එසකියෙල් 16:1-63

16  යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය.  “මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලම් දියණියට ඇය කරන පිළිකුල්සහගත ක්‍රියා+ ගැන දන්වන්න.+  ඔබ ඇයට මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි යෙරුසලම් දියණියට පවසන්නේ මෙයයි. “ඔබ පැමිණියේ කානානිවරුන්ගේ දේශයෙනි.+ ඔබ උපත ලැබුවේ එහිදීය. ඔබේ පියා අමෝරි ජාතිකයෙකි.+ මව හිත්තී ජාතික+ ස්ත්‍රියකි.  ඔබ උපන් දවසේදී+ ඔබේ පෙකණිවැල කපා තිබුණේ නැත. ඔබව නහවා තිබුණේවත් ඔබේ සිරුරේ ලුණු ගල්වා තිබුණේවත් නැත. ඔබව රෙදිකඩකින් ඔතා තිබුණේද නැත.  ඔබට අනුකම්පා කර ඒ කිසිවක් කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වූයේ නැත.+ ඔබ උපන් දවසේදී ඔබ ගැන පිළිකුලක් ඇති වූ නිසා ඔබව එළිමහනේ කෙතක දමා යන ලදි.  “‘“මමද එතැන පසු කරමින් යද්දී ලෙයින් තැවරී දඟලමින් සිටින ඔබව දුටිමි. එවිට ලෙයින් තැවරී සිටි ඔබට, ‘ජීවත් වන්න’ කියා මම පැවසුවෙමි.+ එසේ කියා මම ඔබට ජීවිතයක් දුනිමි.  මම ඔබව උස් මහත් කර සරුසාරව වැඩෙන කෙතක් හා සමානව වර්ධනය වීමට සැලැස්වූවෙමි.+ ඔබ උස මහතින් වැඩී සියලු වටිනා ආභරණවලින්ද සැරසී සිටියෙහිය.+ නිරුවතින් සිටි ඔබට දිගු වරලසක්ද මනාව වැඩුණු පියයුරුද තිබිණ.”’  “‘පසුව මා නැවත ඔබ සිටි තැන පසු කරමින් යද්දී ඔබ පෙම් කරන වයසට එළඹ ඇති බව මම දුටිමි.+ එවිට මාගේ වස්ත්‍රය ඔබ මතට එළා ඔබේ නිරුවත වසා දැමුවෙමි.+ මම ඔබට පොරොන්දුවක් දෙමින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය. ‘මම එසේ කර ඔබව අයිති කරගතිමි.+  මම ඔබව නහවා+ ඔබේ ඇඟේ තැවරී තිබුණු ලේ සෝදාහැර ඔබේ සිරුරේ තෙල් ගැල්වූවෙමි.+ 10  මෝස්තර දමා මැසූ වස්ත්‍රයක් ඔබට අන්දවා+ සීල් මත්ස්‍යයාගේ හම්වලින් සෑදූ වහන් පැළඳුවෙමි.+ ඔබේ හිස සිහින් ලිනන් රෙද්දකින් වසා+ අගනා වස්ත්‍රවලින් ඔබව සැරසුවෙමි. 11  ඔබේ දෑතට වළලුද+ ගෙලට මාලයක්ද+ දමා ඔබට විවිධ ආභරණ පැළඳුවෙමි. 12  ඔබේ නාසයට ආභරණයක්ද+ කන්වලට කරාබුද+ ඔබේ හිසට අලංකාර ඔටුන්නක්ද මම දැමුවෙමි.+ 13  මම රනින් හා රිදීවලින් ඔබව සැරසුවෙමි. සිහින් ලිනන් හා වෙනත් අගනා රෙදිවලින් නිමැවූ වස්ත්‍රද මෝස්තර දමා මැසූ වස්ත්‍රයක්ද ඔබට ඇන්දුවෙමි.+ ඔබ ආහාරයට ගත්තේ සිහින් පිටි, මීපැණි හා තෙල්ය.+ ඔබ ඉතා රූමත් වී රාජකීය ගෞරවය ලබන්න සුදුසු තැනැත්තියක බවට පත් විය.’”+ 14  “‘ඔබ කොතරම් රූමත් වූවාද කිවහොත් ජාතීහු පවා ඔබ ගැන කතා කළෝය. එසේ වූයේ මාගේ තේජසින් ඔබව අලංකාරවත් කළ නිසාය.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 15  “‘එහෙත් ඒ රූමත්කම ඔබේ ආඩම්බරකමට හේතු විය.+ ඔබේ කීර්තිය අතකොළුවක් කරගෙන ඔබ රාගයෙන් මත්ව මඟ යන එන සෑම කෙනෙකු සමඟම+ වේශ්‍යාකම් කරමින් ගණිකාවක් බවට පත් විය.+ ඔවුහුද ඔබේ රූ සපුවෙන් වින්දනයක් ලැබුවෝය. 16  ඔබේ වස්ත්‍රවලින් කිහිපයක් රැගෙන ඔබ විසිතුරු, වර්ණවත් පූජනීය ස්ථාන සාදාගත්තෙහිය.+ එම ස්ථානවල ඔබ වේශ්‍යාකම් කළෙහිය.+ මෙවැනි දේවල් නම් කිසිසේත් සිදු විය යුතු දේවල් නොවේ. 17  මා ඔබට දුන් අලංකාර රන් හා රිදී ආභරණවලින්+ ඔබ පුරුෂයන්ගේ රූප සාදාගෙන+ ඒවා ඉදිරියෙහි වේශ්‍යාකම් කළෙහිය.+ 18  ඔබ එම රූප ආවරණය කළේ මෝස්තර දමා මැසූ ඔබේ වස්ත්‍රවලිනි. මා ඔබට දුන් තෙල් හා සුවඳ ද්‍රව්‍යද+ ඔබ ඒවා ඉදිරියේ තැබුවෙහිය. 19  මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” 20  “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+ 21  ඔබ මාගේ පුතුන්ව මරා දැමුවෙහිය.+ ඔවුන්ව ගින්නෙන් දවා* එම රූපවලට පිදුවෙහිය.+ 22  මේ පිළිකුල්සහගත ක්‍රියා හා වේශ්‍යාකම් කරන අතරතුරේදී ඔබට ඔබේ ළමා කාලය සිහි වූයේ නැත. ඔබ නිරුවත්ව ලෙයින් තැවරී දඟලමින් සිටි කාලය ඔබේ මතකයට නැඟුණේ නැත.+ 23  (එහෙයින්, “ඔබට අත් වන්නේ මහත් විපතකි”+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසයි.) නොනවත්වාම මේ නපුරුකම්වල නියැලුණු ඔබ 24  පස්වලින් ගොඩැලි තනා සෑම ප්‍රධාන මංසන්ධියකම වෙනත් දෙවිවරුන්ට පූජනීය ස්ථාන ඉදි කළෙහිය.+ 25  ඔබ සෑම මංසන්ධියකම ඉදි කළ එම ස්ථානවලදී+ ඔබේ රූමත්කම ප්‍රයෝජනයට ගෙන පිළිකුල්සහගත දේවල් කළෙහිය.+ ඔබව පසු කරගෙන යන සෑම කෙනෙකු පසුපස ගොස්+ ඔබ ඉවක්බවක් නැතුව වේශ්‍යාකම් කළෙහිය.+ 26  අධික කාමාශාවෙන් මත්ව සිටින+ ඔබේ අසල්වාසීන් වන ඊජිප්තුවේ පුත්‍රයන් සමඟද ඔබ වේශ්‍යාකම් කළෙහිය.+ ඔබ තව තවත් වේශ්‍යාකම්වල යෙදුණේ මාව උදහස් කරන පිණිසය. 27  බලන්න! මම ඔබට විරුද්ධව මාගේ හස්තය ඔසවා+ ඔබට හිමි වූ කොටස අඩු කරන්නෙමි.+ ඔබට වෛර කරන ස්ත්‍රීන්+ එනම්, ඔබේ නින්දිත හැසිරීම නිසා මහත් සේ ලැජ්ජාවට පත්ව සිටින+ ෆිලිස්තියේ දූවරුන්ගේ+ අතට මම ඔබව හසු කර දෙන්නෙමි.+ 28  “‘ඔබේ කාමාශාව සන්සිඳුවා ගත නොහැකි වූ නිසා ඔබ ඇසිරියාවේ පුත්‍රයන් සමඟද වේශ්‍යාකම් කළෙහිය.+ ඔවුන් සමඟ වේශ්‍යාකම් කළත් ඔබ තෘප්තියට පත් වුණේ නැත. 29  එහෙයින් ඔබ කානාන් දේශයේ වැසියන් සමඟත්+ කල්දිවරුන් සමඟත් නිරතුරුව වේශ්‍යාකම් කළෙහිය.+ එයින්වත් ඔබ තෘප්තියට පත් වුණේ නැත.’ 30  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ඔබ කිසි ලැජ්ජාවක් භයක් නැති ගණිකාවකි!+ ඔබ කළ මේ දේවල් නිසා මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙන්නේය!+ 31  ඔබ පස්වලින් ගොඩැලි තනා සෑම ප්‍රධාන මංසන්ධියකම වෙනත් දෙවිවරුන්ට පූජනීය ස්ථාන ඉදි කළෙහිය. එහෙත් ඔබ නම් සාමාන්‍ය ගණිකාවකට වඩා වෙනස්ය. මන්ද ඔබේ සේවාවන් සඳහා ඔබ කුලියක් ගැනීමට අකමැති විය. 32  සාමාන්‍යයෙන් අනාචාරයෙහි* යෙදෙන ස්ත්‍රියක ඇසුරු කරන්නේ තම සැමියා සමඟ නොව වෙනත් පුරුෂයන් සමඟය.+ 33  ඒ වගේම ගණිකාවන් සමඟ ඇසුරු කරන පුරුෂයෝ ඔවුන්ට තෑගි දීමට පුරුදුව සිටිති.+ නමුත් ඔබ ඊට වඩා වෙනස්ය. ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින සියලුදෙනාටම ඔබ තෑගි දෙන්නෙහිය.+ ඔබ සමඟ වේශ්‍යකම් කිරීමට දස දෙසින් මිනිසුන්ව ඇදගැනීම සඳහා ඔබ ඔවුන්ට අල්ලස් දෙන්නෙහිය.+ 34  වේශ්‍යාකම් කරන වෙනත් ස්ත්‍රීන්ට වඩා ඔබ හාත්පසින්ම වෙනස්ය. ඔබ කරන ආකාරයේ වේශ්‍යාකමක් කෙදිනකවත් සිදු වී නැත. මන්ද ඔබ ඔවුන්ට මුදල් දෙනවා මිස ඔවුන්ගෙන් කිසි මුදලක් ලබාගන්නේ නැත.’ 35  “ගණිකාව,+ යෙහෝවා දෙවිගේ වචනයට සවන් දෙන්න.+ 36  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඔබ අධික කාමාශාවෙන් මත්ව සිටින්නෙහිය.+ ඔබ කෙරෙහි රාගයෙන් මත්ව සිටින අය+ ඉදිරියෙත් ඔබේ පිළිකුල්සහගත රූප ඉදිරියෙත්+ ඔබේ නිරුවත පෙන්වමින්+ වේශ්‍යාකම් කළෙහිය. ඒ රූප ඉදිරියේ ඔබේ පුතුන්ගේ ලේ පවා ඔබ පූජා කළෙහිය.+ 37  ඒ නිසා ඔබ කෙරෙහි රාගයෙන් මත්ව ඔබෙන් මහත් වින්දනයක් ලැබූ සියලුදෙනාවත් ඔබ පෙම් කළ සියලුදෙනාවත් ඔබ වෛර කළ සියලුදෙනාවත් ඔබට විරුද්ධව රැස් කරන්නෙමි. දස දෙසින් පැමිණෙන ඔවුන්ට ඔබේ නිරුවත පෙනෙන පිණිස මම ඔබේ වස්ත්‍ර ගලවා දමන්නෙමි.+ 38  “‘අනාචාර ස්ත්‍රීන්ට+ හා ලේ වගුරුවන ස්ත්‍රීන්ට ලැබිය යුතු විනිශ්චය මම ඔබට දෙන්නෙමි.+ මාගේ දැවෙන උදහස ඔබ පිට වගුරුවා ඔබේ ලේ හළන්නෙමි.+ 39  මම ඔවුන්ගේ අතට ඔබව හසු කර දෙන්නෙමි. ඔවුහු ඔබ ඉදි කළ ගොඩැලි බිමට සමතලා කර+ ඔබ ගොඩනැඟූ පූජනීය ස්ථාන කඩා බිඳ දමන්නෝය.+ ඔවුහු ඔබේ වස්ත්‍රද+ ඔබේ අලංකාර ආභරණද ගලවා දමා+ ඔබව නිරුවත් කර ඔබව අත්හරිනවා ඇත. 40  පසුව ඔවුහු ඔබට විරුද්ධව සමූහයක් රැස් කර+ ඔබට ගල් ගසා+ ඔවුන්ගේ කඩුවලින් ඔබව මරා දමන්නෝය.+ 41  ඔවුහු ඔබේ නිවෙස්වලට ගිනි තබා+ බොහෝ ස්ත්‍රීන් ඉදිරියේම ඔබට දඬුවම් කරනවා ඇත.+ මෙලෙස, මම ඔබ කරන වේශ්‍යාකම් නතර කර දමන්නෙමි.+ ඔබ තවදුරටත් ඔබේ පෙම්වතුන්ට කුලී නොගෙවන්නෙහිය. 42  එවිට මාගේ උදහස නිවී යන්නේය.+ මාගේ දැවෙන කෝපය සන්සිඳෙනු ඇත.+ මාගේ සිතින් අමනාපය ඉවත් කර මම සන්සුන් වෙමි.’ 43  “‘ඔබේ යොවුන් විය අමතක කර+ ඔබ කළ සෑම දෙයකින්ම මාව කුපිත කළෙහිය.+ එමනිසා ඔබ කළ සියලු දේවල ප්‍රතිඵල මම ඔබ පිටටම ගෙනෙන්නෙමි.+ තවදුරටත් ඔබේ පිළිකුල්සහගත ක්‍රියාද ඔබේ නින්දිත හැසිරීමද දක්නට ලැබෙන්නේ නැත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. 44  “‘බලන්න! ජනයා ඔබව පෙන්වා, “අම්මා වගේමයි දුවත්”+ යන කියමන පවසනු ඇත.+ 45  ඒ දුව ඔබය. ඔබ වගේම ඔබේ මවත්+ ඇගේ පුරුෂයාව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවාය.+ ඔබ වගේම ඔබේ සහෝදරියෝද ඔවුන්ගේ පුරුෂයන්ව හා පුතුන්ව පිළිකුල් කොට සැලකුවෝය. ඔබ සැමගේ මව හිත්තී ජාතික ස්ත්‍රියකි.+ ඔබේ පියා අමෝරිවරයෙකි.’”+ 46  “‘ඔබේ වැඩිමල් සොහොයුරිය නම් ඔබට වම් පසින් පිහිටි සමාරිය+ හා ඒ අවට තිබෙන නුවරවල්ය.+ ඔබේ බාල සොහොයුරිය නම් ඔබට දකුණු පසින් පිහිටි සොදොම+ හා ඒ අවට තිබෙන නුවරවල්ය.+ 47  ඔබ ඔවුන් හැසිරුණු ආකාරයටත් ඔවුන් කළ පිළිකුල්සහගත දේවලටත් අනුව ක්‍රියා කළා පමණක් නොව,+ වැඩි කල් නොගොස් ඔබ ඊටත් වඩා නින්දිත ලෙස හැසිරෙන්න පටන්ගත්තෙහිය.’+ 48  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඔබේ සොහොයුරිය වූ සොදොම හා ඒ අවට පිහිටි නුවරවල් පවා ඔබ හා ඔබ අවට පිහිටි නුවරවල් තරම් දරුණු විදිහට ක්‍රියා කර නැත කියා ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි.+ 49  ඔබේ සොහොයුරිය වූ සොදොම හා ඒ අවට පිහිටි නුවරවල් කළ වරද නම් උඩඟු ලෙස ක්‍රියා කිරීමත්+ අනුන් ගැන නොතකා+ තමන් ලැබූ සමෘද්ධිය ගැන සතුටු වී කා බී තෘප්තියට පත්ව සිටීමත්ය.+ ඇය තමන්ගේ වැසියන්ටවත් අවට නුවරවල වැසියන්ටවත්+ පීඩාවට පත්වූවන්ටවත්+ දුප්පතුන්ටවත් අතහිත දුන්නේ නැත.+ 50  ඔවුන්ගේ අහංකාරකමට නිමක් නොවීය.+ ඔවුහුද දිගටම මා ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියා කළෝය.+ ඒ නිසා ඔවුන්ව තුරන් කර දැමීමට මම තීරණය කළෙමි.+ 51  “‘සමාරිය+ ඔබ කළ පාපවලින් අඩක්වත් කළේ නැත. ඔබ ඔවුන්ට වඩා බොහෝ සෙයින් පිළිකුල්සහගත දේවල් කළෙහිය. ඔබ කළ පිළිකුල්සහගත ක්‍රියා හා සසඳද්දී ඔබේ සොහොයුරියන් ඔබට වඩා ධර්මිෂ්ඨය.+ 52  ඔබ ක්‍රියා කර ඇති ආකාරය නිසා ඔබේ සහෝදරියන් ඔබට වඩා නිදොස් බව පෙනේ. එහෙයින් ඔබ බොහෝ සෙයින් ලැජ්ජාවටත් නින්දාවටත් පත් වෙනවා ඇත. මන්ද ඔබ කළ පිළිකුල්සහගත දේවල් හා සසඳා බලද්දී ඔබේ සහෝදරියන් ඔබට වඩා ධර්මිෂ්ඨ බව පෙනේ.+ ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම නින්දාවට ලක් වනු ඇත.’ 53  “‘එහෙත් මම සොදොම හා ඒ අවට නුවරවල වහලුන්ටද සමාරියේ හා ඒ අවට නුවරවල වහලුන්ටද නිදහස දෙන්නෙමි.+ ඔවුන් අතරේ සිටින ඔබේ වහලුන්ටද නිදහස දෙන්නෙමි.+ 54  එහෙත් ඔබ කළ සියලු දේවල් නිසා ඔබ ලැජ්ජාවට පත් වන්නෙහිය.+ ඔබේ නින්දාව ඔබට දරාගැනීමට සිදු වෙයි. එමගින් ඔවුහු අස්වැසිල්ලක් ලබන්නෝය.+ 55  ඔබේ සහෝදරියන් වන සොදොම සහ ඒ අවට නුවරවල්ද සමාරිය හා ඒ අවට නුවරවල්ද මුල් තත්වයට පත් වනු ඇත. එසේම ඔබද ඔබ අවට පිහිටි නුවරවල්ද මුල් තත්වයට පත් වනු ඇත.+ 56  ඔබ උඩඟුකමින් හිස උදුම්මාගෙන සිටි කාලයේදී ඔබ ඔබේ සොහොයුරිය වූ සොදොම සැලකුවේ සඳහන් කිරීමට තරම්වත් වටින්නේ නැති කෙනෙකු ලෙසය.+ 57  ඒ ඔබේ දුෂ්ටකම සියල්ලන්ටම හෙළි වීමට පෙරාතුවය.+ සිරියාවේ දූවරුන්+ හා ඒ අවට සිටි සියලුදෙනා අතින්ද ෆිලිස්තියේ දූවරුන්+ අතින්ද ඔබ මුහුණ දුන් නින්දාවට සමාන නින්දාවකට නැවතත් මුහුණ දෙන්න ඔබට සිදු වේ. ඔබව වට කරගෙන සිටින ඔවුහු ඔබට සරදම් කරන්නෝය.+ 58  ඔබ නින්දිතව හැසිරුණු නිසාත්+ පිළිකුල්සහගත ක්‍රියා කළ නිසාත් එහි ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙනවා ඇත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.” 59  “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘ඔබ මාගේ ගිවිසුම කඩ කරමින් මට දුන් පොරොන්දු සුළු කොට සැලකුවෙහිය.+ මමද ඔබේ ක්‍රියාවලට අනුව ඔබට දඬුවම් කරන්නෙමි.+ 60  එහෙත් ඔබේ යොවුන් වියේදී මා ඔබ සමඟ කළ ගිවිසුම සිහි කර+ සදාකාලයටම පවතින ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරගන්නෙමි.+ 61  ඔබේ වැඩිමල් සහෝදරියවද ඔබේ බාල සහෝදරියවද ඔබ පිළිගන්නා විට ඔබට ඔබේ අතීතය සිහි වී+ ඔබ ලැජ්ජාවට පත් වනවා ඇත. මම ඔවුන්ව ඔබට දූවරුන් ලෙස දෙන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම නිසා නම් නොවේ.’+ 62  “‘මම ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ස්ථිර කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත. 63  එසේ වන්නේ ඔබ කළ දේවල් සිහි කර ඔබ සැබවින්ම ලැජ්ජාවට පත් වන පිණිසය.+ ඔබ කළ සියලු දේට මම ඔබට සමාව දෙන්නෙමි.+ එවිට ඔබට දැනෙන ලැජ්ජාව නිසා ඔබ කට පියාගෙන සිටිනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

පාදසටහන්

මූ.අ., “ගින්න මැදින් යෑමට සලස්වා.”
මූ.අ., “පරදාර සේවනයෙහි.”