මතෙව් 23:1-39

23  එවිට යේසුස් සමූහයන්ටත් තම ගෝලයන්ටත්+ මෙසේ කීවේය.  “නීතිය පිටපත් කරන්නන්ද+ පරිසිවරුන්ද මෝසෙස්ගේ තැන හිමි කරගෙන සිටිනවා.+  ඔවුන් ඔබට කියන සියල්ල+ කරන්න. ඒවා පිළිපදින්න. නමුත් ඔවුන් කරන දේවල් නම් කරන්න එපා.+ මන්ද ඔවුන් කියනවා මිස කරන්නේ නැහැ.  ඔවුන් පනවන නීති මිනිසුන්ගේ කර පිට තබන මහත් බරකට සමානයි.+ නමුත් ඒවා ඉසිලීමට තමන්ගේ ඇඟිල්ලක්වත් තබන්න ඔවුන් කැමති වන්නේ නැහැ.+  ඔවුන් සෑම දෙයක්ම කරන්නේ මිනිසුන්ට පෙනෙන්නයි.+ ඔවුන් තම ආරක්ෂාවට කුඩා පෙට්ටි සාදා ශුද්ධ ලියවිල්ලේ කොටස් ඒවාට දමා ඒවා තම නළල්වල පළඳිනවා.+ ඒ විතරක් නොවෙයි, ඔවුන් ඒ පෙට්ටි තව තවත් විශාල කරනවා. ඔවුන් තම වස්ත්‍රවල වාටි තවත් පළල් කරනවා.+  සන්ධ්‍යා භෝජනවලදී ප්‍රධානතම ස්ථානයටත්+ සිනගෝගවලදී ඉදිරි ආසනවල අසුන්ගන්නත්+ ඔවුන් කැමතියි.  වෙළඳපොළවලදී ඔවුන්ව ගෞරවයෙන් පිළිගන්නවාටත්+ මිනිසුන් ඔවුන්ට රබ්බි* කියා අමතනවාටත්+ ඔවුන් කැමතියි.  නමුත් අන් අය ඔබට රබ්බි කියා ඇමතිය යුතුයි කියා නොසිතන්න. මන්ද ඔබට සිටින්නේ එකම ගුරුවරයෙක්.+ ඔබ සියලුදෙනාම සහෝදරයෝයි.  පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්.+ ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි. 10  ඔබ අතරේ සිටින කිසිම කෙනෙකුට ‘නායකයා’ කියා නොකියන්න.+ මන්ද ඔබට සිටින්නේ එකම නායකයෙක්. ඒ ක්‍රිස්තුස්. 11  ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා ඔබේ සේවකයා විය යුතුයි.+ 12  උසස් වෙන්න උත්සාහ කරන කෙනෙකුව පහත් කරනු ලබයි.+ නමුත් නිහතමානීව සේවය කරන කෙනෙකුව උසස් කරනු ලබයි.+ 13  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට ඇති දොරටුවලට අගුල් දමා+ මිනිසුන්ට ඊට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ එයින් ඇතුල් වෙන්නෙත් නැහැ.+ ඇතුල් වෙන්න උත්සාහ කරන අයට ඇතුල් වෙන්න ඔබ ඉඩ දෙන්නෙත් නැහැ. 14  —— 15  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට+ මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ එක් කෙනෙකුව හරවාගන්න* මුහුදේ හා ගොඩබිමේ බොහෝ දුර ඈත ගමන් කරනවා. නමුත් ඔහුව හරවාගත් පසු ඔහුවත් ගෙහෙන්නාවට* සුදුස්සෙක් කරනවා. එසේ ඔබ ඔහුව ඔබට වඩා දෙගුණයකින් ඒ සඳහා සුදුස්සෙක් කරනවා. 16  “අන්ධ මඟ පෙන්වන්නෙනි,+ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද, ‘යමෙකු දේවමාලිගාවේ නාමයෙන් දිවුරුවොත් එය වලංගු නැහැයි කියාත් යමෙකු දේවමාලිගාවේ රන්වල නාමයෙන් දිවුරුමක් කළොත් ඔහු එම දිවුරුම ඉටු කිරීමට බැඳී සිටියි’+ කියාත් ඔබ කියනවා. 17  අඥානයෙනි, අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? රන්ද නැත්නම් ඒ රන් ශුද්ධ දෙයක් බවට පත් කරන දේවමාලිගාවද?+ 18  මීට අමතරව ‘යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුරුවොත් එහි කිසි පලක් නැහැයි කියාත් යමෙකු පරිත්‍යාග කරන දේ ඒ මත තබා එම පරිත්‍යාගයේ නාමයෙන් දිවුරුවොත් ඔහු එය ඉටු කිරීමට බැඳී සිටියි’ කියාත් ඔබ කියනවා. 19  අන්ධයෙනි! වඩා උතුම් වන්නේ කොයි එකද? පරිත්‍යාගයද නැත්නම් ඒ පරිත්‍යාගය ශුද්ධ දෙයක් බවට පත් කරන පූජාසනයද?+ 20  එහෙයින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තා දිවුරන්නේ පූජාසනයේ හා ඒ මත තිබෙන දේවල නාමයෙනුයි. 21  දේවමාලිගාවේ නාමයෙන් දිවුරන තැනැත්තා දිවුරන්නේ දේවමාලිගාවේ නාමයෙන් සහ එහි වාසය කරන තැනැත්තාණන්ගේ නාමයෙනුයි.+ 22  ස්වර්ගයේ නාමයෙන් දිවුරන තැනැත්තා දෙවිගේ සිංහාසනයේ නාමයෙන්ද+ ඒ මත ඉඳගෙන සිටින තැනැත්තාණන්ගේ නාමයෙන්ද දිවුරයි. 23  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ මිංචි, ඈඳුරු, සූදුරු යන දේවලින් දසයෙන් කොටස දෙන+ නමුත් යුක්තිය,+ දයාව,+ විශ්වාසවන්තකම+ යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔබ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මුලින් සඳහන් කළ දේවල් කිරීමට අවශ්‍ය බව ඇත්තයි. නමුත් වඩා වැදගත් වන්නේ දෙවෙනියට සඳහන් කළ දේවලුයි. ඔබ නොසලකාහැර තිබෙන්නෙත් ඒ දේවලුයි. 24  අන්ධ මඟ පෙන්වන්නෙනි!+ ඔබ කරන්නේ මදුරුවාව අයින් කර+ ඔටුවා ගිල දමනවා+ හා සමාන වැඩක්. 25  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කළත්+ එහි ඇතුළත ඔබේ කොල්ල කෑම්වලින්+ හා කිසිම පාලනයකින් තොරව ඔබ කරන ක්‍රියාවලින් පිරී තිබෙනවා. 26  අන්ධ+ පරිසිවරුනි, කුසලානයත් දීසියත් පිටතින් පවිත්‍ර කරන්න කලින් ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න.+ 27  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට+ මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ හුණු ගා සුදු කළ+ සොහොන් ගෙවල්වලට සමානයි. ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මිය ගිය අයගේ ඇටකටුවලින්ද සියලු ආකාර අපවිත්‍ර දේවලින්ද පිරී තිබෙනවා. 28  එලෙසම ඔබේ මවාපෑම නිසා මිනිසුන් සිතන්නේ ඔබ ඉතා ධර්මිෂ්ඨ අය කියායි.+ නමුත් ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා. 29  “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට+ මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ අනාගතවක්තෘවරුන්ට සොහොන් ගෙවල් සාදා ධර්මිෂ්ඨයන්ගේ සොහොන් ගෙවල් සරසමින්,+ 30  ‘අපේ මුතුන්මිත්තන්ගේ දවස්වලදී අප සිටියා නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට අපි ඔවුන් සමඟ හවුල් වන්නේ නැහැ’+ කියා පවසනවා. 31  එලෙස ඔබ අනාගතවක්තෘවරුන්ව මරණයට පත් කළ අයගේ පුත්‍රයන්+ බව ඔබ පවසන දේවල්ම ඔබට විරුද්ධව සාක්ෂි දරනවා. 32  එසේනම් ඔබේ මුතුන්මිත්තන් පටන්ගත් කාර්යය සම්පූර්ණ කරන්න.+ 33  “සර්පයෙනි, පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ ගෙහෙන්නාවේ* විනිශ්චයෙන්+ ඔබ පලා යන්නේ කොහොමද? 34  ඒ නිසා මෙන්න, මම ඔබ වෙතට අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ප්‍රසිද්ධියේ උගන්වන්නන්ද+ එවනවා.+ ඔබ ඔවුන්ගෙන් සමහරෙකුව මරා+ කණුවල ඇණ ගසයි. ඇතමෙකුට ඔබේ සිනගෝගවලදී කසයෙන් තළා+ සෑම නුවරකදීම ඔවුන්ට පීඩා කරයි. 35  ඒ අනුව ධර්මිෂ්ඨ වූ+ ආබෙල්+ පටන් ශුද්ධස්ථානය හා පූජාසනය අතරේ ඔබ මරණයට පත් කළ බරකියාගේ පුත් සෙකරියා+ දක්වා පොළොවෙහි වැගිරෙවූ සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+ 36  ඒ සියල්ලම මේ පරම්පරාව පිටට පැමිණෙයි+ කියා ඇත්තෙන්ම මම ඔබට කියනවා. 37  “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට+ ගල් ගැසූ+ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ.+ 38  බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ+ දේවමාලිගාවක්+ පමණයි. 39  එමෙන්ම ‘යෙහෝවා දෙවිගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා’+ කියා ඔබ කියන තුරු මෙතැන් සිට ඔබ මාව කිසිසේත් දකින්නේ නැහැ කියා මම ඔබට කියනවා.”

පාදසටහන්

යුදෙව් ආගමේ ගුරුවරයෙකුට භාවිත කළ ගෞරවනීය පදවි නාමයක්.
එනම්, යුදෙව් ආගමට හරවාගන්න.
යෙරුසලමෙන් පිටත කසළ පුලුස්සා දැමීම සඳහා භාවිත කළ ස්ථානය. උපග්‍ර. 2 බලන්න.
මතෙ 23:15හි දෙවෙනි පාදසටහන බලන්න.