Skip to content

පටුනට යන්න

“අවවාදය පිළිපදින්නා බුද්ධිමත් තැනැත්තෙකි”

“අවවාදය පිළිපදින්නා බුද්ධිමත් තැනැත්තෙකි”

“අවවාදය පිළිපදින්නා බුද්ධිමත් තැනැත්තෙකි”

“ඔබේ සිත ඉගැන්වීමටද ඔබේ කන් දැනගැනීමේ වචනවලටද යොමු කරන්න” කියා හිතෝපදේශ 23:12හි සඳහන් වෙනවා. මෙහි “ඉගැන්වීම” යන වචනයෙන් මූලිකවම අදහස් කරන්නේ හික්මවීමයි. එයට අපවම හික්මවා ගැනීම සහ අන්‍යයන්ගෙන් අප ලබන අවවාදද ඇතුළත් වෙනවා. ඒ සඳහා මොන වගේ හික්මවීමක් අවශ්‍යද යන්න මුලින්ම තේරුම්ගත යුතුයි. එම හික්මවීම ලබාදෙන ආකාරය ගැනත් අප දැනුවත්ව සිටිය යුතුයි. ඒ “දැනගැනීමේ වචන” විශ්වාසවන්ත මාධ්‍යයකින් ලබාගැනීමද වැදගත්.

බයිබලයේ ඇති හිතෝපදේශ පොත ප්‍රඥාවන්ත උපදෙස්වලින් පිරී තිබෙනවා. එහි ඇති උපදෙස් “ප්‍රඥාව හා ගුරුකම් දැනගන්ටත් . . . ඥානවන්ත හැසිරීමෙහිද ධර්මිෂ්ඨකමෙහිද යුතුකමෙහිද සාධාරණකමෙහිද ගුරුකම් ලබාගන්ටත්” ප්‍රයෝජනවත් වෙනවා. (හිතෝපදේශ 1:1-3) එහි ඇති දැන්ගැන්මේ වචනවලට ‘අපගේ කන්’ යොමු කිරීම ඥානවන්තයි. හිතෝපදේශ 15වන පරිච්ඡේදය කෝපය පාලනය කරගැනීම, දිව හසුරුවාගැනීම සහ දැනගැන්ම ලබාගැනීම ගැන කදිම මඟ පෙන්වීම් රාශියක් ලබාදෙනවා. දැන් අපි ඒ පරිච්ඡේදයේ ඇති ඡේද කිහිපයක් සලකා බලමු.

‘උදහස පහවෙන්නේ’ කුමකින්ද?

කතා කරන වචනයකින් උදහස හෝ තරහ ඇති වෙන්නේ කොහොමද කියා පුරාණ ඊශ්‍රායෙලයේ සලමොන් රජ පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ “මෘදු උත්තරය උදහස පහ කරයි. එහෙත් කර්කශ වචනය තරහ උපදවයි” කියායි. (හිතෝපදේශ 15:1) “උදහස” ඇති වන්නේ කෙනෙක් තුළ දැඩි අමනාපයක් ඇති වන විටයි. අවස්ථාවලදී මෙය කිසිම පාලනයකින් තොරව වුණත් පිට විය හැකියි. වෙනත් කෙනෙකු උදහස් වූ විට වගේම අපටම කේන්ති ගිය විටත් එය පාලනය කරගැනීමට ඒ හිතෝපදේශය අපට උපකාර කරන්නේ කොහොමද?

සැර වචනවලින් සිත් වේදනාවක් ඇති වී අමනාපය තවත් උග්‍ර විය හැකියි. අනිත් අතට මෘදු උත්තරයක් නිසා කේන්ති ගිය පුද්ගලයා සන්සුන් විය හැකියි. එවැනි පුද්ගලයෙකුට හැමවිටම මෘදු වචනයකින් කතා කිරීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. නමුත් “මනුෂ්‍යයෙකුගේ සිහිකල්පනාව නිසා ඔහු තරහ වීමට පමා වේ. වරදක් නොසලකා හැරීම ඔහුට ගෞරවයක් වේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 19:11) ඒ නිසා ඔහුට කේන්ති ගිය හේතුව අපි වටහාගත්තොත් ඔහුට මෘදු ලෙස කතා කිරීමට අපිට පහසු වෙනවා. සමහරවිට ඔහුට කේන්ති යන්නේ තමන් ගැනම විශ්වාසයක් නැති නිසා හෝ අන් අයගේ අවධානය ලබාගැනීමට වුවමනා නිසාද? ඇත්තටම ඔහු කේන්තියෙන් ඉන්නේ අපි කළ කී දෙයක් නිසා නොවෙන්න පුළුවන්. උදාහරණයකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේවසේවයේ යන විට නිවැසියෙක් ඔවුන්ට කේන්තියෙන් බැණ වදින්න පුළුවන්. සමහරවිට එහෙම වෙන්නේ අපගේ විශ්වාසයන් ගැන වැරදි තොරතුරු ඔහුට ලැබී ඇති නිසා හෝ ඔහුට ඇති වැරදි වටහාගැනීමක් නිසා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔහු කේන්ති ගන්නේ පෞද්ගලිකවම මා සමඟ කියා සිතා අපිත් ඔහුට තදින් කතා කිරීම සුදුසුද? නිවැසියා කේන්ති ගන්නේ කිසිම හේතුවක් නැතිව කියා පෙනෙන්න තිබුණත් අපි ඔහුගේ හිත රිදෙන ආකාරයෙන් කතා නොකළ යුතුයි. එසේ කළහොත් එයින් ඔප්පු වෙන්නේ අපිට ආත්මදමනය අඩු බවයි.

මෘදු උත්තරයක් දීම සම්බන්ධයෙන් තිබෙන මේ උපදෙසේ වටිනාකම අපගේ කේන්තිය පාලනය කරගැනීමටත් අදාළ වෙනවා. අපට සවන්දෙන කෙනෙකුව කුපිත කරවන ආකාරයෙන් අපගේ හැඟීම් ප්‍රකාශ නොකිරීමට ඉගෙනගැනීම මගින් අපට එම උපදෙස අදාළ කරගන්න පුළුවන්. අපගේ පවුලේ අය සමඟ කටයුතු කරද්දී අකාරුණික ලෙස කතා කිරීම හෝ නින්දාසහගත නම් කියා අමතනවා වෙනුවට අපගේ හැඟීම් සන්සුන්ව ප්‍රකාශ කිරීමට වෑයම් කළ හැකියි. බැණ වැදීමෙන් එකට එක කරන්න පෙලඹීමක් ඇති වෙනවා. අනෙක් අතට අපගේ හැඟීම් මෘදු ලෙස ප්‍රකාශ කරනවා නම් ඔහු වෙනස් වී සමාව ඉල්ලන්නත් පෙලඹේවි.

“ඥානවන්තයන්ගේ දිව දැනගැන්ම යුතු ලෙස කියා දෙයි”

ඉගැන්වීම හෙවත් හික්මවීම අපි කතා කරන ආකාරයට විතරක් නෙවෙයි නමුත් අපි කියන දේටත් බලපෑමක් කරයි. “ඥානවන්තයන්ගේ දිව දැනගැන්ම යුතු ලෙස කියා දෙයි. එහෙත් අඥානයන්ගේ කට අඥානකම වගුරුවයි.” (හිතෝපදේශ 15:2) අන්‍යයන්ට උපකාර කිරීමට ඇති ආශාව වැඩි කරගෙන දෙවිගේ අරමුණ ගැන සහ දෙවි දැනටමත් දී ඇති පුදුමාකාර ත්‍යාගයන් ගැන ඔවුන්ට කියා දෙද්දී අපි කරන්නේ අපිට ඇති “දැනගැන්ම යුතු ලෙස කියා” දීමයි. නමුත් අඥානයෙකුට දැනගැන්ම නැති නිසා එලෙස කතා කරන්න ඔහුට බැහැ.

දිව පාවිච්චි කිරීම ගැන තවත් මඟ පෙන්වීම් දීමට පෙර සලමොන් රජ අපට බැරෑරුම්ව සිතා බැලීම සඳහා මෙවන් අදහසක් ඉදිරිපත් කරනවා. “යෙහෝවාගේ ඇස් නපුරන්ද යහපතුන්ද රැක බලමින් සැම තැනම තිබේ.” (හිතෝපදේශ 15:3) කොහොමවුණත් “යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව පෙන්වන පිණිස ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය” කියන වචනවලින් ඉදිරිපත් කරන සහතිකය නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. (2 ලේකම් 16:9) අපි යහපත් දේ කළොත් දෙවි එය දකිනවා. ඒ වගේම නපුරු දේ කරන අයවත් දෙවි දකිනවා. දෙවිට ගණන් දීමට ඔවුන්ට සිදු වෙනවා.

මෘදු ලෙස කතා කරන දිවක වටිනාකම ගැන සලමොන් රජ තවදුරටත් මෙහෙම සඳහන් කරනවා. “සැප ගෙන දෙන දිවක් ජීවනදායක ගහකි. නමුත් එහි හිතුවක්කාරකම සිතට බිඳීමක් වේ.” (හිතෝපදේශ 15:4) “ජීවනදායක ගහ” කියන වචනයෙන් අදහස් වන්නේ අප කතා කරන දෙයින් යම් සුවයක් හෝ දිරිගැන්වීමක් දිය හැකි බවයි. (එළිදරව් 22:2) ඥානවන්තයෙක් එලෙස කතා කරද්දී එය අසන්නන් තුළ ප්‍රබෝධයක් ඇති කරනවා. ඒ මගින් අසන්නන් තුළ තිබෙන හොඳ ගුණාංග ඉස්මතු කරනවා. ඊට වෙනස්ව, කපටි ලෙස හා අන්‍යයන්ට හානි කරන අයුරින් කතා කරන කෙනෙක් නිසා අසන්නන් මානසිකව බිඳ වැටෙනවා.

හික්මවීම ලබාගැනීම සහ ‘දැනගැන්ම පැතිරවීම’

“අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම ගණනකට නොගනියි. නමුත් අවවාදය පිළිපදින්නා බුද්ධිමත් තැනැත්තෙකි.” (හිතෝපදේශ 15:5, නව ලොව පරිවර්තනය) යම් කෙනෙක් “අවවාදය පිළිපදින්න” නම් පළමුවෙන් ඔහුට එය දිය යුතු නොවේද? අවශ්‍ය විටක හික්මවීම දිය යුතු බව ඒ බයිබල් පදයෙන් ඇඟවෙන්නේ නැද්ද? පවුලක් තුළ ඒ වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. විශේෂයෙන්ම හික්මවීම දිය යුත්තේ පියායි. එය පිළිගැනීම දරුවාගේ වගකීමයි. (එෆීස 6:1-3) කොහොමවුණත් යෙහෝවා දෙවිගේ සේවකයන් සියලුදෙනාම කුමනාකාරයේ හෝ හික්මවීමක් ලබනවා. “යෙහෝවා තමන් ප්‍රේම කරන අයව හික්මවන්නේය. ඇත්තෙන්ම, පුත්‍රයෙකු ලෙස ඔහු පිළිගන්නා සෑම කෙනෙකුටම ඔහු තළන්නේය” කියා හෙබ්‍රෙව් 12:6 පවසනවා. ඒ හික්මවීම පිළිගන්නා විදියෙන් අපි ඥානවන්තයෙක්ද අඥානයෙක්ද කියා හෙළි වෙනවා.

සලමොන් මෙහෙමත් කියනවා. “ඥානවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි. එහෙත් අඥානයන්ගේ සිත එසේ නොකරයි.” (හිතෝපදේශ 15:7) කෙනෙකුට දැනගැන්ම ලබාගැනීමට උපකාර කිරීම බීජ වපුරනවා හා සමානයි. බීජ වපුරන ගොවියෙක් සියලුම බීජ එකම තැනකට දාන්නේ නැහැ. ඒ වෙනුවට බීජ වපුරන්නේ කෙත පුරාම වැටෙන ලෙසටයි. කෙනෙකුට දැනුම ලබා දිය යුත්තෙත් ඒ හා සමානවමයි. උදාහරණයකට දේවසේවයේදී අපිට හමුවෙන කෙනෙකුට අපි බයිබලය ගැන දන්න සියල්ලම එකම වේලාවේදී කියාගෙන කියාගෙන යෑම ඥානවන්ත නැහැ. ඒ වෙනුවට ඥානවන්ත කෙනෙක් කතා කරන්නේ තමන්වම හික්මවාගෙනයි. බයිබලයේ සත්‍යය ගැන ඔහුට කතා කරද්දී එක වරකට එක කරුණක් ගැන පමණක් කතා කරන ඔහු ඒ කරුණ ගැන හොඳ දැනගැන්මක් අසන්නාට ලබා දෙනවා. ඒ අතර අසන්නාගේ ප්‍රතිචාරය ගැනත් ඔහු හොඳ අවධානයකින් සිටිනවා. සමරිතානු ස්ත්‍රියකට කතා කරද්දී අපගේ ආදර්ශකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්ද කතා කළේ ඒ විදිහටයි.—යොහන් 4:7-26.

දැනගැන්ම ලබා දීම මගින් කෙනෙකුව ගොඩනංවනවා වගේම එය ඔහුට ප්‍රයෝජනදායක වෙනවා. දිරිගන්වන වචන කතා කිරීමට නම් ඊට පෙර කතා කරන දේ ගැන හොඳින් සිතා බැලිය යුතු බව තහවුරු වන්නේ මෙම වචනවලිනුයි. “ධර්මිෂ්ඨයාගේ සිත උත්තර දෙන්ට කල්පනා කරයි.” (හිතෝපදේශ 15:28) ඒ නිසා අපගේ වචන පොළොවේ ඇති දේ ගසාගෙන යන ජලගැල්මක් මෙන් නොවී පොළොව කෙමෙන් කෙමෙන් තෙමන පොඩි වැස්සක් වගේ වීම කොතරම් වැදගත්ද!

“හැසිරීමේදී ශුද්ධව සිටින්න”

යෙහෝවා දෙවි සහ ඔහුගේ අරමුණ ගැන දැනගැන්ම පැතිරවීම සහ “තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කිරීම ඥානය ලබාගැනීමේ ප්‍රධානතම ක්‍රමයයි. (හෙබ්‍රෙව් 13:15) කොහොමවුණත් එවැනි පූජාවක් යෙහෝවා දෙවිට පිළිගත හැකිවීමට නම් අපි අපගේ “හැසිරීමේදී ශුද්ධව සිටින්න” අවශ්‍යයි. (1 පේතෘස් 1:14-16) එය පැහැදිලි කිරීමට සලමොන් තවත් හිතෝපදේශ දෙකක් වෙත අපගේ අවධානය යොමු කරයි. ඔහු මෙසේ පවසනවා. “දුෂ්ටයාගේ පූජාව යෙහෝවාට පිළිකුලකි. එහෙත් ඇද නැත්තාගේ [හෙවත් “ප්‍රතිපත්තිගරුක අයගේ”] යාච්ඤාව ඔහුට ප්‍රිය වේ. දුෂ්ටයාගේ මාර්ගය යෙහෝවාට පිළිකුලකි. එහෙත් ඔහු ධර්මිෂ්ඨකම අනුව යන්නාට ප්‍රේම කරන්නේය.”හිතෝපදේශ 15:8, 9.

ජීවනයට යන පාරෙන් ඉවතට යන අය තමන්ට ලැබෙන හික්මවීම සලකන්නේ කොහොමද? එසේ කිරීම නිසා ඔවුන් ලබන ප්‍රතිඵල මොනවාද? (මතෙව් 7:13, 14) “මාර්ගය අත්හරින්නාට බරපතළ දඬුවම් පැමිණෙයි; තරවටුවට [හෙවත්, “අවවාදය”] ද්වේෂ කරන්නාද නසින්නේය.” (හිතෝපදේශ 15:10) දිගටම වැරදි කරන සමහරුන් ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන අයගෙන් ලැබෙන උපදෙස් පිළිගෙන අවංකව පසුතැවිලි වෙනවා වෙනුවට ධර්මිෂ්ඨ මාවතින් ඉවතට යනවා. ඒක කොතරම් අඥාන ක්‍රියාවක්ද! එම හිතෝපදේශය නව අනුවාදය නම් සිංහල බයිබලයේ සඳහන් වෙන්නේ මෙයාකාරයටයි. “යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත. අවවාදය නුරුස්සන අය නසිනු ඇත.”

යමෙක් අවවාද පිළිගන්න බව මවා පෙන්නුවත් එය ඇත්තටම ද්වේෂ කරනවා නම් ඒ ගැන කුමක් කිව හැකිද? එයත් අඥාන ක්‍රියාවක්. “ෂෙයෝල්ද අබද්දොන්ද යෙහෝවා ඉදිරිපිට තිබේ; මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් ඊට කොපමණ වැඩිව නොතිබේද!” (හිතෝපදේශ 15:11) ෂෙයෝලය නම් මිනී වළ තරම් දෙවිට ඈතින් පිහිටි තවත් තැනක් නැති තරම්. නමුත් මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයවත් යෙහෝවා දෙවිට යම් ආකාරයකින් පේනවා. එනම් මිය ගිය අයගේ ගතිලක්ෂණ සියල්ල ගැන දෙවිට හොඳින්ම මතකයි. ඔවුන්ව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් ඒ නිසයි. (ගීතාවලිය 139:8; යොහන් 5:28, 29) එහෙමනම් දැන් ජීවත්ව සිටින මිනිසුන්ගේ සිතේ තිබෙන දේ දැනගැනීම දෙවිට කොතරම් පහසුද! “ඔහු ඉදිරියෙහි සැඟවී තිබෙන කිසි මැවිල්ලක් නැත. අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) අවවාද පිළිගන්න බව මවා පාලා මිනිසුන්ව රවටන්න පුළුවන් වුණත් දෙවිව නම් රවටන්න බැහැ.

හික්මවීම ප්‍රතික්ෂේප කරන අය අවවාදවලට ද්වේෂ කරනවා විතරක් නෙවෙයි නමුත් අවවාද දෙන අයවත් හෙළා දකිනවා. ඒ ගැන සලමොන් රජ මෙහෙම සඳහන් කරනවා. “නින්දා කරන්නා තරවටුව [හෙවත්, “අවවාදය”] ලබන්ට අකමැතිය. ඔහු ඥානවන්තයා ළඟට නොයන්නේය.” (හිතෝපදේශ 15:12) එවැනි පුද්ගලයෙක් තමන් ගමන් කරන වැරදි මඟෙන් ඉවත් වෙලා, හරි මඟට ඒමට ඇති ඉඩ කඩ කොයි තරම් අඩුද!

ප්‍රීතිමත් අපේක්ෂාවක්

සලමොන් රජ, “සිත” කියන වචනය හා බැඳි හිතෝපදේශ තුනක් වෙතට ඊළඟට අපගේ අවධානය යොමු කරවයි. අපගේ හැඟීම් මුහුණෙන් දිස්වන ආකාරය ගැන ඥානවන්ත රජ කියන්නේ මෙහෙමයි.“ප්‍රීති සිත මුහුණ ප්‍රසන්න කරයි. එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.”හිතෝපදේශ 15:13.

සිතේ ශෝකය ඇති වෙන්නේ ඇයි? “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි [ශෝකය ගෙන දෙයි]. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” (හිතෝපදේශ 12:25, නව අනුවාදය) අපගේ ජීවිතයේ අමාරු අවස්ථාවලදී ශෝකයෙන් යටපත් නොවී සිටින්න අපට පුළුවන් කොහොමද? අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැනම සිතමින් ලත වෙවි ඉන්නේ නැතිව යෙහෝවා දෙවි අපට දැනටමත් දී ඇති බහුල සැපයුම් ගැනත් ඉදිරියේදී දෙවි අපට දෙන්න යන ආශීර්වාද ගැනත් සිතන්න අපට පුළුවන්. මේ මගින් යෙහෝවා දෙවි සමඟ අපගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ ආකාරයට “සන්තෝෂවත් දෙවි” වෙතට ළං වීමෙන් අපගේ සිතේ ශෝකය නැති කරගෙන සතුට භුක්ති විඳිය හැකියි.—1 තිමෝති 1:11.

බයිබලයේ ඇති පණිවුඩය මගිනුත් මහත් සැනසීමක් වගේම ප්‍රීතියක් ලබන්න පුළුවන්. බයිබලය අධ්‍යයනය කරන කෙනෙක් ගැන ගීතිකාකරු මෙහෙම කියනවා. “ඔහුගේ ප්‍රීතිය යෙහෝවාගේ ව්‍යවස්ථාව කෙරෙහිය. ඔහු රෑ දාවල් ඔහුගේ ව්‍යවස්ථාව මෙනෙහි කරයි.” (ගීතාවලිය 1:2, 3) සිතේ ශෝකයක් ඇතිව සිටින වේලාවක වුණත් බයිබලය කියවීමෙන් සහ කියවන දේ ගැන සිතා බැලීමෙන් අපට දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. දේවසේවයේ සහභාගි වීමේ වරප්‍රසාදයත් අපට තිබෙනවා. ඒ ගැන අපට සහතික කර තිබෙන්නේ මෙසේයි. “කඳුළෙන් යුක්තව වපුරන්නෝ ප්‍රීතියෙන් යුක්තව කපන්නෝය.”—ගීතාවලිය 126:5.

“තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි. එහෙත් අඥානයන්ගේ කට අඥානකම කයි.” (හිතෝපදේශ 15:14) මේ හිතෝපදේශය මගින් ඥානවන්තයෙකු සහ අඥානයෙකු දෙන උපදෙස්වල වෙනස ගැන පැහැදිලිව පෙන්වයි. හොඳින් තේරුම් ඇති කෙනෙක් උපදෙස් දෙන්න පෙර ඒ ගැන දැනගැන්මක් ලබා ගන්නවා. හොඳින් සවන් දෙන ඔහු කාරණා හොඳින් අවබෝධ කරගන්නවා. ඒ තත්වයට අදාළ වන නීති සහ ප්‍රතිපත්ති ශුද්ධ ලියවිල්ලෙන් සොයා බලා එය මතු වී ඇති තත්වයට ගැලපෙනවාද කියා නිශ්චය කරගන්නවා. ඔහු දෙන උපදෙස් බයිබලය මත පදනම් ඒවා බවට සහතික කරගන්නවා. ඊට වෙනස්ව අඥානයෙක් තත්වයට අදාළ වන කරුණු කාරණා සොයන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ සිතට එන ඕනෑම දෙයක් ඔහු කියන්නේ සිතා බැලීමකින් තොරවයි. අපිට යම් උපදෙසක් අවශ්‍ය වූ විට අපිව සතුටු කරවන දේවල් කියන කෙනෙක් ළඟට යනවාට වඩා දැනගැන්ම ඇති අද්දැකීම් ලත් අය ළඟට යන එක කොතරම් ඥානවන්තද! උපදෙස් දෙන්න පෙර ‘දැනගැන්ම සොයන’ අය වන ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්’ ක්‍රිස්තියානි සභාවේ සිටීම කොතරම් වටිනා දෙයක්ද!—එෆීස 4:8.

ප්‍රීතිමත් අපේක්ෂාවක් ඇතිව සිටීමේ කදිම ප්‍රයෝජන ගැන ඊළඟ හිතෝපදේශයේ සඳහන් වෙනවා. “දුක් විඳින්නාගේ සියලු දවස් නපුරුය. එහෙත් සතුටු සිත් ඇත්තාට නිරන්තර මංගල්‍යයක් ඇත.” (හිතෝපදේශ 15:15) ජීවිතය විටෙක සතුටක්. විටෙක දුකක්. සතුටු සිනහා මෙන්ම කඳුළත් අපි ජීවිතයෙන් අද්දකිනවා. අපි ජීවිතයේ නරක පැත්ත ගැන විතරක් හිතනවා නම් අපි හිතන විදියට එය බලපාන නිසා ජීවිතය ගැන අපිට බලාපොරොත්තුවක් නැතිව යනවා. ඒ වුණත් දෙවි අපිට දී තිබෙන දේවල් ගැනත් අපිට ඇති බලාපොරොත්තුව ගැනත් සිහියේ තබාගෙන ඉන්නවා නම් ජීවිතයේ දුක් ගෙන දෙන දේවල් පසුපසට දමා සිතේ සැනසුමක් ලබන්න අපිට හැකි වෙනවා. ප්‍රීතිමත් අපේක්ෂාවක් ඇතිව සිටීමෙන් අපේ සිත “නිරන්තර මංගල්‍යයක්” මෙන් සතුටු වෙනවා.

ඒ නිසා අපි හික්මවීම පිළිගැනීමට කැමැත්තෙන් සිටිමු. අපගේ ඉදිරි අපේක්ෂාව අත්කර ගැනීමටද හික්මවීම පිළිගැනීම අවශ්‍යයි. ඒ නිසා සියලු පැතිවලදී එනම් අපගේ සිතුවිලි, කතාව වගේම අපගේ ක්‍රියාවලදී හික්මවීම භාර ගනිමු.

[13වන පිටුවේ පින්තූරය]

“මෘදු උත්තරය උදහස පහ කරයි”

[15වන පිටුවේ පින්තූරය]

දරුවන් හික්මවීම දෙමාපියන්ගේ වගකීමයි

[15වන පිටුවේ පින්තූරය]

“ඥානවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි”