාවට ඔත්තු සපයනවා කියලයි. ඒ නිසා අපෙන් නිතර නිරත ප්‍රශ්න කිරීම සහ අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. දේවසේවය නිම වී සාක්ෂිකරුවෙක් ගෙදර ආවේ නැත්නම් අපි හිතුවේ එයාව සිරභාරයට අරගෙන ඇති කියලයි. ඒ නිසා ඒ කෙනාව නිදහස් කරගන්න අපි පොලිසියට ගියා.

ඇඩෝල්ෆ් මෙස්මර් 1943 අගෝස්තු මාසයේදී ජර්මනියේ සිට පැමිණියේ සැල්වදෝරයේ පැවැත්වූ අපේ පළමුවෙනි එක්රැස්වීම සංවිධානය කරන්න උදව් කරන්නයි. මෙය සංවිධානය කරන්න නිලධාරීන්ගෙන් අවසර ලබාගත්තාට පස්සේ “පාරාදීස පොළොවේදී ලබන නිදහස” යන තේමාවෙන් යුත් ප්‍රසිද්ධ කථාව ගැන ප්‍රචාරය කළා. පත්තරවල දැන්වීම් පළ කළා, කඩ සාප්පුවල පෝස්ටර් ඇලෙව්වා වගේම ට්‍රෑම් රථවලත් දෙපැත්තේ ඇලෙව්වා. නමුත් එක්රැස්වීම පැවැත්වූ දෙවෙනි දින පොලිසියෙන් අපිට දැනුම් දුන්නේ එම රැස්වීමට අපිට තිබෙන බලපත්‍රය අහෝසි කළා කියලයි. සැල්වදෝරයේ අගරදගුරු අපගේ එක්රැස්වීම නවත්වන්න කියා පොලිසියට බලපෑම් කරලා තිබුණා. කොහොමවුණත් අපි ප්‍රචාරය කළ ප්‍රසිද්ධ කථාව පැවැත්වීමට අවසර ලැබුණේ ඊළඟ අවුරුද්දේ අප්‍රියෙල් මාසයේදීයි.

ඉලක්කයක් කරා

බ්‍රසීලයේ සැවෝ පවුලෝ නගරයේ පැවති “ප්‍රීතිමත් ජාතීන්” නම් එක්රැස්වීමට සහභාගි වීම සඳහා 1946දී මට ආරාධනයක් ලැබුණා. සැල්වදෝරයේ භාණ්ඩ ප්‍රවාහණය කරන නැවක කපිතාන්වරයා අපිට කිව්වා නැවේ තට්ටුවේ නිදාගන්න කැමති නම් අපේ කණ්ඩායමට ඒ නැවෙන් යාත්‍රා කරන්න පුළුවන් කියලා. නැවෙන් දින හතරක් ගමන් කළ පසු අපි රියෝ ඩි ජැනීරෝ නගරයට ගොඩබැස්සා. මුහුදේ ගමන් කිරීම නිසා ඇති වන අසනීප අපට හැදුණා වගේම අපි කුණාටුවකටත් අසු වුණා. ඒ නිසා රියෝ ද ජැනීරෝ නගරයේ හිටිය සාක්ෂිකරුවන් අපිට ආරාධනා කළා ඔවුන්ගේ නිවෙස්වල දින කිහිපයක් නැවතිලා විවේක ගන්න කියලා. ඉන්පසු අපි දුම්රියෙන් ගමන ආරම්භ කළා. සැවෝ පවුලෝ දුම්රිය ස්ථානයට ළඟා වුණාම “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සාදරයෙන් පිළිගනිමු” නම් බැනර් අල්ලගෙන හිටිය පොඩි කණ්ඩායමක් අපිව සතුටින් පිළිගත්තා.

හැරී බ්ලැක් කියන්නේ අමෙරිකාවෙන් සැල්වදෝරයේ සේවය කිරීමට පැමිණි සහෝදරයෙක්. ඉතින් එක්රැස්වීමෙන් පසු නැවත සැල්වදෝරයට ගිය ගමන්ම මම ඔහුට කතා කරලා කිව්වා මට පුරෝගාමියෙක් වෙන්න ආසයි කියලා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයන්ව හඳුන්වන්නේ ඒ නමිනුයි. මට නංගිලා මල්ලිලා බලාගැනීමේ වගකීම තිබෙන නිසා ටිකක් ඉවසලා ඉන්න කියලා හැරී මට කිව්වා. කොහොමහරි 1952 ජූනි වෙද්දී මගේ බාල සහෝදර සහෝදරියන් තමන්ටම කියලා යමක් උපයාගන්න පටන්ගත්තාම මට පුරෝගාමි පැවරුමත් ලැබුණා. ඒක ලැබුණේ සැල්වදෝරයේ දකුණු පැත්තේ මුහුදුබඩට වෙන්න කිලෝමීටර් 210ක් ඈතින් පිහිටි ඉලේයුස් නගරයේ තිබෙන කුඩා සභාවකටයි.

ත්‍යාගශීලී සැපයුමක්

ඊළඟ අවුරුද්දේදී මට පැවරුම ලැබුණේ රට ඇතුළට වෙන්න පිහිටි සාක්ෂිකරුවන් නැති සෙකියා නම් විශාල නගරයටයි. මම පළමුවෙන් මුණගැසෙන්න ගියේ ඒ ප්‍රදේශයේ හිටිය පූජකයාවයි. ඔහු කිව්වා ඒ ප්‍රදේශය ඔහුට අයිති නිසා එහි දේශනා කරන එක තහනම් කියලා. මීසමේ අයට කිව්වා “බොරු අනාගතවක්තෘ” කෙනෙක් ගමට ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ වගේම මං මොනවාද කරන්නේ කියලා හොයලා බලන්න නගරය පුරාම ඔත්තුකරුවන්වත් දාලා තිබුණා. ඒ කොහොම වුණත් එදා මම අපගේ පොත් පත් 90කට වැඩියෙන් බෙදා දුන්නා වගේම බයිබල් පාඩම් හතරක් පටන්ගත්තා. අවුරුදු දෙකකට පස්සේ සෙකියා නගරයේ අපිටම කියලා රාජ්‍ය ශාලාවක් තිබුණා. එහි සාක්ෂිකරුවන් 36දෙනෙක් සිටියා! දැන් එහි සාක්ෂිකරුවන් 700ක් පමණ සිටින සභා අටක් තිබෙනවා.

මම සෙකියාවලට ගිය මුල් මාසවල නැවතුණේ නගරයට ආසන්නයේ තිබූ කුලියට ගත්ත පොඩි කාමරයකයි. එක දවසක් මට සෙකියා නගරයේ තිබෙන හොඳම හොටලයක් වන සූඩාස්ටාහි අයිතිකරුවා වන මිගෙල් වාස් ඩී ඔලිවේරාව මුණගැසුණා. මිගෙල් මහතා බයිබල් පාඩමක් පටන්ගත්ත අතර එයා මට බල කළා එයාගේ හෝටලේ කාමරයක නවතින්න කියලා. මිගෙල් සහ එයාගේ බිරිඳ පසු කාලයකදී සාක්ෂිකරුවන් වුණා.

සෙකියා නගරයේ මම කළ සේවයේදී මට අමතක නොවන තවත් සිදුවීමක් තියෙනවා. ඒ උසස් පාසැල් ගුරුවරයෙක් වූ ලූවීස් කොට්‍රිම්ව මුණගැසීම. එයාත් මාත් එක්ක බයිබලය පාඩම් කළා. ලූවීස් මට පෘතුගීසි බස සහ ගණිතය පිළිබඳ මගේ දැනුම වැඩි කරගැනීම සඳහා උදව් කරන්න කැමති වුණා. මම ප්‍රාථමික පාසැලට විතරයි ගිහිල්ලා තිබුණේ. ඒ නිසා ඔහුගේ උදව්ව මම කැමැත්තෙන්ම පිළිගත්තා. ලූවීස් සමඟ කළ සතිපතා බයිබල් පාඩමෙන් පස්සේ ඔහු මට ඉගැන්වූ විෂයන් නිසා යෙහෝවා දෙවිගේ සංවිධාන තුළ පසුව මට ලැබුණු අමතර පැවරුම් හොඳින් කිරීමට මට හැකි වුණා.

අසීරු පැවරුමක්

චාරිකා අවේක්ෂකයෙක් (සංචාරය කරමින් සේවය කළ දේවසේවකයෙක්) ලෙස පුහුණු වීම සඳහා රියෝ ඩි ජැනීරෝහි පිහිටි ශාඛා කාර්යාලයට එන්න කියා මට ලිපියක් ලැබුණා. මා සමඟ තවත් අටදෙනෙකුත් සහභාගි වූ ඒ පාඨමාලාව මාසයකටත් වඩා වැඩි කාලයක් තිබුණා. එය අවසානයේදී සැවෝ පවුලෝ නගරයේ සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. ‘කලු ජාතිකයෙක් වන මාව එහෙ ඉන්න ඉතාලි ජාතිකයන් කොහොම පිළිගනීද?’ කියන එක ගැන මම හිටියේ ටිකක් දෙගිඩියාවෙන්. *

සාන්ටූ ආමාරූ නම් දිස්ත්‍රික්කයේ මම ගිය මුල්ම සභාව සාක්ෂිකරුවන්ගෙන් සහ නවකයන්ගෙන් පිරී තිබෙනවා දැකීමෙන් මම මහත් සේ දිරිගැන්වුණා. මම දෙගිඩියාවෙන් හිටියේ තේරුමක් නැතිවනේ, කියන එක ගැන මම වැටහුණේ සභාවේ හිටිය 97දෙනාම ඒ සති අන්තයේ මාත් එක්ක සේවයේ හවුල් වූ විටයි. ‘ඒගොල්ලෝ නම් ඇත්තටම මගේ සහෝදරයෝ’ කියලා මට හිතුණා. සංචාරක සේවය දිගටම කරගෙන යන්න මට උදව් වුණේ ඒ සහෝදර සහෝදරියන්ගේ ක්‍රිස්තියානි ප්‍රේමයයි.

අශ්වයෝ, බූරුවෝ සහ කුහුඹිකන්නෝ

මුල් කාලවලදී සංචාරක අවේක්ෂකයන් මුහුණ දුන් ලොකුම අසීරුතාවලින් එකක් වුණේ ගමනාගමනය සඳහා තිබූ අපහසුතාවන්. එයට හේතුව සමහර සභාවන් සහ කුඩා කණ්ඩායම් තිබුණේ හුඟක් ඈත ප්‍රදේශවල නිසයි. එහි යෑමට පොදු ප්‍රවාහණ පහසුකම් තිබුණේ නැති තරම්. තිබුණත් එය අනතුරුදායක වුණා. ඒ වගේම ඒවා පටු, ගල් බොරළු සහිත පාරවල්.

සමහර චාරිකාවල සහෝදරයන් මේ ප්‍රශ්නය විසඳුවේ චාරිකා අවේක්ෂකට ගමන් කිරීම සඳහා බූරුවෙක්ව හෝ අශ්වයෙක්ව මිල දී ගැනීමෙනුයි. හුඟක් වෙලාවට සඳුදා දවස්වල මම කළේ ගමන සඳහා සතාව සූදානම් කරගෙන මගේ ගමන් මලු ටිකත් ගැටගහගෙන ඊළඟ සභාව බැහැදැකීමට පැය 12ක් පමණ ගමන් කිරීමයි. සාන්ටා ෆී ඩෝ සූල් කියන නගරයේ සිටි සාක්ෂිකරුවන්ට ඩෝරාඩෝ (ගෝල්ඩී) කියලා බූරුවෙක් හිටියා. මේ සතාට පුළුවන් ඒ ප්‍රදේශයේ ඈතින් පිහිටා තිබෙන බයිබලය පාඩම් කරන කුඩා කණ්ඩායම් සිටින තැනට යන පාර පෙන්වීමට. ඩෝරාඩෝ ගොවිපළවල් ළඟ තිබෙන ගේට්ටුව ළඟට ගිහිල්ලා මම ගේට්ටුව අරිනකං ඉන්නවා. චාරිකා සතිය ඉවර වුණාම මම ඩෝරාඩෝගේ පිටේ නැඟලා ඊළඟ කණ්ඩායම බැහැදකින්න යනවා.

චාරිකා වැඩ අසීරු වීමට බලපෑ තවත් හේතුවක් තමයි ඒ ගැන කලින්ම සහෝදරයන්ට දැනුම් දීමට තිබෙන අපහසුතාව. මාටෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ තිබූ ගොවිපළක රැස්වූ සාක්ෂිකරුවන්ගේ කුඩා කණ්ඩායමක් බැහැදැකීමට මම අරගුවා ගඟ හරහා බෝට්ටුවෙන් ගිහිල්ලා සතාගේ පිටේ නැඟලා කැලෑවක් හරහා කිලෝමීටර් 25ක් ගමන් කළා. එක පාරක් ඒ කණ්ඩායම බැහැදැකින්න මම එනවා කියලා දැනුම් දීමට ලියුමක් තැපැල් කළත් ඒක ඔවුන්ට ලැබිලා නැහැ. ඒ නිසා මම ගඟෙන් එගොඩ වුණාට පස්සේ මාව හමුවෙන්න එතැන කවුරුත් හිටියේ නැහැ. හවස් වෙලා තිබුණ නිසා පොඩි කෝපි කඩයක අයිතිකරුට මගේ ගමන් මලු ටික භාර දීලා මගේ පොත් බෑග් එක විතරක් අරගෙන පයින්ම ගමන ආරම්භ කළා.

ඉක්මනින්ම ඇඳිරී වැටෙන්න පටන්ගත්තා. මම කළුවරේම ගල්වල හැප්පි හැප්පී ඉදිරියට යද්දී මට ඇහුණා කුහුඹිකන්නා කියා හඳුන්වන සතාගේ සද්දේ. මම අහලා තියෙනවා ඌගේ අතින් මිනිහෙකුට මැරෙන්න වුණත් පහර දෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඕනෑම සද්ධයක් ඇහිච්ච ගමන් ආරක්ෂාවට මගේ පොත් බෑග් එක ඉස්සරහට අල්ලගෙන හෙමින් හෙමින් ඉදිරියට ගියා. පැය ගානක් ඇවිද්දාට පස්සේ මම පුංචි දොළ පාරක් ළඟට ආවා. කළුවර නිසා එහා ඉවුරේ තිබුණ කටු කම්බි වැට මම දැක්කේ නැහැ. ඒ දොළ පාරෙන් එහා පැත්තට පනින්න ගිහිල්ලා මාව ඒ කම්බි වැටේ පැටලිලා තුවාල වුණා!

අන්තිමේට මම ගොවිපොළක් ළඟට ආවාම මාව පිළිගත්තේ බුරන බල්ලෝ රංචුවක්. සාමාන්‍යයෙන් රෑට බැටළුවන්ව හොරකම් කරන සොරුන් එන නිසා සහෝදරයෝ ඇවිත් දොර ඇරිය ගමන්ම මම කවුද කියලා ඔවුන්ට කිව්වා. මගේ ඉරිච්ච ලේ තැවරුණු ඇඳුම් දැකලා ඒගොල්ලෝ දුක් වෙන්න ඇති. නමුත් මං ආපු එක ගැන ඒ අය ගොඩක් සතුටු වුණා. අමාරුකම් ගොඩක් තිබුණත් ඒ කාලය හරිම ප්‍රීතිමත් කාලයක්. අශ්වයා පිටෙන් සහ ඇවිදිමින් දුර ගමන් ගිය කාලය, ගස් යට ගිමන් අරිමින් කුරුළු ගී නාදය රස වින්ද කාලය වගේම පාළු පාරවල්වල යද්දී පාර හරහා ගිය නරීන්ව දැකලත් මම සතුටු වුණා. මගේ පැමිණීමෙන් ගොඩක් අය ප්‍රයෝජන ලබපු ඒකත් මගේ ප්‍රීතියට හේතුවක් වුණා. ඒ ගැන ස්තුති කරලා හුඟදෙනෙක් මට ලිපි එව්වා. තවත් අය එක්රැස්වීමේදී මාව හමුවෙලාම මට ස්තුති කළා. මිනිසුන් තමන්ගේම ප්‍රශ්න ගැටලු ජය ගත්ත ආකාරය සහ ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගත්ත ආකාරය දැකගන්න ලැබුණු එක මොන තරම් සතුටක්ද!

අන්තිමේදී සහකාරියක්

මම සංචාරක සේවය කළ කාලයේදී හුඟක් වෙලාවට දේවල් කරගත්තේ තනියෙන්මයි. ඒ මගින් “යෙහෝවා මාගේ ශක්තිමත් පර්වතයය, මාගේ බලකොටුවය” කියන කාරණය මම හොඳින් ඉගෙනගත්තා. (ගීතාවලිය 18:2) ඒ වගේම මම තනිකඩව හිටපු නිසා දෙවිගේ සේවයට වැඩි අවධානයක් දෙන්න මට පුළුවන් වූ බවත් මම වටහාගත්තා.

කොහොමවුණත් 1978දී මට ජූලියා ටකහාෂී නම් පුරෝගාමි සහෝදරියක් මුණගැසුණා. ඇය සාවෝ පවුලෝහි තිබුණ මහා රෝහලක හෙදියක් ලෙස ස්ථිර රැකියාවක් කරමින් සිටියත් එය අතහැරියේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක දේවසේවය කිරීමටයි. ඇය ගැන දන්නා ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ඇයගේ ගුණාංග ගැන වගේම ඇය කළ පුරෝගාමි සේවය ගැන කතා කළේ ඇයව අගය කරමිනුයි. මම ඇයව විවාහ කරගන්න තීරණය කළා. මෙපමණ කාලයකට පස්සේ විවාහ වෙන්න තීරණය කළ එක ගැන බොහෝදෙනෙක් පුදුමයට පත් වුණා. මගේ හොඳම යාළුවෙකුට ඒක අදහගන්නත් බැරි වුණ නිසා එයා කිව්වා මං බඳින දවසට තෑග්ගක් වශයෙන් කිලෝගෑම් 270ක් බර හරකෙක්ව දෙනවා කියලා. අපි ඒ හරකාව 1978 ජූලි 1දා අපගේ විවාහ මංගල්‍යය දවසේදී මරලා ආහාරය සඳහා සූදානම් කළා.

අසනීප මැද විඳදරාගැනීම

ජූලියාත් මාත් එක්ක සංචාරක සේවයේ හවුල් වුණා. අපි දෙදෙනා වසර අටක් පුරා බ්‍රසීලයේ දකුණු පැත්තේ සහ ගිනිකොන පැත්තේ තිබෙන සභා බැහැදකින්න ගියා. ඊට පස්සේ මට පපුවේ අමාරුව හැදෙන්න පටන්ගත්තා. දේශනා සේවයේ ගිහින් ගෙවල්වල කතා කරමින් ඉද්දී මාව දෙපාරක්ම සිහිනැතිව ඇදගෙන වැටුණා. මේ තත්වය නිසා සාවෝ පවුලෝ ප්‍රාන්තයේ පිහිටි බිරිගූවේ නගරයේ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න අපිට ලැබුණ පැවරුම අපි බාරගත්තා.

බිරිගූවේ පදිංචිව සිටි සහෝදරයන් කිලෝමීටර් 500ක් ඈතින් තියෙන ගෝයානියා නම් නගරයේ සිටින දොස්තර කෙනෙක් මුණගැසීමට වාහනයකින්ම මාව ගෙන යන්න ඉදිරිපත් වුණා. මගේ තත්වය ටිකක් හොඳ අතට හැරුණාම සැත්කමක් කරලා මගේ හෘදයේ කුඩා යන්ත්‍රයක් සවි කළා. එහෙම කරලා දැන් අවුරුදු 20ක් ගත වෙලා. ඒ කාලය අතර තවත් හෘද සැත්කම් දෙකක් කළා. නමුත් අදත් මං අනුන්ට සත්‍යය ඉගැන්වීමේ කාර්යයේ හොඳින් සහභාගි වෙනවා. අනෙකුත් විශ්වාසවන්ත ක්‍රිස්තියානි භාර්යාවන් වගේම ජූලියාත් නිතරම මාව දිරිගන්වා ශක්තිමත් කරනවා.

මගේ අසනීප නිසා කලින් වගේ දේවල් කරන්න බැරි වුණත් සමහර අවස්ථාවලදී අධෛර්යය වුණත් මං තාමත් පුරෝගාමි සේවය කරනවා. මේ කාලයේදී අපේ ජීවිතය රෝස මල් යහනාවක් කරන්න යෙහෝවා දෙවි පොරොන්දු වෙලා නැහැයි කියන එක ගැන මම හැම තිස්සේම මතක් කරගන්නවා. පාවුල් සහ තවත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට විඳදරාගන්න සිදු වුණා නම් අපිටත් විඳදරාගන්න වෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි!—ක්‍රියා 14:22.

එක් දහස් නවසිය තිස්ගණන්වලදී මං මුලින්ම ගත්ත බයිබලය මට මේ ළඟදී හම්බ වුණා. මම රැස්වීම්වලට සහභාගි වෙන්න පටන්ගත්ත අවුරුද්ද වන 1943 වෙනකොට බ්‍රසීලයේ සිටි රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව 350ක් කියලා මම ඒකේ ඇතුල් කවරයේ ලියලා තිබුණා දැක්කා. ඒත් දැන් බ්‍රසීලයේ ප්‍රචාරකයන්ගේ ගණන ලක්ෂ හයකටත් වඩා වැඩි වෙලා තියෙන එක පුදුමාකාර දෙයක්. මේ වර්ධනයට ස්වල්ප ලෙස හෝ සහභාගි වෙන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! යෙහෝවා දෙවි මගේ විඳදරාගැනීමට හුඟාක් ආශීර්වාද කරලා තියෙනවා. ගීතිකාකරුගේ මෙම වචනවලට මමත් එකඟයි. “යෙහෝවා අපට මහත් ක්‍රියා කළේය. එබැවින් අපි සන්තෝෂ වෙමු.”—ගීතාවලිය 126:3.

[පාදසටහන්වල]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. නමුත් දැන් එය මුද්‍රණය නොකෙරේ.

^ 23 ඡේ. වර්ෂ 1870 සහ 1920 අතර කාලය තුළ ඉතාලියෙන් පැමිණි දස ලක්ෂයක් පමණ දෙනෙක් බ්‍රසීලයේ සැවෝ පවුලෝ නගරයේ පදිංචි වුණා.

[9වන පිටුවේ පින්තූරය]

සාක්ෂිකරුවන් සැල්වදෝරයේ 1943දී පැවති පළමු එක්රැස්වීමේ ප්‍රසිද්ධ කථාව ගැන දන්වමින්

[10වන පිටුවේ පින්තූරය]

“ප්‍රීතිමත් ජාතීන්” නම් 1946දී පැවති එක්රැස්වීමට සාවෝ පවුලෝවලට පැමිණි සාක්ෂිකරුවෝ

[10, 11වන පිටුවේ පින්තූර]

එක්දහස් නවසිය පනස්ගණන්වල අවසානයේදී සංචාරක සේවයේ යෙදෙමින්

[12වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ ජූලියා සමඟ