1 කොරින්ති 4:1-21

4  යමෙකු අපව සැලකිය යුත්තේ ක්‍රිස්තුස් යටතේ වැඩ කරන සේවකයන්+ හා දෙවිගේ පරිශුද්ධ රහස්+ එළිදරව් කිරීමේ කාර්යය භාර දී ඇති අය+ ලෙසය.  යම් දෙයක් කෙනෙකුට භාර දී ඇත්නම්+ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ එය විශ්වාසවන්තව ඉටු කිරීමය.+  ඔබ හෝ මිනිසුන්ගේ යම් අධිකරණයක්+ හෝ මා විශ්වාසවන්තව කටයුතු කර තිබෙනවාද කියා මා ගැන විභාග කළත් මම එය බැරෑරුම් දෙයක් ලෙස නොසලකමි. මා ගැන එවැනි සෝදිසියක් මමවත් නොකරමි.  දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි.+ මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.+  එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්‍රශංසාව දෙවිගෙන් ලබයි.+  සහෝදරයෙනි, අපොලොස්වද මාවද උදාහරණයකට ගෙන ඔබට යමක් පැවසීමට කැමැත්තෙමි.+ ඒ ඔබේම යහපතටය. “ලියවිලිවල සඳහන් වී ඇති දේ ඉක්මවා යමින් ක්‍රියා නොකරන්න”+ යන ප්‍රතිපත්තිය අපි අදාළ කරගත්තෙමු. ඔබත් එහි ඇති වැදගත්කම තේරුම්ගන්නවා නම් තමන් අන් අයට වඩා උතුම් කියා සිතමින්+ අහංකාර වන්නේ නැත.+  ඔබ අන් අයට වඩා උතුම් කියා සිතීමට+ ඔබට තිබෙන පදනම කුමක්ද? ඔබ සතු දේවල් ඔබට ලැබුණේ දෙවිගෙන් නොවේද?+ එසේනම් ඔබ ඒ දේවල් දෙවිගෙන් ලැබුණු දේවල් ලෙස නොසලකා+ පුරසාරම් දොඩන්නේ ඇයි?+  ඔබ ලබාගන්න ආශාවෙන් සිටි සෑම දෙයක්ම ඔබ දැනටමත් ලබාගෙන අවසන්ද? ඔබ දැනටමත් ධනවත්ද?+ අප නැතුව ඔබ දැනටමත් රජකම් කරන්න පටන්ගෙනද?+ ඔබ රජකම් කරන්න පටන්ගෙන තිබෙනවා නම් මමද ඒ ගැන සතුටු වන්නෙමි. මන්ද එවැනි දෙයක් සිදු වුණා නම් අපටත් ඔබ සමඟම රජකම් කිරීමට හැකි වේ.+  මට නම් පෙනී යන්නේ මරණයට නියම කර ඇති මිනිසුන් ලෙස+ දෙවි අවසාන වශයෙන් සියලුදෙනා ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත්තේ නියෝජිතයන්* වන අපව බවය.+ මන්ද රංග භූමියක් මැද සිටින අය ලෙස+ අපි මිනිසුන්ගේද දේවදූතයන්ගේද+ මුළු මහත් මිනිස් වර්ගයාගේද+ අවධානයට ලක් වී සිටිමු. 10  අප ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වන නිසා අපව මෝඩයන් ලෙස සලකනු ලැබුවත්+ ඔබ සිතන්නේ ඔබ ක්‍රිස්තුස්ව අනුගමනය කරන නුවණැත්තන්+ කියාය. අප දුර්වලය.+ නමුත් ඔබ සිතන්නේ ඔබ ශක්තිමත් කියාය.+ ඔබ කීර්තිමත් අය ලෙස පෙනී සිටියත්+ අපව හෙළාදකිනු ලැබේ.+ 11  මේ අවස්ථාව වන තුරුම කුසට හරි හැටි අහරක් නොමැතිවද+ පිපාසයෙන්ද+ ප්‍රමාණවත් ඇඳුම් නොමැතිවද+ අඩන්තේට්ටම්වලට ලක් වෙමින්ද+ ඉඳුම්හිටුම් නොමැතිවද+ සිටීමට අපට සිදු වී ඇත. 12  අපි නිතරම වෙහෙස මහන්සිය නොබලා+ අපගේ අත්වලින් වැඩ කරන්නෙමු.+ අපට නින්දා කරන විට එසේ කරන අයට අපි ආශීර්වාද කරන්නෙමු.+ පීඩාවලට මුහුණ දෙන විට අපි ඒවා දරාගෙන සිටින්නෙමු.+ 13  අපව අපකීර්තියට ලක් කරන විට අපි කාරුණිකව කතා කරන්නෙමු.+ ලෝකයේ සිටින සියලුදෙනා මේ වන තුරු අපව සලකන්නේ කුණු කසළ හා සමානවය.+ 14  මා මේ දේවල් ගැන ලියන්නේ ඔබව අපහසුතාවට පත් කිරීමේ අදහසින් නොවේ. මා ඔබව සලකන්නේ මගේම ආදරණීය දරුවන් ලෙසයි.+ මා ඔබට මෙලෙස අවවාද කරන්නේ ඒ නිසාය. 15  සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+ 16  එහෙයින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මාව අනුකරණය කරන්න කියාය.+ 17  ඊට උපකාරයක් වශයෙන් මම තිමෝතිව ඔබ වෙතට එවන්නෙමි.+ ස්වාමීන් වෙනුවෙන් විශ්වාසවන්තව සේවය කරන ඔහු, මගේම දරුවෙක් හා සමානය.+ මා ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් සේවය කරමින් සෑම සභාවකටම ගොස් උගන්වන විට මා කටයුතු කරන ආකාරය ගැන ඔහු ඔබට පැහැදිලි කර දෙයි.+ 18  මා ඔබව හමු වීමට පැමිණෙන්නේ නැතැයි කියා සිතාගෙන සිටින ඇතැම් අය තම හිස් උදුම්මාගෙන සිටිති.+ 19  එවැනි අය කියන දේවල් දැනගැනීමට මම කිසි ලෙසකින්වත් උනන්දු වන්නේ නැත. කෙසේවෙතත් යෙහෝවා දෙවි කැමති නම්+ වැඩි කලක් යෑමට කලින් ඔබව හමු වීමට මට හැකි වෙයි. එවිට දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වෙනවාද කියා දැනගැනීමට මට පුළුවන. 20  මන්ද යමෙකුගේ ජීවිතය තුළින් දේවරාජ්‍යය සැබෑ බව ඔප්පු වන්නේ ඔහු පවසන දේවලින් නොවේ. ඔහු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීම තුළිනි.+ 21  ඔබ කැමති වන්නේ මා කුමක් සඳහා එනවාටද? කෝටුවක් රැගෙන දඬුවම් කිරීමට එනවාටද?+ නැත්නම් ප්‍රේමයෙන් හා මෘදුකමින් ඔබ ළඟට එනවාටද?+

පාදසටහන්

හෝ, “යවනු ලැබූවන්.”