යෙසායා 65:1-25

65  “මාව හඳුනාගැනීමට නොවෙහෙසුණු අයට+ මාව හඳුනාගැනීමට හැකි විය.+ මාගෙන් මඟ පෙන්වීම් නොපැතූ අය මට ළං වූහ.+ මාගේ නාමයට නොඅයැදූ ජාතියකට,+ ‘මම ඔබ ළඟ සිටිමි’+ කියා පැවසුවෙමි.  “වැරදි මාර්ගයක+ ගමන් කරමින් හිතුමනාපෙට+ හැසිරෙන සෙනඟක්+ ඉදිරියේ මම දවස මුළුල්ලේම අත් විහිදුවා ඉවසිලිවන්තව බලා සිටියෙමි.  ඔවුහු මාගේ මුහුණටම අපහාස කරමින්+ සෑම වෙලේම උයන්වල පුදපූජා ඔප්පු කරති.+ ගඩොල් මත සුවඳ දුම්+ ඔප්පු කරති.  ඔවුහු සොහොන් ගෙවල් අසල හිඳගෙන සිටිති.+ රාත්‍රිය පුරාම මුරපොළවල්වල ගැවසෙමින් ඌරු මස් කති.+ ඔවුන්ගේ කෑම භාජනවල තිබෙන්නේ පිළිකුල්සහගත දේවලින් සාදාගත් කෑමයි.+  ඔවුහු තම සහෝදරයන්ට මෙසේ කියති. ‘මට ළං වෙන්නවත් එපා. මන්ද මම ඔබට වඩා ශුද්ධයි.’+ එහෙත් ඔවුන් මාගේ නාසයට නඟින දුමක් මෙනි.+ දවස පුරාම දැවෙන ගින්නකින්+ නඟින දුමක් මෙනි.  “ඒ සෑම දෙයක්ම මා ඉදිරියේ සටහන් වී තිබේ.+ මම කිසිවක් නොකර නිහඬව බලා සිටින්නේ නැත.+ ඔවුන්ට ලැබිය යුතු දේ මම අනිවාර්යයෙන්ම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.*+  ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පියවරුන්ගේ වැරදිවලටත් මම දඬුවම් කරන්නෙමි.+ මන්ද ඔවුහු කඳු මුදුන්වලත් හෙල්වලත් සුවඳ දුම් හා පුදපූජා ඔප්පු කර+ මට නින්දා කළෝය.+ මම වෙන කිසිවක් කරන්න කලින් ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔවුන් පිටට ගෙනෙන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.  යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මිදිපොකුරක හොඳ ගෙඩි කිහිපයක්+ ඉතුරු වී ඇති බව දුටු විට යමෙක් මෙසේ කියයි. ‘ඒ මිදිපොකුර විනාශ කරන්න එපා.+ එහි ගෙඩි කිහිපයක් ප්‍රයෝජනයට ගත හැකියි. අපට එයින් ආශීර්වාද ලැබෙන්නත් ඉඩ තිබෙනවා.’+ එලෙසම, මමත් මාගේ සේවකයන් වෙනුවෙන් මුළු ජාතියම විනාශ නොකරන්නෙමි.+  මම යාකොබ්ගේ පෙළපතෙන් පරම්පරාවක් බිහි වීමට සලස්වමි.+ යූදාගේ පෙළපතෙන් පැමිණෙන මාගේ තෝරාගත් සේවකයෝ මාගේ කඳු උරුම කරගෙන+ එහි වාසය කරන්නෝය.+ 10  මම ෂාරොන්+ තැනිතලාව බැටළුවන්ගේ තණබිමක්+ බවටත් ආකොර් තැනිතලාව+ ගවයන් ලගින ස්ථානයක් බවටත් පත් කරන්නෙමි. මා ඒ දේ කරන්නේ මාගේ මඟ පෙන්වීම් පතන+ මාගේ සෙනඟ වෙනුවෙනි. 11  “නමුත් ඔබ යෙහෝවා දෙවි වන මාව එපා කළ සෙනඟකි.+ ඔබ මාගේ ශුද්ධ කන්ද අමතක කර දමා+ වාසනාවේ දෙවියන්ට+ මේසයක් සූදානම් කළහුය. ඔබ සැර වැඩි කළ වයින් ඉරණමේ දෙවියන්ට ඔප්පු කළහුය.+ 12  මම ඔබට කතා කළ විට+ ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත.+ මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.+ ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.+ ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි.+ ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”+ 13  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයන් කෑම කා+ තෘප්තිමත් වන නමුත් ඔබ කුසගින්නේ සිටින්නහුය.+ මාගේ සේවකයන්ට බොන්න තිබුණත්+ ඔබ පිපාසයෙන් සිටින්නහුය.+ මාගේ සේවකයන් ප්‍රීතියෙන් ඉපිල යන නමුත්+ ඔබට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ 14  මාගේ සේවකයන් සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟන නමුත්+ ඔබ හදවතේ වේදනාවෙන් හා සිත්තැවුලෙන් කෑ මොර ගසන්නහුය.+ 15  ‘විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි ඔබ සියලුදෙනාවම නැති කර දමන්නේය.+ දෙවිගේ සෙනඟ අනුන්ට ශාප කිරීම සඳහා ඔබගේ නාමය භාවිත කරති. නමුත් දෙවි ඔහුගේ සේවකයන්ව හඳුන්වන්නේ වෙනත් නමකිනි.+ 16  මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, “මට ආශීර්වාද කරන්න” කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.+ දිවුරුමක් දෙන කවරෙකු වුවද එසේ දිවුරන්නේ විශ්වාසවන්ත දෙවිගේ නමින් පමණයි.+ මන්ද පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැත.’ යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැත.+ 17  “මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද+ සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.+ 18  දැන් මා කරන්න යන දේ ගැන සිතා හද පත්ලෙන්ම සතුටු වන්න.+ ඒ සතුට සදහටම ඔබේ සිතෙහි රඳවාගන්න.+ මන්ද මා යෙරුසලම හා එහි වැසියන් වෙනුවෙන් කරන දේ ඇත්තෙන්ම සතුටට කාරණයකි. ඒ නිසා සියලු ජනයා සතුටින් ඉපිල යන්නෝය.+ 19  මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+ 20  “ඒ කාලයේදී ස්වල්ප දවසක් ජීවත් වූ ළදරුවෙක්වත්+ ආයු කාලය සම්පූර්ණයෙන් භුක්ති නොවින්ද මහල්ලෙක්වත් මිය යන්නේ නැත.+ වයස අවුරුදු සියයක් ජීවත් වී මිය යන පුද්ගලයා පවා කුඩා දරුවෙකු මෙන් වෙයි. අවුරුදු සියයක් ජීවත් වූ කෙනෙකු පවා පව් කළොත් ඔහු පිටට ශාප පැමිණෙනු ඇත.+ 21  ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය.+ මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.+ 22  ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+ 23  ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේවත්+ ඔවුන් බිහි කරන දරුවෝ කිසිවිටෙක විපතකට හසු වන්නේවත් නැත.+ මන්ද ඔවුහු යෙහෝවා දෙවි වන මාගෙන් ආශීර්වාද ලැබූ අයගේ දරුවෝය.+ ඔවුන් සමඟ ඔවුන්ගෙන් පැවතෙන සියලුදෙනාද ආශීර්වාද ලබන්නෝය.+ 24  ඔවුන් මට හඬගැසූ විට මම ඇහුම්කන් දෙමි.+ ඔවුන් හඬගසන්න කලින්ම මම ඔවුන්ට උත්තර දෙමි.+ 25  “වෘකයා+ බැටළු පැටවා සමඟ එකට තණ කන්නේය.+ සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.+ සර්පයා ආහාරයට ගන්නේ දූවිලිය.+ මාගේ ශුද්ධ කන්දේදී+ උන්, කිසිවෙකුටවත් අනතුරක් සිදු කරන්නේ නැත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

පාදසටහන්

මූ.අ., “ඔවුන්ගේ ළයට ලබා දෙන්නෙමි.”