උත්පත්ති 17:1-27

17  ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+  ඔබ එසේ කළොත් ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන බවට+ ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මම ස්ථිර කරන්නෙමි.”+  එවිට ආබ්‍රම් දණින් වැටී හිස නැමුවේය.+ දෙවි ඔහුට තවදුරටත් කතා කරමින් මෙසේ කීවේය.  “ඔබ සමඟ ඇති කරගත් මගේ ගිවිසුම ස්ථිර කරන්නෙමි.+ ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.+  ඒ නිසා මෙතැන් පටන් ඔබේ නම ආබ්‍රම්* නොව ආබ්‍රහම්ය.* මන්ද මම ඔබව බොහෝ ජාතීන්ගේ පියා වීමට සලස්වන්නෙමි.  මම ඔබට ආශීර්වාද කර ඔබ මාර්ගයෙන් බොහෝ දරුවන් බිහි වන්න සලස්වන්නෙමි. ඔබෙන් ජාතීහුද රජවරුද බිහි වනු ඇත.+  “මම ඔබ සමඟත්+ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවන් සමඟත්+ මගේ ගිවිසුම පවත්වන්නෙමි. ඔබටත් ඔබෙන් පැවතෙන තැනැත්තාටත්* මම දෙවි බව පෙන්වන පිණිස එම ගිවිසුම දිගු කාලයක් පුරා පවත්වන්නෙමි.+  ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+  දෙවි ආබ්‍රහම්ට මෙසේද කීවේය. “ඔබත් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන ඔබේ දරුවනුත් මගේ ගිවිසුම පැවැත්විය යුතුයි.+ 10  මා ඔබ සියලුදෙනා සමඟත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන් සමඟත් පිහිටුවන එම ගිවිසුම මෙයයි. චර්මච්ඡේදනය* කිරීමේ චාරිත්‍රය මම ඔබට හඳුන්වා දෙමි.+ ඔබ අතරේ සිටින සියලු පුරුෂයන් ඒ චාරිත්‍රය පැවැත්විය යුතුයි.+ 11  ඔවුන් සියලුදෙනාම චර්මච්ඡේදනය කරගත යුතුයි. එය ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට ලකුණක් වන්නේය.+ 12  දවස් අටක් වයසැති ඔබේ සියලු පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කළ යුතුයි.+ ඔබේ සියලු පරම්පරාවලදී ඔබේ නිවසේ උපන් කෙනෙකු* වුවද විදේශිකයෙකුගෙන් මිල දී ගත් ඔබේ පෙළපතට අයිති නොවන කෙනෙකු වුවද චර්මච්ඡේදනය කළ යුතුයි. 13  ඔබේ නිවසේ උපන් සියලු පුරුෂයන්ද ඔබේ මුදලින් මිල දී ගත් සියලු පුරුෂයන්ද අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය කරගත යුතුයි.+ ඔබේ ශරීරයේ පවතින එම ලකුණෙන් නියෝජනය කරන්නේ මාගේ ගිවිසුමයි. එය බොහෝ කාලයක් පුරා ඔබ පැවැත්විය යුතු ගිවිසුමකි.+ 14  චර්මච්ඡේදනය කර නොගන්නා කවරෙකු වුවද තම සෙනඟ ඉදිරියේ මරා දැමිය යුතුයි.+ මන්ද එසේ නොකිරීම මගේ ගිවිසුම කඩ කිරීමකි.” 15  දෙවි ආබ්‍රහම්ට මෙසේද කීවේය. “ඔබේ භාර්යාවගේ නම මෙතැන් පටන් සාරයි* නොව සාරාය.*+ 16  මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි.+ මම ඇයට ආශීර්වාද කරන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද+ රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි.”+ 17  එවිට ආබ්‍රහම් දණින් වැටී සිනාසෙමින් මෙසේ සිතාගත්තේය.+ “මට දැන් අවුරුදු සියයක් වෙනවා. මගේ වයසේ කෙනෙකුට පියෙක් වෙන්න පුළුවන්ද? අවුරුදු අනූවක් වන සාරා කොහොමද දරුවෙක් බිහි කරන්නේ?”+ 18  ඉන්පසු ආබ්‍රහම් සැබෑ දෙවිට මෙසේ කීවේය. “ඔබේ ආශීර්වාදය ඉෂ්මායෙල්ට දෙන්න!”+ 19  එවිට දෙවි මෙසේ කීවේය. “ඔබේ භාර්යාව වන සාරා අනිවාර්යයෙන්ම ඔබට පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට ඊසාක්*+ යන නම තැබිය යුතුයි. මම ඔහු සමඟත් මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. ඔහුගෙන් පැවතෙන තැනැත්තා* සමඟත් එම ගිවිසුම පිහිටුවා බොහෝ කාලයකට එය පවත්වන්නෙමි.+ 20  ඉෂ්මායෙල් සම්බන්ධයෙන් ඔබ කළ ඉල්ලීමටද මම සවන් දුන්නෙමි. මම ඔහුටත් ආශීර්වාද කර ඔහුගෙන් විශාල පරම්පරාවක් ඇති කරන්නෙමි.+ ඔහුගෙන් අධිපතීහු දොළොස්දෙනෙක් බිහි වන්නෝය. ඔහුගෙන් මහත් ජාතියක් ඇති කරන්නෙමි.+ 21  එහෙත් මගේ ගිවිසුම මා පිහිටුවන්නේ ඊසාක් සමඟය.+ ලබන අවුරුද්දේ මේ කාලය වන විටදී සාරා ඔහුව බිහි කරන්නීය.”+ 22  දෙවි ආබ්‍රහම් සමඟ කතා කළ පසු එතැනින් ඉවත්ව ගියේය.+ 23  ඉන්පසු ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල්වද ඔහුගේ නිවසේ උපන් සියලු පුරුෂයන්වද ඔහු මිල දී ගත් සියලු පුරුෂයන්වද චර්මච්ඡේදනය කළේය. දෙවි ඔහුට කී ලෙස ඒ දවසේදීම ඔහු එසේ කළේය.+ 24  ආබ්‍රහම් චර්මච්ඡේදනය කරගත් විට ඔහුගේ වයස අවුරුදු අනූනවයක් විය.+ 25  ඔහුගේ පුත් ඉෂ්මායෙල්වද චර්මච්ඡේදනය කළේය. එවිට ඉෂ්මායෙල්ට වයස අවුරුදු දහතුනක් විය.+ 26  ඒ දවසේදීම ආබ්‍රහම් සහ ඔහුගේ පුත් ඉෂ්මායෙල් චර්මච්ඡේදනය කරගත්තෝය.+ 27  නිවසේ උපන් සියලුදෙනා හා විදේශිකයන්ගෙන් මිල දී ගත් සියලුදෙනා ඇතුළුව ඔහුගේ නිවසේ සිටි සියලු පුරුෂයන්වද ඔහු සමඟ චර්මච්ඡේදනය කරනු ලැබීය.+

පාදසටහන්

තේරුම, “උසස් කරනු ලැබූවන්ගේ පියා.”
තේරුම, “සමූහයකගේ පියා.”
උත් 3:15හි පාදසටහන බලන්න.
එනම්, පුරුෂ ලිංගයේ අග සම කපා ඉවත් කිරීම.
හෝ, “දාසයෙකුට උපන් පුත්‍රයෙක්.”
තේරුම, “විවාදශීලී.”
තේරුම, “කුමාරිකාව.”
තේරුම, “සිනහව.”
උත් 3:15හි පාදසටහන බලන්න.