යොහන් 11:1-57

11  මේ අතර මරියා සහ ඇගේ සහෝදරිය වූ මාර්තා+ ජීවත් වූ බෙතානිය නම් නුවරේ විසූ ලාසරුස් නම් මිනිසෙක් අසනීප වී සිටියේය.  යේසුස්ට සුවඳ තෙල්+ ආලේප කර තම හිසකෙස්වලින් ඔහුගේ පාද පිස දැමූ ස්ත්‍රිය+ මරියායි. අසනීපව සිටි ලාසරුස් ඇගේ සහෝදරයා විය.  ලාසරුස්ගේ සහෝදරියෝ, “ස්වාමීනි, ඔබේ හිතවත් මිත්‍රයා+ අසනීපයෙන් සිටිනවා” කියා යේසුස්ට දන්වා යැවූහ.  යේසුස්ට එම පණිවිඩය ලැබුණු විට, “මේ අසනීපයේ අවසාන ප්‍රතිඵලය මරණය නොවෙයි. එයින් දෙවිට මහත් ගෞරවයක් ගෙන දෙයි.+ එසේම මනුෂ්‍ය පුත්‍රයාටත් ගෞරවය ලැබෙයි” කියා ඔහු කීවේය.  යේසුස් මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළේය.  නමුත් ලාසරුස් අසනීපයෙන් සිටින බව යේසුස්ට ආරංචි වුණත් ඔහු තමන් සිටි ස්ථානයේ දවස් දෙකක්ම නැවතී සිටියේය.  ඉන්පසු, “අපි නැවත යුදයට යමු” කියා ඔහු ගෝලයන්ට කීවේය.  ගෝලයෝද, “ගුරුතුමනි,+ ඔබ නැවතත් එතැනට යන්න හදන්නේ ඇයි? ළඟදී නේද යුදෙව්වරුන් ඔබට ගල් ගසන්න හෙව්වේ”+ කියා ඔහුගෙන් ඇසූහ.  එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “දවල් කාලයට තිබෙන්නේ පැය දොළහක් පමණයි. කෙනෙක් දවල් කාලයේ ඇවිද්දොත්+ ඔහුට මේ ලෝකයේ ආලෝකය දකින්න ලැබෙයි. ඒ නිසා කිසිම දෙයක ඔහුගේ පය හැප්පෙන්නේ නැහැ. 10  නමුත් කෙනෙක් රාත්‍රියේදී ඇවිද්දොත්+ ඔහු යම් දේවල හැප්පෙයි. ඊට හේතුව ඔහුට මඟ පෙන්වන්න කිසි ආලෝකයක් නැති වීමයි.” 11  ඒ දේවල් පැවසූ පසු ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.”+ 12  එවිට ගෝලයෝ, “ස්වාමීනි, ඔහු නිදාගෙන සිටිනවා නම් ඔහු සනීප වී නැඟිටියි” කියා කීවෝය. 13  යේසුස් කතා කරමින් සිටියේ ඔහුගේ මරණය ගැනයි. නමුත් ඔවුන් සිතුවේ ලාසරුස් නිදාගෙන විවේක ගන්නා බවයි. 14  එමනිසා යේසුස් ඔවුන්ට පැහැදිලිවම මෙසේ කීවේය. “ලාසරුස් ඇත්තටම මැරිලා.+ 15  ඒ අවස්ථාවේදී මම එතැන නොසිටි එක ගැන සතුටු වෙනවා. මන්ද දැන් මා කරන්න යන දෙයින් ඔබේ විශ්වාසය ශක්තිමත් වෙයි. අපි දැන් එහෙට යමු.” 16  එවිට නිවුන් දරුවා ලෙස හැඳින්වූ තෝමස්, සෙසු ගෝලයන්ට මෙසේ කීවේය. “මැරෙන්න සිදු වුණත් අපි ඔහු සමඟ යමු.”+ 17  යේසුස් පැමිණි විට ලාසරුස්ගේ දේහය සොහොන් ගෙයි තබා දවස් හතරක් ගත වී තිබුණු බව+ දැනගත්තේය. 18  බෙතානිය පිහිටා තිබුණේ යෙරුසලම අසලය. එනම් කිලෝමීටර් තුනක පමණ දුරකිනි. 19  තම සහෝදරයාගේ වියෝව නිසා මාර්තා සහ මරියාව සැනසීමට+ යුදෙව්වරුන් බොහෝදෙනෙක් ඔවුන්ගේ නිවසට ඇවිත් සිටියෝය. 20  යේසුස් එන බව මාර්තා දැනගත් විට ඇය ඔහුව හමු වීමට ගියාය. නමුත් මරියා+ දිගටම තම නිවසටම වී සිටියාය. 21  මාර්තා යේසුස්ව හමු වී ඔහුට මෙසේ කීවාය. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.+ 22  ඒ වුණත් ඔබ දෙවිගෙන් ඉල්ලන ඕනෑම දෙයක්+ දෙවි ඔබට දෙන බව මම දන්නවා.” 23  යේසුස් ඇයට මෙසේ කීවේය. “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි.”+ 24  මාර්තාද, “නැවත නැඟිටීම සිදු වීමට නියමිත කාලයේදී+ ඔහු නැඟිටින බව මම දන්නවා” කියා ඔහුට කීවාය. 25  එවිට යේසුස් ඇයට මෙසේ කීවේය. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.+ මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මිය ගියත් ඔහුට නැවත ජීවනය ලැබෙයි.+ 26  ජීවත්ව සිටින ඕනෑම කෙනෙක් මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ.+ ඔබ මේ දේ විශ්වාස කරනවාද?” 27  ඇයද, “ස්වාමීනි, මට එය විශ්වාසයි. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස් බවත් ලෝකයට එන්න සිටින තැනැත්තා+ ඔබ බවත් මම විශ්වාස කරනවා” කියා ඔහුට කීවාය. 28  ඉන්පසු ඇය ඇගේ සහෝදරිය වූ මරියා ළඟට ගොස්, “ගුරුතුමා+ ඇවිත් සිටිනවා. ඔහු ඔබටත් එන්න කියනවා” කියා රහසින් පැවසුවාය. 29  මරියාට මෙය දැනගන්න ලැබුණු විට ඇය ඉක්මනින්ම නැඟිට ඔහුව හමු වීමට ගියාය. 30  යේසුස් ඒ වන තුරු ගමට ඇතුල් වී සිටියේ නැත. ඔහු ඒ අවස්ථාවේදී සිටියේ මාර්තා ඔහුව හමු වූ ස්ථානයෙහිය. 31  මරියාව සැනසීමට ඇය සමඟ නිවසෙහි සිටි යුදෙව්වරු,+ ඇය ඉක්මනින් නැඟිට නිවසින් පිටත් වී යනවා දුටු විට ඇය හඬා වැලපෙන්න සොහොන් ගෙය+ ළඟට යනවා කියා සිතා ඇය පසුපස ගියෝය. 32  යේසුස් සිටි ස්ථානයට පැමිණි මරියා, ඔහු ළඟට ගොස් ඔහුගේ පාමුල වැටී, “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ”+ කියා ඔහුට පැවසුවාය. 33  ඇයද ඇය සමඟ පැමිණි යුදෙව්වරුන්ද හඬා වැලපෙමින් සිටිනවා දුටු යේසුස්ට මහත් ශෝකයක් දැනිණ. ඔහු මහත් වේදනාවකින්,+ 34  “ඔබ ඔහුව තැන්පත් කර තිබෙන්නේ කොහේද” කියා ඇසුවේය. “ස්වාමීනි, ඇවිත් බලන්න” කියා ඔවුහු ඔහුට කීවෝය. 35  එවිට යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේය.+ 36  යුදෙව්වරු එය දැක, “බලන්න, ලාසරුස්ට ඔහු කොයි තරම් ආදරේද”+ කියා පැවසූහ. 37  මේ අතර සමහරදෙනෙක් මෙසේ කීවෝය. “එදා අර අන්ධ මිනිසාට පෙනීම ලබා දුන්නේ+ මේ මිනිසා නොවෙයිද? ඔහුට බැරි වුණාද මේ මරණය වළක්වන්න?” 38  මහත් වේදනාවකින් සිටි යේසුස්, සොහොන් ගෙය ළඟට පැමිණියේය.+ සොහොන් ගෙය හැටියට භාවිත කර තිබුණේ ගුහාවක්ය. ඊට ගලක්ද+ හේත්තු කර තිබිණ. 39  යේසුස්, “ගල අහකට ගන්න”+ කියා කීවේය. එවිට මිය ගොස් සිටි තැනැත්තාගේ සහෝදරිය වූ මාර්තා යේසුස්ට මෙසේ කීවාය. “ස්වාමීනි, ඔහු දැන් මැරිලා දවස් හතරක්ම ගත වෙලා නිසා හොඳටම ගඳ ගහනවා ඇති.” 40  යේසුස්ද, “ඔබ විශ්වාස කළොත් දෙවි කොතරම් ශ්‍රේෂ්ඨද කියා ඔබ දකින බව+ මම ඔබට කිව්වා නේද” කියා ඇයට පැවසුවේය. 41  එවිට පිරිසක් ගල අහකට ගත්තෝය. යේසුස් ස්වර්ගය දෙස බලා+ මෙසේ කීවේය. “පියාණෙනි, ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි.+ 42  ඔබ මගේ ඉල්ලීම් කිසිදාක ප්‍රතික්ෂේප නොකරන බව මට ස්ථිරයි. ඒත් මම මේ දේ හඬ නඟා කිව්වේ අවට සිටින මේ සමූහයා තුළ විශ්වාසයක් ඇති කරන්නයි.+ එවිට ඔබ මාව එවා ඇති බව ඔවුන් විශ්වාස කරයි.”+ 43  ඔහු ඒ දේවල් පැවසූ පසු, “ලාසරුස්, පිටතට එන්න”+ කියා මහත් හඬින් කීවේය. 44  එවිට මිය ගොස් සිටි ඒ මිනිසා පිටතට ආවේය. ඔහුගේ අත් පා රෙදි පටිවලින් ඔතා තිබුණු අතර+ ඔහුගේ මුහුණද රෙදිකඩකින් ඔතා තිබිණ. “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියා යේසුස් ඔවුන්ට කීවේය. 45  මරියාව බලන්න පැමිණි යුදෙව්වරුන් බොහෝදෙනෙක් යේසුස් කළ දේ දැක ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ 46  නමුත් සමහරදෙනෙක් එතැනින් පිටත් වී පරිසිවරුන් ළඟට ගොස් යේසුස් කළ දේවල් ගැන ඔවුන්ට කීවෝය.+ 47  එවිට නායක පූජකයෝ සහ පරිසිවරු මුළු මන්ත්‍රණ සභාවම* රැස් කරවා+ මෙසේ කීවෝය. “මේ මිනිසා බොහෝ පුදුමසහගත දේවල් කරනවා. අපි මොනවාද කරන්නේ?+ 48  ඔහුට මේ දේවල් කරන්න අපි ඉඩ දුන්නොත් සියලුදෙනාම ඔහු කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගනියි.+ එවිට රෝමවරුන් ඇවිත්+ අපේ දේවමාලිගාවත්+ අපේ ජාතියත් අපෙන් උදුරාගනියි.” 49  නමුත් ඔවුන් අතරේ සිටි එක් අයෙක් එනම්, ඒ අවුරුද්දේ උත්තම පූජකයා ලෙස කටයුතු කළ කායෆස්+ ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. 50  මුළු ජාතියම විනාශ වී යනවා වෙනුවට+ සියල්ලන් වෙනුවෙන් එක මිනිසෙක් මිය යෑම+ කොතරම් හොඳද! ඒ වගේ දෙයක් සිදු වීම ඔබට වාසිදායක බව ඔබට තේරෙන්නේ නැද්ද?” 51  ඇත්තටම මෙය ඔහුම සිතා පැවසූ දෙයක් නොවෙයි. ඒ අවුරුද්දේ උත්තම පූජකයා ලෙස කටයුතු කළ ඔහු පැවසූ දේ එනම්, යේසුස් ජාතිය උදෙසා මිය යා යුතුයි යන්න අනාවැකියක් විය. 52  ඇත්තටම ඔහුගේ මරණය ඒ ජාතිය උදෙසා පමණක් නොව විසිරී ගිය දෙවිගේ දරුවන්ව+ එකට රැස් කිරීමටද+ මඟ පෑදුවේය. 53  එහෙයින් එදා පටන් ඔවුහු ඔහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළෝය.+ 54  යේසුස් තවදුරටත් යුදෙව්වරුන් අතරේ+ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.+ නමුත් ඔහු එතැනින් පිටත් වී පාළුකරය අසල පිහිටි ප්‍රදේශයෙහි එෆ්‍රායිම් නම් නුවරකට+ ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටියේය. 55  මේ අතර යුදෙව්වරුන්ගේ පාස්කු උත්සවයද+ ළඟා වෙමින් තිබිණ. පිටිසර ප්‍රදේශවල සිටි බොහෝදෙනෙක් පාස්කුවට කලින් යෙරුසලමට එක් රොක් වෙමින් සිටියෝය. ඔවුන් කලින්ම පැමිණියේ නීතියේ සඳහන්ව තිබූ ආකාරයට තමන්වම පවිත්‍ර කරගැනීම සඳහාය.+ 56  එසේ පැමිණි ඔවුහු යේසුස්ව සොයන්න පටන්ගත්හ. දේවමාලිගාව අවට සිටි ඔවුහු, “මොකක්ද ඔබ හිතන්නේ? ඔහු මෙවර උත්සවයට නෑවිත් සිටියිද” කියා එකිනෙකාගෙන් ඇසූහ. 57  මේ අතර යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු සිටින තැන යමෙකු දැනගත්තොත් එය හෙළි කළ යුතු බවට නායක පූජකයන් හා පරිසිවරුන් අණ දී තිබිණ.

පාදසටහන්

එනම්, සැන්හෙඩ්‍රිනය.