Skip to content

පටුනට යන්න

යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි

යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි

යෙහෝවා සිය තේජස හෙළි කරන්නේ යටහත් අයටයි

“යටත්කමේද යෙහෝවා කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් [තේජසත්, NW] ජීවිතයත්ය.”—හිතෝපදේශ 22:4.

1, 2. (අ) ස්තේපන් “ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයෙන් පූර්ණ මිනිසෙකු” වූ බව ක්‍රියා පොතේ සඳහන් වාර්තාවෙන් පෙනී යන්නේ කෙසේද? (ආ) ස්තේපන් යටහත් පහත් කෙනෙක් බවට තිබෙන සාක්ෂිය කුමක්ද?

ස්තේපන් “ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයෙන් පූර්ණ මිනිසෙකු” විය. එමෙන්ම ඔහු “කරුණාවෙන් හා [බලයෙන්ද] පූර්ණව” සිටියේය. යේසුස්ගේ මුල් ගෝලයන්ගෙන් එක් කෙනෙක් වූ ඔහු මහත් ලකුණුද පෙර නිමිතිද ජනයා අතරේ සිදු කළේය. එක් අවස්ථාවකදී මිනිසුන් කණ්ඩායමක් ඔහු සමඟ විවාදයකට පැමිණියහ. “එහෙත්, ඔහු ප්‍රඥාවෙන් හා ආත්මයෙන් යුක්තව කතා කළ දේට විරුද්ධව නැඟී සිටින්න ඔවුන්ට නොහැකි විය.” (ක්‍රියා 6:5, 8-10, NW) ස්තේපන් දේවවචනය හොඳින් අධ්‍යයනය කළ අයෙකු බව පැහැදිලිය. මේ නිසා ඔහුගේ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් ඉදිරියේ දේවවචනයේ සඳහන් දේවල් දක්ෂ ලෙස තහවුරු කිරීමට ඔහුට හැකි විය. මේ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ පූර්ණ සාක්ෂි ක්‍රියා 7වන පරිච්ඡේදයේ වාර්තා වේ. දෙවිගේ අරමුණ ක්‍රමානුකූලව අනාවරණය වෙද්දී එය තේරුම්ගැනීමට ඔහු දැඩි උනන්දුවකින් පසු වූ බව එම වාර්තාවෙන් පැහැදිලි වේ.

2 එදා සිටි ආගමික නායකයෝ ඔවුන්ගේ නිලතල හා දැනුම නිසා ඔවුන් සාමාන්‍ය ජනයාට වඩා උසස් අය කියා සිතූහ. එහෙත් ඔවුන් මෙන් නොව ස්තේපන් යටහත් පුද්ගලයෙකු විය. (මතෙව් 23:2-7; යොහන් 7:49) ඔහුට ශුද්ධ ලියවිලි පිළිබඳව හොඳ දැනුමක් තිබුණද “මේසවලට කෑම බෙදා [දීමේ]” පැවරුම සඳහා තමන්ව තෝරාගැනීම ගැන ඔහු බොහෝ සේ සන්තෝෂ වූයේය. එම පැවරුම නිසා ප්‍රේරිතයන්ට “යාච්ඤාවේද වචනය ඉගැන්වීමේ සේවයේද යෙදී [සිටීමට]” හැකි විය. ස්තේපන් සහෝදරයන් අතරේ හොඳ නමක් දිනාගෙන සිටි නිසා එසේ දිනපතා ආහාර බෙදාහැරීමේ කාර්යය සඳහා තෝරාගනු ලැබූ පුරුෂයන් හත්දෙනා අතර ඔහුද සිටියේය. ඔහු එම කාර්යය යටහත් පහත්ව පිළිගත්තේය.—ක්‍රියා 6:1-6, NW.

3. ස්තේපන් දෙවිගේ මහත් කරුණාව සුවිශේෂී ආකාරයකින් අද්දුටුවේ කෙසේද?

3 ස්තේපන්ගේ යටහත් පහත්කමද ආත්මික දේවල් ගැන දැක්වූ උනන්දුවද විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගැනීමද දෙවිගේ අවධානයට ලක් නොවී නොතිබුණේය. ඔහු සමඟ වාද විවාද කළ සැන්හෙඩ්‍රිනයේ යුදෙව් නායකයන්ට සාක්ෂි දරද්දී “ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණක් මෙන් [ඔහුගේ විරුද්ධකරුවෝ] දුටුවෝය.” (ක්‍රියා 6:15, NW) ඔහු දෙවිගේ පණිවිඩකරුවෙකු බව ඔහුගේ මුහුණේ පෙනුමෙන් දිස් විය. ඉන් පැහැදිලි වූයේ තේජවත් දෙවි වන යෙහෝවාගෙන් පැමිණෙන සමාදානය ඔහුට තිබූ බවයි. සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයන් හමුවෙහි නිර්භීත ලෙස සාක්ෂි දැරීමෙන් පසු, ස්තේපන් දෙවිගේ මහත් කරුණාව සුවිශේෂී ආකාරයකින් අද්දුටුවේය. “ඔහු අහස දෙස බැලූ විට, ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටි නිසා දෙවිගේ තේජසද දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටගෙන සිටිනවාද දුටුවේය.” (ක්‍රියා 7:55, NW) දෙවිගේ පුත්‍රයා හා මෙසියස් වශයෙන් යේසුස්ට හිමි තත්වය යළි තහවුරු කරගැනීමට ඒ සුවිශේෂී දර්ශනය මගින් ස්තේපන්ට හැකි විය. එමගින් ඔහුට ලොකු ශක්තියක් ලැබිණ. එමෙන්ම යෙහෝවාගේ අනුමැතිය තමන්ට ලැබී තිබූ බව ඒත්තුගැනීමටද එය ඔහුට උපකාරවත් විය.

4. යෙහෝවා ඔහුගේ තේජස හෙළි කරන්නේ කාටද?

4 ස්තේපන් දුටු දර්ශනයෙන් පැහැදිලි වන්නාක් මෙන් යෙහෝවා ඔහුගේ තේජස හා අරමුණ හෙළි කරන්නේ යටහත් පහත් මෙන්ම ඔහු සමඟ තිබෙන සබඳතාව ඉතා අගය කොට සලකන දේවබියැති අයටයි. “යටත්කමේද යෙහෝවා කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් [තේජසත්, NW] ජීවිතයත්” කියා බයිබලයේ සඳහන් වේ. (හිතෝපදේශ 22:4) මේ නිසා ඇත්තටම යටහත් පහත් වීම කීමෙන් අදහස් කරන දෙයත් අපට මේ වැදගත් ගුණාංගය වර්ධනය කරගත හැකි ආකාරයත් ජීවිතයේ සෑම කාරණයකදීම මේ ගුණාංගය විදහාපෑමෙන් අප ලබන ප්‍රයෝජන ගැනත් අප තේරුම්ගෙන සිටීම අතිවැදගත් දෙයකි.

යටහත් පහත්කම දේවගුණාංගයකි

5, 6. (අ) යටහත් පහත්කම යනු කුමක්ද? (ආ) යෙහෝවා යටහත් පහත්කම පෙන්වා තිබෙන්නේ කෙසේද? (ඇ) යෙහෝවාගේ යටහත් පහත්කම අපට බලපෑ යුත්තේ කෙසේද?

5 විශ්වයේ සිටින ශ්‍රේෂ්ඨතම මෙන්ම තේජවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවි යටහත් පහත්කම පිළිබඳ උතුම්ම ආදර්ශය බව දැනගන්න ලැබීම ගැන ඇතමුන් පුදුමයට පත් විය හැක. දාවිත් රජ යෙහෝවාට මෙසේ පැවසුවේය. “ඔබගේ ගැලවීම නමැති පලිහ මට දුන්නේය. ඔබගේ දකුණත මා දැරුවේය. ඔබගේ මෘදුකම [යටහත් පහත්කම, NW] මා උසස් කළේය.” (ගීතාවලිය 18:35) මෙහිදී දාවිත් රජ යටහත් තැනැත්තෙකු වශයෙන් යෙහෝවාව විස්තර කිරීමේදී භාවිත කළ හෙබ්‍රෙව් වචනයේ ප්‍රධාන අර්ථය වන්නේ “හිස පහත් කර නැමීමයි.” “යටහත් පහත්කම” නමැති වචනයට අමතරව, “මෘදුකම,” “පහත් වීම” හා “ඉහළ තත්වයක සිටියත් නැමීම” වැනි අරුත්ද එහි ගැබ්ව තිබේ. අසම්පූර්ණ මිනිසෙකු වූ දාවිත් සමඟ කටයුතු කළ ආකාරයෙන් යෙහෝවා යටහත් පහත්කම විදහාපෙන්වූ අතර, තමන්ව නියෝජනය කරන රජු වශයෙන් ඔහුව යොදාගත්තේය. දහඅටවන ගීතාවලියේ ශීර්ෂ පාඨයේ සඳහන් වන පරිදි යෙහෝවා දාවිත්ට ආරක්ෂාව සලසමින් ඔහුට උපකාර කළේය. මෙසේ කළේ “ඔහුගේ සියලු සතුරන්ගෙන්ද සාවුල්ගේ අතින්ද” ඔහුව මුදාගැනීමෙනි. එමෙන්ම දාවිත්ද තේරුම්ගත්තේ රජු වශයෙන් තමා අත් කරගෙන තිබෙන ශ්‍රේෂ්ඨත්වය රඳා පැවතියේ යෙහෝවා යටහත් පහත් ලෙස ඔහු වෙනුවෙන් මැදිහත් වී කටයුතු කිරීම මත බවයි. මෙය වටහාගැනීම දාවිත්ටද යටහත් පහත් වීමට උපකාරවත් විය.

6 මෙය අපට අදාළ කරගත හැක්කේ කෙසේද? යෙහෝවා සත්‍යය ඉගැන්වීමට අපව තෝරාගෙන තිබේ. ඔහුගේ සංවිධානය තුළ විශේෂ සේවා වරප්‍රසාදද අපට ලබා දී තිබෙනවා විය හැකියි. එසේත් නැත්නම් ඔහුගේ කැමැත්ත ඉටු කිරීම සඳහා ඔහු අපව යම් ආකාරයකින් යොදාගන්නවාද විය හැකියි. මේ සෑම දෙයක්ම අප සැලකිය යුත්තේ කෙසේද? අප යටහත් විය යුතු නැද්ද? අපව ඉහත සඳහන් දේවලට සම්බන්ධ කරගැනීමෙන් යෙහෝවා පෙන්වා තිබෙන යටහත් පහත්කමට අප ස්තුතිවන්ත විය යුතු නැද්ද? අපවම උසස් කරගැනීමෙන් වැළකී සිටීමට එය හේතු විය යුතු නැද්ද? අපවම උසස් කරගතහොත් අනිවාර්යයෙන්ම එහි ප්‍රතිඵලය විනාශය වේ.—හිතෝපදේශ 16:18; 29:23.

7, 8. (අ) යෙහෝවා මනස්සේ සමඟ කටයුතු කළ ආකාරයෙන් යටහත් පහත්කම විදහාපෙන්වූයේ කෙසේද? (ආ) යෙහෝවා මෙන්ම මනස්සේද යටහත් පහත්කම පෙන්වීම සම්බන්ධයෙන් අපට අනුකරණය කිරීම සඳහා ආදර්ශයක් තබා තිබෙන්නේ කෙසේද?

7 යෙහෝවා යටහත් පහත්කම පෙන්වා තිබෙන්නේ අසම්පූර්ණ මිනිසුන් සමඟ කටයුතු කිරීමෙන් පමණක්ම නොවේ. යටහත් ආකල්පයක් ඇතුව සිටින අයට දයාව පෙන්වීමටද තමන්වම යටහත් පහත් පුද්ගලයෙකු බවට පත් කරගන්න අයව උසස් කිරීමට කැමැත්තෙන් සිටීමෙන්ද යෙහෝවා යටහත් පහත්කම පෙන්වා තිබේ. (ගීතාවලිය 113:4-6, 8) උදාහරණයක් හැටියට යූදාහි මනස්සේ රජුගේ සිද්ධිය සලකා බලන්න. රජු ලෙස ඔහුට හිමිව තිබූ ගෞරවනීය තත්වය වැරදි ලෙස යොදාගනිමින් ඔහු බොරු නමස්කාරය නඟා සිටුවීමට අනුබල දුන්නේය. “යෙහෝවා කෝප කරවන හැටියට ඔහුගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝ සෙයින්ම කළේය.” (2 ලේකම් 33:6) පසු කාලයේදී යෙහෝවා ඇසිරියාවේ රජුව යොදාගෙන, ඔහුව සිංහාසනයෙන් පහ කර දැමීමෙන් ඔහුට දඬුවම් කළේය. මනස්සේ සිරගෙදර සිටි කාලයේදී “තමාගේ දෙවි වූ යෙහෝවාට කන්නලව් කොට තමාගේ පියවරුන්ගේ දෙවි ඉදිරියෙහි ඉතා යටහත් වී ඔහුට යාච්ඤා කළේය.” මේ නිසා යෙහෝවා ඔහුව නැවතත් යෙරුසලමෙහි සිංහාසනාරූඪ කළේය. ඉන්පසු “යෙහෝවා දෙවි බව මනස්සේ දැනගත්තේය.” (2 ලේකම් 33:11-13) අන්තිමේදී, මනස්සේ තුළ තිබූ යටහත් පහත් ආකල්පය ගැන යෙහෝවා සතුටු වූයේය. යෙහෝවාද පෙරළා යටහත් පහත්කම පෙන්වමින් ඔහුට සමාව දී නැවතත් ඔහුව රජු ලෙස පත් කළේය.

8 සමාව දීමට යෙහෝවා දක්වන කැමැත්ත සහ පසුතැවිලි වීමට මනස්සේ දැක්වූ කැමැත්ත මගින් අද දින සිටින අපට යටහත් පහත්කම පිළිබඳව වැදගත් පාඩමක් උගන්වයි. අපේ සිත් රිදවා ඇති අයට අප සලකන ආකාරය හා අප පව් කළ විට විදහාපෙන්වන ආකල්පය, යෙහෝවා අප සමඟ කටයුතු කරන ආකාරයට බලපාන බව නිතරම අප මතක තබාගත යුතුයි. අනිත් අයගේ වැරදිවලට අප කැමැත්තෙන්ම සමාව දෙනවා නම්, අප අතින් සිදු වන වැරදි යටහත් පහත්ව පිළිගන්නවා නම් අපට යෙහෝවාගෙන් දයාව අපේක්ෂා කළ හැකියි.—මතෙව් 5:23, 24; 6:12.

දෙවිගේ තේජස හෙළි කළේ යටහත් පහත් අයටයි

9. යටහත් පහත්කම දුර්වලකමේ ලක්ෂණයක්ද? පැහැදිලි කරන්න.

9 යටහත් පහත්කමද ඒ හා බැඳි සෙසු ගුණාංගද දුර්වලකමේ ලක්ෂණයක් ලෙස වරදවා වටහා නොගත යුතුයි. එමෙන්ම වැරදි දේවල් ගණන් නොගෙන සිටීම ඉන් අදහස් නොකරයි. යෙහෝවා යටහත් බවට සාක්ෂි ශුද්ධ ලියවිලිවල සඳහන් වුවද ඇතැම් අවස්ථාවලදී ඔහුට ධර්මිෂ්ඨ කෝපයක් ඇති වේ. එමෙන්ම ඔහු තමන් සතු විස්මිත බලයද විදහාපෙන්වයි. යෙහෝවා යටහත් පහත් නිසා යටහත් පහත් මනසක් ඇතුව සිටින අයට විශේෂ සැලකිල්ලක් පෙන්වයි. එනමුත් උඩඟු අයගෙන් ඈත්ව සිටියි. (ගීතාවලිය 138:6) යෙහෝවා ඔහුගේ යටහත් පහත් සේවකයන්ට විශේෂ සැලකිල්ලක් පෙන්වා තිබෙන්නේ කෙසේද?

10. පළමුවන කොරින්ති 2:6-10හි පෙන්වා දෙන පරිදි යෙහෝවා යටහත් අයට හෙළි කරන්නේ කුමක්ද?

10 යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය ගැන විස්තර යටහත් පහත් අයට හෙළි කර තිබේ. ඔහු මෙසේ කර තිබෙන්නේ ඔහුට සුදුසුයි කියා හැඟෙන කාලයේදී හා ඔහු යොදාගන්න මාධ්‍යය මාර්ගයෙනි. ඔහුගේ අරමුණ ඉටුවීම හා සම්බන්ධ තේජාන්විත විස්තර උඩඟු මෙන්ම හිතුවක්කාර ලෙස මිනිස් ප්‍රඥාව හා චින්තනය මත රඳා සිටින අයට නම් දැනගත නොහැකියි. (1 කොරින්ති 2:6-10) එනමුත් යෙහෝවාගේ අරමුණ ගැන නිවැරදි අවබෝධයක් ලැබී තිබෙන යටහත් පහත් අය ඔහුව ගෞරවයට පත් කිරීමට පෙලඹෙති. මන්ද ඔවුන්ගේ සිත්වලට දැඩි බලපෑමක් ඇති කර තිබෙන ඔහුගේ තේජස ඔවුන් ඉතා ඉහළින් අගය කරන නිසාය.

11. මුල් සියවසේ සිටි ඇතමුන් තුළ යටහත් පහත්කම නොතිබූ බව දිස් වූයේ කෙසේද? එය ඔවුන්ට හානිදායක වූයේ කෙසේද?

11 මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්යයි කියාගත් ඇතැම් අය ඇතුළු බොහෝදෙනෙක් තුළ යටහත් පහත්කම දක්නට තිබුණේ නැත. එමෙන්ම පාවුල් දෙවිගේ අරමුණ සම්බන්ධයෙන් ඔවුන්ට හෙළි කළ දේවල් නිසා ඔවුන් බාධාවටද පත් විය. පාවුල් “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව” සිටියේ ඔහුගේ ජාතිය, අධ්‍යාපනය, වයස නිසා හෝ යහපත් ක්‍රියාවලින් පිරි දිගු වාර්තාවක් ඔහුට තිබුණු නිසා නොවේ. (රෝම 11:13) මාංසික ආකල්පයක් තිබෙන පුද්ගලයන් බොහෝවිට ඒ දේවල් සලකන්නේ යෙහෝවා යොදාගන්න පුද්ගලයන් තුළ තිබිය යුතු සුදුසුකම් ලෙසයි. (1 කොරින්ති 1:26-29; 3:1; කොලොස්සි 2:18, NW) කෙසේවෙතත් පාවුල්ව යෙහෝවා විසින් තෝරාගනු ලැබීය. මෙම තෝරාගැනීම සිදු වූයේ යෙහෝවාගේ මහත් කරුණාව හා ධර්මිෂ්ඨ අරමුණට එකඟවයි. (1 කොරින්ති 15:8-10, NW) “මහ උතුම් ප්‍රේරිතයන්” කියා පාවුල් විස්තර කළ අය මෙන්ම වෙනත් විරුද්ධවාදීහුද පාවුල්ව හා ඔහු ශුද්ධ ලියවිලි ඇසුරෙන් පහදා දුන් දේවල් ප්‍රතික්ෂේප කළහ. ඔවුන් තුළ යටහත් පහත්කම නොතිබූ නිසා යෙහෝවා ඔහුගේ අරමුණ තේජවත් අයුරින් ඉටු කරන ආකාරය ගැන දැනුම හා අවබෝධය ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය. යෙහෝවා ඔහුගේ කැමැත්ත ඉටු කිරීමට තෝරාගන්න අයව කවදාවත් සැහැල්ලුවට ලක් නොකරමු. ඔවුන් ගැන පූර්ව නිගමනවලට නොඑළඹෙමු.—2 කොරින්ති 11:4-6, NW.

12. යටහත් පහත් අය යෙහෝවාගේ ප්‍රසාදයට ලක් වෙන බව මෝසෙස්ගේ ආදර්ශයෙන් පැහැදිලි වන්නේ කෙසේද?

12 යටහත් පහත් අය දෙවිගේ තේජසින් බිඳක් දැකගන්න ලැබීමට තරම් ප්‍රසාදයට ලක් වූ ආකාරය ගැන උදාහරණ රාශියක් බයිබලයේ සඳහන් වේ. සියලුම මිනිසුන්ට “වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක්” වූ මෝසෙස් දෙවිගේ තේජස දුටුවේය. එමෙන්ම දෙවි සමඟ සමීප සබඳතාවක්ද භුක්ති වින්දේය. (ගණන් කථාව 12:3) ඔහු අවුරුදු 40ක කාලයක් යටහත් පහත් එඬේරෙක් ලෙස සේවය කළේය. පෙනෙන විදිහට මෙයින් වැඩි කාලයක් ගත කළේ අරාබි අර්ධද්වීපයේය. යටහත් මිනිසෙක් වූ මෝසෙස් බොහෝ ආකාරවලින් මැවුම්කරුගේ ඉමහත් ප්‍රසාදයට ලක් විය. (නික්මයාම 6:12, 30) මෝසෙස් යෙහෝවාගේ උපකාරය ඇතුව ඔහුගේ නියෝජිතයා මෙන්ම ඊශ්‍රායෙල් ජාතියේ ප්‍රධාන සංවිධායක හැටියටද කටයුතු කළේය. දෙවි සමඟ මුහුණට මුහුණලා කතා කිරීමට ඔහුට හැකි විය. ඔහු දර්ශනයක් මාර්ගයෙන් “යෙහෝවාගේ ස්වරූපය” දුටුවේය. (ගණන් කථාව 12:7, 8; නික්මයාම 24:10, 11) දෙවිගේ මේ යටහත් පහත් සේවකයාව හා නියෝජිතයාව පිළිගත් අයද දෙවිගේ ප්‍රසාදයට ලක් වූහ. මේ හා සමානව, අපත් මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයා වන යේසුස්වද ඔහු පත් කර තිබෙන “විශ්වාසවූ නුවණ ඇති [දාසයාවද]” පිළිගෙන, ඔවුන්ට කීකරු වෙනවා නම්, අපද ආශීර්වාද ලබනු ඇත.—මතෙව් 24:45, 46; ක්‍රියා 3:22.

13. මුල් සියවසේ සිටි එඬේරුන්ට යෙහෝවාගේ තේජස හෙළි කරනු ලැබුවේ කෙසේද?

13 ‘ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැලවුම්කරුවෙකුගේ’ උපත පිළිබඳ ශුභාරංචිය දේවදූතයෙක් ප්‍රකාශ කළ අවස්ථාවේදී ‘යෙහෝවාගේ තේජස බැබළුණේ’ කා වටාද? උද්ධච්ච ආගමික නායකයන් වටා නොවේ. උසස් තානාන්තර දැරූ වැදගත් පුද්ගලයන් වටාද නොවේ. ‘යෙහෝවාගේ තේජස බැබළුණේ’ “රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළ රකිමින් එළිමහනේ සිටි” යටහත් එඬේරුන් වටායි. (ලූක් 2:8-11, NW) මේ අය මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වන ආකාරයේ කාර්යයන්වල නියැලුණු දක්ෂ පුද්ගලයන් නොවේ. එහෙත් යෙහෝවාගේ සැලකිල්ලට ලක් වූයේ ඔවුන්ය. මෙසියස්ගේ උපත මුලින්ම දැනුම් දීමට යෙහෝවා තෝරාගත්තේද ඔවුන්වය. මෙයින් පැහැදිලි වන්නේ යෙහෝවා යටහත් පහත් හා දේවබියැති අයට ඔහුගේ තේජස හෙළි කරන බවයි.

14. යටහත් අයට දෙවිගෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

14 මේ ආදර්ශවලින් අපට උගන්වන පාඩම කුමක්ද? යටහත් පහත් අය යෙහෝවාගේ ප්‍රසාදයට ලක් වන බවත් යෙහෝවා සිය අරමුණ පිළිබඳ දැනුම හා අවබෝධය ඔවුන්ට ලබා දෙන බවත් එම ආදර්ශවලින් පැහැදිලි වේ. යෙහෝවා, ඇතැම් මිනිසුන් අපේක්ෂා කරන සුදුසුකම් නොතිබිය හැකි අයව තෝරාගෙන, ඔහුගේ තේජවත් අරමුණ අන් අයට දැනුම් දීමට ඔවුන්ව යොදවාගනියි. අප ඉගෙනගත් මේ කාරණය, මඟ පෙන්වීම පතා සැමවිටම යෙහෝවා දෙසත් ඔහුගේ අනාවැකිමය වචනය දෙසත් ඔහුගේ සංවිධානය දෙසත් බැලීමට අප තුළ පෙලඹීමක් ඇති කළ යුතුයි. යෙහෝවා ඔහුගේ තේජාන්විත අරමුණ ගැන තොරතුරු ඔහුගේ යටහත් පහත් සේවකයන්ටත් හෙළි කරන බවට නිසැක වීමට අපට හැකියි. අනාගතවක්තෘ ආමොස් මෙසේ ප්‍රකාශ කළේය. “සැබවින් ස්වාමි වූ යෙහෝවා තමන් රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන්නේය.”—ආමොස් 3:7.

යටහත් පහත්කම වර්ධනය කරගෙන දෙවිගේ ප්‍රසාදය ලබන්න

15. යටහත් පහත්කම දිගටම පවත්වාගැනීමට අප දැඩි වෑයමක් දැරිය යුත්තේ මන්ද? ඊශ්‍රායෙලයේ රජ වූ සාවුල්ගේ සිද්ධියෙන් මෙය පැහැදිලි වන්නේ කෙසේද?

15 සැමදා දෙවිගේ ප්‍රසාදය ලබාගන්න නම් අප දිගටම යටහත් පහත් විය යුතුයි. යම් අවස්ථාවක යටහත් පහත්ව සිටි පුද්ගලයෙක් සැමදා යටහත් පහත් පුද්ගලයෙක් වන්නේ නැත. යම් පුද්ගලයෙක් තවදුරටත් යටහත් පහත්කම නොපෙන්වමින් අහංකාරව තමන්වම උසස් කරගැනීමට ඉඩ තිබේ. මෙය උඩඟුකමටත් විනාශයටත් හේතු වේ. ඊශ්‍රායෙලයේ මුල්ම රජු ලෙස අභිෂේක කළ සාවුල්ට සිදු වූයේ එවැනි දෙයකි. ඔහුව මුලින්ම තෝරාගත් කාලයේදී ඔහුට ඔහු ගැන හැඟුණේ ‘තමන්ගේම ඇස් හමුවෙහි සුළු කෙනෙකු’ ලෙසයි. (1 සාමුවෙල් 15:17) කෙසේවෙතත් ඔහු අවුරුදු දෙකක් තරම් කෙටි කාලයකට පාලනය කිරීමෙන් පසු උඩඟු ලෙස කටයුතු කළේය. අනාගතවක්තෘ සාමුවෙල් මාර්ගයෙන් පූජා ඔප්පු කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දී තිබූ විධිවිධානය ඔහු නොසලකාහැරියේය. එමෙන්ම ඔහුට අවශ්‍ය විදිහට පූජා ඔප්පු කර එය හරියයි පෙන්වා දීමට ඔහු කරුණු මවාපෑවේය. (1 සාමුවෙල් 13:1, 8-14) ඔහු තුළ යටහත් පහත්කම නොතිබූ බව බොහෝ සිද්ධීන්වලින් පෙනී ගියේය. එම සිද්ධීන්වලින් පළමුවැන්න වූයේ ඉහත සඳහන් දෙයයි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙවිගේ ශුද්ධාත්මය හා ප්‍රසාදය ඔහුට නැති වී යෑමයි. අවසානයේදී ඔහුගේ නින්දිත මරණයටද එය හේතු වූයේය. (1 සාමුවෙල් 15:3-19, 26; 28:6; 31:4) මෙයින් අපට ඉගෙනගත හැකි පාඩම පැහැදිලියි. අප යටහත් පහත්කම හා කීකරුකම දිගටම පෙන්වීමට වෑයම් කළ යුතු අතර තමන් වැදගත් කෙනෙකු බවට ඇති වන හැඟීම් මැඩපවත්වාගත යුතුයි. මෙසේ කිරීමෙන් ඕනෑම උඩඟු ක්‍රියාවකින් හා යෙහෝවාගේ අප්‍රසාදයට ලක්වීමෙන් වැළකී සිටිය හැකියි.

16. යෙහෝවා සමඟත් මිනිසුන් සමඟත් අපේ සබඳතාව ගැන ගැඹුරින් සිතා බැලීම යටහත් පහත්කම වර්ධනය කරගැනීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?

16 යටහත් පහත්කම දෙවිගේ ශුද්ධාත්මයේ පලවලට අයත් ගුණාංගයක් ලෙස සඳහන් නොවුණද එය අප වර්ධනය කරගත යුතු දේවගුණාංගයකි. (ගලාති 5:22, 23; කොලොස්සි 3:10, 12) යටහත් පහත්කම මනසේ පවතින ස්වභාවයකි. එනම් අප ගැන මෙන්ම අන් අය ගැන අප දරන ආකල්පය ඊට සම්බන්ධයි. මේ නිසා යටහත් පහත්කම වර්ධනය කරගැනීමට අප දැඩි ලෙස වෑයම් කළ යුතුයි. යෙහෝවා සමඟත් මිනිසුන් සමඟත් අප පවත්වනු ලබන සබඳතාව ගැන ගැඹුරින් සිතා බැලීම, යටහත් පහත්කම පෙන්වීමට අපට උපකාරවත් විය හැක. දෙවිගේ ඇස් හමුවෙහි අසම්පූර්ණ මාංසයක් ඇත්තාවූ සියලුදෙනාම කෙටි කාලයක් පැවතී වියළී යන තණකොළ හා සමානයි. මිනිසුන් කෙතක සිටින පළඟැටියන් වැනිය. (යෙසායා 40:6, 7, 22) එක තණකොළයක් අනිත් තණකොළවලට වඩා ටිකක් වැඩියෙන් දිග විය හැකියි. ඒ තණකොළයට ආඩම්බර වීමට එය හේතුවක්ද? එක පළඟැටියෙකුට අනිත් පළඟැටියන්ට වඩා ටිකක් වැඩියෙන් දුර පනින්න පුළුවන් විය හැකියි. ඌට පුරසාරම් දොඩන්න එය හේතුවක්ද? මේ ගැන සිතීම පවා විහිළුවකි. මේ නිසා ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ මතක් කර දුන්නේය. “ඔබව තවත් කෙනෙකුගෙන් වෙනස් වීමට සලසන්නේ කවුද? ඔබට දෙන ලද දේ හැර ඔබට ඇත්තේ කුමක්ද? ඉතින් එය ඔබට දෙන ලද දෙයක් නම්, ඔබම ලබාගත් දෙයක් ලෙස සලකා පුරසාරම් දොඩන්නේ ඇයි?” (1 කොරින්ති 4:7, NW) යටහත් පහත්කම වර්ධනය කරගනිමින් එය දිගටම විදහාපෙන්වීමට එවන් බයිබල් පාඨ ගැන මෙනෙහි කිරීම අපට උපකාරවත් විය හැකියි.

17. අනාගතවක්තෘ දානියෙල්ට යටහත් පහත්කම වර්ධනය කරගැනීමට උපකාරවත් වූයේ කුමක්ද? අපටත් ඒ දෙය කිරීමට උපකාරවත් වන්නේ කුමක්ද?

17 හෙබ්‍රෙව් ජාතික අනාගතවක්තෘවරයෙකු වූ දානියෙල්ව හඳුන්වනු ලැබුවේ දෙවිගේ ඇස් හමුවෙහි “බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යයා” ලෙසයි. ඔහුව එසේ හැඳින්වූයේ ඔහු ‘යටහත්’ පුද්ගලයෙකු නිසාය. (දානියෙල් 10:11, 12) යටහත් පහත්කම වර්ධනය කරගැනීමට දානියෙල්ට උපකාරවත් වූයේ කුමක්ද? ප්‍රධානතම උපකාරය වූයේ ඔහු නිතිපතාම යෙහෝවාට යාච්ඤා කරමින් සම්පූර්ණයෙන් ඔහු මත රඳා සිටීමයි. (දානියෙල් 6:10, 11) එමෙන්ම දානියෙල් යහපත් චේතනාවෙන් පෙලඹී ඉතා උනන්දුවෙන් දේවවචනය අධ්‍යයනය කිරීමද යටහත් පුද්ගලයෙකු වීමට ඔහුට උපකාරවත් විය. දෙවිගේ තේජාන්විත අරමුණ පැහැදිලිව තමන්ගේ මනසෙහි තබාගැනීමට එමගින් ඔහුට හැකි විය. ඔහුගේ සෙනඟගේ පමණක් නොව, ඔහුගේම අඩු පාඩුකම් පිළිගැනීමට ඔහු කැමැත්තෙන් සිටියේය. තමන්ගේ නොව දෙවිගේ ධර්මිෂ්ඨකම නඟා සිටුවීමට ඔහු අවංකව කටයුතු කළේය. (දානියෙල් 9:2, 5, 7) දානියෙල්ගේ විශිෂ්ට ආදර්ශයෙන් අපට යමක් ඉගෙනගත හැකිද? අපේ ජීවිතයේ සෑම කාරණයකදීම යටහත් පහත්කම විදහාපෙන්වීම සඳහා අපටත් වෑයම් කළ හැකිද?

18. අද දින යටහත් පහත්කම පෙන්වන අයට ඉදිරියේදී අපේක්ෂා කළ හැකි තේජස කුමක්ද?

18 “යටත්කමේද යෙහෝවා කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් [තේජසත්, NW] ජීවිතයත්ය” කියා හිතෝපදේශ 22:4හි සඳහන් වේ. යෙහෝවාගේ ප්‍රසාදය හිමි වන්නේ යටහත් පහත් අයටයි. මොවුන්ට හිමි විපාකය වන්නේ තේජස හා ජීවිතයයි. දෙවිට සේවය කිරීම අත්හැර දැමීමට තීරණය කර සිටි ගීතිකාකරු ආසාප්ගේ ආකල්පය යෙහෝවා යළි සකස් කළේය. ඉන් අනතුරුව ඔහු යටහත් ලෙස මෙසේ පිළිගත්තේය. “ඔබගේ මන්ත්‍රණයෙන් මට මඟ පෙන්වන්නේය. පසුව තේජසට මා පිළිගන්නේය.” (ගීතාවලිය 73:24) අද දින සිටින අපට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? යටහත් අයට අපේක්ෂා කළ හැකි තේජස කුමක්ද? යෙහෝවාගේ ප්‍රසාදය ඇතුව ඔහු සමඟ සන්තෝෂවත් සබඳතාවක් භුක්ති විඳිනවාට අමතරව, දාවිත් රජ දේවානුභාවයෙන් ලියූ මෙම වදන්වල ඉටුවීම බලා සිටීමටද ඔවුන්ට හැකියි. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” ඇත්තෙන්ම මෙය මොන තරම් තේජාන්විත, සන්තෝෂවත් අනාගතයක්ද!—ගීතාවලිය 37:11.

ඔබට මතකද?

• යෙහෝවා තම තේජස හෙළි කළ, යටහත් පහත් පුද්ගලයෙකු ලෙස ස්තේපන්ව සඳහන් කළ හැක්කේ මන්ද?

• යෙහෝවා දෙවි යටහත් පහත්කම විදහාපෙන්වා තිබෙන්නේ කුමන ආකාරවලින්ද?

• යෙහෝවා යටහත් පහත් අයට ඔහුගේ තේජස හෙළි කරන බව පැහැදිලි වන්නේ කිනම් උදාහරණවලින්ද?

• යටහත් පහත්කම වර්ධනය කරගැනීමට දානියෙල්ගේ ආදර්ශය අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ කොටුව]

දැඩි විශ්වාසයකින් සිටියත්, යටහත්

වර්ෂ 1919දී අමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝ සීඩාර් පොයින්ට්හි පවත්වන ලද (අද යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා හඳුන්වනු ලබන) බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවේදී, එවකට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කළ පනස් හැවිරිදි ජේ. එෆ්. රදෆර්ඩ් සමුළුවට පැමිණි නියෝජිතයන්ගේ බඩු බාහිරාදිය ඔවුන්ගේ නවාතැන්වලට ගෙන යෑමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ ඉතා සතුටින්. මේ සමුළුවේ අවසාන දිනයේදී ඔහු මෙම වදන් පවසමින් පැමිණි සිටි 7,000දෙනාගේ සිතුවිලි කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේය. “ඔබ සැම රජවරුන්ගේ රජද ස්වාමිවරුන්ගේ ස්වාමිද වන තැනැත්තාගේ තානාපතියෙක් ලෙස සේවය කරන අයයි. අපේ ස්වාමීන්ගේ තේජාන්විත රාජ්‍යය . . . ගැන ජනයාට ප්‍රකාශ කරන්නේ ඔබයි.” සහෝදර රදෆර්ඩ් තම විශ්වාසයන් දැඩි ලෙස රැකගත් කෙනෙකි. එමෙන්ම මහත් බලපෑමකින් යුතුව කතා කළ පුද්ගලයෙකි. සත්‍යයයි කියා ඔහු විශ්වාස කළ දෙය කිසිම හේතුවක් නිසා වෙනස් නොකළ අයෙකි. එහෙත් ඔහු දෙවි ඉදිරියෙහි අව්‍යාජ ලෙස යටහත් පහත්කම පෙන්වූ පුද්ගලයෙකි. බොහෝවිට මෙය දැකගත හැකි වූයේ බෙතෙල් නිවසේ උදෑසන නමස්කාරයේදී ඔහු කළ යාච්ඤාවලදීය.

[9වන පිටුවේ පින්තූරය]

ශුද්ධ ලියවිලි පිළිබඳව හොඳ දැනුමක් තිබූ ස්තේපන් ආහාර බෙදාහැරීමේ කාර්යයෙහි යටහත් පහත් ලෙස හවුල් විය

[10වන පිටුවේ පින්තූරය]

මනස්සේගේ යටහත් පහත් ආකල්පය යෙහෝවාගේ සිත්ගත්තේය

[12වන පිටුවේ පින්තූරය]

දානියෙල් “බොහෝ ප්‍රේම ලත් [මනුෂ්‍යයෙකු]” යයි පැවසීමට හේතුව කුමක්ද?