Skip to content

පටුනට යන්න

චර්මච්ඡේදනය පෞරුෂත්වයේ ලකුණක්ද?

චර්මච්ඡේදනය පෞරුෂත්වයේ ලකුණක්ද?

චර්මච්ඡේදනය පෞරුෂත්වයේ ලකුණක්ද?

ලෝකයේ බොහෝ රටවල ළදරු වයසේ සිටින පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය නොහොත් සුන්නත් කරන්නේ එය හිතකර ශරීර සෞඛ්‍යයකට දායක වන බව ඔවුන් සිතන නිසයි. තවත් සමහර රටවල පිරිමින්ව කොහෙත්ම චර්මච්ඡේදනය කරන්නේ නැහැ. නමුත් සමහර යුදෙව් සහ මුස්ලිම් ජාතිකයන් චර්මච්ඡේදනය කරන්නේ එය ඔවුන්ගේ ආගමික චාරිත්‍රයක් වන නිසයි.

තවත් ජාතීන් තම පිරිමි දරුවන් ලොකු මහත් වෙන විට චර්මච්ඡේදන චාරිත්‍රයන් පවත්වනවා. එහිදී ඔවුන් පිරිමි දරුවන්ව තම ගෝත්‍රයේ චාරිත්‍රයන් ඉගෙනගැනීම සඳහා පාසැලකට යොමු කරනවා. සාමාන්‍යයෙන් චර්මච්ඡේදනය කරනු ලැබූ පිරිමින්ව සුව වන තෙක් සති කිහිපයක් සමාජයෙන් වෙන් කර තබන්නේ එම පාසැලෙයි. ඒ කාලය තුළ ඔවුන්ගේ සංස්කෘතිය සහ පිරිමියෙක් සතු වගකීම් ඉටු කරන්නේ කෙසේද කියාත් උගන්වනවා. චර්මච්ඡේදනය කියන්නේ පිරිමි දරුවෙක් තම ළමා විය පසුකර පුරුෂයෙක් බවට පත්වුණා කියන්න තිබෙන ලකුණක්ද? ඒ ගැන යෙහෝවා දෙවි දරන ආකල්පය ගැන අපි දැන් සලකා බලමු.—හිතෝපදේශ 3:5, 6.

චර්මච්ඡේදනය ගැන දෙවිගේ ආකල්පය

පුරාණයේ සිටි ඊජිප්තුවරුන් වැනි ජාතීන් චර්මච්ඡේදනය සිදු කළා. ඊට පුරුෂ ලිංගයේ ඉදිරි සම කපා ඉවත් කිරීම අයත් වුණා. නමුත් පුරාණයේ ජීවත් වූ ආබ්‍රහම් එවැනි සංස්කෘතියක හැදී වැඩුණු කෙනෙක් නොවෙයි. ඒ නිසා ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වුණේ චර්මච්ඡේදනය නොවූ කෙනෙක් හැටියටයි. ඒ වුණත් ආබ්‍රහම් ඉතාමත් නිර්භීතව ක්‍රියා කළ කෙනෙක්. උදාහරණයකට එක් අවස්ථාවකදී ඔහුගේ සහෝදරයාගේ පුත් ලොත්ව සතුරු හමුදාවක් පැහැරගෙන ගියා. එවිට ආබ්‍රහම් තවත් සුළු පිරිසක් සමඟ ගොස් රජවරුන් හතරදෙනෙකුගෙන් සමන්විත හමුදාවක් සමඟ සටන් කර ලොත්ව ගලවාගත්තා. (උත්පත්ති 14:8-16) ඊට අවුරුදු 14කට පසු ඔහු ඇතුළු ඔහුගේ නිවසේ සිටි සියලුම පිරිමින් චර්මච්ඡේදනය විය යුතු බවට යෙහෝවා දෙවි අණ කළා. දෙවි එසේ කළේ ඇයි?

ආබ්‍රහම්ව චර්මච්ඡේදනය කිරීමෙන් අදහස් වුණේ ඔහු ළමා විය පසුකර පුරුෂයෙක් බවට පත්වුණ බවද? නැහැ. ඊට හේතුව ඒ වන විටත් ඔහුට වයස අවුරුදු 99යි. (උත්පත්ති 17:1, 26, 27) යෙහෝවා දෙවි එසේ අණ කිරීමට හේතුව මෙසේ පැහැදිලි කළා. “ඔබ සියලුදෙනාම චර්මච්ඡේදනය කරගත යුතුයි. එය ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය.” (උත්පත්ති 17:11) ආබ්‍රහම් තුළින් “පොළොවෙහි සියලු පවුල්” ආශීර්වාද ලැබීම එම ගිවිසුමට අයත් වුණා. (උත්පත්ති 12:2, 3) ඉන් පැහැදිලි වන්නේ චර්මච්ඡේදනය සහ පෞරුෂත්වය අතර කිසිම සම්බන්ධයක් නැති බවයි. එදා එයාකාරයට කෙනෙකුව චර්මච්ඡේදනය කිරීමෙන් ඇඟවූයේ ඔහු ආබ්‍රහම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් ජාතිකයෙකු බවයි. ඔවුන්ට තිබූ විශේෂ වරප්‍රසාදය වුණේ ‘දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශ භාරව’ සිටීමයි.—රෝම 3:1, 2.

නමුත් පසු කාලෙකදී ආබ්‍රහම්ගේ වංශයෙන් පැමිණෙන තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්ව ඊශ්‍රායෙල් ජාතිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා යෙහෝවා දෙවිද ඔවුන්ව ජාතියක් හැටියට ප්‍රතික්ෂේප කළා. එතැන් පටන් ඔවුන් කළ චර්මච්ඡේදනයෙන් කිසි පලක් වුණේ නැහැ. එසේවුණත් පළමු සියවසේ සිටි සමහර ක්‍රිස්තියානීන් කියා සිටියේ චර්මච්ඡේදනය කිරීම දෙවි තවමත් අපේක්ෂා කරන බවයි. (ක්‍රියා 11:2, 3; 15:5) එම කාරණය නිසා එදා සිටි යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් ඔහුගේ තවත් සේවකයෙක් වූ තීතස්ව සභාවල තිබූ යම් ‘අඩු පාඩු සකස් කිරීම’ සඳහා යැව්වා. එම සභාවේ තිබූ අඩු පාඩුවක් ගැන පාවුල් තීතස්ට ලියූ එක් ලිපියකින් පැහැදිලියි. එහි මෙසේ සඳහන් වෙනවා. “නොහික්මුණු, නිෂ්ඵල කතා කියන, රැවටිලිකාර බොහෝදෙනෙකු අතර චර්මච්ඡේදනයට යටත්ව සිටින මිනිස්සුද සිටිති. ඔවුන්ගේ කටවල් වහන්න අවශ්‍යය. මන්ද වංක ලෙස ලාභ ලබන පිණිස, ඔවුහු ඉගැන්විය නොයුතු දේවල් උගන්වමින් පවුල් මුළුමනින්ම අවුල් කරමින් සිටිති.”—තීතස් 1:5, 10, 11.

පාවුල් එදා දුන් ඒ උපදෙස් අද දිනටත් අදාළයි. උදාහරණයකට, ක්‍රිස්තියානියෙක් විසින් තවත් කෙනෙකුගේ දරුවෙකුව චර්මච්ඡේදනය කළ යුතුයි කියා පැවසීම බයිබලයේ උපදෙස්වලට පටහැනි ක්‍රියාවක්. ඒ වෙනුවට ක්‍රිස්තියානියෙක් “අනුන්ගේ කාරණා අනිසි ලෙස හසුරුවන්නෙකු” නොවී එය තීරණය කිරීමට ඒ දරුවාගේ දෙමාපියන්ට ඉඩහරියි. (1 පේතෘස් 4:15) දෙවිගේ බලයෙන් පෙලඹුණු පාවුල්, පුරාණයේ මෝසෙස්ට දුන් නීතියට අනුව කළ චර්මච්ඡේදනය ගැන මෙසේ ලිව්වා. “යම් මිනිසෙකුව කැඳවනු ලැබුවේ චර්මච්ඡේදනය වී සිටියදීද? ඔහු අචර්මච්ඡේදිතයෙකු නොවේවා. යම් මිනිසෙකුව කැඳවනු ලැබුවේ චර්මච්ඡේදනය නොවී සිටියදීද? ඔහු චර්මච්ඡේදිතයෙකු නොවේවා. වැදගත් වන්නේ චර්මච්ඡේදනය වීමවත් නොවීමවත් නොව, දෙවිගේ ආඥා පැවැත්වීමය. යමෙකුව කැඳවනු ලබද්දී යම් තත්වයක සිටියේද, ඔහු ඒ තත්වයේ දිගටම සිටීවා.”—1 කොරින්ති 7:18-20.

“චර්මච්ඡේදන පාසැල්” ගැන කුමක් කිව හැකිද?

ක්‍රිස්තියානි දෙමව්පියන් තම දරුවන්ව චර්මච්ඡේදනය කිරීමට තීරණය කරයි නම් තත්වය කුමක්ද? එවැනි අවස්ථාවලදී තම දරුවාව කලින් සඳහන් කළ ආකාරයේ පාසැලකට යැවීම බයිබලයේ ප්‍රමිතිවලට එකඟද? එවැනි පාසැල්වලදී සිදු වන්නේ පිරිමි ළමයෙකුගේ ලිංගයේ කෙළවර ඇති සම කපා ඉවත් කිරීම පමණක්ම නොවෙයි. සති ගණනාවක් පුරා ඊට සහභාගි වන දරුවාට දෙවිගේ නමස්කාරකයන් නොවන අනිකුත් පිරිමි ළමයින් සමඟ සහ ගුරුවරුන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීමට සිදු වෙනවා. එහි දී උගන්වනු ලබන බොහෝ දේවල් බයිබලයේ ඇති උසස් සදාචාර ප්‍රමිතිවලට පටහැනියි. බයිබලයේ අනතුරු අඟවන්නේ මෙසේයි. “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.”—1 කොරින්ති 15:33.

එවැනි පාසැල් තුළින් දරුවෙකුගේ සෞඛ්‍යයට ඇති වන තර්ජනයද එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. වර්ෂ 2003දී පළ වූ දකුණු අප්‍රිකානු වෛද්‍ය සඟරාවක මෙසේ වාර්තා වී තිබුණා. “නොසැලකිලිමත්ව සිදු කරන චර්මච්ඡේදනයේ අතිභයානක ප්‍රතිඵල මේ වසරෙත් දැකගන්න පුළුවන්. ඉන් සිදු වන මරණ සහ ශාරීරික තුවාල කිරීම් ලෝකයේ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන මගින් පුළුල්ව ප්‍රචාරය කර තිබෙනවා. . . . කොටින්ම කියනවා නම් මේ ‘චර්මච්ඡේදන පාසැල්’ කියන ඒවා මහ බොරුවක් වගේම හරිම භයානක දෙයක්.”—සවුත් ඇෆ්‍රිකන් මෙඩිකල් ජ’නල් නම් සඟරාව.

නොසැලකිලිමත්ව සිදු කරන එවැනි ශල්‍යකර්මයන්වලින් කෙනෙකුට සිදු වන ශාරීරික හානිවලට අමතරව තවත් බරපතළ හානියක් සිදු වෙනවා. එම පාසැල්වල උගන්වන දේවල් භූතවාදයට සහ මුතුන්මිත්තන් නමස්කාරයට ඉතා කිට්ටුවෙන් බැඳී තිබෙනවා. උදාහරණයකට එවැනි ශල්‍යකර්මයක් සිදු කරද්දී නොසැලකිලිමත්කම සහ අපිරිසිදුකම නිසා අනතුරු සිදු වෙද්දී ඔවුන් පවසන්නේ එයට හේතුව මුතුන්මිත්තන් කෝපවීම කියායි. අසත්‍ය උගන්වන ආගම් සම්බන්ධයෙන් බයිබලයේ අපට මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? . . . ‘එබැවින් ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’ ‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’ ” (2 කොරින්ති 6:14-17) අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව ක්‍රිස්තියානි දෙමව්පියන් තම දරුවන්ව එවැනි පාසැලකට යැවීම ඉතාමත් අඥාන දෙයක් බව පැහැදිලියි.

නියම පුරුෂයෙකු වන්නේ කෙසේද?

ක්‍රිස්තියානියෙක් චර්මච්ඡේදනය වී සිටියත් නැතත් එය ඔහු නියම පුරුෂයෙක් කියන කාරණයට කොහෙත්ම සම්බන්ධයක් නැහැ. ඔහු නිතරම උත්සාහ කරන්නේ යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රසන්නව සිටින්න මිස “මාංසික ලෙස ප්‍රසන්නව පෙනෙන්න” නොවෙයි.—ගලාති 6:12.

යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබන්න නම් ක්‍රිස්තියානියෙක් තම ‘සිත චර්මච්ඡේද්‍ය’ කරන්න අවශ්‍යයි. (ද්විතීය කතාව 10:16; 30:6; මතෙව් 5:8) එය සිදු කරන්නේ වැරදි ආශාවන් සහ අහංකාර සිතුවිලි ප්‍රතික්ෂේප කිරීම මගිනුයි. චර්මච්ඡේදනය වී සිටින අය එසේ නොවී සිටින අයට වඩා උසස්ය කියා සිතීමෙන් වැළකී සිටීමත් ඊට ඇතුළත්. ක්‍රිස්තියානියෙකු චර්මච්ඡේදනය වී සිටියත් නැතත් තමන් නියම පුරුෂයෙකු බව ඔප්පු කරන්න පුළුවන්. ඒ “ඇදහිල්ලේ ස්ථිරව” සිටීමෙන් සහ පීඩා විඳදරාගැනීමෙනුයි.—1 කොරින්ති 16:13; යාකොබ් 1:12.