Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ හස්තය කොට වී නැත

යෙහෝවාගේ හස්තය කොට වී නැත

විසිවන පරිච්ඡේදය

යෙහෝවාගේ හස්තය කොට වී නැත

යෙසායා 59:1-21

1. යූදාහි පවතින තත්වය කුමක්ද? බොහෝදෙනෙකුගේ සිතේ පහළ වන්නේ කිනම් ප්‍රශ්නයද?

 තමන් යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳී සිටින බව යූදා ජාතිය කියා සිටියි. ඒ වුණත්, ගැටලු දසත පැතිරී ඇත. අපරාධ සහ තැළීම් පෙළීම් දේශය වෙළාගෙන තිබේ. ඔවුන් යුක්තිය කියන වචනයේ අර්ථය පවා නොහඳුනන තරම්ය. තත්වය හොඳ අතට හැරෙයි කියා නම් කොහෙත්ම සිතිය නොහැකිය. යමක් හොඳටම වැරදී ඇති බව නිසැකය. යෙහෝවා මේ තත්වය ගැන කිසිවක් කරාවිද යන්න බොහෝදෙනෙකුට ප්‍රශ්නයකි. යෙසායාගේ කාලයේ පැවති තත්වය එය විය. එහෙත්, යෙසායාගේ මේ වාර්තාව නිකම්ම අතීතයේ සිදු වූ යමකට පමණක් සීමා නොවේ. දෙවිට නමස්කාර කරනවායැයි කියමින් ඔහුගේ නීති අණ පනත් උල්ලංගනය කරන ඕනෑම කෙනෙකුට මෙම වචනවල අනාවැකිමය අනතුරු ඇඟවීමක් අන්තර්ගතය. එමෙන්ම, දුෂ්කර සහ භයානක කාලවල ජීවත් වුණත්, යෙහෝවාට සේවය කිරීමට විශාල වෑයමක් දරන සියලුදෙනාටම යෙසායා 59වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති දේවානුභාවයෙන් යුත් අනාවැකිය උණුසුම් දිරිගැන්වීමක්ද ලබා දෙයි.

සැබෑ දෙවිගෙන් ඈත් වී

2, 3. යෙහෝවා යූදා වැසියන්ව ආරක්ෂා නොකරන්නේ මන්ද?

2 සිතා බලන්න! යෙහෝවා සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ දෙවිව අතහැර යෑමේ වරදට පෙලඹී ඇත. ඔවුන් තම මැවුම්කරුව එපා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට, ඔහුගේ රැකවරණය ඔවුන්ට අහිමි වී ඇත. මේ හේතුව නිසා ඔවුහු දරුණු විපත්තිවලට මුහුණ දෙති. ඇතැම්විට මේ දුෂ්කර තත්වය ගැන ඔවුන් දෙවිට දොස් කියනවා විය හැකිද? මේ ගැන යෙසායා මෙසේ කියයි. “බලව, ගළවන්ට බැරි ලෙස [යෙහෝවාගේ] අත කොටවෙලාවත් නෑසෙන ලෙස [ඔහුගේ] කන බිහිරිවෙලාවත් නැත. නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ [දෙවි] අතරේ වෙන්වීමක් කෙළේය, [ඔහු] නොඅසන ලෙස නුඹලාගේ පාපද [ඔහුගේ] මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.”—යෙසායා 59:1, 2.

3 එම වචන ඍජු මෙන්ම සත්‍යයයි. යෙහෝවා තවමත් ගැළවීමේ දෙවිය. යෙහෝවා ‘යාච්ඤා අසන තැනැත්තා’ හැටියට තම ඇදහිලිවන්තයන්ගේ යාච්ඤාවලට කන් දෙන්නේය. (ගීතාවලිය 65:2) කෙසේවෙතත්, ඔහු වැරදි කරන්නන්ට ආශීර්වාද කරන්නේ නැත. යෙහෝවාගෙන් ඈත්වීම ගැන එක් එක්කෙනා වගකිව යුතු විය. ජනයාගෙන් යෙහෝවා තම මුහුණ සඟවාගැනීමට හේතු වූයේ ඔවුන්ගේම දුෂ්ටකමයි.

4. යූදාවරුන්ට විරුද්ධව ඉදිරිපත් වී ඇති චෝදනා මොනවාද?

4 ඇත්ත වශයෙන්ම, යූදා වැසියන් නරක නාමයක් ඇති කරගෙන තිබේ. ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා කිහිපයක් ගැන යෙසායාගේ අනාවැකියේ සඳහන් වේ. “මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.” (යෙසායා 59:3) සෙනඟ බොරු කියනවා පමණක් නොව දුෂ්ට කතාවලද යෙදී සිටිති. ‘අත් ලෙයින් කිලුටු වී තිබේ’ කීමෙන් අදහස් කරන්නේ සමහරුන් මිනිමැරීමෙහි යෙදී සිටින බවය. ව්‍යවස්ථාවෙන් මිනිමැරීම තියා ‘තම සහෝදරයාට සිතින් වෛර කිරීම’ පවා තහනම් කළ දෙවිට මෙය මොනතරම් නින්දාවක්ද! (ලෙවී කථාව 19:17) යූදා වැසියන්ගේ පාලනය කළ නොහැකි පව්කාරකම සහ ඒ හේතුවෙන් අත් වූ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාක කියාපාන්නේ අපද පව්කාර සිතුවිලි සහ හැඟීම් පාලනය කරගත යුතු බවය. එසේ නොවුණොත්, දෙවිගෙන් ඉවත් වීමට සලස්වන පව්කාර ක්‍රියා කිරීමට එය අපව පෙලඹවිය හැක.—රෝම 12:9; ගලාති 5:15; යාකොබ් 1:14, 15.

5. යූදාහි දූෂිතකම කොතරම් දුරට ගොස් තිබේද?

5 පව්කාරකම නමැති රෝගය මුළු ජාතියටම බෝවී ඇත. අනාවැකියේ තවදුරටත් මේ ගැන කියන්නේ මෙසේයි. “ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.” (යෙසායා 59:4) කිසිම කෙනෙකු ධර්මිෂ්ඨකම ගැන කතා කරන්නේ නැත. උසාවියේදී පවා විශ්වාසවන්ත කෙනෙකුව සොයාගැනීම පහසු දෙයක් නොවේ. යූදා යෙහෝවා වෙතින් ඉවතට හැරුණු අතර, ඇගේ විශ්වාසය වෙනත් ජාතීන් කෙරෙහි පමණක් නොව පණ නැති පිළිම කෙරෙහිද තබා තිබේ. මේ සියල්ලම ‘හිස්කමක්’ නැතහොත් කිසිම වටිනාකමක් නැති දේවල්ය. (යෙසායා 40:17, 23; 41:29) ප්‍රතිඵලයක් හැටියට එකිනෙකා අතර බොහෝ කතා බහ සිදු කෙරුණත්, ඒ එකකින්වත් වැඩක් වන්නේ නැත. විවිධ දේ සැලසුම් කළත් ඒවායේ ප්‍රතිඵලය වන්නේ ගැටලු සහ කරදරමය.

6. ක්‍රිස්තියානි ලෝකයේ වාර්තාව යූදාහි වාර්තාවට සමාන වන්නේ කෙසේද?

6 යූදාහි පැවති දුෂ්ටකම සහ සැහැසියාව හා සමාන තත්වයක් ක්‍රිස්තියානි ලෝකයේද ඇත. (294වන පිටුවේ ඇති “ක්‍රිස්තියානි ලෝකයට සමානකම් කියන අභක්තික යෙරුසලම” නමැති කොටස බලන්න.) ක්‍රිස්තියානියැයි කියාගන්නා ජාතීන් ලෝකයේ මෙතෙක් සිදු වී ඇති කුරිරුම යුද්ධ දෙකට මුල් වී තිබේ. ක්‍රිස්තියානි ලෝකයේ සාමාජිකයන් විසින් සිදු කරන ජනවාර්ගික සහ ගෝත්‍රික සමූලඝාතන නැවැත්වීමට එහි කිසිම ආගමක් මේ දක්වා සමත් වී නැත. (2 තිමෝති 3:5) දෙවිගේ රාජ්‍යය කෙරෙහි විශ්වාසය තැබීමට යේසුස් තම ගෝලයන්ගෙන් ඉල්ලා සිටියත්, ක්‍රිස්තියානි ලෝකය එහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ හමුදාමය සහ දේශපාලනික කටයුතුවල නියුතු ජාතීන්ගෙන් සහය පැතීමටය. (මතෙව් 6:10) ඇත්ත වශයෙන්ම, ලෝකයේ ප්‍රධාන අවි නිපදවන ජාතීන්, ක්‍රිස්තියානි ලෝකයේ ජාතීන්ය! මෙසේ ක්‍රිස්තියානීන් අනාගතයේදී සුරක්ෂිතභාවය ලැබීමේ අරමුණෙන් මිනිස් ප්‍රයත්න සහ ආයතන කෙරෙහි විශ්වාසය තබද්දී ඔවුන් විශ්වාසය තබන්නේද “හිස්කම” කෙරෙහිය.

තිත්ත ඵල නෙළාගැනීම

7. යූදාගේ කිසිම සැලසුමක් ඵලදායක නොවන්නේ මන්ද?

7 රූප නමස්කාරයට සහ වංකකමට යහපත් සමාජයක් බිහි කිරීමට නොහැක. එවන් දේවල් මත යැපීමෙන්, නොඇදහිලිකාර යුදෙව්වෝ තමන් වැපිරූ දෙයෙහි ඵල නෙළාගනිමින් සිටිත්. අපට ඒ ගැන කියවීමට තිබෙන්නේ මෙසේයි. “ඔව්හු පොළොං බිජු රකිති, මකුළු දැල් වියති. ඔවුන්ගේ බිජු කන අය මැරෙති, බිඳෙන බිජුවෙන් පොළඟෙක් නික්මෙයි.” (යෙසායා 59:5) ආරම්භයේ සිට අවසානය දක්වා යුදෙව්වන්ගේ කිසිම සැලසුමක් සාර්ථක වී නැත. පොළොං බිත්තරයකින් පොළඟෙක් නික්මෙන්නාක් මෙන් ඔවුන්ගේ වැරදි සිතුවිලිවලින් නික්මෙන එක ප්‍රතිඵලයක්වත් ඵලදායක නොවන්නේය. ප්‍රතිඵලයක් හැටියට දේශය දුක් විඳියි.

8. යූදා වැසියන් තුළ වූ දුර්වල සිතුවිලි රටාව පෙන්වන්නේ කුමකින්ද?

8 සමහර යුදෙව්වන් තම ආත්ම ආරක්ෂාව උදෙසා සැහැසියාවේ යෙදීමට ඉඩ තිබුණත් ඉන් ඵලක් නොවනු ඇත. කාලගුණ තත්වයන්ගෙන් ආරක්ෂාව ලබා දීමට ඇඳුමකට මිස මකුළු දැලකට නොහැක. එලෙසම, තම ආරක්ෂාව සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබමින් ධර්මිෂ්ඨ ක්‍රියා කරනවා මිස, බාහිර බලවේගයන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් ඵලක් නොවනු ඇත. යෙසායා මේ ගැන කියන්නේ මෙසේය. “ඔවුන්ගේ නූල් [මකුළු දැල්] ඇඳුම්වලට ගන්ටවත් තමුන්ගේ වැඩවලින් ඇඟ වසාගන්ටවත් ඔවුන්ට බැරිවෙයි. ඔවුන්ගේ වැඩ අපරාධ වැඩය, බලාත්කාර ක්‍රියා කිරීමද ඔවුන්ගේ අත්වල තිබේ. ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු නිදොස් ලේ වැගිරවීමට ඉක්මන්වෙති. ඔවුන්ගේ සිතිවිලි අයුතුකමේ සිතිවිලිය; නාස්තිය හා විනාශය ඔවුන්ගේ මාවත්වල තිබේ.” (යෙසායා 59:6, 7) යූදාගේ සිතුවිලි රටාවේ විශාල දුර්වලකමක් ඇත. සැහැසියාවෙන් ප්‍රශ්න විසඳාගැනීමට යෑමෙන් ඇය අභක්තික ආකල්පයක් විදහාපාන්නීය. ඇයට ගොදුරු වන බහුතරයක් ජනයා කාටවත් හිංසාවක් නැති අය කියාවත්, එයිනුත් බොහෝදෙනෙකු දෙවිගේ සැබෑ සේවකයන් කියාවත් ඇය තුළ කිසිදු තැකීමක් නැත.

9. සැබෑ සමාදානය ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්ට අත් කරගත නොහැකි දෙයක් වී තිබෙන්නේ මන්ද?

9 දේවානුභාවය ලත් මේ වචනවලින් අපට මතක් කර දෙන්නේ ක්‍රිස්තියානි ලෝකයේ ලේවලින් තෙමී ගිය ඉතිහාස වාර්තාවයි. ක්‍රිස්තියානි ධර්මය වැරදි ලෙස අර්ථ දැක්වීම ගැන උත්තර බැඳීමට යෙහෝවා ඔවුන්ට අඬගසන බව නිසැකයි! යෙසායාගේ දවසේ සිටි යුදෙව්වන් මෙන් ක්‍රිස්තියානි ලෝකයද ඔවුන්ගේ නායකයන් ප්‍රායෝගිකයයි සිතූ විකෘති වූ සාරධර්ම පෙළක් අනුගමනය කරයි. ඔවුහු සාමය ගැන කතා කරමින්, අයුක්තිය කරත්. මොනතරම් පරස්පර විරෝධීකමක්ද! ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් මෙලෙස ක්‍රියා කරද්දී, සැබෑ සමාදානය ඔවුන්ට අත් කරගැනීමට නොහැකි දෙයක් වී ඇත. එය අනාවැකියේ කියා ඇති ලෙසටම සිදු වේ. “සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.”—යෙසායා 59:8.

ආත්මික අඳුරේ අතපත ගා යමින්

10. යූදා වැසියන් වෙනුවෙන් යෙසායා යෙහෝවා ඉදිරියේ ඔවුන්ගේ වැරදි පිළිගන්නේ කෙසේද?

10 යෙහෝවා යූදා වැසියන් ගත කරන රැවටිලිකාර හා විනාශකාරි මාර්ගවලට ආශීර්වාද කරන්නේ නැත. (ගීතාවලිය 11:5) මුළු ජාතිය වෙනුවෙන්ම කතා කරමින් යෙසායා යෙහෝවා ඉදිරියෙහි යූදා වැසියන්ගේ වැරදි පිළිගනියි. “විනිශ්චය අපෙන් දුරුව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය. අන්ධයන් මෙන් අපි භිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව. අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් [පරෙවියන්, NW] මෙන් කෙඳිරිගාමුව.” (යෙසායා 59:9-11අ) යුදෙව්වන් දෙවිගේ වචන ඔවුන්ගේ පාදයන්ට පහනක් සහ මාවතට එළියක් කරගෙන නොමැත. (ගීතාවලිය 119:105) එහි ප්‍රතිඵලයක් හැටියට සෑමතැනම අඳුරුය. මහ දවාලේ පවා ඔවුහු රාත්‍රියකදී මෙන් අතපත ගාමින් යති. ඔවුන් මිය ගියවුන් මෙන්ය. සහනයක් බලාපොරොත්තුවෙන් ඔවුහු බඩගින්නේ සිටින හෝ තුවාල වූ වලසුන් මෙන් ගොරවති. සමහරු පරෙවියන් මෙන් කෙඳිරිගාති.

11. යුක්තිය සහ ගැළවීම සම්බන්ධයෙන් යූදා වැසියන්ගේ බලාපොරොත්තු නිෂ්ඵල වන්නේ මන්ද?

11 යූදා වැසියන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු රැසට හේතුව ඔවුන් දෙවිට විරුද්ධව කැරලිගැසීම බව යෙසායා හොඳින් දනී. ඔහු මෙසේ කියයි. “අපි විනිශ්චය [යුක්තිය, NW] ගැන බලා සිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරුව තිබේ. මක්නිසාද අපේ අපරාධ [ඔබ] ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමග තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව. එනම් [යෙහෝවාට] විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ [දෙවි] වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.” (යෙසායා 59:11ආ-13) යූදාහි වැසියන් පසුතැවිලි නොවුණු නිසා, ඔවුන්ගේ පාප ඔවුන්ට විරුද්ධව නැඟී සිටියි. සෙනඟ යෙහෝවාව හැර ගොස් සිටින නිසා යුක්තියද දේශය හැරදා ගොසිනි. තමන් බොරුකාරයන් බව ඔප්පු කරමින් දිගින් දිගටම ඔවුහු තමන්ගේම සහෝදරයන්ව පෙළීමේද නිරතව සිටිත්. ඔවුන්ගේ ක්‍රියාකලාපය අද තිබෙන ක්‍රිස්තියානි ලෝකයට මොනතරම් සමානද! ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙකු යුක්තිය නොසලකා හැර තිබෙනවා පමණක් නොව, ඔවුහු දෙවිගේ කැමැත්ත කරන්න උත්සාහ කරන යෙහෝවාගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ටද පීඩා කරති.

යෙහෝවා යුක්තිය ඉටු කරයි

12. යූදාහි යුක්තිය ඉටු කළ යුතු වූ අය දැරූ ආකල්පය කුමක්ද?

12 යූදාහි යුක්තිය, ධර්මිෂ්ඨකම සහ සැබෑව පෙනෙන්න නැත. “යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.” (යෙසායා 59:14) යූදා නුවරේ දොරටු පිටුපස චතුරස්‍ර පිහිටා තිබෙන අතර, විනිශ්චමය කාරණා සලකා බැලීම සඳහා වැඩිමහල්ලෝ එහි රැස් වූහ. (රූත් 4:1, 2, 11) ඔවුන් ධර්මිෂ්ඨකමින් විනිශ්චය කළ යුතු වූ අතර, යුක්තිය ඉටු කළ යුතු විය. එමෙන්ම අල්ලස් පිළි නොගත යුතු විය. (ද්විතීය කථාව 16:18-20) එසේ කරනවා වෙනුවට, ඔවුහු තමන්ගේ ආත්මාර්ථකාමි ආශාවල් ලුහුබඳිති. ඊටත් වඩා භයානක දේ වූයේ, අවංකව කටයුතු කිරීමට වෑයම් කළ මනුෂ්‍යයාව ගොදුරක් බවට පත් කිරීමයි. අපට මෙසේ කියවීමට ඇත. “සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය.”—යෙසායා 59:15අ.

13. යූදාහි විනිශ්චයකරුවන් තමන්ගේ වැඩ කොටස හරිහැටි නොකරන නිසා, යෙහෝවා කරන්නේ කුමක්ද?

13 සාරධර්ම විකෘති කිරීමට එරෙහිව නැඟී සිටීමට අසමත් වූ අයට, දෙවි අන්ධ නැති බව නැතහොත් බල රහිත නොවන බව ඔවුන්ට අමතක වී ගොසිනි. යෙසායා මෙසේ ලියයි. ‘යෙහෝවා ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්න වූවේය. ඔහුද කිසිවෙකු නැති බව දැක, මැදහත්කාරයෙකු නැති බැවින් පුදුම වූයේය. ඒ නිසා ඔහුගේම බාහුව තමන්ට ගැළවීම ගෙනායේය; ඔහුගේම ධර්මිෂ්ඨකම ඔහුව ඉසුලුවේය.’ (යෙසායා 59:15ආ, 16) පත් කර ඇති විනිශ්චයකරුවන් තමන්ගේ වැඩ කොටස හරිහැටි නොකරන නිසා, යෙහෝවා ඊට මැදිහත් වනු ඇත. යෙහෝවා එසේ කරනු ඇත්තේ ධර්මිෂ්ඨකමිනුත් බලයෙනුත් යුතුවය.

14. (අ) අදදින සිටින බොහෝදෙනෙකුගේ ආකල්පය කුමක්ද? (ආ) යෙහෝවා තමන්ගේ විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට තමන්ව සූදානම් කරගන්නේ කෙසේද?

14 අදදිනත් එදා හා සමානම තත්වයක් පවතී. අප ජීවත් වන්නේ, “[සදාචාරකමේ, NW] හැඟීමක් නැතුව” ක්‍රියා කරන අය බහුතරයක් සිටින ලෝකයකය. (එපීස 4:19) පොළොව මත තිබෙන දුෂ්ටකම ඉවත් කිරීමට යෙහෝවා මැදිහත් වෙයි කියා සිතන්නේ ඉතාම අතළොස්සකි. එහෙත්, යෙසායාගේ අනාවැකිය පෙන්නුම් කරන්නේ යෙහෝවා මිනිසුන්ගේ කාරණා ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කරන බවයි. යෙහෝවා තමන්ගේ කාලසටහනට අනුව ක්‍රියා කරමින් විනිශ්චය ක්‍රියාත්මක කරන්නේය. ඔහුගේ විනිශ්චයන් සාධාරණද? යෙසායා පවසන්නේ ඒවා සාධාරණ බවයි. යූදා ජාතිය සම්බන්ධයෙන් ඔහු මෙසේ කියයි. “[ඔහු] යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද [පැළඳගත්තේය]; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන [සිටියේය]. (යෙසායා 59:17) මෙම අනාවැකියේ විස්තර කරන්නේ යෙහෝවා යුධ භටයෙකු මෙන් යුද්ධයට සැරසෙන ආකාරයයි. ඔහු ජයගන්නා බව නම් ස්ථිරය. ඔහුගේ ධර්මිෂ්ඨකම සම්පූර්ණය. එය කිසිදා පලුදු කළ නොහැකිය. එමෙන්ම, ඔහු අභීතව තම විනිශ්චයමය කාරණා හසුරුවනු ඇත. මේ නිසා ධර්මිෂ්ඨකම ක්‍රියාත්මක වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

15. (අ) යෙහෝවා තම විනිශ්චය ඉටු කරන විට සැබෑ ක්‍රිස්තියානීන් කටයුතු කරන්නේ කෙසේද? (ආ) යෙහෝවාගේ විනිශ්චයන් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

15 අදදින සමහර දේශවල, සත්‍යයට විරෝධය පාන්නෝ අපකීර්තියට පත් කරවනසුලු බොරු ප්‍රචාරයන් කරමින් යෙහෝවාගේ සෙනඟගේ වැඩයට බාධා කිරීමට උත්සාහ කරති. සැබෑ ක්‍රිස්තියානීන් සැබෑව වෙනුවෙන් නැඟී සිටීමට නොපැකිළුණත්, පෞද්ගලික පළිගැනීම් කිරීමට ඔවුහු නොපෙලඹෙති. (රෝම 12:19) යෙහෝවා අභක්තික ක්‍රිස්තියානි ලෝකයට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරමින් ඔවුන් මතට විනාශය ගෙනෙන විටද, පොළොවේ සිටින ඔහුගේ නමස්කාරකයන් ඊට හවුල් නොවනු ඇත. පළිගැනීම අයිති යෙහෝවාට බවත් කාලය පැමිණි විට යෙහෝවා සුදුසු පියවර ගන්නා බවත් ඔවුහු දනිති. අනාවැකියේ එම කාරණය ගැන සහතිකයක් ලබා දේ. “[ඔහු] ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; [ඔහු] දිවයින්වලට ප්‍රතිඵල [දෙන්නේය].” (යෙසායා 59:18) යෙසායාගේ කාලයේදී මෙන්, දෙවි තම විනිශ්චය සාධාරණ බව පමණක් නොව එය සම්පූර්ණ බවද පෙන්වනු ඇත. ඔහුගේ විනිශ්චය දුර ඈත පිහිටි “දිවයින්” කරාද ළඟා වන්නේය. කොතරම් දුර ඈතක ජීවත් වුවත්, යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන විට ඉන් බේරී සිටින්න කිසිවෙකුට නොහැකි වනු ඇත.

16. යෙහෝවාගේ ධර්මිෂ්ඨ විනිශ්චයේදී ගැළවෙන්නේ කවුද? ඔවුන් තම ගැළවීම මගින් ඉගෙනගන්නේ කුමක්ද?

16 ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරන අයව යෙහෝවා ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරයි. පොළොවේ එහා කොනේ සිට මෙහා කොන දක්වා සිටින එවැනි අයව ගළවනු ලබන බව යෙසායා කියයි. ඔවුන් යෙහෝවාගේ රැකවරණය අද්දකිමින් ඔහු කෙරෙහි ඇති භය සහ ගෞරවය ශක්තිමත් කරගනු ඇත. (මලාකී 1:11) අපට ඒ පිළිබඳව කියවීමට තිබෙන්නේ මෙසේය. ‘එවිට බස්නාහිර සිට යෙහෝවාගේ නාමයටත් නැඟෙනහිර සිට ඔහුගේ තේජසටත් මනුෂ්‍යයෝ භය වන්නෝය. මක්නිසාද යෙහෝවාගේ හුස්මෙන් [ආත්මයෙන්, NW] පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ [විපත්තිදායක, NW] ජලධාරාවක් මෙන් ඔහු එන්නේය.’ (යෙසායා 59:19) චණ්ඩ මාරුතයකදී වේගයෙන් ගසාගෙන යන ජලකඳකින් ඉදිරියේ තිබෙන සෑම දෙයක්ම සෝදා පාළු වී යන්නා සේ යෙහෝවා තම අරමුණ ඉෂ්ට කිරීමේදී ඇති වන බාධා ශුද්ධාත්මය මාර්ගයෙන් ගසාගෙන යන්න සලස්වන්නේය. මිනිසා සතු ඕනෑම බලයකට වඩා ඔහුගේ ශුද්ධාත්මය බලවත්ය. යෙහෝවා එම බලය මිනිසුන්ව සහ ජාතීන්ව විනාශ කිරීමට යොදාගනිද්දී, එමගින් පූර්ණ සාර්ථකත්වයක් ලබන බව නම් නිසැකය.

පසුතැවිලි වන අයට ඇති අපේක්ෂා සහ ආශීර්වාද

17. සියොන්හි මිදුම්කරුවා කවුද? ඔහු සියොන් මුදවාගත්තේ කවදාද?

17 මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, තමන්ව වහල්කමට විකුණා තිබූ ඉශ්‍රායෙල්වරයෙකුව වහල්භාවයෙන් නැවත මුදවාගැනීමට මිදුම්කරුවෙකුට හැකි විය. කලින් සාකච්ඡා කළ යෙසායාගේ අනාවැකියක පසුතැවිලි වන අයගේ මිදුම්කරුවා ලෙස යෙහෝවාව හඳුන්වා තිබුණි. (යෙසායා 48:17) යෙසායා 59වන පරිච්ඡේදයේද නැවත වරක් ඔහුව හඳුන්වා ඇත්තේ පසුතැවිලිවන්නන්ගේ මිදුම්කරුවා ලෙසයි. යෙහෝවාගේ පොරොන්දුව ගැන යෙසායා මෙසේ වාර්තා කරයි. “මිදුම්කාරයෙක් සියොන් වෙතටත් යාකොබ් තුළ අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතැයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 59:20) මේ සැනසිලිදායක පොරොන්දුව පො.යු.පෙ. 537දී ඉටු විය. ඊට අමතර ඉටුවීමක්ද ඇත. ප්‍රේරිත පාවුල් මේ වචන සෙප්ටූඅජින්ට් අනුවාදයෙන් උපුටා දක්වමින් ක්‍රිස්තියානීන්ට අදාළ කරයි. ඔහු මෙසේ ලියයි. ‘මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කරු එන්නේය; ඔහු යාකොබ්ගෙන් අභක්තිය දුරු කරන්නේය. මා ඔවුන්ගේ පාප දුරලන කල ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මේයයි ලියන ලද්දේය.’ (රෝම 11:26, 27) ඇත්ත වශයෙන්ම, යෙසායාගේ අනාවැකියට පුළුල් අදාළ වීමක් ඇත. එය අපේ කාලයටත් ඉන් එහාටත් දිවයයි. ඒ කෙසේද?

18. ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ යෙහෝවා විසින් බිහි කරනු ලැබුවේ කෙසේද? කවදාද?

18 පොදු යුගයේ මුල් සියවසේදී, ඉශ්‍රායෙල් ජාතියේ සුළුතරයක් යේසුස්ව මෙසියස් හැටියට පිළිගත්තෝය. (රෝම 9:27; 11:5) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී, යෙහෝවා තම ඇදහිලිවන්තයන් 120දෙනෙකු මත පමණ ශුද්ධාත්මය වැගිරූ අතර, යේසුස් ක්‍රිස්තුස් මැදහත්කාරයා ලෙස කටයුතු කරන අලුත් ගිවිසුමටද ඔවුන්ව ඇතුල් කරගත්තේය. (යෙරෙමියා 31:31-33; හෙබ්‍රෙව් 9:15) එම දිනයේදී, ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ උපත ලැබීය. ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ගෙන් නොව, දෙවිගේ ආත්මයෙන් උත්පාදනය කරනු ලැබූ අලුත් ජාතියක් විය. (ගලාති 6:16) එම ජාතියට අචර්මච්ඡේදිත අන්‍ය ජාතීන්ද ඇතුළත් වූ අතර, කොර්නේලියස් මුල්ම අචර්මච්ඡේදිත අන්‍ය ජාතිකයා විය. (ක්‍රියා 10:24-48; එළිදරව් 5:9, 10) මෙසේ ඔවුන්ව යෙහෝවා දෙවි විසින් තෝරාගත් අතර, ඔවුහු ඔහුගේ ආත්මික දරුවන් සහ යේසුස්ගේ හවුල් උරුමක්කාරයන් වූහ.—රෝම 8:16, 17.

19. දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ යෙහෝවා එළඹෙන ගිවිසුම කුමක්ද?

19 යෙහෝවා දැන් දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ ගිවිසුමක් ඇති කරගනී. “තවද: ඔවුන් සමග කරන මාගේ ගිවිසුම මේයයි [යෙහෝවා කියන්නේය]. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 59:21) මේ වචන යෙසායා සම්බන්ධයෙන් ඉටු වුණත් නැතත් යේසුස් තුළ නම් ස්ථිරවම ඉටු විය. ඔහු තම ‘පැවත එන්නන්ව දකින’ බව යේසුස්ට සහතික කර තිබුණි. (යෙසායා 53:10) යේසුස් කතා කළේ ඔහු යෙහෝවාගෙන් ඉගෙනගෙන තිබූ වචනයි. එමෙන්ම යෙහෝවාගේ ආත්මය ඔහු කෙරෙහි විය. (යොහන් 1:18; 7:16) ඔහුගේ සහෝදරයන් සහ හවුල් උරුමක්කාරයන් වන දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයෝද යෙහෝවාගේ ශුද්ධාත්මය ලබා ඔවුන්ගේ ස්වර්ගීය පියාගෙන් ඉගෙනගත් පණිවිඩය දේශනා කරති. ඔවුහු සැමෝම “[යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති.” (යෙසායා 54:13; ලූක් 12:12; ක්‍රියා 2:38) යෙහෝවා යෙසායා හෝ ඔහුගෙන් සංකේතවත් වන යේසුස් මාර්ගයෙන් හෝ නැවත කිසිදාක වෙනස් නොවන මේ ගිවිසුමට එළඹෙන්නේ, ඔවුන්ව තම සාක්ෂිකරුවන් ලෙස සදාකාලයටම පාවිච්චි කිරීම සඳහායි. (යෙසායා 43:10) කෙසේවෙතත්, මේ ගිවිසුමෙන් ප්‍රයෝජන ලබන ඔවුන්ගේ “මාංසයෙන් පැවතඑන්නන්” කවුරුන්ද?

20. යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුව මුල් සියවසේදී ඉටු වූයේ කෙසේද?

20 පුරාණ දවස්වලදී යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු විය. “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:18) මෙයට එකඟව මෙසියස්ව පිළිගත් ස්වාභාවික ඉශ්‍රායෙල්ගේ කුඩා සමූහයක් ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය දේශනා කරමින් බොහෝ ජාතීන් වෙත පිය නැඟීය. ආබ්‍රහම්ගේ වංශය වන යේසුස් කරණකොටගෙන ‘ආශීර්වාද ලැබීම’ අචර්මච්ඡේදිත අන්‍ය ජාතිකයෙක් වූ කොර්නේලියස්ගෙන් ඇරඹුණි. එතැන් සිට මේ අන්‍ය ජාතීන් දෙවිගේ ඉශ්‍රායෙල්ගේ කොටසක් බවට හා ආබ්‍රහම්ගේ වංශයේ දෙවන කොටස බවට පත් විය. ඔවුන් ‘අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට ඔවුන්ව කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස’ තෝරාගනු ලැබූ යෙහෝවාගේ ‘ශුද්ධ වූ ජාතියේ’ කොටසකි.—1 පේතෘස් 2:9; ගලාති 3:7-9, 14, 26-29.

21. (අ) වර්තමාන කාලයේ සිටින දෙවිගේ ඉශ්‍රායෙල්ගෙන් “පැවතඑන්නන්” කවුරුන්ද? (ආ) දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ යෙහෝවා කරගෙන තිබෙන ගිවිසුම මෙම “පැවතඑන්නන්” තුළ ඇති කර තිබෙන නිසැකකම කුමක්ද?

21 අද දින දෙවිගේ ඉශ්‍රායෙල්ගේ මුළු සංඛ්‍යාවම තෝරාගෙන ඇති බව පෙනේ. එසේ වුවත්, ජාතීහු දිගටම විශාල පරිමාණයකින් ආශීර්වාද භුක්ති විඳිමින් සිටිති. ඒ කෙසේද? දෙවිගේ ඉශ්‍රායෙල්ගෙන් “පැවතඑන්නන්” වන්නේ, පාරාදීස පොළොවක සදාකාල ජීවිතය ලැබීමේ බලාපොරොත්තුව ඇති යේසුස්ගේ ගෝලයන්ය. (ගීතාවලිය 37:11, 29) මේ ‘පැවතෙන්නන්ද’ යෙහෝවාගෙන් ඉගෙනගෙන තිබෙන අතර, ඔහුගේ මාර්ගවලට එකඟව ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා තිබේ. (යෙසායා 2:2-4) ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරනු නොලැබුවත්, අලුත් ගිවිසුමේ පංගුකාරයන් නොවුවත්, දේශනා සේවය වැළැක්වීමට සාතන් ගෙනෙන ඕනෑම බාධකයක් ජයගැනීම සඳහා ඔවුන් යෙහෝවාගේ ශුද්ධාත්මයෙන් ශක්තිය ලබාගෙන ඇත. (යෙසායා 40:28-31) ඔවුන්ගේ සංඛ්‍යාව දැන් දශලක්ෂ ගණනාවක් වී ඇති අතර, තම පැවතෙන්නන්ව බිහි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගණන එන්න එන්නම වැඩි වී ඇත. තමා වෙනුවෙන් සදාකාලයටම කතා කිරීමට ආලේප ලත් අය සමඟ යෙහෝවා කර තිබෙන ගිවිසුම තමන්වද යෙහෝවා විසින් ඒ ආකාරයට යොදාගනු ලබන බවට මේ “පැවතඑන්නන්” තුළ නිසැකකමක් ඇති කර තිබේ.—එළිදරව් 21:3, 4, 7.

22. අපට යෙහෝවා ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? මෙය අපට බලපෑ යුත්තේ කෙසේද?

22 එසේ නම්, අපි සියලුදෙනාම යෙහෝවා කෙරෙහි අපේ ඇදහිල්ල පවත්වමු. අපව ගළවාගැනීමට කැමැත්ත මෙන්ම හැකියාවත් ඔහු සතුය. ඔහුගේ හස්තය කිසිදාක කොට නොවනු ඇත. යෙහෝවා සැමවිටම ඔහුගේ ඇදහිලිවන්ත සෙනඟව ගළවාගනු ඇත. ඔහු කෙරෙහි විශ්වාසය තබන සියල්ලෝම ඔහුගේ ශුභාරංචියේ වචනය “මෙතැන් පටන් සදාකාලේටම” ඔවුන්ගේ මුඛයේ තබාගනු ඇත.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[294වන පිටුවේ කොටුව]

“ක්‍රිස්තියානි ලෝකයට සමානකම් කියන අභක්තික යෙරුසලම”

දෙවිගේ තෝරාගත් ජාතියේ අගනුවර වන යෙරුසලමෙන් නියෝජනය වන්නේ ආත්මික මැවිලිවලින් සමන්විත දෙවිගේ ස්වර්ගීය සංවිධානයයි. ක්‍රිස්තුස්ගේ මනාලිය වශයෙන් ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන ආලේප ලත් ක්‍රිස්තියානීන්ද එහි කොටසක් වේ. (ගලාති 4:25, 26; එළිදරව් 21:2) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී, යෙරුසලමේ වැසියන් යෙහෝවා ඉදිරියේ නොඇදහිලිකාර අන්දමින් ක්‍රියා කළ අතර, එම නුවර හැඳින්වූයේ වේශ්‍යාවක් සහ කාමමිථ්‍යාචාරික තැනැත්තියක් හැටියටයි. (එසකියෙල් 16:3, 15, 30-42) ඒ ආකාරයට යෙරුසලම අභක්තික ක්‍රිස්තියානි ලෝකය ගැන පැහැදිලි කිරීමට උචිත සාදෘශ්‍යයක් විය.

යේසුස් යෙරුසලම හැඳින්වූයේ ‘අනාගතවක්තෘවරුන් මරන්නාවූ ඈ ළඟට එවූවන්ට ගල් ගසන්නාවූ’ තැනැත්තියක් ලෙසය. (ලූක් 13:34; මතෙව් 16:21) අභක්තික යෙරුසලම මෙන් ක්‍රිස්තියානි ලෝකයත් සැබෑ දෙවිට සේවය කරන බව කියා සිටියත් ඔහුගේ ධර්මිෂ්ඨ මාර්ගවලින් සහමුලින්ම ඉවතට ගොස් සිටියි. යෙහෝවා අභක්තික යෙරුසලම විනිශ්චය කළ ධර්මිෂ්ඨ ප්‍රමිතියෙන්ම ක්‍රිස්තියානි ලෝකයද විනිශ්චය කරයි කියා නිසැක වීමට අපට හැකිය.

[296වන පිටුවේ පින්තූරය]

විනිශ්චයකරුවෙකු ධර්මිෂ්ඨකමින්ද, යුක්තියෙන්ද විනිශ්චය කළ යුතු අතර, අල්ලස් නොගත යුතුය

[298වන පිටුවේ පින්තූරය]

වේගයෙන් ගලා බසින ජලධාරාවක් මෙන්, යෙහෝවා තම අරමුණට විරුද්ධව තිබෙන සියලු බාධක ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක වනු ඇත

[302වන පිටුවේ පින්තූරය]

තමන් වෙනුවෙන් සාක්ෂි දැරීමේ වරප්‍රසාදය තම සෙනඟට කවදාවත්ම අහිමි නොවන බව හුවා දක්වන ගිවිසුමකට යෙහෝවා එළඹෙන්නේය