Skip to content

පටුනට යන්න

සැබෑ සන්තෝෂයට මඟ

සැබෑ සන්තෝෂයට මඟ

සැබෑ සන්තෝෂයට මඟ

‘[යේසුස්] කන්දට නැංගේය. ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට පැමිණි පසු ඔහු ඔවුන්ට උගන්වන්න පටන්ගත්තේය.’—මතෙ. 5:1, 2.

1, 2. (අ) යේසුස් තම කන්ද උඩ දේශනය ආරම්භ කිරීමට පෙර කළ දේවල් මොනවාද? (ආ) තම දේශනයේදී යේසුස් පෙන්වා දුන් වැදගත් කාරණය කුමක්ද?

ගලීලයේ ශුභාරංචිය දේශනා කරමින් සිටි යේසුස් එය අතර මඟ නතර කොට යෙරුසලමට පැමිණියා. ඒ පාස්කු මංගල්‍යය සැමරීමටයි. (යොහ. 5:1) ඉන්පසු ඔහු නැවතත් ගලීලය බලා පිටත් වුණා. එහිදී ඔහු තම ගෝලයන් 12දෙනා තෝරාගැනීම සඳහා මඟ පෙන්වීම් ඉල්ලා මුළු රැයක් පුරා යාච්ඤා කළා. ඊට පසු දින ඔහු තම ගෝලයන්ව තෝරාගත්තා. පසුව, තමා වෙතට පැමිණි අයගෙන් රෝගීව සිටි බොහෝදෙනෙකුව සුව කළ ඔහු, අසල තිබූ කන්දකට නැග එහි හිඳගෙන තම ගෝලයන්ට හා රැස්ව සිටි පිරිසට උගන්වන්න පටන්ගත්තා.—මතෙ. 4:23–5:2; ලූක් 6:12-19.

2 කෙනෙකුට සැබෑ සතුට ලබාගත හැක්කේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් බව යේසුස් කන්ද උඩ දේශනයේදී පෙන්වා දුන්නා. (මතෙව් 5:1-12 කියවන්න.) සැබෑ සන්තෝෂය අත් කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු නවයක් එහිදී යේසුස් සඳහන් කළා. ඒ මීට අවුරුදු 2000ට පමණ පෙර වුණත් ඒවා අදටත් එක හා සමානව ප්‍රයෝජනවත්. දැන් අපි ඒවා එකිනෙක සලකා බලමු.

දෙවිගේ මඟ පෙන්වීම් ගැන සැලකිලිමත් අය

3. සන්තෝෂවත් කියා යේසුස් පැවසුවේ කුමන අවශ්‍යතාවය දැනෙන අය ගැනද?

3 “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.” (මතෙ. 5:3) යේසුස්ගේ එම වචන වෙනත් ආකාරයකින් පැවසුවහොත් සන්තෝෂවත් අය වන්නේ නිරතුරුවම තමන්ට දෙවිගේ මඟ පෙන්වීම් හා ඔහුගේ දයාව අත්‍යවශ්‍යයි කියා දැනෙන අයයි.

4, 5. (අ) තමන්ට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියා හැඟෙන අයට සන්තෝෂවත් වීමට තිබෙන හේතුව කුමක්ද? (ආ) දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමට අප තුළ ඇති අවශ්‍යතාව ඉටු කරගැනීමට අපට හැක්කේ කෙසේද?

4 දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවක් දක්වන අය සන්තෝෂවත් වන්නේ ‘ඔවුන්ට ස්වර්ග රාජ්‍යය හිමි වන’ නිසයි. දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ අවස්ථාව මුලින්ම උදා වුණේ යේසුස්ගේ මුල් අනුගාමිකයන්ටයි. ඒ ඔවුන් යේසුස්ව ගැලවුම්කරු ලෙස පිළිගත් නිසයි. (ලූක් 22:28-30) අපගේ බලාපොරොත්තුව යේසුස් සමඟ හවුල් පාලකයන් වීම හෝ මේ පොළොවේ සදාකල් ජීවත් වීම විය හැකියි. ඒ කුමක් වුවත් අපි නිරතුරුව දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවක් දක්වමු.

5 නමුත් අද සිටින බොහෝදෙනෙකුට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියා හැඟෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට පරිශුද්ධ දේවල් කෙරෙහි අගයක්ද නැහැ. (2 තෙස. 3:1, 2; හෙබ්‍රෙ. 12:16) දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා අපට ඇති අවශ්‍යතාව ඉටු කරගැනීමට නම් අපි උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කිරීමත් මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වීමට උපකාර කිරීමත් නිතිපතා රැස්වීම්වලට සහභාගි වීමත් අවශ්‍යයි.—මතෙ. 28:19, 20; හෙබ්‍රෙ. 10:23-25.

වැලපෙමින් සිටින අය “සන්තෝෂවත්ය”

6. ‘වැලපෙමින් සිටින අය’ කවුරුන්ද? ඔවුන් ‘සන්තෝෂ’ වන්නේ කෙසේද?

6 “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ව සනසනු ලබන්නේය.” (මතෙ. 5:4) මේ අය කවුද? මේ අයද ඉහත සඳහන් දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවෙන් සිටින අයට සමානයි. නමුත් ඔවුන් වැලපෙමින් සිටින්නේ තම ජීවිතයේ ප්‍රශ්න ගැටලු ගැන නොවෙයි. එසේනම් කුමක් ගැනද? ඔවුන් දුර්වල අසම්පූර්ණ අය නිසා ඔවුන් අතින් සිදු වන අඩු පාඩුකම් ගැනයි. ඔවුන් වැලපෙනවා කියන්නේ ඔවුන් ඒ ගැන දුක් වෙනවා හෝ කනගාටු වෙනවා කියන එකයි. අද ලෝකයේ සිදු වන දුෂ්ටකම් ගැනද ඔවුන් කනගාටු වෙනවා. නමුත් එවැනි අය “සන්තෝෂ” වන්නේ කුමන අර්ථයෙන්ද? ඔවුන් යෙහෝවා දෙවි හා යේසුස් කෙරෙහි ඇදහිල්ල තබා කටයුතු කරන නිසා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔවුන්ට හැකි වෙනවා. එය ඔවුන්ට ‘සන්තෝෂවීමට’ හේතුවක්.—යොහ. 3:36.

7. මේ ලෝකය ගැන අපට තිබිය යුතු ආකල්පය කුමක්ද?

7 මේ ලෝකයේ දේවල් ගැන අපිට තිබිය යුතු ආකල්පය කුමක්ද? මේ ලෝකයේ තිබෙන දුෂ්ටකම් ගැන අපි පෞද්ගලිකව කනගාටු විය යුතුයි. එමෙන්ම මේ ලෝකය මගින් අපට ඉදිරිපත් කරන නුසුදුසු දේවල්ද සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. යොහන් පැවසුවේ “ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත් පැමිණෙන්නේ පියාගෙන් නොව, ලෝකයෙන්ය” කියායි. (1 යොහ. 2:16) මේ “ලෝකයේ ආත්මය [බලපෑම]” නිසා අපට දෙවිත් සමඟ තිබෙන මිත්‍රත්වය දුර්වල වෙමින් පවතින බව දැනෙනවා නම් කුමක් කළ යුතුද? අපි මහත් ඕනෑකමින් දෙවිගේ උපකාර ඉල්ලා යාච්ඤා කරමු. දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කරමු. වැඩිමහල්ලන්ගෙන් උපකාරය පතමු. එවිට අප කුමන දුෂ්කර තත්වයන්ට මුහුණ දුන්නත් දෙවිට වඩාත් ළං වීමටත් ඉන් ‘සහනයක් ලැබීමටත්’ අපට හැකියි.—1 කොරි. 2:12; ගීතා. 119:52, නව ලොව පරිවර්තනය NW; යාකො. 5:14, 15.

“මෘදු ගුණැති” අය සන්තෝෂවත්ය

8, 9. අප මෘදු ගුණැති අය නම් අප කටයුතු කරන්නේ කෙසේද? එමෙන්ම අපට සන්තෝෂ වීමට තිබෙන හේතුව කුමක්ද?

8 “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙ. 5:5) “මෘදු ගුණැති” කෙනෙක් දුර්වල කෙනෙක් නොවෙයි. (1 තිමෝ. 6:11) අපි මෘදු ගුණැති අය නම් දෙවි අපගෙන් බලාපොරොත්තු වන දේ කරන අතර ඔහුගේ මඟ පෙන්වීම්වලටද කීකරු වෙනවා. ඒ වගේම අප සෙසු සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කරන ආකාරයෙන්ද ඒ බව දැකගත හැකියි. එය පාවුල් දුන් උපදෙසටද එකඟයි.—රෝම 12:17-19 කියවන්න.

9 මෘදු ගුණැති අය සන්තෝෂවත් වන්නේ ඇයි? “ඔවුන්ට පොළොව උරුම” වන නිසයි. මේ මුළු පොළොවෙහිම උරුමක්කරු වන්නේ යේසුස්. (ගීතා. 2:8; මතෙ. 11:29; හෙබ්‍රෙ. 2:8, 9) අභිෂේක ලත් අයද ඊට හවුලේ උරුමකම් කියනවා. (රෝම 8:16, 17) ඊට අමතරව යේසුස්ගේ පාලනය යටතේ තවත් මෘදු ගුණැති බොහෝදෙනෙක් පොළොව මත සදාකල් ජීවත් වීමටද නියමිතයි.—ගීතා. 37:10, 11.

10. අපට මෘදු ගුණය අඩු නම් එය අපට බලපාන්නේ කෙසේද?

10 අපත් යේසුස් මෙන් මෘදු ගුණැති අය විය යුතුයි. නමුත් අන් අය අපව දකින්නේ නිතරම වාද විවාද කරන හෝ ආරවුල් ඇති කරන කෙනෙකු ලෙස නම් තත්වය කුමක්ද? අප තුළ එවන් කෝපාවිෂ්ට ස්වභාවයක් තිබෙනවා නම් අන් අය අපව ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත් කළ හැකියි. සභාවේ වගකීම් දැරීමට සුදුසුකම් අත් කරගැනීමට උත්සාහ දරන සහෝදරයන්ට එවන් ස්වභාවයක් තිබෙනවා නම් ඒ සඳහා ඔවුන් සුදුස්සන් වන්නේ නැහැ. (1 තිමෝ. 3:1, 3) ක්‍රීට්හි සිටි ක්‍රිස්තියානීන්ට මෙසේ උනන්දු කරන්න කියා පාවුල් තීතස්ට උපදෙස් දුන්නේ ඒ නිසයි. “රණ්ඩුවට බර නොවන්නද, සාධාරණ වන්නද, සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වන්නද නොකඩවා මතක් කරන්න.” (තීත. 3:1, 2) එවන් මෘදු ගුණැති ක්‍රිස්තියානීන් සභාවට මොන තරම් ආශීර්වාදයක්ද!

දෙවිගේ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අය

11-13 (අ) ධර්මිෂ්ඨකම කියද්දී යේසුස් ඉන් අදහස් කළේ කුමක්ද? (ආ) එවැනි අය ‘තෘප්තියට පත් වන්නේ’ කෙසේද?

11 “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු තෘප්තිමත් වන්නෝය.” (මතෙ. 5:6) “ධර්මිෂ්ඨකම” කියද්දී යේසුස් ඉන් අදහස් කළේ යෙහෝවා දෙවි විසින් නිවැරදියි කියා පවසා ඇති දේ කිරීමයි. ගීතිකාකරුටද දෙවිගේ ධර්මිෂ්ඨ නීති රීති දැනගැනීමට ‘දැඩි ආශාවක්’ තිබුණා. (ගීතා. 119:20NW) අපත් ඔහු මෙන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති දැනගෙන ඒවා පැවැත්වීමට මහත් ආශාවක් දක්වනවාද?

12 දෙවි නිවැරදියි කියා පවසා ඇති දේ කිරීමට මහත් ආශාවක් තිබෙන අය සන්තෝෂවත්ය කියා යේසුස් පැවසුවා. ඒ ඔවුන් තෘප්තියට පත් වන නිසයි. ඒ කෙසේද? යේසුස්ගේ එම වචන විශේෂයෙන්ම ඉටු වීමට පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයෙන් පසුවයි. දෙවිගේ බලය සියලුදෙනාටම ලැබුණු නිසා “ධර්මිෂ්ඨකම” යනු කුමක්ද කියා නිවැරදිව අවබෝධ කරගන්න ඔවුන්ට හැකි වුණා. (යොහ. 16:8) එමෙන්ම හරි වැරැද්ද කුමක්ද කියා තේරුම්ගෙන දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨව සිටීමටද දෙවිගේ බලය මාර්ගයෙන් ලියැවුණු ග්‍රීක් ශුද්ධ ලියවිලි ඔවුන්ට උපකාර කළා. (2 තිමෝ. 3:16) ඒ වගේම දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත් නිසා ‘සැබෑ ධර්මිෂ්ඨකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න’ ඔවුන්ට හැකි වුණා. (එෆී. 4:24) ඒ වගේම පසුතැවිලි වන සියලුදෙනාටම යේසුස්ගේ ජීවිත පූජාව නිසා දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ අය වීමටද හැකි වෙනවා. දෙවිගේ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන අයට තෘප්තියට පත් වීමට මොන තරම් හේතු තිබෙනවාද!—රෝම 3:23, 24 කියවන්න.

13 කෙසේවෙතත් ඉහත සඳහන් යේසුස්ගේ වදන් පූර්ණ ආකාරයෙන් ඉටු වන්නේ පාරාදීස පොළොවේදීයි. ඒ වන තෙක් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟවම ජීවත් වීමට අපි දැඩි අධිෂ්ඨානයක් ගනිමු. ඒ සඳහා යේසුස්ගේ මෙම වදන්වලට අපි කීකරු වීම වැදගත්. ‘එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න.’ (මතෙ. 6:33) එසේ කිරීමෙන් දෙවිගේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල කාර්යබහුලව සිටීමට අපට හැකි වෙන අතර ඉන් සැබෑ සන්තෝෂයද ලබාගත හැකියි.—1 කොරි. 15:58.

“දයාවන්ත අය” සන්තෝෂවත්ය

14, 15. අන් අයට දයාව පෙන්විය හැකි ක්‍රම මොනවාද? එසේ කරන අය සන්තෝෂවත් වෙන්නේ ඇයි?

14 “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය.” (මතෙ. 5:7) “දයාවන්ත අය” අන් අයට උපකාර කරන්නේ ඔවුන් කෙරෙහි ඇති වන අනුකම්පාව නිසයි. යේසුස්ද බොහෝදෙනෙකුව සුව කළේ දුක් විඳින අය කෙරෙහි ඔහුට ඇති වූ අනුකම්පාව නිසයි. (මතෙ. 14:14) යෙහෝවා දෙවි පසුතැවිලි වන වරදකරුවන්ට දයාන්විතව සමාව දෙනවා. අපටත් ඔවුන්ව ආදර්ශයට ගත හැකියි. අපිට වරදක් කර ඇති කෙනෙකුට සමාව දීම දයාව පෙන්විය හැකි එක් ක්‍රමයක්. (නික්. 34:6, 7; ගීතා. 103:10) අපගේ කාරුණික වචන හා ක්‍රියා මගින්ද පීඩිත කෙනෙකුට දයාව පෙන්විය හැකියි. බයිබල් සත්‍යය ඔවුන් සමඟ බෙදාගැනීම එය කළ හැකි ඉතා විශිෂ්ට ක්‍රමයක්. යේසුස්ද ඊට කදිම ආදර්ශයක්. ඔහු ජනයා කෙරෙහි අනුකම්පාවෙන් පෙලඹී ‘ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.’—මාක් 6:34.

15 “දයාවන්ත අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබන්නේය” කියා පැවසූ යේසුස්ගේ වදන් මොන තරම් සැබෑද! අපි අන් අයට දයාවන්තව සලකන විට ඔවුන්ද බොහෝවිට අපටත් එලෙසම සලකනවා. අපි අන් අයට දයාව පෙන්වා තිබෙනවා නම් දෙවි අපව විනිශ්චය කරන විට අපටත් දයාව පෙන්වනවා. (යාකො. 2:13) පව්වලට සමාවත් සදාකාල ජීවනයත් හිමි වන්නේ දයාවන්ත අයට පමණක් බව අපි අමතක නොකරමු.—මතෙ. 6:15.

“නිර්මල සිත් ඇති අය” සන්තෝෂවත්ය

16. ‘නිර්මල සිතක්’ ඇති කෙනෙකුව හඳුනා ගත හැක්කේ කෙසේද? එවැනි කෙනෙකුට ‘දෙවිව දකින්න’ හැක්කේ කෙසේද?

16 “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු දෙවිව දකින්නෝය.” (මතෙ. 5:8) අප “නිර්මල සිත් ඇති අය” නම් අප කිරීමට ආශාවක් දක්වන දේවලින් හා අපගේ ආකල්පවලින් ඒ බව දිස් වෙනවා. ‘පිරිසිදු සිතකින් නික්මෙන ප්‍රේමයක්’ පෙන්වන්නත් එවැනි අයට හැකියි. (1 තිමෝ. 1:5) එමෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ‘දෙවිව දකින්නත්’ හැකි වෙනවා. ඉන් අදහස් කරන්නේ අපගේ ඇස්වලින් දෙවිව දකින්න හැකි බව නොවෙයි. ඊට හේතුව ‘මනුෂ්‍යයෙකුට දෙවිව දැක ජීවත් වීමට නොහැකි’ නිසයි. (නික්. 33:20) නමුත් මෙහිදී යේසුස්ගේ මෙම වචන සැලකිල්ලට ගැනීම වැදගත්. “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ.” (යොහ. 14:7-9) දෙවි අපි වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය අපි තේරුම් ගතහොත් අපගේ අවබෝධය නමැති ඇස්වලින් අපිට ‘දෙවිව දැකගත’ හැකියි. (යෝබ් 42:5) නමුත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට නම් තම ස්වර්ගීක ජීවිතය ලැබීමෙන් පසු දෙවි සිටින ආකාරයෙන්ම ඔහුව දැකගැනීමට අවස්ථාව ලැබෙනවා.—1 යොහ. 3:2.

17. අපි නිර්මල සිත් ඇති අය නම් අප කටයුතු කරන්නේ කෙසේද?

17 නිර්මල සිතක් ඇති කෙනෙක් ඔහුගේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිට පිළිගත හැකි තත්වයක සිටින අතර දෙවි අපවිත්‍රයි කියා සලකන කිසිවක් කරන්නේ නැහැ. (1 ලේක. 28:9; යෙසා. 52:11) එමනිසා නිර්මල සිත් ඇති අය ලෙස අප කරන කියන සෑම දෙයකින්ම ඒ බව පිළිබිඹු කරමු. එවිට නිවැරදි චේතනාවකින් යුතුව දෙවිට සේවය කිරීමට අපට හැකියි.

“සාමය ඇති කරන අය” දෙවිගේ පුත්‍රයන්

18, 19. “සාමය ඇති කරන අය” කටයුතු කරන්නේ කෙසේද?

18 “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු ‘දෙවිගේ පුත්‍රයෝ’ ලෙස හඳුන්වනු ලබන්නෝය.” (මතෙ. 5:9) ‘සාමය ඇති කරන අයව’ ඔවුන් කරන දේවල්වලින් පමණක් නොව ඔවුන් වැළකී සිටින දේවල්වලින්ද හඳුනාගන්න පුළුවන්. උදාහරණයකට අපි සාමය ඇති කරන අය නම් අපි ‘කාටවත් නපුරට නපුර කරන්නේ නැහැ.’ ඒ වෙනුවට ‘නිතරම යහපත් වූ දේ කරන්න වගබලා ගන්නවා.’—1 තෙස. 5:15.

19 අපි ‘සාමය ඇති කරන පුද්ගලයන්’ වීමට නම් ඒ සඳහා වෙහෙසී කටයුතු කළ යුතුයි. එමෙන්ම එවැනි කෙනෙක් ‘මිත්‍රයන්ව වෙන් කරන’ කිසිම දෙයක් කරන්නේ නැහැ. (හිතෝ. 16:28NW) “සාමය ඇති කරන අය” ලෙස අපි ‘සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්න’ අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි.—හෙබ්‍රෙ. 12:14.

20. දැන් ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වන්නේ කවුරුන්වද? එමෙන්ම අනාගතයේදී දෙවිගේ දරුවන් බවට පත් වන්නේ කවුරුන්ද?

20 සාමය ඇති කරන්නන් සන්තෝෂවත් වීමට හේතුව වන්නේ ඔවුන්ව “දෙවිගේ පුත්‍රයෝ” ලෙස හඳුන්වන නිසයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට එම තත්වය හිමි වන්නේ දෙවි තම පුත්‍රයන් ලෙස ඔවුන්ව පිළිගෙන ඇති නිසයි. ඔවුන් දැනටමත් දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. ඊට හේතු වී ඇත්තේ ඔවුන් යේසුස් කෙරෙහි ඇදහිල්ල තබා ‘ප්‍රේමයේ හා සමාදානයේ දෙවිට’ මුළු හදවතින්ම නමස්කාර කරන නිසයි. (2 කොරි. 13:11; යොහ. 1:12) සමාදානය ඇති කරන්නන් වන ‘වෙනත් බැටළුවන්ගේ’ තත්වය කුමක්ද? දහස් අවුරුදු පාලන කාලයේදී යේසුස් ඔවුන්ගේ “සදාකාල පියාණන්” වන අතර එය අවසානයේදී එනම් ඔහු තම රාජ්‍යය දෙවිට භාර දෙන විට දෙවි මෙම වෙනත් බැටළුවන්වද තම දරුවන් ලෙස පිළිගැනීමට නියමිතයි.—යොහ. 10:16; යෙසා. 9:6; රෝම 8:21; 1 කොරි. 15:27, 28.

21. දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වීමට ඉඩ හරින විට අපි ක්‍රියා කරන්නේ කෙසේද?

21 අපි සාමය ඇති කරන අය වීමට නම් දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුයි. එසේ කරනවා නම් අපි ‘එකිනෙකා සමඟ තරඟකාරීත්වයක් ඇති කරගන්නේවත් එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නේවත් නැහැ.’ ඒ වෙනුවට අප සාමය ඇති කරන අය බවත් ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටින්න’ උත්සාහ කරන අය බවත් අන් අයට පැහැදිලිව දැකගන්න හැකි වෙනවා. (ගලා. 5:22-26) අප නිතරම උත්සාහ කරන්නේ “සියලුදෙනා සමඟ සමාදානයෙන්” සිටීමටයි.—රෝම 12:18.

පීඩා වින්ද අය සන්තෝෂවත්ය

22-24. (අ) ධර්මිෂ්ඨකම නිසා පීඩා විදින අයට සන්තෝෂ වීමට තිබෙන හේතු මොනවාද? (ආ) අප ඊළඟ ලිපි දෙකෙන් සලකා බලන්නේ කුමක්ද?

22 “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය.” (මතෙ. 5:10) සන්තෝෂය අත් කරගැනීමට උපකාර වන අවසාන හේතුව යේසුස් මෙසේ විස්තර කළා. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න. මන්ද ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.”මතෙ. 5:11, 12.

23 පුරාණයේ සිටි දෙවිගේ අනාගතවක්තෘවරුන්ට මෙන් අද සිටින ක්‍රිස්තියානීන්ටද “ධර්මිෂ්ඨකම නිසා” බොහෝ නින්දා පීඩා හා බොරු චෝදනාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වුණත් ඒවාට සාර්ථකව මුහුණ දීමෙන් දෙවිගේ සිත සතුටු කරන්න අපට හැකි වීම සන්තෝෂයට හේතුවක්. (1 පේතෘ. 2:19-21) අප දෙවිට සේවය කිරීමට දක්වන ආශාව හීන කරන්න එම පීඩාවලට බැහැ. යේසුස් සමඟ ස්වර්ගයේ හවුල් පාලකයන් වීමට හෝ පොළොව මත සදාකල් ජීවත් වීමට අපට ඇති ප්‍රීතිමත් බලාපොරොත්තුව අහිමි කරන්න ඒවාට බැහැ. එවන් ආශීර්වාද දෙවි අපට විවෘත කර තිබෙන්නේ ඔහුගේ මහත් කරුණාව හා ත්‍යාගශීලීවන්තකම නිසයි.

24 අප මෙතෙක් සලකා බැලූ කරුණුවලට අමතරව තවත් බොහෝ කරුණු කන්ද උඩ දේශනාවෙන් අපට ඉගෙනගත හැකියි. ඒ මොනවාද කියාත් ඒවා අපට අදාළ කරගත හැක්කේ කෙසේද කියාත් අපි ඊළඟ ලිපි දෙකෙන් සලකා බලමු.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි කියා හැඟෙන අයට සන්තෝෂවත් වීමට තිබෙන හේතුව කුමක්ද?

• මෘදු ගුණැති අය සන්තෝෂවත් වන්නේ ඇයි?

• ක්‍රිස්තියානීන් පීඩා වින්දත් ඔවුන් සන්තෝෂවත් වන්නේ ඇයි?

• ඔබගේ සිත් ගත්තේ යේසුස් පැවසූ, සන්තෝෂය ගෙන දෙන කුමන කරුණද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[7වන පිටුවේ පින්තූරය]

සැබෑ සන්තෝෂය අත් කරගැනීම සඳහා යේසුස් පැවසූ වදන් එදා මෙන් අදටත් ප්‍රයෝජනවත්

[8වන පිටුවේ පින්තූරය]

අන් අයට දයාව පෙන්විය හැකි විශිෂ්ට ක්‍රමයක් වන්නේ ඔවුන් සමඟ බයිබල් සත්‍යය බෙදාගැනීමයි