Skip to content

පටුනට යන්න

ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ

ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ

ධර්මිෂ්ඨකමේ නාමයෙන් පීඩා විඳින්නෝ

“ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය සන්තෝෂවත්ය.”—මතෙව් 5:10, NW.

1. යේසුස් පොන්තියුස් පිලාත් ඉදිරියේ සිටියේ මන්ද? යේසුස් පැවසුවේ කුමක්ද?

“මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” (යොහන් 18:37, NW) යේසුස් මේ වචන පැවසූ විට, ඔහු සිටියේ යුදයේ රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් ඉදිරියේය. යේසුස් එතැන සිටියේ ඔහුගේ වුවමනාවටවත් පිලාත්ගේ ආරාධනාවක් නිසාවත් නොවේ. ඔහු එතැන සිටියේ මරණයට සුදුසු වැරදිකරුවෙකුයයි යුදෙව් ආගමික නායකයන් විසින් ඔහුට නඟන ලද බොරු චෝදනා නිසයි.—යොහන් 18:29-31, NW.

2. යේසුස් ගත්තේ කිනම් ක්‍රියාමාර්ගයද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

2 තමාව නිදහස් කරන්නට හෝ තමාව මරණයට පත් කරන්නට පිලාත්ට අධිකාරයක් තිබූ බව යේසුස් හොඳින් දැන සිටියේය. (යොහන් 19:10) නමුත් රාජ්‍යය පිළිබඳව පිලාත්හට නිර්භීතව කතා කිරීමට ඔහු පසුබට වූයේ නැත. තම ජීවිතය උවදුරේ තිබුණද, එවකට එම ප්‍රදේශයේ තිබූ ඉහළම ආණ්ඩුමය අධිකාරයට සාක්ෂි දැරීමට යේසුස් ප්‍රස්තාව අල්ලා ගත්තේය. එවන් සාක්ෂියක් දුන්නද, යේසුස්ව හෙළා දමනු ලැබ මරණයට පත් කරනු ලැබූ අතර, ඔහු වධකණුවක් මත මහත් වේදනාවකින් යුතුව ප්‍රාණ පරිත්‍යාගී මරණයකට මුහුණ දුන්නේය.—මතෙව් 27:24-26; මාර්ක් 15:15; ලූක් 23:24, 25; යොහන් 19:13-16.

සාක්ෂිකරුවෙක්ද නැතහොත් ප්‍රාණ පරිත්‍යාගිකයෙක්ද?

3. බයිබල් කාලවලදී “ප්‍රාණ පරිත්‍යාගිකයා” යන වචනයේ අර්ථය වූයේ කුමක්ද? නමුත් අද දින එහි අරුත කුමක්ද?

3 අද දින බොහෝදෙනෙකු, ප්‍රාණ පරිත්‍යාගිකයෙකුව දකින්නේ උන්මත්තක හෝ අන්තවාදී පුද්ගලයෙකු ලෙසය. තමන්ගේ විශ්වාසයන් වෙනුවෙන්, විශේෂයෙන්ම ආගමික විශ්වාසයන් වෙනුවෙන් මිය යෑමට කැමති අයව බොහෝවිට ත්‍රස්තවාදියෙකු ලෙසට හෝ අඩු තරමින් සමාජයට උවදුරක් ලෙසට සැක කරනු ලැබේ. කෙසේවෙතත්, ග්‍රීක් බසින් පැමිණෙන මෙම යෙදුමේ (මාර්ටුස්) බයිබල් කාලවල අර්ථය වූයේ, “සාක්ෂිකරුවා” යන්නයි. එනම් තමා සත්‍යයයයි විශ්වාස කරන දෙය ගැන, සමහරවිට නඩු විභාගයකදී සාක්ෂි දෙන පුද්ගලයෙකුවයි. මෙම ප්‍රකාශයේ අර්ථය, “සාක්ෂි දැරීම නිසා තම ජීවිතය දෙන තැනැත්තා” හෙවත් තමාගේ ජීවිතය දීමෙන් සාක්ෂි දරන තැනැත්තා හැටියට පවා අරුත් ගැන්වූයේ පසු කාලයකදීය.

4. යේසුස් ප්‍රාණ පරිත්‍යාගිකයෙකු වූයේ මූලික වශයෙන් කිනම් අර්ථයෙන්ද?

4 යේසුස් මූලිකවම ප්‍රාණ පරිත්‍යාගිකයෙකු වූයේ එම වචනයේ මුල් අර්ථයට අනුවය. ඔහු පිලාත්ට පැවසුවාක් මෙන්, ඔහු පැමිණියේ “සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” ඔහු දැරූ සාක්ෂියට ජනයා විවිධාකාරයෙන් ප්‍රතිචාරය දැක්වූවෝය. සාමාන්‍ය ජනතාව අතර සිටි සමහරෙක් තමන් ඇසූ දුටු දෙයින් ගැඹුරින් පෙලඹී යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබූහ. (යොහන් 2:23; 8:30) සමූහයාද විශේෂයෙන් ආගමික නායකයන්ද දැඩි ප්‍රතිචාරයක් දැක්වුවද එය යහපත් ප්‍රතිචාරයක් වූයේ නැත. යේසුස් තම නොඇදහිලිකාර ඥාතින්ට මේ කාරණය හුවා දැක්වූයේ මෙලෙසයි. “ඔබට වෛර කරන්න ලෝකයට හේතුවක් නැත. නමුත් එහි ක්‍රියා දුෂ්ට බවට මා ලෝකය ගැන සාක්ෂි දරන නිසා ලෝකය මට වෛර කරන්නේය.” (යොහන් 7:7, NW) සත්‍යය ගැන සාක්ෂි දැරීම නිසා, යේසුස් ජාතීන්ගේ නායකයන්ගේ උදහසට පාත්‍ර වූ අතර, එය ඔහුගේ මරණයට හේතු විය. ඇත්තවශයෙන්ම, ඔහු “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවාය (මාර්ටුස්).”—එළිදරව් 3:14, NW.

‘ඔබට වෛර කරනු ලැබේ’

5. තම දේවසේවයේ මුල් භාගයේදී, පීඩා ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

5 යේසුස් දරුණු පීඩාවලට ලක් වූවා පමණක් නොව, තමාට සිදු වූ දේ තම අනුගාමිකයන්ටද සිදු වනු ඇතැයි ඔහු කලින්ම අනතුරු ඇඟවූයේය. තම දේවසේවයේ මුල් අවදියේ, යේසුස් කන්ද උඩ දේශනාව ඉදිරිපත් කරන විට, තම අනුගාමිකයන්ට මෙසේ පැවසීය. “ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය සන්තෝෂවත්ය. මන්ද ස්වර්ග රාජ්‍යය අයිති ඔවුන්ටය. මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න. මන්ද ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.”—මතෙව් 5:10-12, NW.

6. යේසුස් සිය ප්‍රේරිතයන් 12-දෙනාව පිටත් කර යවන විට දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

6 පසුව, ප්‍රේරිතයන් 12දෙනාව පිටත් කර යවද්දී, යේසුස් ඔවුන්ට පැවසුවේ මෙසේයි. “මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද ඔවුන් ඔබව ප්‍රාදේශීය උසාවිවලට භාර දී ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කසයෙන් තළනු ඇත. ඔවුන්ටත් අන්‍යජාතීන්ටත් සාක්ෂියක් පිණිස, මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබන්නේය.” එහෙත්, ගෝලයන්ට පීඩා කරන්නේ ආගමික බලධාරීන් පමණක්ම නොවේ. යේසුස් මෙසේද පැවසීය. “තවද, සහෝදරයා තම සහෝදරයාවද පියෙක් තම දරුවාවද මරණයට පාවා දෙන්නේය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන්ව මරණයට පත් කරවන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝ ඔබට වෛර කරන්නෝය. නමුත් අවසානය දක්වා විඳදරාගන්නා ගලවනු ලබන්නේය.” (මතෙව් 10:17, 18, 21, 22, NW) පළමු සියවසේ ක්‍රිස්තියානීන් පිළිබඳ වාර්තාව මෙම වචනවල සත්‍යතාවට සාක්ෂියකි.

විශ්වාසවන්තව විඳදරාගැනීම පිළිබඳ වාර්තාවක්

7. ස්තේපන් ප්‍රාණ පරිත්‍යාගිකයෙකු බවට පත්වීමට හේතු වූයේ කුමක්ද?

7 යේසුස්ගේ මරණින් වැඩි කල් යන්නට මත්තෙන්, සත්‍යයට සාක්ෂි දැරීම වෙනුවෙන් මුලින්ම මිය ගිය ක්‍රිස්තියානිවරයා වූයේ ස්තේපන්ය. ඔහු වනාහි ‘කරුණාවෙන් හා බලයෙන් පූර්ණව මහත් පෙර නිමිතිද ජනයා අතරේ සිදු කළ’ කෙනෙක් විය. ඔහුගේ ආගමික සතුරන්ට “ඔහු ප්‍රඥාවෙන් හා ආත්මයෙන් යුක්තව කතා කළ දේට විරුද්ධව නැඟී සිටින්න නොහැකි විය.” (ක්‍රියා 6:8, 10, NW) ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් ඔවුන් ස්තේපන්ව සැන්හෙඩ්‍රිනය හෙවත් යුදෙව් ඉහළ අධිකරණය ඉදිරියට ඇදගෙන ගිය අතර, එහිදී ඔහු තමාට බොරු චෝදනා කළවුන් ඉදිරිපිට ප්‍රබල සාක්ෂියක් දුන්නේය. කෙසේවෙතත්, අවසානයේදී සිදු වුණේ ස්තේපන්ගේ සතුරන් මෙම ඇදහිලිවන්ත සාක්ෂිකරුවාව ඝාතනය කිරීමයි.—ක්‍රියා 7:59, 60.

8. ස්තේපන්ගේ මරණින් පසු තමන්ට පැමිණි පීඩාවලට යෙරුසලමේ විසූ ගෝලයන් ප්‍රතික්‍රියා කළේ කෙසේද?

8 ස්තේපන්ගේ ඝාතනයෙන් පසුව, “යෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්තේය. ප්‍රේරිතයන් හැර අන් සියල්ලෝම යුදයේ සහ සමාරියේ පළාත් පුරා විසිරී ගියෝය.” (ක්‍රියා 8:1, NW) මෙම පීඩා නිසා ක්‍රිස්තියානීන්ගේ සාක්ෂි දැරීම නතර වූවාද? නැත. සිදු වුණු දේ ගැන වාර්තාව අපට කියන්නේ “විසිරී ගිය අය වචනයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් දේශය පුරා ගියෝය” යනුවෙනි. (ක්‍රියා 8:4, NW) “අධිකාරයට යටත් වීමේදී අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවිටය” යයි ප්‍රේරිත පේතෘස් මීට කලින් සඳහන් කළාක් මෙන්ම ඔවුන්ටද හැඟුණා විය යුතුයි. (ක්‍රියා 5:29, NW) පීඩාවලට මුහුණ දුන්නද, එම ඇදහිලිවන්ත ධෛර්යසම්පන්න ගෝලයන් සාක්ෂි දැරීමේ කාර්යයට ඇලී සිටියේ මෙසේ කිරීම නිසා තව තවත් අසීරුකම්වලට මුහුණ දීමට තමන්ට සිදු වන බව දැන දැනමය.—ක්‍රියා 11:19-21.

9. යේසුස්ගේ අනුගාමිකයන් මතට දිගටම පැමිණියේ කුමන පීඩාද?

9 ඇත්තවශයෙන්ම, අසීරුතාවන් නම් කිසිම විටෙකත් අඩු වූයේ නැත. පළමුව අපට දැනගැනීමට ලැබෙන්නේ ස්තේපන්ට ගල්ගසා මැරීම අනුමත කරමින් ඒ දෙස බලා සිටි මිනිසා වූ සාවුල් “තවදුරටත් ස්වාමීන්ගේ ගෝලයන්ට තර්ජන කරමින්ද ඔවුන්ව මරමියි කියමින්ද උත්තම පූජකයා වෙතට ගොස්, ‘ස්වාමීන්ගේ මාර්ගයට’ අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් සම්බවුණොත් ඔවුන්ව බැඳ යෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ සිනගෝගවලට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් ලිපි ඉල්ලා ගත්” බවය. (ක්‍රියා 9:1, 2, NW) අනතුරුව, ක්‍රි. ව. 44දී පමණ, “හෙරොද් රජ සභාවේ සමහරුන්ට හිංසා පීඩා කරන්න පටන්ගත්තේය. ඔහු යොහන්ගේ සහෝදරයා වූ යාකොබ්ව කඩුවෙන් මැරුවේය.”—ක්‍රියා 12:1, 2, NW.

10. ක්‍රියා පොතේ සහ එළිදරව්වේ අපට දකින්නට ලැබෙන්නේ පීඩා පිළිබඳ කිනම් වාර්තාවක්ද?

10 ක්‍රියා පොතේ ඉතිරි කොටසේ දක්නට ලැබෙන්නේ පසුව ප්‍රේරිතයෙකු බවට හැරුණු කලින් පීඩා කරන්නෙකු වූ පාවුල් වැනි ඇදහිලිවන්තයන් විඳදරාගත් පරීක්ෂා, සිරගත කිරීම් සහ පීඩා වැනි දේවල් ගැනය. පාවුල් පසුව ක්‍රි.පූ. 65දී පමණ රෝම ආණ්ඩුකාර නීරෝ අතින් ප්‍රාණ පරිත්‍යාගී මරණයක් විඳි බව පෙනෙන්නට තිබේ. (2 කොරින්ති 11:23-27; 2 තිමෝති 4:6-8) අන්තිමේදී, පළමු සියවසේ අවසානයට ආසන්න වෙන්නට ලියනු ලැබූ එළිදරව් පොතේ, අපට දකින්නට ලැබෙන්නේ වයස්ගත ප්‍රේරිතයෙකු වූ යොහන් “දෙවි ගැන කතා කළ නිසාත් යේසුස් ගැන සාක්ෂි දැරූ නිසාත්” පැට්මොස් නම් සිර දූපතේ සිරකොට තිබූ බවයි. තවද, පර්ගමම්හි “මරන ලද මාගේ විශ්වාසවන්ත තැනැත්තාවූද මාගේ සාක්ෂිකරුවූද අන්තිපස්” යනුවෙන් යේසුස් කළ ආමන්ත්‍රණයක් ගැනද අපට එළිදරව් පොතෙන් කියවන්නට ලැබෙයි.—එළිදරව් 1:9; 2:13.

11. පීඩා සම්බන්ධයෙන් මුල් ක්‍රිස්තියානීන් ගත් ක්‍රියාමාර්ගයෙන් යේසුස්ගේ වචන සැබෑවක් බව ඔප්පු වූයේ කෙසේද?

11 “ඔවුන් මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය” යන යේසුස්ගේ වචනය ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් සැබෑවක් බවට ඔප්පු විණි. (යොහන් 15:20, NW) “ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය” යන ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගෙන් ලැබුණු බල පැවරුම කරගෙන යෑමේදී මුල් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීහු, වධ විඳීමෙන්, වන සතුන් වෙතට විසි කරනු ලැබීමෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් උපරිම පරීක්ෂණය වූ මරණය විඳින්නට පවා සූදානමින් සිටියෝය.—ක්‍රියා 1:8, NW.

12. ක්‍රිස්තියානීන් විඳින පීඩා ඉතිහාසයට පමණක් සීමා වූ යමක් නොවන්නේ මන්ද?

12 යේසුස්ගේ අනුගාමිකයන්ට එවන් කෲර වද හිංසා විඳින්න සිදු වූයේ අතීතයේ පමණක්ය කියා යමෙකු සිතනවා නම්, එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. පාවුල් දරුණු අසීරුතා විඳදරාගත් බව අපි දනිමු. ඔහු ලීවේ මෙසේයි. “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12, NW) පීඩා සම්බන්ධව පේතෘස් පැවසුවේ මෙසේයි. “ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ මේ සඳහාය. මන්ද, ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය.” (1 පේතෘස් 2:21, NW) මේ සමාජ ක්‍රමයේ “අන්තිම දවස්” වෙන තුරුම, යෙහෝවාගේ ජනයා දිගින් දිගටම වෛරයේ හෝ සතුරුවාදිකම්වල ගොදුරු බවට පත් වී ඇත. (2 තිමෝති 3:1, NW) පොළොවේ සෑම කොනකම, ඒකාධිපති සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් යම් කාලයකදී පුද්ගලයන් හා කණ්ඩායමක් හැටියට පීඩා විඳ ඇත.

වෛරයට පාත්‍ර කොට පිඩා කරනු ලබන්නේ මන්ද?

13. පීඩා සම්බන්ධයෙන් සලකා බලන කල, යෙහෝවාගේ නවීන දින සේවකයන් මනසේ තබාගෙන සිටිය යුත්තේ කුමක්ද?

13 අද දින අපගෙන් වැඩිදෙනෙකු අපගේ දේශනා කිරීමට හා සාමකාමීව එකට රැස්වීමට යම් තාක් දුරකට නිදහසක් භුක්ති වින්දද, අප බයිබලයේ සඳහන් මේ සිහිගැන්වීම සිතට ගත යුතුය. එනම්, “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය” යන්නයි. (1 කොරින්ති 7:31, NW) යම් දේවල් කොතරම් වේගයෙන් වෙනස් වේද කියතොත්, අප මානසිකව, චිත්තවේගීයව සහ ආත්මික වශයෙන් සූදානම්ව නොසිටියහොත්, අප ඉතා පහසුවෙන් බාධාවට පත් විය හැකියි. එසේනම්, අපවම ආරක්ෂා කරගැනීමට අපට කුමක් කළ හැකිද? මේ සඳහා තිබෙන ප්‍රබලතම ක්‍රමය නම් සාමකාමී නීති ගරුක ක්‍රිස්තියානීන් වෛරයට පාත්‍ර වන්නෙත් ඔවුන්ට පීඩා කරනු ලබන්නෙත් මන්ද යන්න ගැන පැහැදිලිව වටහාගෙන සිටීමයි.

14. ක්‍රිස්තියානීන්ට පීඩා කරනු ලැබූ හේතුව ලෙසට පේතෘස් හුවා දැක්වූයේ කුමක්ද?

14 ප්‍රේරිත පේතෘස් මේ කාරණය ගැන ක්‍රි.ව. 62-64 දක්වා කාලයේදී ලියූ තම පළමු ලිපියේ සඳහන් කළේය. ඒ වන විට, රෝම අධිරාජ්‍යය පුරා විසූ ක්‍රිස්තියානීහු නොයෙක් පරීක්ෂා හා පීඩාවලට මුහුණ දෙමින් සිටියහ. ඔහු පැවසුවේ මෙසේයි. “ප්‍රේමණීය තැනැත්තෙනි, ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබ අතරේ ඇවිළෙන ගින්න ගැන, අමුතු දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.” පේතෘස් තමාගේ මනසේ තිබූ දෙය පැහැදිලි කිරීමට තවදුරටත් කීවේ මෙසේයි. “ඔබෙන් කිසිවෙක් මිනීමරුවෙකු හෝ සොරෙකු හෝ අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිහත් වන්නෙකු හෝ ලෙස දුක් නොවිඳීවා. නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු ලෙස දුක් විඳින්නේ නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමයෙන් දිගටම දෙවිව මහිමයට පමුණුවන්න.” පේතෘස් මෙහිදී පෙන්වමින් සිටියේ ඔවුන් දුක් විඳින්නේ ඔවුන් යම් වැරදි ක්‍රියා කළ නිසා නොව, ඔවුන් ක්‍රිස්තියානීන් වූ නිසා බවයි. තමන් අවට සිටි ජනයා මෙන් “අශිෂ්ටකම නමැති එම පහත් මඩවගුර” තුළ එරෙමින් සිටියා නම් ඔවුන්ව ජනයා විසින් සාදරයෙන් පිළිගෙන වැලඳගන්නවා ඇත. එහෙත්, ඔවුන් දුක් වින්දේ ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වශයෙන් ජීවත් වීමට ඔවුන් දැඩි උත්සාහයක් දැරූ නිසායි. යථාර්ථය එයයි. අද දින සැබෑ ක්‍රිස්තියානීන්ගේ තත්වයත් එයමයි.—1 පේතෘස් 4:4, 12, 15, 16, NW.

15. අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සලකන ආකාරය තුළ පරස්පර විරෝධීතාවක් දකින්නට ලැබී ඇත්තේ මන්ද?

15 ලෝකයේ බොහෝ රටවල, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සමුළුවලදී හා ගොඩනැඟිලි ව්‍යාපෘතිවල නියැලෙද්දී පෙන්වන එක්සත්කම සහ සහයෝගිතාව නිසා ඔවුන්ට මහජනයාගේ ප්‍රශංසාව හිමි වී තිබේ. තවද ඔවුන්ගේ අවංකකම සහ කඩිසරකම, ඔවුන්ගේ ආදර්ශවත් සදාචාරමය හැසිරීම සහ පවුල් ජීවිත නිසාද සිත්ගන්නා පෙනුම හා ගතිපැවතුම් නිසාද ඔවුහු ප්‍රශංසාවට ලක් වෙති. * අනෙක් අතට, මේ ලිපිය ලියන විට ඔවුන්ගේ වැඩකටයුතු රටවල් 28කට වඩා නොඅඩු සංඛ්‍යාවක තහංචිවලට ලක් වී හෝ තහනම් කරනු ලැබ හෝ තිබේ. එමෙන්ම බොහෝ සාක්ෂිකරුවන් තමන්ගේ ඇදහිල්ල නිසා ශාරීරික වශයෙන් වධ හිංසාවලට ලක් වී සිටින අතර ඔවුන්ට ජීවිත අහිමි වීද තිබේ. මෙවැනි පරස්පර විරෝධීතාවක් දක්නට ලැබී ඇත්තේ මන්ද? දෙවි මේ දේට ඉඩ දෙන්නේ මන්ද?

16. දෙවි තම ජනයාට පීඩා විඳීමට ඉඩහරින්නාවූ ප්‍රධානතම හේතුව කුමක්ද?

16 මූලිකවම, අප මතක තබාගත යුත්තේ හිතෝපදේශ 27:11හි වදන්ය. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.” එසේය, අප එය මතකයේ තබාගත යුත්තේ එය විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ වාදයට භාජන වූ ඉපැරණිම ප්‍රශ්නය නිසයි. සියවස් ගණනාවක් පුරා යෙහෝවාට අඛණ්ඩතාව ඔප්පු කළාවූ සියලුදෙනා විසින් සපයනු ලැබුවාවූ සාක්ෂි මහත් සම්භාරයක් තිබුණද, යෝබ් නම් වූ ධර්මිෂ්ඨ මිනිසාගේ දවස්වල කළාක් මෙන් සාතන් යෙහෝවාට නින්දා කිරීම නතර කර නැත. (යෝබ් 1:9-11; 2:4, 5) නමුත් දැන් දෙවිගේ රාජ්‍යය ස්ථිර ලෙස පිහිටුවා ඇති නිසාත්, ඊට පක්ෂපාත යටත්වැසියන් හා පොළොව පුරා එහි නියෝජිතයන් සිටින නිසාත් සාතන් තමා කී දේ ඔප්පු කිරීමට මේ අන්තිම මොහොතේදී ඊටත් වඩා දරුණු ලෙස වලිකමින් සිටිනවා නිසැකයි. තමන් මතට පැමිණෙන උවදුරු සහ අසීරුතා කුමක් වුවත්, මේ අය දෙවිට පක්ෂපාතව සිටිනු ඇද්ද? මෙය වනාහි යෙහෝවාගේ එක් එක් සේවකයා පෞද්ගලිකව පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.—එළිදරව් 12:12, 16.

17. “එය සාක්ෂියක් වනු ඇත” යන වචනවලින් යේසුස් අදහස් කළේ කුමක්ද?

17 “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ” සිදු වනු ඇති සිද්ධීන් ගැන සිය ගෝලයන්ට පැවසීමේදී, යෙහෝවා සිය සේවකයන් මතට පීඩා පැමිණීමට ඉඩහරින තවත් හේතුවක් ගැන යේසුස් කතා කළේය. ඔහු ඔවුන්ට පැවසුවේ මෙසේයි. “මාගේ නාමය නිසා ඔබව රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යනු ලැබේ. එය සාක්ෂියක් වනු ඇත.” (මතෙව් 24:3, 9; ලූක් 21:12, 13, NW) හෙරෝද් සහ පොන්තියුස් පිලාත් ඉදිරියේ යේසුස්ම සාක්ෂි දැරීය. ප්‍රේරිත පාවුල්වද ‘රජුන් සහ ආණ්ඩුකාරයන් ඉදිරියට ඇදගෙන යන ලදි.’ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් විසින් මඟ පෙන්වනු ලැබූ පාවුල්, තමාගේ දවස්වල විසූ බලවත්ම පාලකයාට සාක්ෂියක් දීමට මං සෙව්වේ “මම සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලමි” යනුවෙන් පවසමිනි. (ක්‍රියා 23:11; 25:8-12) ඒ හා සමානව අද දිනත්, උද්ගත වී තිබෙන අභියෝගාත්මක තත්වයන් නිසාවෙන් බොහෝවිට සිදු වී ඇත්තේ නිලධාරීන් සහ මහජනයා යන දෙපාර්ශ්වයම ඉදිරිපිට කදිම සාක්ෂියක් දෙනු ලැබීමයි. *

18, 19. (අ) පරීක්ෂාවලට මුහුණ දීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ කිනම් ප්‍රශ්න සැලකිල්ලට භාජන කෙරේද?

18 අවසන් වශයෙන් ගත් කල, පරීක්ෂණ සහ පීඩාවලින් අපට පෞද්ගලිකව ප්‍රයෝජන ලැබිය හැකියි. කිනම් ආකාරයෙන්ද? ශ්‍රාවක යාකොබ් සෙසු ක්‍රිස්තියානීන්හට පැවසුවේ මෙයයි. “මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට මුහුණ දෙන කල, එය සැබවින්ම ප්‍රීතියක්යයි සලකන්න. මෙසේ ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක්වීමෙන් විඳදරාගැනීම ඇති වන බව ඔබ දන්නහුය.” එසේය, පීඩා මගින් අපේ ඇදහිල්ල වඩාත් පිරිසිදු වී විඳදරාගැනීමට අපව තවත් ශක්තිමත් කරයි. මෙසේ, අප ඒ ගැන ඉමහත් භීතියකින් පසු වන්නේ නැත. ඒවායින් බේරීමට හෝ ඒවා නතර කිරීමට ශුද්ධ ලියවිල්ලට පටහැනි කිසිත් නොකරන්නෙමු. ඒ වෙනුවට, අපි යාකොබ්ගේ මෙම අවවාදයට අවනත වන්නෙමු. “නමුත් ඔබ කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටින පිණිස, විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට ඉඩ දෙන්න.”—යාකොබ් 1:2-4, NW.

19 දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට පීඩා කරනු ලබන්නේ සහ යෙහෝවා ඒවාට අවසර දී ඇත්තේ මන්ද කියා වටහාගැනීමට දේවවචනය අපට උපකාර කරන නමුදු, ඒ නිසාම පීඩා දරාගැනීම පහසු යමක් වන්නේ නැත. ඒවාට එරෙහිව ශක්තිමත්ව සිටීම සඳහා අපව සූදානම් කිරීමට හැක්කේ කුමකටද? අප පීඩාවලට මුහුණ දෙන විට අපට කුමක් කළ හැකිද? මෙම වැදගත් කාරණා අපි ඊළඟ ලිපියේ සලකා බලමු.

[පාදසටහන්වල]

^ 15 ඡේ. වර්ෂ 1995 දෙසැම්බර් 15 මුරටැඹ පිටු 27-9, 1994 අප්‍රියෙල් 15 මුරටැඹ පිටු 16-17 සහ 1993 දෙසැම්බර් 22 පිබිදෙව්! (සිංහලෙන් නැත) පිටු 6-13ද බලන්න.

^ 17 ඡේ. වර්ෂ 2003 ජනවාරි 8වන දා පිබිදෙව්! කලාපයේ 3-11 දක්වා පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යේසුස් ප්‍රාණ පරිත්‍යාගිකයෙකු වූයේ ප්‍රධාන වශයෙන් කිනම් අර්ථයෙන්ද?

• පීඩා මගින් පළමු සියවසේ ක්‍රිස්තියානීන් මතට ඇති වූයේ කිනම් බලපෑමක්ද?

• පේතෘස් විසින් පැහැදිලි කළ ආකාරයට, මුල් ක්‍රිස්තියානීන්ට පීඩා කරනු ලැබුවේ මන්ද?

• යෙහෝවා තම සේවකයන් මතට පීඩා පැමිණීමට ඉඩහරින්නේ කිනම් හේතු නිසාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10, 11වන පිටුවේ පින්තූර]

මුල් සියවසේ ක්‍රිස්තියානීන් දුක් වින්දේ ඔවුන්ගේ වැරදි ක්‍රියා නිසා නොව, සැබෑ ක්‍රිස්තියානීන් ලෙස ජීවත් වීම නිසාය

පාවුල්

යාකොබ්

යොහන්

අන්තිපස්

ස්තේපන්