Skip to content

පටුනට යන්න

සියලුම දුෂ්ටකම්වලට හේතුව හෙළිවේ!

සියලුම දුෂ්ටකම්වලට හේතුව හෙළිවේ!

සියලුම දුෂ්ටකම්වලට හේතුව හෙළිවේ!

මීට අවුරුදු 2000කට පමණ පෙර සිටි යුදෙව් ජාතිකයන් පොරොන්දු වූ ගැලවුම්කරුගේ පැමිණීම ගැන මහත් ආශාවෙන් බලා සිටියා. (යොහන් 6:14) ඒ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ මිනිසුන්ට සහනය මෙන්ම දෙවි පිළිබඳ නිවැරදි අවබෝධයක්ද ලබා දුන්නා. ඔහු රෝගීන් සුව කරමින් කුසගිනිවූවන්ට ආහාර සපයමින් කුණාටු වැනි ස්වාභාවික විපත් පවා පාලනය කළා. ඒ විතරක් නෙවෙයි මළවුන්ව පවා නැවත නැඟිටෙව්වා. (මතෙව් 8:26; 14:14-21; 15:30, 31; මාක් 5:38-43) ඔහු තම පියා වන යෙහෝවා දෙවිගේ අරමුණු ගැන මිනිසුන්ට දැන්වූ අතර සදාකාලයටම ජීවත් වීම සම්බන්ධයෙන් දෙවි දී තිබෙන පොරොන්දුව ගැනද කතා කළා. (යොහන් 3:34) මනුෂ්‍ය වර්ගයා වැටී සිටින තත්වයෙන් ඔවුන්ව ගලවාගත හැකි එකම තැනැත්තා නොහොත් ගැලවුම්කරු තමා බව යේසුස් කළ කී දේවලින් මනාව ඔප්පු කළා.

එම ගැලවුම්කරු පැමිණෙන විට ඔහුව කැමැත්තෙන්ම පිළිගෙන සවන් දී ඔහුගේ මඟ පෙන්වීම්වලට මුලින්ම කීකරු වීමට යුතුව තිබුණේ යුදෙව් ආගමික නායකයනුයි. නමුත් ඔවුන් කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එනම් ඔවුන් ඔහුට වෛර කර, හිංසා පීඩා කර අවසානයේදී ඔහුව මරා දමන්න පවා කුමන්ත්‍රණය කළා.—මාක් 14:1; 15:1-3, 10-15.

යේසුස් එම දුෂ්ට මිනිසුන්ව දැඩි සේ හෙළා දැක්කා. (මතෙව් 23:33-35) එසේ වුණත් නපුරු ක්‍රියා කරන්න ඒ මිනිසුන්ව පොලඹවන තවත් පුද්ගලයෙක් සිටින බව යේසුස් හෙළි කරමින් මෙසේ පැවසුවා. “ඔබ ඔබේ පියා වන යක්ෂයාගෙන්ය. ඔබ කැමති ඔබේ පියාගේ ආශා ඉටු කිරීමටය. ඒ තැනැත්තා පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්ය. ඔහු තුළ සත්‍යය නැති හෙයින් ඔහු සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත. ඔහු බොරු කියද්දී තමාගේම අදහස්වලට අනුව කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. බොරුවේ පියාය.” (යොහන් 8:44) මිනිසුන් දුෂ්ට දේවල් කරන බව යේසුස් දැන සිටියා. නමුත් දුෂ්ටකමට ප්‍රධානතම හේතුව කවුද කියා යේසුස් හෙළි කළා. ඒ සාතන් නමැති යක්ෂයායි.

සාතන් “සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැත” කීමෙන් යේසුස් පැහැදිලි කළේ ඔහු කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කළත් පසුව දෙවිට විරුද්ධව කැරලි ගැසූ බවයි. ඔහු එසේ කළේ ඇයි? ඒ තමා ගැන වුවමනාවට වඩා සිතමින් දෙවිට පමණක් යා යුතු නමස්කාරය තමාට ලබා ගන්න ආශාවක් ඔහු තුළ ඇති වුණ නිසයි. *මතෙව් 4:8, 9.

එදා පොළොව මත තිබූ ඒදන් නම් අලංකාර උයනේදී මුල් මනුෂ්‍ය ස්ත්‍රීය වූ ඒවව දෙවිට අකීකරු වීමට සැලැස්වීමෙන් සාතන් ඔහුගේ කැරලිකාර ස්වභාවය පෙන්නුම් කළා. මුල්ම බොරුව පැවසීමෙන් සහ දෙවිට අපහාස කිරීමෙන් ඔහු තමාවම “බොරුවේ පියා” බවට පත් කරගත්තා. එමෙන්ම ආදම් සහ ඒවව දෙවිට අකීකරු වීමට පෙලඹවීමෙන් සාතන් ඔවුන්ව පව්කාරයන් බවට පත් කළා. එතැන් සිට ඔවුන් ඇතුළු මුළු මිනිස්වර්ගයාම පව් කරන්න නැඹුරුවාවක් දැක් වූ අතර ප්‍රතිඵලයක් ලෙස හැම දෙනාටම අවසානයේදී මරණය උරුම වුණා. ඒ අනුව සාතන් තමාවම “මිනී මරන්නෙක්” බවට පත් කරගත්තා. සෑම මිනිසෙකුගේම මරණයට වගකිව යුතු මිලේච්ඡ මිනීමරුවා ඔහුයි!—උත්පත්ති 3:1-6; රෝම 5:12.

සාතන්ගේ එම කැරලිකාර ස්වභාවය ස්වර්ගයටත් බලපෑ අතර සමහර දේවදූතයන් ඔහු සමඟ එකතු වී කැරලි ගැසුවා. (2 පේතෘස් 2:4) සාතන් මෙන් ඔවුන්ද මනුෂ්‍යයන් කෙරෙහි නුසුදුසු ආශාවක් ඇති කරගත්තා. මිනිසුන් කෙරෙහි ඔවුන්ට තිබූ අස්වාභාවික ලිංගික ආශාවන් පසුව මහත් විනාශයකට මඟ පෑදුවා.

පොළොව දුෂ්ටකමින් පිරෙයි

බයිබලයේ ඒ ගැන වාර්තා වී තිබෙන්නේ මෙසේයි. “තවද භූමිතලයෙහි මනුෂ්‍යයන් බෝවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල, දෙවිගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තම තමන් කැමති සියල්ලන් අතරෙන් භාර්යාවන් පාවාගත්තෝය.” (උත්පත්ති 6:1, 2) එහි සඳහන් “දෙවිගේ පුත්‍රයෝ” කියන්නේ කාටද? ඔවුන් දේවදූතයන් මිස මිනිසුන් නොවෙයි. (යෝබ් 1:6, 2:1) ඒ බව අපි දන්නේ කොහොමද? අද මෙන් එදත් මිනිසුන් අතර විවාහයන් සිදුවීම සාමාන්‍ය දෙයක්ව පැවතුණා. නමුත් “දෙවිගේ පුත්‍රයෝ” මිනිස් වෙස් ගෙන “මනුෂ්‍ය දූවරුන්” සමඟ විවාහ වීම අස්වාභාවික දෙයක් බව බයිබලයේ පැහැදිලි කරනවා.

එය කොතරම් අස්වාභාවික දෙයක්ද කියා ඔවුන්ට දාව ඉපදුණු දරුවන්ගෙන් දැක ගත හැකි වුණා. එම දෙමුහුන් දරුවන් යෝධයන් වූ අතර ඔවුන්ව හැඳින්වූයේ නෙඵිලීම් යන නාමයෙනුයි. පසුව මේ යෝධයන් මිනිසුන්ට බොහෝ හිරිහැර කරන්න පටන්ගත්තා. “නෙඵිලීම්” යන ඔවුන්ගේ නමේ අර්ථය නම් “වැට්ටවීම” හෝ “අන් අයව වැටීමට සැලැස්වූවන්” යන්නයි. එම සහාසිකයන්ව බයිබලයේ විස්තර කරන්නේ “පුරාණෙහි සිටි බලසම්පන්න වූ කීර්තිමත් වූ මනුෂ්‍යයෝ” හැටියටයි.—උත්පත්ති 6:4.

එම යෝධයන් සහ ඔවුන්ගේ පියවරුන් දුෂ්ටකමේ අන්තයටම ගියා. ඒ ගැන බයිබලයේ වාර්තා වෙන්නේ මෙසේයි. “පොළොව දෙවි ඉදිරියෙහි දූෂ්‍ය වූවාය. පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.” (උත්පත්ති 6:11) ඒ නිසා පොළොව මත සිටි මිනිසුන්ද ඔවුන්ගේ එම දුෂ්ට ක්‍රියා අනුගමනය කරන්න පටන්ගත්තා.

මිනිසුන් මත එතරම් බලපෑමක් ඇති කිරීමට ඔවුන්ට හැකි වුණේ කොහොමද? පව් කිරීමට මිනිසුන් තුළ තිබෙන නැඹුරුවාවන් සහ වැරදි ආශාවන් ප්‍රයෝජනයට ගැනීමෙනුයි. ඒ නිසා ඉන් ඇති වූ නරක ප්‍රතිඵල ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මාංසමය වූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ගය දූෂ්‍ය කරගෙන තිබුණෝය.” එනම් ඔවුන් බොහෝ සෙයින් දුෂ්ට ලෙස කටයුතු කරමින් සිටියා. ඒ නිසා අවසානයේදී යෙහෝවා දෙවි මුළු පොළොව මතට විශාල ජල ගැල්මක් ගෙන ඒමෙන් එම යෝධයන් ඇතුළු දුෂ්ට මිනිසුන් සියලුදෙනාවම විනාශ කර දැම්මා. එම විනාශයෙන් ජීවිත ගලවාගත්තේ නෝවා නමැති ධර්මිෂ්ඨ මිනිසා සහ ඔහුගේ පවුලේ අය පමණයි. (උත්පත්ති 6:5, 12-22) ඒ අවස්ථාවේදී පොළොවට පැමිණ සිටි දුෂ්ට දූතයන් මිනිස් වෙස් අත්හැර නැවතත් ස්වර්ගයට ගියා. එය ඔවුන්ට මොන තරම් නින්දාවක්ද! ඔවුන් එහි ගොස් නැවතත් දෙවිට සහ ඔහුගේ පක්ෂපාත දේවදූතයන්ට විරුද්ධව කැරලි ගසන්න පටන්ගත්තා. පෙනෙන විදිහට එතැන් සිට මේ දුෂ්ට දූතයන්ට මිනිස් වෙස් ගැනීමට තිබූ හැකියාව දෙවි අහිමි කළා. (යූද් 6) කොහොමවුණත් මිනිසුන්ට බලපෑම් කරන්න ඔවුන්ට තවමත් පුළුවන්.

දුෂ්ටකම් කරන්නාගේ වෙස් මුහුණ ගැලවෙයි!

සාතන්ට මිනිසුන් කෙරෙහි කොතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියා බයිබලයේ 1 යොහන් 5:19හි පැහැදිලිව විස්තර කර තිබෙනවා. එහි කියන්නේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” කියායි. සාතන් මුළු මිනිස් වර්ගයාවම ඉතාමත් දුක්ඛිත තත්වයකට ඇද දමමින් සිටිනවා. දැන් ඔහු පෙරටත් වඩා වියරු වැටී සිටින නිසා මිනිසුන්ට වැඩි වැඩියෙන් හානි කරමින් සිටිනවා. ඊට හේතුව නම් 1914දී ස්වර්ගයේ, දෙවිගේ රාජ්‍ය පිහිටුවීමත් සමඟම සාතන්ව ඔහුගේ භූතයන් සමඟ මේ පොළොවට හෙළා දැමීමයි. ඒ ගැන බයිබලයේ අනාවැකියක් ආකාරයට පවසා ඇත්තේ මෙසේයි. “පොළොවට . . . දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.” (එළිදරව් 12:7-12) සාතන්, වර්තමානයේ මිනිසුන් කෙරෙහි ඔහුගේ බලය පවත්වන්නේ කෙසේද?

සාතන් මූලිකවම එය කරන්නේ මිනිසුන් සිතන සහ ක්‍රියා කරන ආකාරය පාලනය කිරීමෙනුයි. බයිබලයේ ඒ ගැන කියන්නේ “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන ස්වභාවය [ඔවුන් තුළ බලපවත්වන මානසික ආකල්පය] වන ආකාශයේ බලයේ පාලකයාගේ කැමැත්ත ලෙසද ඒ දේවල ගමන් කළහුය” කියායි. (එෆීස 2:2) එම “ස්වභාවය” මගින් මිනිසුන්ව පොලඹවන්නේ දෙවිට සහ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට විරුද්ධව කැරලි ගැසීමටයි. දුෂ්ටකම වැඩි වර්ධනය කිරීමට සාතන් සහ ඔහුගේ සගයන් මිනිසුන්ව යොදාගන්නවා.

‘ඔබේ හදවත ආරක්ෂා කරගන්න’

කලින් සඳහන් කළ ‘ස්වභාවයේ’ තවත් පැත්තක් වන්නේ වසංගතයක් මෙන් දසත පැතිරී තිබෙන කාමුක දර්ශන ඇතුළත් දේවලුයි. ඒවා මගින් මිනිසුන් තුළ අස්වාභාවික ලිංගික ආශාවන් ඇති කරන අතර ඒවායේ කිසි වරදක් නැතැයි කියාද පෙනෙන්නට සලස්වනවා. (1 තෙසලෝනික 4:3-5) එවැනි කාමුක කෘති අතර ස්ත්‍රී දූෂණය, ලිංගිකව වධ හිංසා කිරීම, කිහිපදෙනෙක් එක පිට එක ස්ත්‍රීයක්ව දූෂණය කිරීම, නින්දිත ලෙස හැසිරීම සහ දරුවන්ට ලිංගිකව අතවර කිරීම වැනි දේවල් ඇතුළත්. එවැනි දේවල් ඔවුන් සලකන්නේ විනෝදාංශ හැටියටයි. ඉන් ඇති විය හැකි තවත් අන්තරාවක් වන්නේ එවැනි කෘති කියවන හෝ නරඹන අය ඒවාට දැඩි සේ ඇබ්බැහි වීම සහ ඉන් ලිංගිකව ආශ්වාදයක් ලැබීමටත් පුරුදු වීමයි. * එය කොතරම් දුෂ්ටකමක්ද! හේතුව නම් ඉන් මිනිසුන් එකිනෙකා අතර තිබෙන බැඳීම් විනාශ කර දමා දෙවිගේ අනුමැතියද ඔහුට අහිමි කරවීමයි. එසේනම් මෙම කාමුක කෘතිවලින් හෙළි වෙන්නේ කුමක්ද? එදා ජලගැල්මට පෙර පොළොවේ සිටි දුෂ්ට දූතයන්ට තිබූ විකෘති මානසිකත්වයයි.

එක් ප්‍රඥාවන්ත මිනිසෙක් වූ සලමොන් මෙසේ පැවසුවේ හොඳ හේතු ඇතිවයි. “ජීවනය නික්මෙන්නේ හෘදයෙන්ය. එබැවින් මුළු වීර්යයෙන් ඒක රක්ෂා කරන්න.” (හිතෝපදේශ 4:23) ඔබගේ හදවත ආරක්ෂා කරගන්න කියද්දී ඉන් අදහස් වෙන්නේ රූපවාහිනියේ හෝ පරිගණකයේ දිස්වන ඕනෑම ආකාරයක කාමුක දර්ශන නැරඹීමෙන් වැළකී සිටීමයි. එවන් අවස්ථාවලදී ඉක්මන් මෙන්ම ස්ථිර පියවර ගන්න! ඔබ සොල්දාදුවෙක් කියා මොහොතකට හිතන්න. සතුරෙක්, ඔහුගේ තුවක්කුව හරියටම ඔබගේ හදවතටම එල්ල කරගෙන සිටිනවා නම් ක්ෂණිකව ඔබ කරන්නේ කුමක්ද? සාතන්ද වෑයම් කරන්නේ ඔබගේ සිතුවිලි සහ ආශාවන්ගේ උල්පත නමැති සංකේතාත්මක හදවතට පහර දෙන්නයි. එනම් එය දූෂ්‍ය කරන්නයි.

ඔබගේ හදවත තවත් දෙයකින් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. එය නම් සැහැසියාවට ඔබ තුළ ඇති නැඹුරුවාවෙනුයි. ‘බලාත්කාරකමට ප්‍රිය වූ අයට [යෙහෝවා දෙවි] ද්වේෂ කරන’ බව සාතන් නමැති යක්ෂයා හොඳින්ම දන්නවා. (ගීතාවලිය 11:5) සාතන්ට අවශ්‍ය ඔබව දෙවිගේ සතුරෙක් කරවීමටයි. ඒ සඳහා ඔබ ලවා සහාසික ක්‍රියාවක් කරවන්නම ඔහුට අවශ්‍ය නැහැ. ඔබ තුළ සහාසික ක්‍රියාවලට ප්‍රියක් එනම් ආශාවක් ඇති කිරීමෙන් ඔහුට ඒ ඉලක්කය අත් කරගන්න පුළුවන්. කලින් සඳහන් කළ නෙඵිලීම් නම් යෝධයන්ව ඔබට මතකද? ඔවුන් මිය ගොස් දැන් අවුරුදු ගණනාවක් ගත වී ඇතත් ඔවුන්ගේ ආකල්ප සහ ක්‍රියාකලාපයන් තවමත් පවතිනවා! ජනප්‍රිය මාධ්‍යයන් තුළ භූතමය දේවල් සහ සැහැසික දේවල් එකට මිශ්‍ර වී තිබීම අහම්බෙන් සිදු වූ දෙයක් නොවෙයි. විනෝදය සඳහා ඔබ තෝරාගන්නා වූ දේවලින් සාතන්ගේ කපටි උපායන් ඔබ ප්‍රතික්ෂේප කරන බව පෙන්වනවාද?—2 කොරින්ති 2:11.

සාතන්ගේ දුෂ්ට ක්‍රියාවලට විරුද්ධ වන්න

සමහරවිට සාතන්ගේ දුෂ්ට බලපෑම් ඉතා ප්‍රබල වෙන්න පුළුවන්. දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් වෙන්න කැමති අයට ‘දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධව පොරබදන්න’ නොහොත් ඔවුන්ගේ බලපෑම්වලට විරුද්ධව සිටින්න සිදු වෙනවා කියා බයිබලයේ පවසනවා. ඒ අතරම පව් කිරීමට තිබෙන අපේ නැඹුරුවාවට එරෙහිවද කටයුතු කරන්නත් සිදු වෙනවා. ඒ සටනින් ජයගෙන යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් දෙවි සපයා තිබෙන දේවලින් උපරිම ප්‍රයෝජන ගැනීම අවශ්‍යයි.—එෆීස 6:12; රෝම 7:21-25.

ඒ සඳහා ප්‍රබල උපකාරයක් වන්නේ යෙහෝවා දෙවි සපයන බලයයි. විශ්වයේ ඊට සමාන කිසිවක් තවත් නැහැ. බයිබලයේ ලේඛකයෙක් වූ පාවුල් ඒ ගැන වාර්තා කළේ මෙසේයි. “අපට ලැබී තිබෙන්නේ ලෝකයේ ආත්මය නොව, දෙවිගෙන් වූ ආත්මයය.” (1 කොරින්ති 2:12) එහි සඳහන් දෙවිගේ ආත්මය හෙවත් එම බලය මගින් මඟ පෙන්වීම් ලබන අය ඔහු කැමති දේවල්වලට ප්‍රිය වෙන්නත් ඔහු අකමැති දේවල්වලට ද්වේෂ කරන්නත් පෙලඹෙනවා. (ආමොස් 5:15) පුද්ගලයෙකුට දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලබාගත හැක්කේ කෙසේද? දෙවිට යාච්ඤා කිරීමෙන්, දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ සැබවින්ම දෙවිට ප්‍රේම කරන අයව ඇසුරු කිරීමෙනුයි.—ලූක් 11:13; 2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 10:24, 25.

එම සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීමෙන් “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” ඔබට හැකියි. එනම් සාතන්ට විරුද්ධව සිටීමට හැකි කරවන ගුණාංග වර්ධනය කරගන්න ඔබට පුළුවන්. ඒ තුළින් ‘යක්ෂයාගේ උපායවලින්’ ආරක්ෂා වීමට ඔබට හැකියි. (එෆීස 6:11-18) දෙවි සපයා ඇති දේවලින් උපරිම ප්‍රයෝජන ගැනීම වෙන කවරදාකටත් වඩා අද හදිසි කාරණයක් වී තිබෙනවා. ඒ ඇයි?

දුෂ්ටකම්වල අවසානය අත ළඟයි!

“තණකොළ මෙන් දුෂ්ටයන් වැඩෙන්නෙත් අයුතුකම් කරන සියල්ලන් සඵල වන්නෙත් සදාකාලයට විනාශ වන පිණිසය” කියා බයිබලයේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. (ගීතාවලිය 92:7) නෝවාගේ කාලයේ මෙන් අද දිනත් දුෂ්ටකම් එන්න එන්නම වැඩි වීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? එනම් දුෂ්ට මනුෂ්‍යයන් මතට යෙහෝවා දෙවි ගෙනෙන විනාශය අත ළඟ බවයි. ඔවුන්ට පමණක් නොව සාතන් සහ ඔහුගේ පැත්ත ගත් දූතයන්වත් බල රහිත තත්වයකට පත් කර, අවසානයේදී සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නියමිතයි. (2 තිමෝති 3:1-5; එළිදරව් 20:1-3, 7-10) එය කරන්න යන්නේ දෙවිගේ පුත් යේසුස් ක්‍රිස්තුස් විසිනුයි. ඔහු ගැන බයිබලයේ මෙසේ පවසයි. “දෙවිගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම සඳහාය.”—1 යොහන් 3:8.

ඔබ නොඉවසිල්ලෙන් බලා සිටින්නේ දුෂ්ටකම් අවසන් වෙන තෙක්ද? එසේනම් බයිබලයේ සඳහන් පොරොන්දු ගැන දැනගැනීම ඔබට සහනයක් වේවි. දුෂ්ටකමට මුල් වූ ප්‍රධානම තැනැත්තා සාතන් වන යක්ෂයා බව වෙන කිසිම පොතක හෙළි කර නැහැ. එමෙන්ම ඔහුවත් ඔහුගේ සියලුම දුෂ්ට ක්‍රියාත් මේ පොළොවෙන් තුරන් වන්නේ කෙසේද යන්න ගැන සඳහන් වෙන්නේ බයිබලයේ පමණයි. එමනිසා මේ කාලයේදී සාතන්ගේ දුෂ්ට බලපෑම්වලින් ආරක්ෂා වීමට බයිබලය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගන්න කියා අපි ඔබට උනන්දු කරන්න කැමතියි. එමගින් ඔබට අනාගතයේදී දුෂ්ටකමින් තොර සමාජයක ප්‍රීතියෙන් ජීවත් වීමේ බලාපොරොත්තුවද ඇතිව සිටින්න හැකියි.—ගීතාවලිය 37:9, 10.

[පාදසටහන්වල]

^ 5 ඡේ. සාතන් බවට පත් වූ මෙම දේවදූතයාව මුලින්ම හැඳින්වූයේ කුමන නමින්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් “සාතන්” යන නමේ තේරුම “විරුද්ධකාරයා” වන අතර “යක්ෂයා” යන නමේ තේරුම වන්නේ “අපහාස කරන්නා” යන්නයි. සාතන් කළ දෙය යම් ආකාරයකින් පුරාණයේ තීර් නමැති රාජ්‍යයේ රජු කළ දෙයට සමානකමක් තිබෙනවා. (එසකියෙල් 28:12-19) එනම් ඔවුන් දෙදෙනාම මුලින් යහපත් ලෙස කටයුතු කළත් පසුව උඩඟු ලෙස හැසිරෙන්න පටන්ගැනීමයි.

^ 17 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන 2003 අගෝස්තු 8, පිබිදෙව්! කලාපයේ “කාමුක දර්ශන අනතුරු දායකද? නැද්ද?” යන ලිපිය බලන්න.

[6වන පිටුවේ කොටුව/පින්තූරය]

සත්‍ය බිඳක් මත ගෙතුණු පුරාවෘත්ත

අඩදේවතාවන්, යෝධයන් සහ මහා ජලගැල්මක් හා සම්බන්ධ කතන්දර ලොව සෑම පැත්තකින්ම වගේ අහන්න දකින්න ලැබෙනවා. උදාහරණයකට අක්කාඩියානු ගිල්ගාමෙෂ් නමැති පුරාවෘත්තයේ මහා ජලගැල්මක්, නැවක් සහ ඉන් ගැලවුණු අය ගැන සඳහන් වෙනවා. එහි සඳහන් ගිල්ගාමෙෂ් කියන තැනැත්තාව විස්තර කර තිබෙන්නේ ඉතාමත් සල්ලාල මෙන්ම සාහසික අඩදෙවියෙක් හැටියටයි. එමෙන්ම මිනිස් ඉතිහාසයේ යෝධයන් ජීවත් වූ කාලයක් ගැන සහ මහා ජලගැල්මක් ගැන ඇස්ටෙක්වරුන්ගේ පුරාවෘත්තයකත් සඳහන් වෙනවා. ස්කැන්ඩිනේවියානුවන්ගේ පුරාවෘත්තයකද යෝධ මිනිසුන් ගැන මෙන්ම ප්‍රඥාවන්ත මිනිසෙක් වූ බර්ගල්මියර් නමැත්තෙක් ගැනද සඳහන් වන අතර ඔහු, තමා සහ තම භාර්යාව ගලවාගැනීමට විශාල බෝට්ටුවක් සෑදූ බවත් එහි සඳහන් වෙනවා. මේ සියලුම පුරාවෘත්තවල සඳහන් තොරතුරු එකට කැටිකොට ගත් විට ඉන් පැහැදිලි වන්නේ කුමක්ද? එනම් පුරාණයේ තිබූ දුෂ්ට සමාජයක් විනාශ කිරීමට මහා ජලගැල්මක් පැමිණි බවටත් අද සිටින මිනිසුන් පැවත එන්නේ ඉන් ගැලවුණු අයගෙන් බවටත් බයිබලයේ සඳහන් වාර්තාව සත්‍යයක් බවයි.

[පින්තූරය]

ගිල්ගාමෙෂ් පුරාවෘත්තය

[හිමිකම් විස්තර]

The University Museum, University of Pennsylvania (neg. # 22065)

[5වන පිටුවේ පින්තූරය]

පුරාණයේ සිටි නෙඵිලීම් නම් යෝධයන්ට තිබූ ගුණාංග අද සිටින මනුෂ්‍යයන් තුළත් දැකිය හැකියි

[7වන පිටුවේ පින්තූරය]

නිවැරදි දැනුම ලබාගැනීම මගින් දුෂ්ටකම්වලට එරෙහිව සිටීමට අවශ්‍ය ශක්තිය ලැබෙයි