Skip to content

පටුනට යන්න

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මයික්‍රෝනීසියාවේදී

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මයික්‍රෝනීසියාවේදී

ඇමරිකාවේ හැදී වැඩුණු කැතරින් බව්තීස්ම වෙද්දී වයස 16යි. එයා හුඟක් ආසාවෙන් දේශනා සේවයේ ගියා. ඒත් එයාට සේවය කරන්න තිබුණු ප්‍රදේශයේ ඉන්න අය ශුභාරංචියට ඇහුම්කන් දෙන්න එච්චර කැමති වුණේ නැහැ. ඒ ගැන කැතරින් මෙහෙම කියනවා. “දෙවි ගැන උගන්නන්න කාව හරි එවන්න කියලා යාච්ඤා කරපු අයගේ අද්දැකීම් මං කියවලා තියෙනවා. මටත් ඒ වගේ කෙනෙක්ව හම්බ වෙනවා නම් කියලා මං හිතපු වාර අනන්තයි. ඒත් මට නම් ඒ වගේ කෙනෙක්ව කවදාවත් හම්බ වුණේ නැහැ.”

අවුරුදු කීපයකට පස්සේ කැතරින්ට ඕන වුණා ශුභාරංචිය ගැන උනන්දු වෙන අය ඉන්න ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න. ඒත් මීට කලින් එයා පවුලේ අයගෙන් ඈත් වෙලා ඉඳලා තිබුණේ එකම එක වතාවයි. ඒකත් සති දෙකකට විතරයි. ඒ සති දෙකෙත් එයාට ගෙදර මතක් නොවුණු වෙලාවක් නැහැ. ඒ නිසා තනියෙන් වෙන පළාතකට යන්න එයා හිටියේ බයෙන්. ඒත් ඒ බයට වඩා වෙන පළාතකට ගිහින් සේවය කරන්න එයාට තිබුණු ආසාව වැඩියි. යන්න පුළුවන් තැන් කීපයක් ගැන හොයලා බැලුවට පස්සේ ගුවාම් ශාඛා කාර්යාලයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත්තා. කැතරින්ට වයස අවුරුදු 26දී ඒ කියන්නේ 2007 ජූලි මාසේ එයා කි.මී. 10,000ක් ඈතින් තිබුණු සෙයිපෑන් කියන දූපතේ සේවය කරන්න ගියා.

ඉල්ලීම් දෙකටම පිළිතුරු ලැබුණා

අලුත් සභාවත් එක්ක සේවයේ යන්න අරන් ටික දවසක් යද්දී කැතරින්ට අවුරුදු 45ක විතර වයස ඩොරිස් කියන කාන්තාව හම්බ වුණා. එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ පළවෙනි පරිච්ඡේද තුන කළාට පස්සේ ඩොරිස්ට හරි ඉක්මන්ට සත්‍යය ගැන අවබෝධ කරගන්න පුළුවන් කියලා කැතරින්ට තේරුණා. “මං ඊට කලින් බයිබල් පාඩමක් කරලා තිබුණේ නෑ. ඒ නිසා අද්දැකීම් තියෙන, ඩොරිස්ගේ වයසේ ඉන්න සහෝදරියකට පාඩම භාර දුන්නොත් හොඳයි කියලා මට හිතුණා.” ඩොරිස්ට පාඩම කරන්න හොඳ සහෝදරියක්ව හොයලා දෙන්න කියලා කැතරින් දෙවිට යාච්ඤා කළා. ඊටපස්සේ පාඩම වෙන කෙනෙක්ට භාර දෙනවා කියලා ඩොරිස්ට කියන්න එයා තීරණය කළා.

“ඒ ගැන කියන්න හදනකොටම වගේ ඩොරිස් මට කිව්වා මාත් එක්ක ප්‍රශ්නයක් ගැන කතා කරන්න තියෙනවා කියලා. එයාගේ ප්‍රශ්නේ ගැන කතා කළාට පස්සේ ඔය වගේම ප්‍රශ්නයක් මටත් තිබුණා කියලත් ඒකට මූණ දෙන්න දෙවි මට උදව් කළේ කොහොමද කියලත් මං එයාට කිව්වා.” ඊටපස්සේ ඩොරිස් කියපු මේ දේ අහලා කැතරින්ට පුදුම හිතුණා. “මට උදව් කරන්න ඔයාව එව්වේ යෙහෝවා දෙවිම තමයි. ඔයා ඉස්සෙල්ලාම අපේ ගෙදරට ආපු දවසේ, ඔයා එන්න කලින් මං පැය ගාණක් බයිබලේ කියෙව්වා. බයිබලේ තේරුම්ගන්න මට උදව් කරන්න කියලා මං අඬඅඬා දෙවිට යාච්ඤා කරකර හිටියේ. ඒ වෙලාවේ තමයි ඔයා දොරට තට්ටු කළේ. දෙවි ඔයාව  එව්වේ මගේ යාච්ඤාවට පිළිතුරක් විදිහටයි.” ඒ දේ මතක් වෙන හැම වෙලාවකම කැතරින්ගේ ඇස් දෙකට කදුළු එනවා. “මං කරපු යාච්ඤාවට යෙහෝවා පිළිතුරු දුන්නේ ඩොරිස්ගේ වචනවලිනුයි. ඒ පාඩම දිගටම කරගෙන යන්න මට පුළුවන් කියලා දෙවි කිව්වා වගේ මට ඒ වෙලාවේ දැනුණා.”

2010දී ඩොරිස් බව්තීස්ම වුණා. දැන් එයාටත් බයිබල් පාඩම් කීපයක්ම තියෙනවා. “දෙවි ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට උදව් කරන්න කාලයක් තිස්සේ මට තිබුණු ආසාව ඉෂ්ට වුණු එක ගැන මං ඉන්නේ පුදුම සතුටකින්” කියලා කැතරින් කියනවා. දැන් කැතරින් විශේෂ පුරෝගාමියෙක් විදිහට පැසිෆික් දූපත්වලට අයිති කොස්රේ කියන දූපතේ සේවය කරනවා.

අභියෝග තුනක්

අවුරුදු 19ත් 79ත් අතර වයස්වල ඉන්න සහෝදර සහෝදරියන් 100කටත් වඩා වැඩිදෙනෙක් වෙනත් රටවලින් ඇවිත් මයික්‍රෝනීසියාවේ සේවය කරනවා. එරිකා 2006දී ගුවාම්වල සේවය කරන්න එද්දී වයස 19යි. එයා මෙහෙම කියනවා. “සත්‍යය දැනගන්න උනන්දුවක් දක්වන මිනිස්සු ඉන්න පැත්තක සේවය කරද්දී දැනෙන්නේ ලොකු සතුටක්. මෙහෙට ඇවිත් සේවය කරන්න මාව තෝරගත්ත එක ගැන මං දෙවිට ස්තුති කරනවා. මේක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් හොඳම විදිහ.” දැන් එරිකා විශේෂ පුරෝගාමියෙක් විදිහට මාෂල් දූපත්වල තියෙන ඉබයි කියන දූපතේ සේවය කරනවා. වෙනත් ප්‍රදේශයකට ගිහින් සේවය කරද්දී අභියෝග නැතුවමත් නෙමෙයි. ඒ වගේ අභියෝග තුනක් ගැනත් මයික්‍රෝනීසියාවේ සේවය කරන්න ගිහින් ඉන්න සහෝදර සහෝදරියන් ඒවාට මුහුණ දෙන විදිහ ගැනත් දැන් බලමු.

එරිකා

ජීවන රටාව. 2007දී පලාව්වලට එද්දී සයිමන්ට වයස 22යි. එයා එංගලන්තයේ ඉද්දී වැඩ කරලා හම්බ වුණු මුදල එක්ක බලද්දී පලාව්වල වැඩ කරලා හම්බ වුණේ හරිම පොඩි මුදලක්. “ඒ නිසා මම කැමති හැම දෙයක්ම මිල දී ගන්නේ නැතුව ඉන්න මං ඉගෙනගත්තා. මිල දී ගන්න ඕනෙ මොන වගේ කෑම වර්ගද කියලත් හොඳම ඒවා අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද කියලත් දැන් මං හොයලා බලනවා. බඩුවක් කැඩුණම අලුත් එකක් ගන්නේ නැතුව කාට හරි දීලා ඒක හදාගන්න මං උත්සාහ කරනවා.” ඒ වගේ සරල ජීවිතයක් ගත කරපු එකෙන් එයාට ප්‍රයෝජනයක් ලැබුණද? සයිමන් මෙහෙම කියනවා. “ජීවිතේට අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලත් තියෙන දේවලින් සෑහීමට පත් වෙන්නේ කොහොමද කියලත් මං ඉගෙනගත්තා. යෙහෝවා දෙවි මාව බලාගන්නවා කියලා අවස්ථා කීපයකදීම මට තේරුණා. මං මෙහේ සේවය කරපු අවුරුදු 7 පුරාම එක දවසක්වත් බඩගින්නේ ඉඳලා නෑ. නිදාගන්න තැනක් නැතුව ඉඳලත් නෑ.” දෙවිගේ රාජ්‍යයට මුල් තැන දීලා සරල ජීවිතයක් ගත කරන අයව දෙවි අනිවාර්යයෙන්ම බලාගන්නවා.මතෙ. 6:32, 33.

පවුලේ අයගෙන් ඈත් වෙලා ඉද්දී දැනෙන පාළුව. “මං මගේ පවුලේ අයට හුඟක් කිට්ටුයි. ඒ අයගෙන් ඈත් වෙලා ඉද්දී දැනෙන පාළුව නිසා මං කරන සේවය හරියට කරගන්න බැරි වෙයි කියලා මං බය වුණා” කියලා එරිකා කියනවා. එයා ඒකට මුහුණ දෙන්න ලෑස්ති වුණේ කොහොමද? “ගුවාම්වලට යන්න කලින් ගෙදර අයගෙන් ඈත් වෙලා ඉද්දී දැනෙන පාළුව නැති කරගන්නේ කොහොමද කියලා දැනගන්න මං ඒ ගැන තිබුණු ‘මුරටැඹ’ ලිපි කියෙව්වා. ඒවා මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. එක ලිපියක තිබුණා අම්මා කෙනෙක් එයාගේ දුව  වෙන පැත්තක සේවය කරන්න යද්දී එයාට කියපු දෙයක්. එයා කිව්වේ ‘දුවේ, යෙහෝවා දෙවිට පුළුවන් මටත් වඩා හොඳට ඔයාව බලාගන්න’ කියලයි. ඒක මට ලොකු ශක්තියක් වුණා.” හානා සහ එයාගේ සැමියා පැට්‍රික් මාෂල් දූපත්වල තියෙන මෙජූරෝ කියන දූපතේ සේවය කරන්න ආවා. පවුලේ අය නැති පාළුව දරාගන්න හානාට උදව් වුණේ සභාවේ අයගේ ආශ්‍රය. එයා මෙහෙම කිව්වා. “මේ වගේ සහෝදර සහෝදරියන් දුන්න එක ගැන මං හැමදාම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා. ඒ අය මගේම පවුලේ අය වගේ. එයාලා නැත්නම් මේ වගේ ප්‍රදේශයක සේවය කරන්න මට බැහැ.”

සයිමන්

තත්වයන්ට හුරු වීම. “වෙන රටකට ගියාම ඒ රටේ තියෙන හැම දේම වගේ අපි හුරු වෙලා තිබුණු විදිහට වඩා වෙනස්. මං සාමාන්‍යයෙන් විහිළුතහළු කරලා ටිකක් විනෝදයෙන් ඉන්න කැමතියි. ඒත් පලාව්වල භාෂාව වෙනස් නිසා මගේ විහිළු ඒගොල්ලන්ට තේරුණේ නෑ” කියලා සයිමන් කිව්වා. එරිකා මෙහෙම කිව්වා. “මුලදී මට දැනුණේ මාව කවුරුත් ගණන් ගත්තේ නෑ කියලයි. හැබැයි ඊටපස්සේ මං හිතුවා ඇත්තටම මං මෙහෙට ආවේ ඇයි කියලා. මං ආවේ යෙහෝවා දෙවිට වැඩිපුර සේවය කරන්න කියන එක මං මතක් කරගත්තා. ඉස්සර මට පාළුවක් දැනුණත් දැන් නම් මට මෙහේ හොඳ යාළුවෝ ඉන්නවා.” අමාරු වුණත් සයිමන් කොහොම හරි පලාව් භාෂාව ඉගෙනගත්තා. ඒ නිසා සහෝදරයන්ට තවත් කිට්ටු වෙන්න එයාට පුළුවන් වුණා. (2 කොරි. 6:13) ඒ වගේ ප්‍රදේශවලට එන සහෝදර සහෝදරියන් එහේ ඉන්න අයත් එක්ක එකට වැඩ කරද්දී ඔවුන් එකිනෙකාට තව තවත් කිට්ටු වෙනවා. ඒක ලොකු අශීර්වාදයක්.

ආශීර්වාද රැසක්

“නිර්ලෝභීව වපුරන තැනැත්තා බොහෝ දේ කපාගනියි” කියලා පාවුල් කිව්වා. (2 කොරි. 9:6) ප්‍රචාරකයන් අඩු පාළාත්වලට ගිහින් තව වැඩියෙන් සේවය කරන අය පාවුල්ගේ ඒ වචන ඇත්තක් කියලා අද්දකිනවා. මයික්‍රෝනීසියාවේ සේවය කරන අය ඒ දේ අද්දකින්නේ කොහොමද?

පැට්‍රික් සහ හානා

මයික්‍රෝනීසියාවේ උනන්දුව දක්වන අය තව හුඟක් ඉන්නවා. ඒ වගේම මිනිස්සු දෙවිගේ වචනය ඉගෙනගෙන සත්‍යය තුළ ඉක්මනින්ම දියුණු වෙන විදිහ මෙහෙට එන ඕනම කෙනෙක්ට දකින්න පුළුවන්. පැට්‍රික් සහ හානා මිනිස්සු 320ක් විතර ඉන්න අන්ගූර් කියන දූපතටත් ගිහින් සේවය කළා. එහෙට ගිහින් මාස දෙකකට පස්සේ ඒ දෙන්නාට කාන්තාවක්ව මුණ ගැහුණා. එයා හරිම ආසාවෙන් බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. ඒ වගේම ඉක්මනටම එයාගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගත්තා. හානා මෙහෙම කියනවා. “එයාත් එක්ක පාඩම කරලා අපි ගෙදර එන්න පිටත් වෙන හැම වෙලාවකම අපි දෙන්නම යෙහෝවා දෙවිට ස්තුතියි කියනවා. අපි නැතත් තමන්ට කිට්ටු වෙන්න යෙහෝවා දෙවි කොයි විදිහකින් හරි එයාට උදව් කරනවා කියලා අපි දන්නවා. ඒත් එයාට උදව් කරන අවස්ථාව අපිට ලැබුණේ ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහින් සේවය කරන්න අපි ගත්ත තීරණය නිසයි. ඒක අපේ ජීවිතේට ලැබුණු වටිනාම අවස්ථාවක්.” එරිකා කියන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවිට කිට්ටු වෙන්න කෙනෙකුට උදව් කරන එක තරම් සතුටක් වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ.”

ඔයාටත් පුළුවන්ද?

ප්‍රචාරකයන්ගේ අවශ්‍යතාව තියෙන තව හුඟක් ප්‍රදේශ තියෙනවා. ඒ වගේ තැනකට ගිහින් සේවය කරන්න ඔයාටත් පුළුවන්ද? වැඩිපුර සේවය කරන්න හිතේ තියෙන ආසාව වැඩි කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්න. සභාවේ වැඩිමහල්ලන් එක්ක, චාරිකා සේවක එක්ක වගේම ඒ වගේ පළාත්වලට ගිහිල්ලා සේවය කරපු අයත් එක්ක ඔයාගේ හිතේ තියෙන ආසාව ගැන කතා කරන්න. ජීවිතේ යම් යම් වෙනස්කම් කරගෙන ඒ වගේ පැත්තකට යන්න පුළුවන් කියලා තේරෙද්දී ඔයා යන්න කැමති පළාත අයිති ශාඛා කාර්යාලයට ලියලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න. * එහෙම කළොත් වැඩියෙන් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු බාල මහලු, විවාහක, තනිකඩ දහස් ගාණක් සහෝදර සහෝදරියන් ලබන ආශීර්වාද ලබන්න ඔයාටත් පුළුවන්.

^ 17 ඡේ. 2011 අගෝස්තු ‘රාජ්‍ය සේවාවේ’ “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගොස් සේවය කරන්න ඔබට හැකිද?” යන ලිපිය බලන්න.