Skip to content

පටුනට යන්න

දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!

දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!

දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!

“මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.”—යෝබ් 27:5, නව ලොව පරිවර්තනය, NW.

1, 2. ක්‍රිස්තියානීන් ලෙස අප වෑයම් කළ යුත්තේ කුමක් ගොඩනඟා ගැනීමටද? එමෙන්ම දැන් අපි සලකා බලන්නේ කුමන ප්‍රශ්නද?

ඔබ, පවුලේ අය වෙනුවෙන් ගොඩනැඟීමට නියමිත නිවසේ සැලසුම පරීක්ෂා කරනවා කියා සිතන්න. එය ඉතා කදිම එකක්! එම නිවසින් ඔබටත් ඔබගේ පවුලේ අයටත් ලැබෙන ප්‍රයෝජන ගැන සිතද්දී ඔබට විශාල සතුටක් දැනෙනවා. නමුත් ඔබ කෙදිනකවත් ඒ නිවස ගොඩනැඟුවේ නැත්නම් එම සැලැස්මෙන් කිසි ප්‍රයෝජනයක් නැති බව ඔබ දන්නවා. ඉන් ප්‍රයෝජන ගැනීමට නම් නිවස ගොඩනඟා ඔබ එහි පදිංචි වීමත් කලින් කලට එය නඩත්තු කිරීමත් අවශ්‍යයි.

2 එලෙසම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ඔබටත් අන් අයටත් ලැබෙන ප්‍රයෝජන ගැන සිතද්දී ඔබට සතුටක් දැනේවි. නමුත් ඔබට ලැබිය හැකි ප්‍රයෝජන ගැන සිත සිතා සිටීමෙන් පමණක් කිසිවක් අත් කරගන්න බැහැ. (ලූක් 14:28, 29) නිවසක් ඉදි කිරීමට විශාල වියදමක් හා වෑයමක් දරන්න සිදු වෙනවා. එලෙසම දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් ලෙස ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමටද කාලය හා වෑයම අවශ්‍යයි. ඒ වුණත් ඉන් ලැබෙන ප්‍රයෝජන මිල කළ නොහැකියි. එසේනම් දෙවිට විශ්වාසවන්ත කෙනෙක් වන්න අපට හැක්කේ කෙසේද? එය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද? කෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිටීමට අසමත් වුණොත් තත්වය කුමක්ද? මෙම ප්‍රශ්න දැන් අපි සලකා බලමු.

දෙවිට විශ්වාසවන්ත වන්න අපට හැක්කේ කෙසේද?

3, 4. (අ) දෙවිට විශ්වාසවන්ත කෙනෙකු වීමට ඔහු අපට උපකාර කරන්නේ කෙසේද? (ආ) ඒ සඳහා යේසුස්ව ආදර්ශයට ගන්න අපට හැක්කේ කෙසේද?

3 තමාට විශ්වාසවන්තව සිටින්න කියා දෙවි අපට බල කරන්නේ නැහැ. ඒ වුණත් එසේ සිටීමට කැමති අයට ඒ සඳහා ඔහු උපකාර ලබා දෙමින් ඔවුන්ට උගන්වනවා. එමෙන්ම ඒවා තම ජීවිතවලට අදාළ කරගැනීමට ඔහු තම බලයද ඔවුන්ට ලබා දෙනවා. (ලූක් 11:13) එපමණක් නොව ඔවුන්ට, තමන් සමඟ තිබෙන මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමටද දෙවි උපකාර කරනවා.—හිතෝ. 2:7.

4 අපි දෙවිට විශ්වාසවන්තව සිටිය යුතු ආකාරය ගැන ඔහු අපිට ප්‍රධාන වශයෙන් උගන්වන්නේ තම පුත් යේසුස්ගේ ආදර්ශය මගිනුයි. ඔහු ‘මරණය දක්වාම දෙවිට යටහත් වී කීකරු වුණා.’ (ෆිලි. 2:8) ඔහුගේ ජීවිතයේ දුෂ්කර තත්වයන් ඇතුළු සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටියා. “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කියා ඔහු පැවසූ දෙයින් ඒ බව පැහැදිලියි. (ලූක් 22:42) ‘යේසුස් මෙන් මමත් දෙවිට කීකරුද’ කියා අපත් ගැඹුරින් සිතා බැලීම අවශ්‍යයි. අපි නිවැරදි චේතනාවකින් යුතුව දෙවිට කීකරුව ජීවත් වෙනවා නම් ඉන් පැහැදිලි වන්නේ අප දෙවිට විශ්වාසවන්ත අය බවයි. අප දෙවිට කීකරු විය යුතු පැති කිහිපයක් දැන් සලකා බලමු.

5, 6. (අ) තනිව සිටින විටදීත් දෙවිට විශ්වාසවන්තව සිටීමේ වැදගත්කම ගැන දාවිත් අවධාරණය කළේ කෙසේද? (ආ) ක්‍රිස්තියානීන් තනිව සිටින විට මුහුණ දිය හැකි අභියෝගය කුමක්ද?

5 අප දෙවිට විශ්වාසවන්ත කෙනෙකු වීමට නම් අප අවට කවුරුත් නැති අවස්ථාවලදීත් ඔහුට කීකරු විය යුතුයි. දාවිත් කටයුතු කළේද ඒ ආකාරයටයි. (ගීතාවලිය 101:2 කියවන්න.) ඔහු රජ කෙනෙක් වූ නිසා ඔහුගේ කාලයෙන් වැඩි හරියක් ගත කළේ තනිව නොව සිය දහස් ගණනක් මිනිසුන් සමඟයි. (ගීතාවලිය 26:12 බලන්න.) එවැනි අවස්ථාවලදීත් තමා දෙවිට විශ්වාසවන්තව සිටිමින් අන් අයට ආදර්ශයක් විය යුතු බව ඔහු තේරුම්ගත්තා. (ද්වි. 17:18, 19) එමෙන්ම ඔහු තම ‘නිවසේ’ තනිවම සිටින විටත් දෙවිට විශ්වාසවන්තව සිටිය යුතු බව හොඳින් වටහා ගත්තා. අපගේ තත්වය කුමක්ද?

6 “කිසි කමකට නැති දේවල් දෙස මම නොබලන්නෙමි” කියා දාවිත් පැවසූ වදන් ගීතාවලිය 101:3හි [NW] සඳහන් වෙනවා. සාතන්ගේ ලෝකය විසින් එවැනි දේවල් බහුලව අපගේ නෙත ගැටෙන්න සලස්වා තිබෙනවා. අන් අයට නොපෙනෙන ආකාරයෙන් එවැනි දේවල් නැරඹීමටද අවස්ථාව සලසා තිබෙනවා. අන්තර්ජාලය ඊට එක් උදාහරණයක්. එය භාවිත කරද්දී එකවර දිස්විය හැකි කාමුක දර්ශනවලින් අපගේ නෙත් ඉවතට ගැනීම අභියෝගයක් විය හැකියි. එසේ වුණත් අප ඒ සඳහා ඉක්මනින් පියවර නොගන්නවා නම් අප දෙවිට කීකරුයි කියා පැවසිය හැකිද? එවන් දර්ශන නැරඹීමේ ප්‍රතිඵල මොන තරම් හානිකරද කියා බලන්න. එමගින් කෙනෙකු තුළ නුසුදුසු ආශාවන් ප්‍රබල ලෙස ඉස්මතු කරයි. ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට වද දෙන්න පටන් ගනියි. ඒ විතරක් නොව එමගින් විවාහ බැඳීම විනාශ කර දමන අතර අන් අයගේ ගෞරවයද ඔහුට අහිමි වෙයි.—හිතෝ. 4:23; 2 කොරි. 7:1; 1 තෙස. 4:3-5.

7. අප තනිව සිටින විට අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්තිය කුමක්ද?

7 යෙහෝවා දෙවිගේ අවධානය නිතරම තම සේවකයන් දෙසට යොමු වී තිබෙනවා. (ගීතාවලිය 11:4 කියවන්න.) ඔබ තනිව සිටින අවස්ථාවකදී යම් පරීක්ෂාවකට විරුද්ධව සිටියා කියා සිතන්න. එවිට ඔබ දෙස බලා සිටින යෙහෝවා දෙවිට එය මොන තරම් ප්‍රීතියක්ද! එසේ කිරීමෙන් මතෙව් 5:28හි යේසුස් දුන් අනතුරු ඇඟවීම අදාළ වන ආකාරය තේරුම්ගෙන ඇති බවත් ඊට කීකරු වෙන බවත් ඔබ පෙන්වනවා. ඔබව වරදට පොලඹවන කිසිම දර්ශනයක් නොබැලීමට අදිටන් කරගන්න. පිළිකුල්සහගත තොරතුරු හෝ දර්ශන ඇතුළත් දේවල් කියවීම හෝ නැරඹීම නිසා දෙවිට ඔබ දක්වන විශ්වාසවන්තකම අනතුරේ හෙළන්න එපා!

8, 9. (අ) දෙවිට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් දානියෙල් හා ඔහුගේ මිතුරන් තිදෙනා මුහුණ දුන් අභියෝගය කුමක්ද? (ආ) අද දින යෞවනයන් දෙවි හා සෙසු ක්‍රිස්තියානීන්ගේ සිත සතුටු කරන්නේ කෙසේද?

8 අප, ඇදහිලිවන්තයන් නොවන අය සමඟ කටයුතු කරද්දීත් දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුට කීකරු වන බව පෙන්විය හැකියි. දානියෙල් හා ඔහුගේ මිත්‍රයන් තිදෙනා ඊට කදිම ආදර්ශයක්. ඔවුන්ව යෞවන කාලයේදීම බැබිලෝනියේ වහල්භාවයට ගෙන ගියා. ඔවුන්ට ජීවත් වීමට සිදු වුණේ දෙවි ගැන කිසිම දෙයක් නොදත් මිනිසුන් සමඟයි. එහිදී දෙවිගේ නීතිය මගින් තහනම් කර තිබූ ආහාර අනුභව කරන්න කියා ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල වුණා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ දෙමාපියන්වත් වැඩිහිටියන්වත් පූජකයන්වත් ළඟ පාත සිටියේ නැහැ. ඒ නිසා ඒවා අනුභව කරන්න ඔවුන්ට ඕනෑ තරම් නිදහස තිබුණා. නමුත් කවුරු නොදුටුවත් යෙහෝවා දෙවි එය දකින බව ඔවුන් දැන සිටියා. ඒ නිසා ඔවුන්ට මොන තරම් පීඩනයක් එල්ල වුණත් ඔවුන් දෙවිව අසතුටු කිරීමෙන් වැළකී ඔහුට කීකරු වුණා.—දානි. 1:3-9.

9 ලොව පුරාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර යෞවනයන්ද මත්ද්‍රව්‍ය, සැහැසියාව, අපහාස කිරීම, අනාචාර ක්‍රියා ඇතුළු තවත් බොහෝ වැරදි දේවල් කිරීමට ඇති වන පීඩනයන්ට සාර්ථකව මුහුණ දෙනවා. ඔබත් එවැනි යෞවනයෙක්ද? එසේ නම් ඉන් ඔප්පු වෙන්නේ ඔබ දෙවිට කීකරු වන බවයි. එසේම ඔබ, දෙවිට විශ්වාසවන්ත කෙනෙකු බවත් ඉන් පෙන්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ ඉන් මහඟු ප්‍රයෝජන ලබන අතර සෙසු ක්‍රිස්තියානීන්ද ඉන් ප්‍රයෝජන ලබනවා. ඒ සියල්ලටම වඩා දෙවිගේ සිත සතුටු කරන්න ඔබට හැකි වෙනවා.—ගීතා. 110:3.

10. (අ) වේශ්‍යාකම සම්බන්ධයෙන් යෞවනයන්ට ඇති වැරදි ආකල්පය කුමක්ද? (ආ) අපි දෙවිට විශ්වාසවන්ත නම් අප කටයුතු කරන්නේ කෙසේද?

10 වේශ්‍යාකමින් වළකින්න කියා දෙවි දී ඇති නීතියට කීකරු වීමෙන්ද අප දෙවිට විශ්වාසවන්ත බව පෙන්විය හැකියි. නමුත් දෙවි දුන් ඒ නීතියට කෙනෙකු දක්වන කීකරුකම යම් යම් ක්‍රියා නිසා නැති විය හැකියි. සමහර යෞවනයන් මුඛය හා ගුද මාර්ගය යොදාගනිමින් හෝ එකිනෙකාගේ ලිංගේන්ද්‍රයන් පිරිමැදීම වැනි නොයෙකුත් ලිංගික ක්‍රියාවල යෙදෙනවා. එම ක්‍රියා “ලිංගික සම්බන්ධකමක්” නොවන බව පෙන්වන්න ඔවුන් ඉතා කූට ලෙස උත්සාහ කරනවා. නමුත් මෙහිදී ඔවුන්ට අමතක වී ඇති හෝ ඔවුන් නොසලකා හැර ඇති කාරණය නම් ඒ සියලුම ක්‍රියා වේශ්‍යාකමට ඇතුළත් බවයි. එය කෙනෙකුව සභා ඇසුරෙන් ඉවත් කිරීමට තරම් බරපතළ කාරණයක්. * ඊටත් වඩා බරපතළ දේ වන්නේ දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුන් අපොහොසත් වීමයි. සෑම කාරණයකදීම අපි දෙවිට විශ්වාසවන්තව සිටීමට උත්සාහ කරනවා නම් වැරදි ක්‍රියාවල යෙදී ඒවායේ බරපතළකම අඩු කිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. අනෙක් අතට අපි එවන් ක්‍රියාවලින් වැළකී සිටින මූලිකම හේතුව වන්නේ විනිශ්චය කමිටුවකින් අපට යම් දඬුවමක් ලැබෙයි යන බිය නිසා නොව, දෙවිගේ සිත සතුටු කරන්න අපට ඇති ආශාව නිසයි. බරපතළ පාපයකට තුඩු දෙන යම් ක්‍රියාවක් ආසන්නයටම යනවා වෙනුවට අපි නිතරම උත්සාහ කරන්නේ එවන් ක්‍රියාවලින් හැකි තරම් ඈත් වී සිටීමට හා “වේශ්‍යාකම වෙතින් පලා” යෑමටයි. (1 කොරි. 6:18) අප දෙවිට විශ්වාසවන්ත අය බව එමගින් පෙන්විය හැකියි.

එය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

11. අපගේ එක් කීකරු ක්‍රියාවක් පවා එතරම් වැදගත් වන්නේ ඇයි? නිදර්ශනය කරන්න.

11 දෙවිට දක්වන අපගේ විශ්වාසවන්තකම දිගටම පවත්වාගැනීමට නම් අප සෑම කාරණයකදීම නොකඩවා ඔහුට කීකරු වීම අවශ්‍යයි. අපි එය මෙසේ නිදර්ශනය කරමු. තනි ගඩොලක් එතරම් වැදගත් යමක් සේ පෙනෙන්නේ නැහැ. නමුත් එවැනි ගඩොල් කැට රාශියක් එකිනෙක යම් පිළිවෙළකට තැබීමෙන් අවසානයේදී කදිම නිවසක් ගොඩනැඟිය හැකියි. එලෙසම අපගේ එක් කීකරු ක්‍රියාවක් එතරම් වැදගත් දෙයක් නොවන බව පෙනෙන්න පුළුවන්. නමුත් කාලයක් පුරා අප කරන එවැනි ක්‍රියා රාශියක් එකතු වූ විට එය මොන තරම් වටිනවාද! ඉන් ඔප්පු වන්නේ අප දෙවිට විශ්වාසවන්ත පුද්ගලයන් බවයි. ඒ නිසා සෑම කාරණයකදීම දෙවිට කීකරු වෙමින් ඔහුට විශ්වාසවන්තව සිටිමු.—ලූක් 16:10.

12. සාවුල් රජ තමාට කළ පීඩා හා අයුක්තිසහගත ක්‍රියා හමුවේ පවා දාවිත් දෙවිට විශ්වාසවන්තව සිටියේ කෙසේද?

12 දුෂ්කර තත්වයන් හෝ අයුක්තිසහගත තත්වයන් විඳදරාගැනීමෙන්ද අප දෙවිට විශ්වාසවන්ත අය බව ඔප්පු කළ හැකියි. මේ උදාහරණය බලන්න. සාවුල්, දෙවි පත් කළ රජ කෙනෙකු වුණත් දෙවිට ප්‍රසන්න යෞවනයෙකු වූ දාවිත්ට බොහෝ පීඩා කළා. තමාට දෙවිගේ අනුමැතිය අහිමි වී ඇති බවත් දාවිත්ට එය හිමි වී ඇති බවත් තේරුම්ගත් සාවුල්, දාවිත්ට ඊර්ෂ්‍යා කළා. ඒ නිසා දාවිත්ට පලා යන්න සිදු වුණත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තා. සාවුල් යම් කලක් රජකම දැරූ අතර දාවිත්ව අල්ලාගැනීමට ඊශ්‍රායෙල් හමුදාව මෙහෙයවමින් ඔහුව දැඩි පීඩනයකට ලක් කළා. මේ තත්වය යම් කලකට පවතින්න යෙහෝවා දෙවි ඉඩ හැරියා. ඒ නිසා දාවිත්, දෙවි කෙරෙහි යම් අමනාපයක් ඇති කරගත්තාද? තවදුරටත් ඉවසීමෙන් ඇති පලේ මොකක්ද කියා ඔහු සිතුවාද? කොහෙත්ම නැහැ. දෙවි පත් කළ රජ හැටියට සාවුල්ට, දාවිත් දැක්වූ ගෞරවය අඩු කරගත්තේ නැහැ. සාවුල්ව මරණයට පත් කරන්න ඔහුට ඉතා පහසු අවස්ථාවක් උදා වුණත් ඔහු ඉන් වැළකී සිටියා.—1 සාමු. 24:2-7.

13. සෙසු ඇදහිලිවන්තයෙක් අපව අමනාපයට පත් කර තිබෙන විට අප නොකළ යුත්තේ කුමක්ද?

13 දාවිත්ගේ ආදර්ශය අද දින අපට මොන තරම් වැදගත්ද! දෙවිගේ සියලුම සේවකයන් අසම්පූර්ණ අයයි. මේ අයගෙන් යම් කෙනෙක් අපට අයුක්තිසහගත ලෙස සැලකිය හැකියි. නැත්නම් දෙවිට අවිශ්වාසවන්තව කටයුතු කළ හැකියි. ඒ වුණත් පොදුවේ ගත් විට දෙවිගේ සේවකයන් සියලුදෙනාම කෙදිනකවත් එවැනි තත්වයකට පත් වන්නේ නැති බව ස්ථිරයි. ඒ ගැන අපට සතුටු විය හැකියි. (යෙසා. 54:17) කෙසේනමුත් අපට යම් වරදක් කළ හෝ අපගේ සිත රිදවූ කෙනෙකුට අප සැලකිය යුත්තේ කෙසේද? ඔවුන් ගැන යම් අමනාපයක් අපේ සිතේ පැසවමින් තිබෙනවා නම් අප දෙවිට දක්වන විශ්වාසවන්තකම යම් ආකාරයකින් දුර්වල විය හැකියි. එමනිසා අන් අයගේ වැරදි හැසිරීමක් හෝ ක්‍රියාවක් නිසා දෙවිට දක්වන අපගේ විශ්වාසවන්තකම අඩු කරගැනීමට එය හේතුවක් කර නොගනිමු. (ගීතා. 119:165) අප මෙසේ පීඩා පරීක්ෂා විඳදරාගැනීමෙන්ද දෙවිට විශ්වාසවන්තව සිටින බව ඔප්පු කළ හැකියි.

14. සංවිධානය තුළ යම් වෙනස්කම් සිදු කරන විට, දෙවිට විශ්වාසවන්ත අය ලෙස අප ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

14 විවේචනය කිරීමෙන් හා අඩු පාඩුකම් සෙවීමෙන් වැළකී සිටීමෙන්ද අප දෙවිට දිගටම විශ්වාසවන්තව සිටින බව පෙන්විය හැකියි. එය කළ හැකි එක් ආකාරයක් බලන්න. දෙවි තම සෙනඟට පෙර කවරදාකටත් වඩා මේ කාලයේදී ආශීර්වාද කරමින් තිබෙන නිසා සැබෑ නමස්කාරය වැඩි වර්ධනය වෙමින් තිබෙනවා. (යෙසා. 2:2-4) ඒත් සමඟම දෙවිගේ සේවකයන්ට දෙවිගේ අරමුණු පිළිබඳ දැනුමද ක්‍රමානුකූලව වැඩි වෙමින් තිබෙනවා. (හිතෝ. 4:18) ඒ නිසා බයිබල් පදයක් විස්තර කර තිබූ ආකාරයේ යම් සකස් කිරීමක් හෝ සංවිධානය තුළ සිදු වන දේවල්වල යම් වෙනස්කමක් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා විසින් සිදු කරනවා විය හැකියි. ඒ සෑම අවස්ථාවකදීම අප ඒවාට කීකරු වීම අවශ්‍යයි. නමුත් එවැනි වෙනසක් කිරීමට හේතු වූ සියලුම කරුණු අපට වටහාගැනීමට නොහැකිනම් කළ යුත්තේ කුමක්ද? එය අවබෝධ කරගැනීමට උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කිරීමයි. ඒ වන තෙක් දෙවි පත් කර තිබෙන දාසයාගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින් අපි දෙවිට විශ්වාසවන්ත අය බව පෙන්වමු.

විශ්වාසවන්තව සිටීමට අසමත් වුණොත්

15. ඔබගේ විශ්වාසවන්තකම බිඳදමන්න හැකි එකම පුද්ගලයා කවුද?

15 කෙනෙක් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටිය යුතුයි. එය ඔහුගේ අනාගත බලාපොරොත්තුවටද නැතුවම බැරි දෙයක්. කෙසේනමුත් ඔබ පෞද්ගලිකව දෙවිට දක්වන විශ්වාසවන්තකම බිඳදමන්න හැකි කෙනෙක් සිටිනවා. ඒ වෙන කවුරුත් නොව ඔබමයි. ඒ බව තේරුම්ගත් යෝබ් මෙසේ පැවසුවා. “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.” (යෝබ් 27:5NW) ඔබත් යෝබ් මෙන් දැඩි අධිෂ්ඨානයකින් සිටිනවා නම් දෙවිට දිගටම විශ්වාසවන්තව සිටින්න ඔබටත් හැකියි.—යාකො. 4:8.

16, 17. (අ) බරපතළ පාපයක් කර ඇති කෙනෙකු නොකළ යුතු දෙය කුමක්ද? (ආ) ඔහු කළ යුතු නිවැරදි දෙය කුමක්ද?

16 කෙසේනමුත් සමහරුන් දෙවිට විශ්වාසවන්තව සිටීමට අපොහොසත් වී තිබෙනවා. මුල් සියවසේදීත් එවැනි දෙයක් සිදු වුණා. ඔබ අතින්ද එවැනි දෙයක් සිදු වී ඇත්නම් තත්වය කුමක්ද? ඔබ දෙවිට මුලින් දැක්වූ විශ්වාසවන්තකම නැවතත් ගොඩනඟන්න බැහැයි කියා සිතන්න එපා. එසේ නම් දැන් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ නොකළ යුතු දේ අපි මුලින්ම බලමු. වරදක් කළ අවස්ථාවකදී බොහෝ විට අප නැඹුරුවන්නේ අපගේ දෙමාපියන්ගෙන්, සෙසු ක්‍රිස්තියානීන්ගෙන් හෝ වැඩිමහල්ලන්ගෙන් එය වසං කිරීමටයි. නමුත් ඉන් අත්වන ප්‍රතිඵලය ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.” (හිතෝ. 28:13NW) තම පාප සඟවන්න උත්සාහ කරන අය දෙවිට සියල්ල පෙනෙනවා යන කාරණය අමතක කරනවා. (හෙබ්‍රෙව් 4:13 කියවන්න.) තවත් අය තමන් දෙවිට සේවය කරනවා යයි පෙන්වමින් රහසිගත ලෙස වැරදි ක්‍රියාවල යෙදෙමින් දෙයාකාර ජීවිතයක් ගත කරනවා. එය දෙවිට විශ්වාසවන්තව සිටීමට හාත්පසින්ම වෙනස් දෙයක්. එවැනි කෙනෙකුගේ නමස්කාරය දෙවිට ඉතා පිළිකුල්සහගත වන අතර එවැනි කුහක පුද්ගලයන්ව දෙවි හෙළා දකිනවා.—හිතෝ. 21:27; යෙසා. 1:11-16.

17 ක්‍රිස්තියානියෙකු අතින් බරපතළ පාපයක් සිදු වුණොත් ඔහුට උපකාර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සැලැස්මක් ඇති කර තිබෙනවා. එය නම් වැඩිමහල්ලන්ගේ උපකාරය පැතීමයි. (යාකොබ් 5:14 කියවන්න.) ඔබ අතින් එවැනි පාපයක් සිදු වී තිබෙනවාද? ඒ ගැන වැඩිමහල්ලන්ට පැවසුවොත් යම් උපදෙස් හෝ හික්මවීම් ලැබෙයි කියා ඔබ බියෙන් පසු වෙනවාද? නැවතත් දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට ඔබට තිබෙන අවස්ථාව එම බිය නිසා අහිමි කරගන්න එපා. බරපතළ අසනීපයක් තිබෙන පුද්ගලයෙකුට ඔහුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් එන්නතක් ලබාගැනීමට හෝ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වෙනවා කියා සිතන්න. ඔහු ඥානවන්ත පුද්ගලයෙක් නම්, යම් වේදනාවක් අද්දකින්න සිදු වුණත් තම අනාගතය ගැන කල්පනා කර ඊට මුහුණ දෙන්නේ නැද්ද?—හෙබ්‍රෙ. 12:11.

18, 19. (අ) පාපයක් කළ කෙනෙකුට නැවතත් දෙවිට විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් විය හැකි බව දාවිත්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කෙසේද? (ආ) ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

18 දෙවිට දැක්වූ විශ්වාසවන්තකම නැවතත් ගොඩනඟා ගත හැකි බව දාවිත්ගේ සිද්ධියෙන් පැහැදිලියි. ඔහු ස්ත්‍රියක් සමඟ අනාචාරයේ යෙදීමෙන් හා ඇගේ ස්වාමිපුරුෂයාව රහසිගතව ඝාතනය කිරීමෙන් බරපතළ ලෙස පව් කළා. කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සිටි දාවිත් එවැනි දෙයක් කරයි කියා සිතන්න පුළුවන්ද? ඔහු කළ දේ නිසා ඔහුගේ සියලු බලාපොරොත්තු සුන් වුණාද? ඔහු කළ පාපය සම්බන්ධයෙන් දෙවි ඔහුට දැඩි හික්මවීම් ලබා දුන්නා. තම පාපය ගැන ඔහු අවංකව පසුතැවිලි වූ නිසා දෙවි ඔහුට සමාව දුන්නා. එම සිද්ධියෙන් බොහෝ දේ ඉගෙනගත් දාවිත් නැවතත් දෙවිට විශ්වාසවන්තව සිටීමට පියවර ගත්තා. ඉන් පැහැදිලි වන්නේ හිතෝපදේශ 24:16හි [NW] සඳහන් මෙම වදන්වල සත්‍යතාවයි. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.” දාවිත් මිය ගිය පසු දෙවි සලමොන්ට ඔහු ගැන පැවසූ දෙය සලකා බලන්න. (1 රාජාවලිය 9:4 කියවන්න.) දාවිත් බරපතළ පාපයක් කළත් ඔහු පසුතැවිලි වූ නිසා දෙවිගේ මතකයේ ඔහුව රැඳුණේ තමාට විශ්වාසවන්තව සිටි පුද්ගලයෙකු ලෙසයි. ඉන් පැහැදිලි වන්නේ කෙනෙකු කළ පව් මකා දමා ඔහුව පවිත්‍ර කරන්න දෙවිට හැකි බවයි.—යෙසා. 1:18.

19 සෑම කාරණයකදීම දෙවිට කීකරුව සිටීමෙන් ඔහුට විශ්වාසවන්ත පුද්ගලයෙකු බව ඔබට ඔප්පු කළ හැකියි. පීඩා පරීක්ෂා දිගටම විඳදරාගන්න. ඔබ අතින් බරපතළ පාපයක් සිදු වුණොත් අවංකව ඒ ගැන පසුතැවිලි වන්න. ඇත්තෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන මොන තරම්ද! “මම ඔබට විශ්වාසවන්තව ජීවත් වුණෙමි” කියා පැවසූ දාවිත් මෙන් වීමට අපත් අධිෂ්ඨාන කරගනිමු.—ගීතා. 26:11NW.

[පාදසටහන]

^ 10 ඡේ. වර්ෂ 2004 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 13වන පිටුවේ 15වන ඡේදය බලන්න.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවිට විශ්වාසවන්ත කෙනෙක් වන්න අපට හැක්කේ කෙසේද?

• එය දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

• කෙනෙක් දෙවිට විශ්වාසවන්තව සිටීමට අසමත් වුණොත් තත්වය කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[8වන පිටුවේ කොටුව]

‘ඇයට ස්තුති කරන්න මට වචන මදි’

නාඳුනන තරුණියක් කළ යහපත් ක්‍රියාවක් ගැන ගැබිනි කාන්තාවක් තම අගය පළ කළේ එලෙසයි. දිනක් ඇය ආපන ශාලාවකට ගොස් පැමිණියායින් පසු ඇගේ මුදල් පසුම්බිය එහි දමා ඇවිත් ඇති බව මතක් වුණා. එම පසුම්බියේ ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ දෙකක් පමණ) තිබුණා. ඇය සාමාන්‍යයෙන් මෙතරම් මුදලක් රැගෙන යන්නේ නැහැ. කෙසේනමුත් තරුණියකට එම මුදල් පසුම්බිය හමු වූ අතර ඇය එහි අයිතිකරු කවුද කියා සෙවූ නමුත් එය අසාර්ථක වුණා. ඒ නිසා ඇය මුදල් පසුම්බිය රැගෙන පොලිසියට ගියා. ඒ මාර්ගයෙන් පසුම්බිය අයිති කාන්තාව සොයාගෙන එය ඇයට ලබා දුන්නා. පසුව එම ගැබිනි කාන්තාව ඒ සිද්ධිය ගැන පුවත්පතකට මෙසේ පැවසුවා. ‘මගේ සල්ලි නැති වෙච්ච වෙලාවේ මම මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරුවයි හිටියේ. ඇය කරපු දේට ස්තුති කරන්න මට වචන මදි.’ මුදල් පසුම්බිය හමු වූ තරුණිය එය නැවත ලබා දීමට එතරම් වෙහෙසක් දැරුවේ ඇයි? ඒ ගැන පුවත්පතේ මෙසේ සඳහන්ව තිබුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හැටියට ඇය එසේ කළේ “සෑම කාරණයකදීම දෙවිට විශ්වාසවන්තව සිටීමට ඇය තම ආගමෙන් ඉගෙනගෙන තිබූ නිසායි.”

[9වන පිටුවේ පින්තූරය]

පරීක්ෂා හමුවේ දෙවිට විශ්වාසවන්තව සිටින්න යෞවනයන්ට හැකියි

[10වන පිටුවේ පින්තූරය]

දාවිත් දෙවිට දැක්වූ විශ්වාසවන්තකම විටෙක දුර්වල වුණත් ඔහු නැවතත් එය ගොඩනඟා ගත්තා