Skip to content

පටුනට යන්න

හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?

හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?

 ලෝකේ පුරාම ආර්ථික ප්‍රශ්නවලින් බැට කන මිනිස්සු එයාලා මුහුණ දෙන අසාධාරණකම් නිසා පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. කොරෝනා වසංගතයත් එක්ක ඒ ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. මොකද සමහර ප්‍රදේශ ලොක්ඩවුන් කළා, අත්‍යවශ්‍ය දේවල් හිඟ වුණා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය පහසුකම් සීමා වුණා. ඒ දේවල් නිසා ඇති නැති පරතරය වෙනදාටත් වඩා පැහැදිලිව පේන්න පටන්ගත්තා.

 වසංගතයක් වගේ මුළු ලෝකෙම වෙලාගෙන තියෙන මේ ආර්ථික ප්‍රශ්නවලට කවදා හරි විසඳුමක් ලැබෙයිද? ඔව්. බයිබලේ කියනවා දෙවියන් ළඟදීම අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම විසඳුමක් ගේනවා කියලා.

දෙවියන් දෙන්න යන විසඳුම්

 ප්‍රශ්නය: හැමෝටම සම සේ දේවල් ලැබෙන ආර්ථික ක්‍රමයක් ඇති කරන්න මිනිසුන්ට පුළුවන් වෙලා නැහැ.

 විසඳුම: දෙවියන් ළඟදීම හැම මිනිස් ආණ්ඩුවක්ම නැති කරලා දාන්න යනවා. ඔහු ඒ දේ කරන්නේ දේවරාජ්‍යය කියලා හඳුන්වන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. ස්වර්ගයේ පිහිටුවලා තියෙන ඒ ආණ්ඩුවෙන් මේ මුළු පොළොවම පාලනය කරන්න යනවා.—දානියෙල් 2:44; මතෙව් 6:10.

 ප්‍රතිඵලය: දෙවියන්ගේ ආණ්ඩුව මේ මුළු පොළොවම පාලනය කරන්න යන නිසා ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ගේන්න ඒකට පුළුවන්. එදාට කිසිම කෙනෙක් ආර්ථික ප්‍රශ්නවලින්, දුප්පත්කමෙන් දුක් විඳින්න යන්නේ නැහැ. (ගීතාවලිය 9:7-9, 18) ඒ වෙනුවට මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන නිසා පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වෙනවා. බයිබලේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.”—යෙසායා 65:21, 22.

 ප්‍රශ්නය: අත්‍යවශ්‍ය දේවල් සපයන්නවත් දුකට හේතු වෙන දේවල් වළක්වන්නවත් මිනිසුන්ට බැහැ.

 විසඳුම: හැම ප්‍රශ්නෙකටම මුල් වෙලා තියෙන හේතු දෙවියන් ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් නැති කරනවා.

 ප්‍රතිඵලය: දෙවියන් මේ පොළොව පාලනය කරද්දී යුද්ධ, ආහාර හිඟකම්, වසංගත වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. (ගීතාවලිය 46:9; 72:16; යෙසායා 33:24) ඒ නිසා තමන්ට තියෙන දේවල් නැති වෙයිද කියලා එදාට මිනිස්සු බය වෙන්නේ නැහැ. දෙවියන්ම කියලා තියෙන මේ දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. “මාගේ සෙනඟ තම නිවහන්වල සාමකාමීව කල් ගෙවන්නෝය. ඔවුහු කිසි බියක් සැකක් නොමැතිව සුවසේ ජීවත් වන්නෝය.”—යෙසායා 32:18.

 ප්‍රශ්නය: තමන් ගැනම විතරක් හිතන, කෑදර අය නිසා අසරණ මිනිස්සු හුඟක් දුක් විඳිනවා.

 විසඳුම: දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේදී මිනිස්සු තමන්ට වඩා අනිත් අයට ආදරේ කරන්න ඉගෙනගන්නවා.—මතෙව් 22:37-39.

 ප්‍රතිඵලය: දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී මිනිස්සු “තමාගේම වාසිය” හොයනවා වෙනුවට දෙවියන් වගේ අනිත් අයට ආදරෙන් සලකනවා. (1 කොරින්ති 13:4, 5) ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “මගේ ශුද්ධ කන්දේ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත් විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා a දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.”—යෙසායා 11:9.

 බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් ළඟදීම මේ දුෂ්ට සමාජයට විනාශයක් ගේනවා කියලා. ඊටපස්සේ කිසිම කෙනෙක් ආර්ථික ප්‍රශ්න අද්දකින්නේ නැහැ. b (ගීතාවලිය 12:5) ඒ කාලය එන කල් ආර්ථික ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. උදාහරණෙකට “ලැබෙන ආදායම අඩු වෙලාද?” සහ “ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි” කියන ලිපි බලන්න.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ තියෙනවා.—ගීතාවලිය 83:18.

b බයිබලය විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා දැනගන්න “බයිබලය සත්‍ය තොරතුරු අඩංගු විශ්වාසවන්ත පොතක්” කියන ලිපිය බලන්න.