Skip to content

පටුනට යන්න

අවමංගල්‍ය කටයුතු දෙවිට ගෞරව ගෙන දෙන ආකාරයෙන් සිදු කරමු

අවමංගල්‍ය කටයුතු දෙවිට ගෞරව ගෙන දෙන ආකාරයෙන් සිදු කරමු

අවමංගල්‍ය කටයුතු දෙවිට ගෞරව ගෙන දෙන ආකාරයෙන් සිදු කරමු

අපගෙන් බොහෝදෙනෙක් අවමංගල්‍ය අවස්ථාවකට සහභාගි වී ඇති. ඒ අවස්ථාවේදී සමහරුන් ශෝකයෙන් හඬා වැලපෙන ආකාරයත් තවත් පිරිසක් කඩිමුඩියේ එහි වැඩ කටයුතු කරන ආකාරයත් දැක ඇති. ඒ වගේම මිය ගිය තැනැත්තාගේ පවුලේ කිට්ටු සාමාජිකයෙක්, පැමිණෙන අයව පිළිගන්න ආකාරයද දැකගන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල් වුණත් අවමංගල්‍යකදී විවිධ චාරිත්‍ර වාරිත්‍රයන්ද සිදු කරනවා. ඒවා රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.

අද සමාජයේ බොහෝදෙනෙකු මිය ගිය අය කෙරෙහි ඉමහත් බියකින් පසු වෙනවා. ඔවුන් සිතන්නේ කෙනෙක් මිය යන විට නොපෙනෙන දෙයක් ශරීරයෙන් පිට වී යන බවයි. ජීවත් වන අයට උපකාර කිරීමට හෝ හානි කිරීමට ඊට හැකි බව ඔවුන් තරයේ විශ්වාස කරනවා. එවන් විශ්වාසයන් බොහෝමයක් අද දින අවමංගල්‍ය චාරිත්‍රවලට සම්බන්ධයි. කෙනෙක් මිය ගිය විට දුක ශෝකය ප්‍රකාශ කිරීම, කඳුළු සැලීම සාමාන්‍ය දෙයක්. යේසුස් සහ ඔහුගේ ගෝලයන්ද තමන් ප්‍රේම කළ අය මිය ගිය අවස්ථාවලදී එසේ ශෝක වුණා. (යොහ. 11:33-35, 38; ක්‍රියා 8:2; 9:39) ඒ වුණත් ඔවුන්ගෙන් කිසිවෙක් එදා සිටි ජනයා මෙන් සීමාව ඉක්මවා ශෝක වුණේ නැහැ. (ලූක් 23:27, 28; 1 තෙස. 4:13) ඊට එක් හේතුවක් නම් මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් ඔවුන්ට නිවැරදි අවබෝධයක් තිබීමයි.

බයිබලයේ මළවුන් ගැන පැහැදිලිව මෙසේ පවසනවා. ‘ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් නොදනිති. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත. මන්ද ඔබ යන මිනී වළෙහි කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් නොහැක. එහි දැනුමවත් ප්‍රඥාවවත් නැත.’ (දේශ. 9:5, 6, 10, නව ලෙව පරිවර්තනය, NW) කෙනෙක් මිය ගිය විට ඔහුට කිසිම දෙයක් ගැන කල්පනාවක්වත් අවබෝධයක්වත් නැහැ. එමෙන්ම ඔහු කිසිම හැඟීමක් දැනීමක් නොදැනෙන තත්වයකට පත්වන බවද එම බයිබල් පදවලින් පැහැදිලියි. ක්‍රිස්තියානීන් වන අපට මළවුන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන නිසා අවමංගල්‍යයක් හා සම්බන්ධ සියලු කටයුතු සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන අපි මෙම ලිපියෙන් සලකා බලමු.

“අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කුමන සංස්කෘතියකට, ජාතියකට හෝ පසුබිමකට අයත්ව සිටියත් මිය ගිය අය ජීවත් වන බවට වූ විශ්වාසය ඇතුළත් කිසිම චාරිත්‍රයකට ඔවුන් කුමනාකාරයකින්වත් සම්බන්ධ වන්නේ නැහැ. මෘත දේහය තනි නොකිරීම සඳහා නිදි මරාගෙන එය ආරාක්ෂා කිරීම, ඉටිපන්දම් හෝ පහන් නිවෙන්න නොදී දල්වා තැබීම, දේහයේ හිස යොමු කර තැබිය යුතු නිශ්චිත දිශාව තීරණය කිරීම, නිවසේ තිබෙන ඡායාරූප පිටුපස හරවා තැබීම, මුහුණ බලන කණ්ණාඩි රෙදි කඩකින් වසා තැබීම, මළවුන් වෙනුවෙන් දාන දීම, මිය ගිය තැනැත්තාව වාර්ෂිකව සිහිකර පවත්වන චාරිත්‍ර වැනි දේවල් යෙහෝවා දෙවිට ඉතා පිළිකුල්. ඊට හේතුව ඒ සියල්ලක් ආරම්භය වී ඇත්තේ මළවුන් සම්බන්ධ මිථ්‍යා විශ්වාස පදනම් කරගෙන නිසයි. දෙවිගේ සේවකයන් එවැනි චාරිත්‍රවලට හවුල් නොවන්නේ ‘යෙහෝවා දෙවිගේ මේසයටද භූතයන්ගේ මේසයටද පංගුකාරයන් වන්න ඔවුන්ට නොහැකි’ නිසයි. (1 කොරි. 10:21) එමෙන්ම ‘ඔවුන්ගෙන් වෙන් වී සිටින්න, අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න’ යන ආඥාවටද ඔවුන් කීකරු වෙනවා. (2 කොරි. 6:17) කෙසේනමුත් එසේ කිරීම අභියෝගයක් වන අවස්ථාද තිබෙනවා.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනයා විශ්වාස කරන්නේ අවමංගල්‍යයක් හා සම්බන්ධ ඉහත කී චාරිත්‍ර ඉටු නොකළොත් මළවුන් කෝප වී තම පවුලේ අයටත් ප්‍රදේශයේ ජනයාටත් හානි කරන බවයි. එමෙන්ම එය ඔවුන්ට අශුභ බවත් ඔවුන් විශ්වාස කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එවැනි චාරිත්‍ර නොපැවැත්වීම නිසා ඔවුන් තම ප්‍රදේශයේ ජනයාගේ විවේචන හා අපහාසවලට ලක් වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ පවුලේ අය හා අසල්වාසීන් ඔවුන්ව කොන් කර තිබෙනවා. තවත් අය ඔවුන්ව හඳුන්වන්නේ මළවුන්ට ගරු නොකරන අමුතු ජාතියේ පුද්ගලයන් හැටියටයි. සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි නිවෙස්වල සිදු කරන අවමංගල්‍ය කටයුතුවලට නෑදෑයන් මැදිහත් වී බලහත්කාරයෙන් ඔවුන්ගේ චාරිත්‍ර ඉටු කර තිබෙනවා. එවැනි තත්වයකදී ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා අපට කුමක් කළ හැකිද? ඊටත් වඩා යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය බිඳ දමන චාරිත්‍රවලින් වැළකී සිටින්න අපට කුමක් කළ හැකිද?

ඔබේ ස්ථාවරය පැහැදිලිව පවසන්න

බොහෝ අවමංගල්‍යයන්වලදී කටයුතු සිදු විය යුතු ආකාරය තීරණය කරන්නේ පවුලේ සාමාජිකයන් විසින් නොව, ඔවුන්ගේ ඥාතීන් හෝ වෙනත් වැඩිහිටි අය විසිනුයි. නමුත් ක්‍රිස්තියානි පවුලක සාමාජිකයෙක් මිය ගිය විට තත්වය කුමක්ද? එහිදී අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මූලික පියවර ගන්නේ මිය ගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් විසිනුයි. නමුත් අන් අය ඊට මැදිහත් වී තීරණ ගැනීමට උත්සාහ කරනවා නම් එම පවුලේ සිටින දෙවිට විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙක් ඔවුන්ගේ ස්ථාවරය ඒ අයට පැහැදිලි කර දිය යුතුයි. (2 කොරි. 6:14-16) එමෙන්ම මෙහිදී අපත් මතක තබාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් මළවුන් පිළිබඳව අප විශ්වාස කරන මෙන්ම අන් අයට උගන්වන දේවල්වලට පටහැනි දේවල් කිරීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාවයි. එසේ නොකළොත් සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල දුර්වල විය හැකි අතර අපගේ ඉගැන්වීම් ගැන දන්නා අය අප ගැන වැරදි වැටහීමක් ඇති කරගත හැකියි.

ක්‍රිස්තියානි පවුලක කෙනෙක් මිය ගිය විට අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය ගැන පවුලේ සාමාජිකයන්ට සභාවේ වැඩිමහල්ලන්ගෙන් විමසිය හැකියි. එවිට එහි සියලුම කටයුතු බයිබල් ප්‍රමිතිවලට එකඟව සිදු කරන ආකාරය ගැන මඟ පෙන්වීම් ලබා දීමට ඔවුන්ට පුළුවන්. කෙසේනමුත් ක්‍රිස්තියානීන්ට නුසුදුසු චාරිත්‍රයන් සිදු කිරීමට වෙනත් අය උත්සාහ කරයි නම් කාරුණික මෙන්ම ගෞරවාන්විත ලෙස අපගේ ස්ථාවරය ඔවුන්ට පැහැදිලි කර දීම සුදුසුයි. (1 පේතෘ. 3:15) නමුත් ඔවුන් බලහත්කාරයෙන් එසේ කිරීමට උත්සාහ කරනවා නම් තත්වය කුමක්ද? ඔවුන්ට ඒ සඳහා ඉඩ හැරීමට ක්‍රිස්තියානි පවුලේ අය තීරණය කළ හැකියි. (1 කොරි. 10:20) එමෙන්ම එවැනි තත්වයකදී රාජ්‍ය ශාලාවේ හෝ වෙනත් සුදුසු ස්ථානයක කෙටි අවමංගල්‍ය කතාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් යොදන්න ඔවුන්ට හැකියි. ඒ තුළින් ශෝකයට පත් පවුලේ අයට ‘ශුද්ධ ලියවිල්ල මගින් යම් සැනසිල්ලක්’ ලබා දිය හැකියි. (රෝම 15:4) කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී මෘත දේහය එම ස්ථානයේ නොතිබුණත් එම අවස්ථාව ගෞරවනීයව සැලකිය යුතුයි. (ද්වි. 34:5, 6, 8) සාක්ෂිකරුවන් නොවන නෑදෑයන් අකාරුණික ලෙස කටයුතු කරන නිසා වේදනාවට පත් පවුලේ අයගේ ශෝකය තවත් වැඩි වන බව ඇත්තයි. නමුත් ඔවුන් දෙවි ඉදිරියෙහි හරි දේ කළ බවත් දෙවි ඒ ගැන අවධානයෙන් සිටින බවත් දැන සිටීම ඔවුන්ට සහනයක්. එවැනි අයට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දෙන්න දෙවිට හැකියි.—2 කොරි. 4:7.

ඔබේ ස්ථාවරය පැහැදිලිව ලියා තබන්න

සාමාන්‍යයෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කැමැත්තට බොහෝදෙනා ගරු කරනවා. ඒ නිසා සාක්ෂිකරුවෙක් තම අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ සියලු තොරතුරු කල් ඇතුව ලියා තැබීම සුදුසුයි. එවිට අන් අයගෙන් එල්ල වන බලපෑම අවම කරගත හැකියි. අවමංගල්‍යය කටයුතු සිදු විය යුත්තේ කෙසේද, කුමන ස්ථානයේදීද එහි කටයුතු සියල්ලක් අධීක්ෂණය කළ යුත්තේ කවුරුන්ද යන වැදගත් තොරතුරු ඔහු ඊට ඇතුළත් කළ යුතුයි. (උත්. 50:5) එමෙන්ම එම ලියවිල්ල තහවුරු කිරීම සඳහා සාක්ෂියට දෙදෙනෙකුගේ අත්සන් තැබීමද වඩාත් යෝග්‍ය විය හැකියි. ඉදිරිය ගැන කල්පනා කරන ක්‍රිස්තියානීන් එවැනි ලියවිල්ලක් සකස් කිරීමට මහලු වන තෙක් හෝ බරපතළ ලෙස අසනීප වන තෙක් බලා සිටින්නේ නැහැ.—හිතෝ. 22:3; දේශ. 9:12.

සමහරුන් නම් එවැනි ලියවිල්ලක් සකස් කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එවැනි ලියවිල්ලක් සකස් කිරීමෙන් පෙන්වන්නේ ඔහු, අවබෝධයෙන් ක්‍රියා කරන අන් අය ගැන අවංක සැලකිල්ලක් දක්වන කෙනෙකු බවයි. (ෆිලි. 2:4) නමුත් එසේ නොකළොත් කුමක් සිදු විය හැකිද? ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී නෑදෑයන්ගෙන් හෝ වෙනත් අයගෙන් පැමිණෙන පීඩනයට මුහුණ දීමට පවුලේ අයට සිදු විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු කෙදිනකවත් අනුමත නොකළ, විශ්වාස නොකළ අපවිත්‍ර චාරිත්‍ර වාරිත්‍ර ඔහුගේ අවමංගල්‍යයේදී සිදු විය හැකියි.

එය ඔබින ආකාරයෙන් පවත්වන්න

අවමංගල්‍ය අවස්ථාවක් ඉතාමත් කැපී පෙනෙන ආකාරයෙන් පැවැත්විය යුතු බව බොහෝදෙනාගේ මතයයි. තවත් අය අවමංගල්‍යයකදී තමන් සතු ‘දේපළ ප්‍රදර්ශනය කිරීමට’ හා තමන්ගේ තත්වය පෙන්වීමට උත්සාහ කරනවා. (1 යොහ. 2:16) අවමංගල්‍ය කටයුතු උසස්ම ආකාරයෙන් පැවැත්වීම සඳහා බොහෝ මුදලක් මෙන්ම ශ්‍රමයක්ද දැරීමට එවැනි අයට සිදු වෙනවා. එමෙන්ම සමහරුන් වැඩි පිරිසකගේ අවධානය ඊට ලබාගැනීම සඳහා මිය ගිය තැනැත්තාගේ ඡායාරූපය සහිත විශාල ප්‍රමාණයේ පෝස්ටර ප්‍රදේශයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කරනවා. එපමණක්ද නොව සමහරුන් ඉතා මිල අධික මිනී පෙට්ටිවල දේහය තබන්නේත් ඔවුන්ගේ තත්වය පෙන්වීමට හා අන් අයගේ අවධානය ලබාගැනීමටයි. එක් රටක කාර්, ගුවන් යානා හා බෝට්ටුවල හැඩය ඇති මිනී පෙට්ටි නිර්මාණය කර තිබෙනවා. අවමංගල්‍යකදී එවැනි මිනී පෙට්ටි භාවිත කිරීමෙන්ද ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධනය හා කීර්තිය පෙන්වීමටයි. තවත් රටවල, කාන්තාවක් මිය ගිය විට ඇයව මනමාලියක් සේ අන්දවා ආභරණ බොහොමයක් ඇයට පළඳවනවා. ලෝකයේ බොහෝදෙනා එවන් දේවල් අනුගමනය කළත් යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙකු ලෙස අප එවැනි දේවල්වල හවුල් වීම සුදුසුද කියා කල්පනා කිරීම වැදගත්.

අද දින බොහෝදෙනා සමහර දේවල්වල අන්තයටම යනවා. නමුත් බයිබල් ප්‍රතිපත්ති ගැන මනා අවබෝධයක් ඇති ක්‍රිස්තියානීන් ඊට වෙනස්. දෙවිගේ ප්‍රතිපත්තිවලට පටහැනි මෙන්ම නොගැළපෙන චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වී ඇත්තේ ‘දෙවිගෙන් නොව පහවීමට නියමිත මේ ලෝකයෙන්’ බව ඔවුන් දන්නවා. (1 යොහ. 2:15-17) එමනිසා අපි අවමංගල්‍ය කටයුතු සිදු කිරීමේදී වේවා වෙනත් ඕනෑම දෙයකදී අන් අයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි යන ආකල්පයෙන් වැළකී සිටිමු. (ගලා. 5:26) අද දින බොහෝදෙනා අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර සිදු කරන්නේ මළවුන්ට තිබෙන බිය නිසයි. එමෙන්ම ඔවුන් එය සලකන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් ලෙසයි. සමහරුන් අවමංගල්‍ය අවස්ථාවට බොහෝ පිරිසකගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. නමුත් ඉන් සිදු වන්නේ පැමිණි පිරිස අධික නිසා එහි කටයුතු අධීක්ෂණය කිරීම දුෂ්කර වීමයි. එවන් අවස්ථාවලදී නුසුදුසු ක්‍රියා සිදු වීමේ ඉඩ කඩ වැඩි බවත් බොහෝ සිද්ධීන්වලින් ඔප්පු වී තිබෙනවා. මිය ගිය තැනැත්තා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කඳුළු සැලීම සාමාන්‍ය දෙයක්. නමුත් සමහරුන් එහි අන්තයටම යමින් යටිගිරියෙන් කෑගසමින්, මෘත දේහය බදාගනිමින්, සොලවමින් හඬනවා. තවත් අය, මිය ගිය තැනැත්තා ජීවමාන කෙනෙකු මෙන් සලකා ඔහුට කතා කරනවා. ඒ වගේම සමහරුන් මිනී පෙට්ටි තුළට මුදල් මෙන්ම තවත් නොයෙකුත් දේවල් දැමීම චාරිත්‍රයක්ව පවතිනවා. මේ සියල්ලෙන් පෙනෙන්නේ මළවුන් කෙරෙහි ඔවුන් තුළ ඇති බියයි. එමනිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුගේ නිවසක සිදු කරන අවමංගල්‍යයකදී එවන් දේවල් සිදු වුවහොත් එය යෙහෝවා දෙවිගේ නාමයට හා ඔහුගේ නමස්කාරකයන්ට මොන තරම් නින්දාවක්ද!—1 පේතෘ. 1:14-16.

ක්‍රිස්තියානීන් වන අපට, මළවුන් සිටින තත්වය ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසා මේ ලෝකයේ කිසිම නුසුදුසු චාරිත්‍රයක් නොපැවැත්වීමට අප වගබලා ගත යුතුයි. (එෆී. 4:17-19) යේසුස් ගැන මදක් සිතා බලන්න. පොළොවෙහි මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මෙන්ම වැදගත්ම පුද්ගලයා ඔහුයි. නමුත් ඔහුගේ අවසන් කටයුතු සිදු කළේ විශාල පිරිසක් මධ්‍යයෙහි නොවෙයි. එය සිදු කළේ ඉතාමත් සරල මෙන්ම ගෞරවනීය ආකාරයකටයි. (යොහ. 19:40-42) එමනිසා ක්‍රිස්තුස්ට සමාන ආකල්ප දරන අය තම අවමංගල්‍ය කටයුතුද සරල ආකාරයෙන් සිදු කිරීමට එකඟ වෙනවා. (1 කොරි. 2:16) ක්‍රිස්තියානි අවමංගල්‍යයකදී බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ දේවල් සිදු වීම වළක්වාගත හැකි හොඳම ක්‍රමය වන්නේ එහි කටයුතු ඉතා සරල මෙන්ම ගෞරවනීය ආකාරයෙන් පැවත්වීමයි.

අවසන් කටයුතුවලින් පසු

අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව නෑදෑයන්, අසල්වාසීන් හා පැමිණ සිටින වෙනත් අය සමඟ ආහාර වේලක් ගැනීම සමහරුන්ගේ චාරිත්‍රයක් වී තිබෙනවා. නමුත් එම අවස්ථාවේදී අධික ලෙස මත් පැන් පානය කිරීමට හා අනාචාර ක්‍රියාවල යෙදීමට සමහරුන් පෙලඹී තිබෙනවා. සමහරුන් සිනාසෙමින් කා බී ප්‍රීති වෙනවා. ඔවුන් පවසන්නේ එසේ කිරීම ශෝකයට පත් වී සිටින අයගේ දුක තුනී කරගැනීමට උපකාරවත් වන බවයි. තවත් අය කියා සිටින්නේ එය ඔවුන්ගේ චාරිත්‍රයක් බවයි. බොහෝදෙනා විශ්වාස කරන්නේ මිය ගිය තැනැත්තාව ප්‍රශංසාවට හා ගෞරවයට පත් කිරීම සඳහා එවන් චාරිත්‍ර පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.

නමුත් ඊට වෙනස්ව බයිබලයේ සඳහන් මෙම වචන මොන තරම් සත්‍යයද කියා ක්‍රිස්තියානීන් වන අපි දන්නවා. “සිනාසීමට වඩා දුකින් සිටීම හොඳය. මන්ද දුකක් දැනෙන විට සිත ශක්තිමත් වෙයි.” (දේශ. 7:3NW) අපගේ ජීවිතය ඉතා කෙටි බව තේරුම්ගන්නත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කොතරම් වටිනා එකක්ද කියා කල්පනා කර බැලීමටත් අවමංගල්‍යකට සහභාගි වන විට අපට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් තිබෙන අය තේරුම්ගන්නා දෙයක් වන්නේ “උපන් දවසට වඩා මියයන දවස හොඳ” බවයි. (දේශ. 7:1NW) අවමංගල්‍ය අවස්ථාවකදී කා බී ප්‍රීති ඝෝෂා පැවැත්වීම මිය ගිය අයව සතුටු කිරීම හා අනාචාර ක්‍රියාවලට සම්බන්ධ නිසා එවන් චාරිත්‍ර දෙවි ඉදිරියෙහි ඉතා පිළිකුල්සහගත බව අපට පැහැදිලියි. ඒ නිසා ක්‍රිස්තියානීන් අවමංගල්‍ය කටයුතු සිදු කරන විට එවන් චාරිත්‍ර පැවැත්වීම සුදුසු නැහැ. එමෙන්ම එවන් චාරිත්‍ර පවත්වන අවස්ථාවකට සහභාගි වීමවත් සුදුසු නැහැ. ක්‍රිස්තියානියෙකු එවන් අවස්ථාවකට සහභාගි වෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ ඔහුට දෙවි කෙරෙහි ගෞරවයක් නැති බව හා සෙසු නමස්කාරකයන්ගේ ඇදහිල්ලට එය බලපාන ආකාරය ගැන ඔහු සැලකිල්ලක් නොදක්වන බවයි.

ඔබ වෙනස් බව පෙන්වන්න

අද සිටින බොහෝදෙනා මළවුන් කෙරෙහි ඉමහත් බියකින් පසු වුණත් මළවුන් පිළිබඳ සත්‍යය ඉගෙනගැනීම නිසා අපි එම බියෙන් නිදහස් වී සිටිනවා. ඒ ගැන අපි දෙවිට මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! (යොහ. 8:32) අප “ආලෝකයේ දරුවන්” නිසා මිය ගිය කෙනෙකු සම්බන්ධයෙන් අප ශෝක වන්නේ දෙවිව නොදන්නා අය මෙන් නොවෙයි. (එෆී. 5:8) අපි “බලාපොරොත්තුවක් නැති අන් අය මෙන්” අධික ලෙස හඬා වැලපෙන්නේ නැහැ. (1 තෙස. 4:13) ඒ වෙනුවට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපට ස්ථිර බව ඒ අවස්ථාවේදී අප ක්‍රියා කරන ආකාරයෙන් පෙන්විය යුතුයි. (යොහ. 5:28, 29) අප එසේ කරනවා නම් සැබෑ නමස්කාරය අපවිත්‍ර කළ හැකි චාරිත්‍ර පැවැත්වීමට එල්ල වන ඕනෑම පීඩනයකට එරෙහිව සිටීමට අපට හැකියි.—1 පේතෘ. 3:13, 14.

අප දෙවිගේ ප්‍රතිපත්තිවලට පක්ෂපාතව සිටින විට “දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට” මේ ලෝකයේ මිනිසුන්ට අවස්ථාවක් ලැබෙනවා. (මලා. 3:18) මිනිසුන් නැවත කෙදිනකවත් මිය නොයන කාලය වැඩි ඈතක නොවෙයි. (එළි. 21:4) ඒ සම්බන්ධයෙන් දෙවිගේ අනර්ඝ පොරොන්දු ඉටු වන කාලය පැමිණෙන තෙක් අපි බලා සිටිමු. ඒ වන තෙක් අපි ඔහු ඉදිරියෙහි නොකිලිටිව, නිකැළැල්ව මෙන්ම මේ ලෝකයේ තිබෙන දෙවිට පිළිකුල්සහගත සියලුම චාරිත්‍ර වාරිත්‍රවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිමු.—2 පේතෘ. 3:14.

[30වන පිටුවේ පින්තූරය]

අපගේ අවමංගල්‍ය කටයුතු සිදු විය යුතු ආකාරය ගැන අපගේ කැමැත්ත සඳහන් කර ලියවිල්ලක් සකස් කර තැබීම ඥානවන්තම දෙයයි

[31වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි අවමංගල්‍යයක් ඉතාමත් සරල මෙන්ම ගෞරවාන්විත එකක් විය යුතුයි