Skip to content

පටුනට යන්න

‘තම අනුමැතිය ඇති අයව යෙහෝවා දෙවි දන්නවා’

‘තම අනුමැතිය ඇති අයව යෙහෝවා දෙවි දන්නවා’

“යමෙක් දෙවිට ප්‍රේම කරන විට දෙවි එවැනි කෙනෙකුව පිළිගනියි.”1 කොරි. 8:3.

1. දෙවිට සේවය කරන සමහරදෙනෙක් තමන්වම රවට්ටගත්ත විදිහ ගැන උදාහරණයක් දෙන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

දවසක් උදෑසනින්ම ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන තැන පිරිසක් රැස් වෙලා හිටියා. උත්තම පූජක ආරොන් එක පැත්තකත් කෝරා සහ ඔහුත් එක්ක හිටපු 250දෙනා තව පැත්තකත් රැස් වෙලා හිටියේ යෙහෝවා දෙවිට සුවඳ දුම් ඔප්පු කරන්නයි. (ගණන්. 16:16-18) බැලූ බැල්මට පේන්න තිබුණේ මේ හැමෝම යෙහෝවා දෙවිට විශ්වාසවන්ත අය වගෙයි. ඒත් ඇත්තටම කෝරා සහ ඔහු එක්ක හිටපු අය උඩඟු, කැරලිකාර, ආත්මාර්ථකාමී පිරිසක්. ඔවුන්ට ඕන වුණේ උත්තම පූජකකම ආරොන්ගෙන් උදුරගන්නයි. (ගණන්. 16:1-11) ඔවුන් හිතුවේ ඔවුන්ගේ නමස්කාරය දෙවි පිළිගනියි කියලා. ඒත් ඔවුන්ගේ හදවතේ තිබුණු දේ දැක්ක දෙවි ඔවුන් කුහක, තමන්ට උසස් තත්වයක් ලබාගන්න බලාගෙන ඉන්න අය කියලා තේරුම්ගත්තා.යෙරෙ. 17:10.

2. මෝසෙස් කියලා තිබුණේ මොකක්ද? ඒ දේ සිද්ධ වුණේ කොහොමද?

2 ‘දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි’ කියලා මෝසෙස් ඊට කලින් දවසේ කියලා තිබුණා. (ගණන්. 16:5) තමන්ට ඇත්තටම සේවය කරන්නේ කවුද කියලත් සේවය කරනවා වගේ මවාපාන්නේ කවුද කියලත් යෙහෝවා දෙවි දන්නවා කියලා පෙන්නුවේ කොහොමද? ඔහු ස්වර්ගයෙන් ගින්නක් එවලා කෝරාවත් ඔහු එක්ක හිටපු 250දෙනාවත් විනාශ කළා. (ගණන්. 16:35; 26:10) උත්තම පූජකයා විදිහට තමන් පිළිගන්නේ ආරොන්ව කියලා එදා යෙහෝවා දෙවි පෙන්නුවා.1 කොරින්ති 8:3 කියවන්න.

3. (අ) පාවුල්ගේ දවස්වල ක්‍රිස්තියානි සභාවේ තිබුණේ මොන වගේ තත්වයක්ද? (ආ) කෝරාටත් ඔහුත් එක්ක හිටපු අයටත් සිද්ධ වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

3 ඒ වගේම තත්වයක් ඊට අවුරුදු 1,500කට විතර පස්සේ පාවුල්ගේ කාලේ ක්‍රිස්තියානි සභාවෙත් ඇති වුණා. ඒ කාලේ ක්‍රිස්තියානි සභාවේ හිටපු පිරිසක් අසත්‍ය ඉගැන්වීම් සභාවේ පතුරුවමින් හිටියා. බැලූ බැල්මට මේ අයව පෙනුනෙත් සැබෑ ක්‍රිස්තියානීන් වගෙයි. ඒත් ඔවුන් ටිකෙන් ටික අසත්‍ය ඉගැන්වීම් පතුරුවමින් “සමහරුන්ගේ විශ්වාසය නැති කර දමමින්” හිටියා. (2 තිමෝ. 2:16-18) සිද්ධ වුණු ඒ දේ දෙවි දැක්කද? ඊට සියවස් ගාණකට කලින් කෝරාටත් ඔහුත් එක්ක හිටපු 250දෙනාටත් දෙවි දුන්න දඬුවම ගැන පාවුල් දැනගෙන හිටියා. ඒ නිසා සභාවේ තිබුණු මේ තත්වය ගැනත් දෙවි හොඳින්ම දන්නවා කියලා පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිටත් ඒ හා සමාන විශ්වාසයක් ඇති කරගන්න පාවුල් තිමෝතිට ලියපු දෙයක් උදව් වෙනවා. ඒ ගැන දැන් අපි බලමු.

“මම කිසිදාක වෙනස් නොවෙමි”

4. පාවුල් තුළ ලොකු විශ්වාසයක් තිබුණේ මොකක් ගැනද? ඒ ගැන පාවුල් තිමෝතිට කිව්වේ මොනවද?

4 දෙවිට නමස්කාර කරනවා කියලා මවාපාන්නේ කවුද, ඔහුට ආදරේ කරන්නේ කවුද කියලා අඳුනගන්න දෙවිට පුළුවන් කියන දේ ගැන පාවුල්ට ලොකු විශ්වාසයක් තිබුණා. ඔහු තිමෝතිට ලියපු දෙයින් ඒ කාරණය පැහැදිලියි. අසත්‍ය ඉගැන්වීම් පතුරවපු අය සභාව ඇතුළෙම ඉඳගෙන සමහරුන්ගේ විශ්වාසයට කරන හානිය ගැන කතා කළාට පස්සේ පාවුල් මෙහෙම කියනවා. “දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය. ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, ‘තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය’ සහ ‘යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි’ යන්නය.”2 තිමෝ. 2:19.

5, 6. “දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය” කියලා පාවුල් කියපු දේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ දේ තිමෝතිට උදව් වුණේ කොහොමද?

5 “අත්තිවාරම” කියන වචනේ බයිබලේ හුඟක් තැන්වල විවිධ දේවල් තේරුම් කරන්න යොදාගෙන තියෙනවා. උදාහරණෙකට යෙරුසලම ගැන කියද්දී, දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස්ට පැවරිලා තියෙන කාර්යය ගැන කියද්දී ඒ වචනේ පාවිච්චි කරලා තියෙනවා. (ගීතා. 87:1, 2; 1 කොරි. 3:11; 1 පේතෘ. 2:6) ඒත් “දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය” කියන යෙදුම බයිබලේ පාවිච්චි කරලා තියෙන්නේ එක වතාවක් විතරයි.

6 “දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය” කියලා පාවුල් කිව්වේ කෝරා ඇතුළු පිරිසට මෝසෙස් කියපු දේ මනසේ තියාගෙනයි. (ගණන්. 16:5) ඒකෙන් තේරෙන්නේ සභාවේ වෙන්නේ මොනවද කියලා යෙහෝවා දෙවි දන්නවා කියන දේ පාවුල් තිමෝතිට මතක් කළා කියන එකයි. සභාවට හානියක් කරන්න සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයට දෙවි ඉඩ දෙන්නේ නැහැ. දෙවි අරමුණු කරලා තියෙන දේ වෙනස් කරන්න කෝරාට පුළුවන් වුණේ නැහැ. ඒක කරන්න සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයටත් බැහැ. “දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය” කියන දෙයින් සම්පූර්ණයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා පාවුල් විස්තර කළේ නැතත් යෙහෝවා දෙවි මත විශ්වාසය තියලා වැඩ කරන්න පාවුල් කියපු දේ තිමෝතිට උදව් වුණා කියලා නම් ස්ථිරයි.

7. යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨකම, විශ්වාසවන්තකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

7 යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ගීතාවලිය 33:11 කියන්නේ “යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය. පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය” කියලයි. පාලනය කරන්න දෙවිට තියෙන අයිතිය, ඔහු පෙන්නන ප්‍රේමය, ඔහුගේ ධර්මිෂ්ඨකම, විශ්වාසවන්තකම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා බයිබලේ කියනවා. (නික්. 15:18; ගීතා. 106:1; 111:3; 117:2) “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි” කියලා මලාකි 3:6 කියන දෙයිනුත් “සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත” කියලා යාකොබ් 1:17 සඳහන් දෙයිනුත් ඒක තවත් පැහැදිලියි.

දෙවි ගැන විශ්වාසය ඇති කරන මුද්‍රාව

8, 9. ‘දෙවි ස්ථිරව පිහිටුවා ඇති අත්තිවාරමේ’ ලියලා තියෙන කාරණාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

8 අතීතයේදී ගොඩනැඟිල්ලක අත්තිවාරමේ ඒක හදන කෙනාගේ නම, ඒක අයිති කාටද වගේ දේවල් ලියන එක සාමාන්‍ය දෙයක්. ඒක හරියට අත්තිවාරමේ දාපු මුද්‍රාවක් වගේ. ඒක උදාහරණයකට අරගෙන යමක් විස්තර කරපු පළවෙනි බයිබල් ලේඛකයා පාවුල්. * 2 තිමෝති 2:19 සඳහන් විදිහට ‘දෙවි ස්ථිරව පිහිටුවා ඇති අත්තිවාරමේ’ සඳහන් මුද්‍රාවේ කාරණා දෙකක් සඳහන් වෙනවා. (1) “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය.” (2) “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි.” මේ කාරණා දෙක ගණන් කතාව 16:5 (කියවන්න.) කියන දේට සමානයි.

9 ඒ කාරණා දෙකෙන් දෙවිගේ අනුමැතිය ඇති අයට ඉගෙනගන්න පුළුවන් මොනවද? යෙහෝවා දෙවි ප්‍රතිපත්ති දීලා තියෙන්නේ මූලික හේතු දෙකක් නිසා කියලා අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන්. ඒවා තමයි තමන්ට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු ආදරෙයි කියන එක සහ වැරදි දේවලට ඔහු ද්වේෂ කරනවා කියන එක. ඒ හේතු දෙක සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ බලපෑමට මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?

10. පාවුල්ගේ කාලේ සභාවේ හිටපු සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය කරපු දේවල් විශ්වාසවන්ත අයට බලපෑවේ කොහොමද?

10 තිමෝතිටත් විශ්වාසවන්තව හිටපු අනිත් අයටත් සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය නිසා හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ‘ඇයි මේ වගේ අයට තවමත් සභාවේ ඉන්න ඉඩ දීලා තියෙන්නේ’ කියලා විශ්වාසවන්තව හිටපු සමහරුන් අහන්න ඇති. තමන් විශ්වාසවන්තව දෙවිට කරන සේවයත් දෙවිට නමස්කාර කරනවා කියලා මවාපාන අය කරන සේවයත් අතර තියෙන වෙනස අඳුනගන්න දෙවිට බැරිද කියලත් සමහරු හිතන්න ඇති.ක්‍රියා 20:29, 30.

සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ බලපෑමට තිමෝති අහු වුණේ නැහැ (10-12 ඡේද බලන්න)

11, 12. පාවුල්ගේ ලිපිය තිමෝතිට ශක්තියක් වුණේ කොහොමද?

11 පාවුල් යවපු ලිපිය තිමෝතිට ලොකු ශක්තියක් වෙන්න ඇති. කෝරා සහ ඔහුගේ පැත්ත ගත්ත අය කරපු නමස්කාරය කුහක එකක් කියලා යෙහෝවා දෙවි පෙන්නපු හැටිත් දෙවි ඔවුන්ව පිළිගන්නේ නැතුව විනාශ කරපු හැටිත් ආරොන්ට තමන්ගේ අනුමැතිය තියෙනවා කියලා දෙවි පෙන්නපු හැටිත් පාවුල් ඒ ලිපියෙන් තිමෝතිට මතක් කළා. තමන් ක්‍රිස්තියානීන් කියලා මවාපාමින් වැඩ කරපු අය සභාවේ හිටියත් ඇත්තටම දෙවිගේ අනුමැතිය තියෙන්නේ කාටද කියලා හෙළි කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියන කාරණය පාවුල් ඒකෙන් කාවැද්දුවා.

12 යෙහෝවා දෙවි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකම ඔහු මත විශ්වාසය තියලා වැඩ කරන්න අපිට පුළුවන්. ඔහු නපුරු දේවලට වෛර කරනවා. ඒ වගේම පසුතැවිලි වෙන්නේ නැතුව වැරදි කරන අයට දඬුවම් කරනවා. සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ ක්‍රියා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න කියලත් පාවුල් තිමෝතිට මතක් කළා. මොකද “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි.” *

අවංක හිතින් කරන නමස්කාරයට ආශීර්වාද ලැබෙනවා

13. අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

13 පාවුල්ගේ වචන අපිටත් දිරිගැන්වීමක්. දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයව ඔහු හොඳට අඳුනනවා වගේම ඒ එක් එක් කෙනා ගැන දෙවි ලොකු සැලකිල්ලක් දක්වනවා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේක. 16:9) දෙවිට නමස්කාර කරන්න අපි දරන වෙහෙස ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.1 කොරි. 15:58; 1 තිමෝ. 1:5.

14. දෙවි ප්‍රතික්ෂේප කරන්නේ මොන වගේ අයගේ නමස්කාරයද?

14 දෙවිට සේවය කරනවා කියලා මවාපාමින් වැරදි වැඩ කරන අයට දෙවි වෛර කරනවා. හිත්වල තියෙන දේ දකින්න යෙහෝවා දෙවිට පුළුවන් නිසා “පූර්ණ හදවතකින් සේවය” කරන්නේ නැත්තේ කවුද කියලා දෙවි දන්නවා. දෙවිට නමස්කාර කරනවා කියලා පේන්න හුඟක් දේවල් කළත් රහසිගතව වැරදි කරන අයව දෙවිට පිළිකුල්. (හිතෝ. 3:32) ඒ වගේ දේවලින් මිනිසුන්ව රවට්ටන්න පුළුවන් වුණත් දෙවිව නම් රවට්ටන්න බැහැ. බයිබලේ කියන්නේ “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත” කියලයි. මොකද යෙහෝවා දෙවි මහත් බලයක් තියෙන, ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්.හිතෝ. 28:13; 1 තිමෝති 5:24; හෙබ්‍රෙව් 4:13 කියවන්න.

15. අපි නොකළ යුත්තේ මොකක්ද? ඒ ඇයි?

15 යෙහෝවා දෙවිට සේවය කරන අයගෙන් වැඩිදෙනෙක් මුළු හදවතින්ම දෙවිට ආදරේ කරනවා. ඔය අතරේ දෙවිට සේවය කරනවා කියලා මවාපාමින් දෙවිව රවට්ටන්න හදන අයත් ඉන්නවා. මෝසෙස්ගේ කාලෙත් පාවුල්ගේ කාලෙත් ඒ වගේ අය හිටියා නම් අදත් ඒ වගේ අය ඉන්න එක පුදුමයක්ද? (2 තිමෝ. 3:1, 5) ඒකෙන් අදහස් කරන්නේ අපි අපේ සහෝදර සහෝදරියන් දිහා සැකෙන් බලලා ඒ අය දෙවිට නමස්කාර කරන්නේ වැරදි චේතනාවෙන් කියලා හිතන එක හරියි කියලද? නැහැ. හරියටම සාක්ෂි නැතුව අපි අපේ සහෝදරයන් දිහා සැකෙන් බලන එක වැරදියි. (රෝම 14:10-12; 1 කොරින්ති 13:7 කියවන්න.) ඒකෙන් දෙවිත් එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන්න පුළුවන්.

16. (අ) අපි දෙවිට නමස්කාර කරන්නේ කිසිම වැරදි චේතනාවකින් නෙමෙයි කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? (ආ) “ නොකඩවා සෝදිසි කර බලන්න” යන කොටුවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

16 අපි හැම කෙනෙක්ම ‘අපි කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි.’ (ගලා. 6:4) උරුම වෙලා තියෙන පාපය නිසා වැරදි චේතනාවෙන් දෙවිට සේවය කරන්න දන්නෙම නැතුව අපි පෙලඹෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 3:12, 13) දෙවිට කරන නමස්කාරයේදී සමහර පැතිවලින් අපිත් මවාපානවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘මං යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ ඇයි? මං එහෙම කරන්නේ දෙවිට ආදරේ නිසාද? මගේ පාලකයා හැටියට මං ඔහුව පිළිගන්න නිසාද? එහෙම නැත්නම් මං දෙවිට සේවය කරන්නේ පාරාදීස පොළොවේ මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තියෙන ආසාව නිසාමද?’ (එළි. 4:11) ඒ වගේ ප්‍රශ්න අපෙන්ම අහගත්තොත් හිතේ පුංචි වැරදි චේතනාවක් හරි ඇති වෙලා තියෙනවා නම් ඒක නැති කරගන්න අපිට පුළුවන්.

විශ්වාසවන්තකම සතුට ගෙන දෙයි

17, 18. අපි කිසිම කුහකකමක් නැතුව අවංකව දෙවිට සේවය කරන්න ඕනෙ ඇයි?

17 කිසිම කුහකකමක් නැතුව දෙවිට නමස්කාර කරන්න පුළුවන් හැම දේම අපි කරනවා නම් දෙවි අපිට ආශීර්වාද කරනවා. ගීතිකාකරු කිව්වේ “යමෙකු කළ වරදක් යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය. යමෙකුගේ සිතේ කිසි වංචාවක් නැත්නම් ඔහු සන්තෝෂවත්ය” කියලයි. (ගීතා. 32:2) අපි අවංකව, මුළු හදවතින්ම දෙවිට නමස්කාර කරනවා නම් මේ කාලෙදී සතුටින් ඉන්න ලැබෙනවා වගේම අනාගතයේදීත් සතුට පිරී ඉතිරී ගිය ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්.

18 පසුතැවෙන්නේ නැතුව දිගටම වැරදි කරන, රහසින් වැරදි කරන හැමෝවම යෙහෝවා දෙවි ළඟදීම හෙළි කරනවා. “ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි” වෙන දවස වැඩි ඈතක නෙමෙයි. (මලා. 3:18) ඒ දවස එනකම් “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී” තිබෙනවා කියා දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද!1 පේතෘ. 3:12.

^ 8 ඡේ. අත්තිවාරමක යමක් සටහන් කරන එක ගැන එළිදරව් 21:14ත් දකින්න තියෙනවා. ‘අත්තිවාරම් ගල් දොළොස’ මත නියෝජිතයන් දොළොස්දෙනාගේ නම් සටහන් කරලා තියෙනවා කියලා එතන සඳහන් වෙනවා.

^ 12 ඡේ. යෙහෝවා දෙවිව ආදර්ශයට අරගෙන අධර්මිෂ්ඨකමට පිටු පාන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා.