1 සාමුවෙල් 31:1-13

31  පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළෝය.+ පරාජයට පත්වූ ඊශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන් වෙතින් පලා ගිය අතර ගිල්බෝවා කන්දේදී+ ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මැරුම් කෑවෝය.+  පිලිස්තිවරු සාවුල් රජු සහ ඔහුගේ පුත්‍රයන්ව ලුහුබඳිමින් ඔවුන් කිට්ටුවටම ආවෝය. බොහෝ වේලාවක් සටන් කළ පසු පිලිස්තිවරු සාවුල් රජුගේ පුත්‍රයන් වන යොනාතාන්වද+ අබිනාදාබ්වද+ මල්කී-ෂුවාවද+ මරා දැමුවෝය.  සාවුල් රජුට විරුද්ධව එල්ල කළ ප්‍රහාර එන්න එන්නම දරුණු අතට හැරිණ. දුනුවායන්ගේ ඉලක්කයට ගොදුරු වූ සාවුල් රජ බරපතළ ලෙස තුවාල ලැබුවේය.+  එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්*+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+  සාවුල් රජු මිය ගිය බව දැක+ ඔහුද තම කඩුවෙන් තමාටම ඇනගෙන මිය ගියේය.+  සාවුල් රජද ඔහුගේ පුත්‍රයන් තිදෙනාද ඔහුගේ ආයුධ දරන්නාද ඔහු සමඟ සිටි මුළු සෙනඟද එදින මැරුම් කෑවෝය.+  ඊශ්‍රායෙල් හමුදාව පලා ගිය බවත් සාවුල් රජු සහ ඔහුගේ පුත්‍රයන් මිය ගිය බවත් ආරංචි වූ විට තැනිතලාවේ හා යොර්දාන් ගඟ අසල පදිංචිව සිටි ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ ගම්බිම් අත්හැර පලා ගියෝය.+ පසුව පිලිස්තිවරු ඒ නුවරවලට පැමිණ ඒවායේ පදිංචි වූහ.+  මිය ගිය අයගේ වටිනා ඇඳුම් හා ආයුධ පැහැරගන්නා පිණිස+ පසුවදා පිලිස්තිවරු ගිල්බෝවා කන්දට ආවෝය. එවිට සාවුල් රජුගේ සහ ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ මළ සිරුරු එහි තිබෙන බව ඔවුහු දුටුවෝය.+  ඔවුහු සාවුල් රජුගේ හිස කපා+ ඔහුගේ ආයුධ ගලවා දැමුවෝය. ඉන්පසු ඔවුහු පිලිස්තිවරුන්ගේ දේශය පුරාම තිබූ දේවාලවලට+ හා දේශයේ ජීවත් වූ සෙනඟට ඒ ගැන දැනුම් දුන්නෝය.+ 10  පසුව ඔවුහු සාවුල් රජුගේ ආයුධ+ අෂ්ටොරෙත්ගේ දේවාලයේ+ තැබුවෝය. රජුගේ මළ සිරුර බෙත්-ෂාන් නුවරේ පවුර මත එල්ලුවෝය.+ 11  පිලිස්තිවරුන් සාවුල් රජුට කළ දේ යාබෙෂ්-ගිලියද්හි+ වැසියන්ට ආරංචි විය. 12  එවිට ඒ නුවරේ සිටි නිර්භීත මනුෂ්‍යයෝ රාත්‍රිය පුරා ගමන් කර බෙත්-ෂාන් නුවර වෙත ගියෝය. ඔවුහු පවුර මත එල්ලා තිබුණු සාවුල් රජුගේ සහ ඔහුගේ පුත්‍රයන්ගේ මළ සිරුරු බිමට බා ඒවා යාබෙෂ් වෙත ගෙන ගොස් ගින්නෙන් දවා දැමුවෝය.+ 13  පසුව ඔවුහු ඔවුන්ගේ ඇටකටු+ ගෙන යාබෙෂ්හි තිබූ කිහිරි ගස+ යට වළලා+ දවස් හතක් පුරා නිරාහාරව සිටියෝය.+

පාදසටහන්

මූ.අ., “අචර්මච්ඡේදිතයන්.”