හිතෝපදේශ 28:1-28

28  දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+  දේශයක අපරාධ වැඩි වූ විට පාලකයන්ව කලින් කලට වෙනස් කරන්න සිදු වෙයි.+ නමුත් හරි වැරැද්ද ගැන හොඳ අවබෝධයක් ඇති බුද්ධිමත් කෙනෙකුගේ උපකාරයෙන් පාලකයෙක් බොහෝ කල් පාලනය කරයි.+  අගහිඟකම් ඇති ජනයාට වංචා කරන+ දුප්පත් මනුෂ්‍යයෙකු, මුළු දේශයම පාළු කරමින් කෑම හිඟයක් ඇති කරවන තද වර්ෂාවක් මෙනි.  නීතිය කඩ කරන්නෝ දුෂ්ටයාට ප්‍රශංසා කරති.+ නමුත් නීතිය රකින්නෝ ඔවුන්ට විරුද්ධව නැඟී සිටිති.+  නපුර කිරීමට ආශා කරන අයට යුක්තිය කුමක්දැයි වටහාගත නොහැක. එහෙත් යෙහෝවා දෙවිව සොයන අයට සියල්ල වටහාගත හැක.+  වැඩි වත්කමක් නොතිබුණත් දෙවිට විශ්වාසවන්ත ජීවිතයක් ගත කරන මිනිසා වංචනික ජීවිතයක් ගත කරන පොහොසතෙකුට වඩා හොඳය.+  තේරුම්ගැනීමේ හැකියාව ඇති පුත්‍රයෙක් නීතිය පිළිපදියි.+ එහෙත් කෑදරයන් සමඟ ඇසුරු කරන පුත්‍රයෙක් තම පියාව ලැජ්ජාවට පත් කරයි.+  අයුතු පොලී අය කර පොහොසත් වන්නෙකු සිටී.+ නමුත් අවසානයේදී ඔහු රැස් කරගත් දේ හිමි වන්නේ දුප්පතුන්ට කරුණාව දක්වන අයටය.+  නීතියට සවන් නොදෙන+ අයගේ යාච්ඤාව පවා දෙවිට පිළිකුලකි.+ 10  ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයව නොමඟ යවන්නා+ තමා කැපූ වළේම වැටෙයි.+ එහෙත් නිර්දෝෂ අයට ආශීර්වාද කරනු ලැබේ.+ 11  පොහොසතා සිතන්නේ තමා ප්‍රඥාවන්තයෙකු කියාය.+ නමුත් වටහාගැනීමේ හැකියාව ඇති දුප්පතා ඔහු සැබවින්ම කෙබඳු කෙනෙකුදැයි හෙළි කර දෙයි.+ 12  ධර්මිෂ්ඨයන් ප්‍රීති වන විට+ එය දැකීමට ප්‍රිය දසුනකි. නමුත් දුෂ්ටයන් බලයට පත් වන විට ජනයා සැඟවෙති.+ 13  තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+ 14  නිතරම දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටින්නා සන්තෝෂවත්ය.+ එහෙත් තම සිත දැඩි කරගන්නා විපතට පත් වෙයි.+ 15  දුප්පතුන්ව පාගා දමන දුෂ්ට පාලකයෙකු ගොරවන සිංහයෙකු හා ඇඟට කඩාපනින වලසෙකු මෙනි.+ 16  සැබෑ වටහාගැනීමේ හැකියාවක් නොමැති නායකයෙක් බොහෝ වංචනික ක්‍රියාවල නියැලෙයි.+ එහෙත් අයුතු ලෙස ලාභ ඉපයීම හෙළාදකින+ කෙනා බොහෝ කල් ජීවත් වෙයි. 17  ලේ වැගිරීමේ වරදට හසු වූ තැනැත්තාට මිනී වළට යන තෙක්ම පලා යන්න සිදු වෙයි.+ කිසිවෙකු ඔහුව බේරාගැනීමට උත්සාහ නොකළ යුතුයි. 18  නිර්දෝෂ තැනැත්තාව ගලවනු ලැබේ.+ නමුත් වංචනිකව හැසිරෙන තැනැත්තා ක්ෂණිකව වැටෙනු ඇත.+ 19  තමාගේ කෙත්වතුවල වගා කරන මිනිසාට කෑමෙන් කිසි හිඟයක් නැත.+ එහෙත් නිෂ්ඵල දේ පසුපස හඹා යන්නා අන්ත දුගීකමට පත් වනු ඇත.+ 20  විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ.+ නමුත් පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.+ 21  පැති ගැනීම සුදුසු නැත.+ පුරුෂයෙකු රොටි කැබැල්ලක් වෙනුවෙන් වරදට වැටීමද සුදුසු නැත. 22  ඊර්ෂ්‍යා කරන තැනැත්තා වස්තුව ලබාගන්න වෙහෙසෙයි.+ එහෙත් පසුව ඔහුට අගහිඟකම් විඳින්න සිදු වන බව ඔහු නොදනියි. 23  චාටු බස් දොඩන තැනැත්තාට වඩා අවවාදයක් දෙන තැනැත්තා+ අන්‍යයන්ගේ ගෞරවය දිනාගනී. 24  තම පියාගෙන්ද මවගෙන්ද සොරකම් කර,+ “එය වරදක් නොවේ”+ යයි කියන තැනැත්තා සොරුන් සමඟ මිත්‍රකම් පවත්වන්නෙකි. 25  අහංකාර තැනැත්තා අඬදබර ඇති කරයි.+ නමුත් යෙහෝවා දෙවි කෙරෙහි රඳා පවතින තැනැත්තා සාර්ථක වෙයි.+ 26  තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙකි.+ එහෙත් ප්‍රඥාවන්තව හැසිරෙන්නා අනතුරෙන් ගැලවෙන්නේය.+ 27  දුප්පතාට දෙන තැනැත්තා අගහිඟකම්වලට මුහුණ දෙන්නේ නැත.+ එහෙත් දුප්පතාව දැක අහක බලාගන්න තැනැත්තා බොහෝ විපත්වලට මුහුණ දෙනු ඇත.+ 28  දුෂ්ටයන් නැඟී සිටින විට ජනයා සැඟවෙති.+ එහෙත් ඔවුන් විනාශ වන විට ධර්මිෂ්ඨයෝ වැඩි වෙති.+

පාදසටහන්