Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

මතෙව් 6:34 - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”

මතෙව් 6:34 - “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා”

 “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34, ‘නව ලොව පරිවර්තනය.’

 “හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ඒ ගැනම කරදර වන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.”—මතෙව් 6:34, ‘පැරණි අනුවාදය.’

මතෙව් 6:34 අදහස

 යේසුස් ඒ දේ කිව්වේ අනාගතයේදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැන කනස්සලු වෙන්න ඕනෙ නැහැ කියන එක කාවද්දන්නයි. අනාගතය ගැන කරදර වෙනවා වෙනුවට දවසේ කරදරවලට විතරක් අවධානය දෙන එක වඩා ප්‍රයෝජනවත් කියලා යේසුස් පෙන්නලා දුන්නා.

 යේසුස් ඒකෙන් අදහස් කළේ නැහැ අපි හෙට දවස ගැන හිතන එක එහෙමත් නැත්නම් අනාගතය ගැන සැලසුම් කරන එක වැරදියි කියලා. (හිතෝපදේශ 21:5) ඒ වෙනුවට ඔහු පෙන්නලා දුන්නේ අපි හෙට මෙහෙම වෙයි අරෙහෙම වෙයි කියලා හිතහිත අනවශ්‍ය විදිහට කනස්සලු වෙන එකෙන් වැළකිලා ඉන්න ඕනෙ කියන එකයි. මොකද එහෙම කරන්න ගියොත් අපේ සතුට නැති වෙයි. ඒ විතරක් නෙවෙයි අපිට දැන් කරන්න තියෙන වැඩවලට අවධානය දෙන්නත් බැරි වෙයි. තාමත් වෙලා නැති දේවල් ගැන හිතහිත ළත වෙන එක ඇත්තටම නිෂ්ඵල දෙයක්. මොකද හුඟක් වෙලාවට සිද්ධ වෙයි කියලා අපි ළත වෙන දේවල් කවදාවත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දේවල් සිද්ධ වුණත් අපි හිතන තරම් ඒවා දරුණු වෙන්නෙත් නැහැ.

මතෙව් 6:34 අවට පද

 යේසුස් මේ දේ කිව්වේ මතෙව් 5-7 සඳහන් වෙන ප්‍රසිද්ධ කන්ද උඩ දේශනය අතරතුරේදියි. ඒ වෙලාවේ යේසුස් පැහැදිලි කළා අනවශ්‍ය විදිහට කනස්සලු වුණා කියලා දුක් කරදර අඩු කරගන්නවත් ආයු කාලය වැඩි කරගන්නවත් බැහැ කියලා. (මතෙව් 6:27) ඒ වගේම ඔහු පැහැදිලි කළා දෙවියන්ගේ කැමැත්ත කරන එකට අපි අපේ ජීවිතයේ මුල් තැන දෙනවා නම් හෙට දවස ගැන ළත වෙන්න ඕනෙ නැහැ කියලා. මොකද ගස්වැල් සහ සතුන් ගැනත් දෙවියන් සැලකිලිමත් වෙනවා නම් ඔහු තමන්ගේ සේවකයන් ගැන සැලකිලිමත් නොවී ඉඳියිද!—මතෙව් 6:25, 26, 28-33.

මතෙව් 6වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන්, යොමු දැක්වීම් සහ පින්තූර බලන්න.