යෙරෙමියා 17:1-27

17  “යූදා වැසියන්ගේ පාපය යකඩ පන්හිඳකින් ලියා තිබේ.+ ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ සිත්වලද+ ඔවුන්ගේ පූජාසනවල අං මතද+ කොටා තිබේ.  ඔවුන් තැනූ පූජාසනද නමස්කාරය සඳහා සෑදූ කුලුනුද ඔවුන්ගේ පුත්‍රයන්ට පවා මතකය. ඔවුහු ඒවා සරුසාරව වැඩුණු ගස් අසලද හෙල් මතද+  කඳු මුදුන්වලද ඉදි කළෝය. ඔබ දේශය පුරා කළ පව් නිසා නමස්කාරය සඳහා ඔබ ඉදි කළ සියලු පූජනීය ස්ථාන කොල්ල කෑමට මම ඉඩහරින්නෙමි.+ ඔබේ ධන සම්පත් සියල්ලද පහසුවෙන් පැහැරගෙන යෑමට මම කොල්ලකරුවන්ට ඉඩහරින්නෙමි.+  මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.  ඔහු පාළුකරයේ හුදෙකලාවේ වැවී තිබෙන ගසකට සමාන වනු ඇත. එම ගස මෙන් ඔහුද කිසි දිනක හොඳ කාලයක් අද්දකින්නේ නැත.+ ඔහු පාළුකරයේ වියළි තැනක, මිනිසුන් නොවසන ලුණු බිමක වාසය කරනු ඇත.+  නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් යෙහෝවා දෙවි මත රඳා සිටින තැනැත්තා ආශීර්වාද ලද්දෙක් වන්නේය.+  ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.  “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.+ ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද? 10  යෙහෝවා දෙවි වන මම මනුෂ්‍යයන්ගේ සිත් සෝදිසි කර+ ඔවුන්ගේ ඇතුළාන්ත හැඟීම් විමසා බලන්නෙමි.+ මා එසේ කරන්නේ ඔවුන් එකිනෙකා ගත කරන ජීවිතයට අනුව ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දීමටය.+ 11  අසාධාරණ ලෙස ධන සම්පත් රැස් කරන තැනැත්තා වටුවෙකුට සමානය.+ මන්ද ඌ තමා නොදැමූ බිත්තර පවා රැස් කරගනිති. නමුත් කලක් ගත වූ පසු එම තැනැත්තාගේ ධන සම්පත් සියල්ල ඔහුව අත්හැර යයි.+ අවසානයේදී ඔහුගේ අඥානකම පැහැදිලිව දිස් වෙයි.”+ 12  දෙවිගේ තේජවත් සිංහාසනයට මුල සිටම ගෞරවය හිමි වී ඇත.+ එය අපගේ ශුද්ධස්ථානයයි.+ 13  යෙහෝවා දෙවියනි, ඊශ්‍රායෙල්හි බලාපොරොත්තුව ඔබයි.+ නමුත් ඔබව අත්හැර යන සියලුදෙනාම ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුන් ජීවනදායක දිය උල්පත වන යෙහෝවා දෙවි+ වන ඔබව අත්හැර යන බැවින්+ ඔවුන්ගේ නම් ලියනු ලබන්නේ පොළොවේ දූවිලි මතය. 14  යෙහෝවා දෙවියනි, මාව සුව කරන්න. ඔබ එසේ කළොත් මට සුවය ලැබේ.+ දෙවියනි, මාව බේරගන්න. ඔබ එසේ කළොත් මට ගැලවීම ලැබෙයි.+ මන්ද මා ප්‍රශංසා කරන්නේ ඔබට පමණය.+ 15  බලන්න! සෙනඟ මගෙන් මෙසේ අසති. “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි?”+ 16  ඔවුන් එසේ ඇසුවත් එඬේරෙකු ලෙස මට ලැබුණු වගකීම මම අත්හැර ගියේ නැත. මම ඔබට කරමින් සිටි සේවය නතර නොකළෙමි. විනාශයේ දවස එන තෙක් මම ආශාවෙන් බලා නොසිටියෙමි. මා පැවසූ සෑම දෙයක්ම ඔබ හොඳින් දන්නෙහිය. ඒ කිසිවක් මම ඔබෙන් සැඟවූයේ නැත. 17  දෙවියනි, මාව අත් නොහරින්න. මන්ද විපත්ති කාලයේදී මගේ රැකවරණය ඔබය.+ ඔබ මාව අත්හැරියොත් භීතිය මාව වෙළාගනු ඇත.+ 18  දෙවියනි, මාව ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ මා පිටට භීතිය පැමිණීමට ඉඩ නොදෙන්න. නමුත් මට පීඩා කරන්නෝ ලැජ්ජාවට පත් වෙත්වා!+ ඔවුහු භයෙන් තැතිගනිත්වා! විපත්ති දවස ඔවුන් පිටට පමුණුවන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දමන්න.+ 19  යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔබ ගොස් යූදාහි රජවරුන් යන එන ප්‍රධාන දොරටුව* අසලද යෙරුසලමේ අනිකුත් දොරටු අසලද සිටගෙන,+ 20  සෙනඟට මෙසේ කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වන යූදාහි රජවරුනි, යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි පවසන දේට ඇහුම්කන් දෙන්න.+ 21  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජීවිතය රැකගැනීමට ඔබ කැමති නම්+ සබත් දවස තුළ කිසිම බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න.+ 22  සබත් දවසේදී ඔබේ නිවසින් පිටතට කිසි බරක් උසුලාගෙන නොයන්න. ඔබ එදින කිසිම වැඩක් නොකළ යුතුයි.+ මා ඔබේ මුතුන්මිත්තන්ට අණ කළ ලෙස ඔබ සබත් දවස ශුද්ධ දවසක් ලෙස සැලකිය යුතුයි.+ 23  නමුත් ඔබේ මුතුන්මිත්තෝ මා දුන් අණ පිළිපැද්දේ නැත.+ තම සිත් දැඩි කරගත් ඔවුහු+ මට සවන් නොදුන්නෝය. මාගේ හික්මවීම් පිළි නොගත්තෝය.”’+ 24  “‘යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. “සබත් දවසේදී කිසිවක් උසුලාගෙන මේ නගරයේ දොරටුවලින් ඇතුල් නොවන්න.+ එදින කිසි වැඩක් නොකර එය ශුද්ධ දවසක් ලෙස සලකන්න.+ එසේ කරමින් ඔබ මා පැවසූ සියලු දේට කීකරු වන්නේ නම්+ 25  දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන+ රජවරුද ඔවුන්ගේ අධිපතීහුද මේ දොරටුවලින් නිසැකවම ඇතුල් වනු ඇත.+ ඒ රජවරුද ඔවුන්ගේ අධිපතීහුද අශ්ව රථ පිට නැඟී යූදාහි හා යෙරුසලමේ වැසියන් සමඟ මේ දොරටුවලින් ඇතුල් වනු ඇත. මේ නගරය සැමදා ජනාවාසව තිබෙනු ඇත. 26  යූදාහි නගරවලින්ද යෙරුසලම අවට ප්‍රදේශවලින්ද බෙන්ජමින් ගෝත්‍රයට අයත් දේශයෙන්ද+ පහත් බිම්වලින්ද+ කඳුකර පළාතෙන්ද+ නෙගෙබ් ප්‍රදේශයෙන්ද+ යෙහෝවා දෙවිගේ ගෘහයට සෙනඟ පැමිණෙනු ඇත. ඔවුහු දවන පූජාත්+ ධාන්‍ය පූජාත්+ ස්තුති පූජාත්+ වෙනත් පූජාත්+ කට්ටකුමංජලුත්+ රැගෙන පැමිණෙනු ඇත. 27  “‘“නමුත් සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකමින් එදින බර උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න කියා මා දුන් ආඥාවට ඔබ කීකරු නොවුණොත්+ යෙරුසලමේ දොරටු සියල්ල දැවී යන ලෙස මම ගින්නක් අවුළුවන්නෙමි.+ එහි බලකොටු සියල්ල ඒ ගින්නෙන් පිලිස්සී යනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන්නේය.”’”+

පාදසටහන්

මූ.අ., “සෙනඟගේ දොරටුව.”