Skip to content

පටුනට යන්න

දෙවි කෙසේ මැදිහත් වේවිද?

දෙවි කෙසේ මැදිහත් වේවිද?

දෙවි කෙසේ මැදිහත් වේවිද?

මෙය සිදු වූයේ ක්‍රි.පූ. අටවන සියවසේදීය. තමන් මාරාන්තික අසනීපයකින් පෙළෙන බව 39වන වියේ පසු වූ යූදාහි හෙසකියා රජුට දැනගන්න ලැබිණ. මෙමගින් දැඩි සේ කම්පාවට පත් හෙසකියා සුවය ඉල්ලා බැගෑපත්ව දෙවිට කන්නලව් කරමින් යාච්ඤා කළේය. දෙවි ඔහුගේ අනාගතවක්තෘ මාර්ගයෙන් හෙසකියාට මෙසේ උත්තර දුන්නේය. ‘මම ඔබේ යාච්ඤාව ඇසුවෙමි. ඔබේ කඳුළු දුටුවෙමි. ඔබේ වයසට අවුරුදු පහළොවක් එකතු කරන්නෙමි.’—යෙසායා 38:1-5.

එම අවස්ථාවේදී දෙවි මැදිහත් වූයේ මන්ද? ඊට සියවස් ගණනාවකට කලින් ධර්මිෂ්ඨ රජෙකු වූ දාවිත්ට දෙවි මෙසේ පොරොන්දු වී තිබිණ. ‘ඔබේ වංශයද රජකමද ඔබ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිර කරනු ලබන්නේය. ඔබේ සිංහාසනයද සදහටම පිහිටුවනු ලබන්නේය.’ එමෙන්ම මෙසියස් දාවිත්ගේ පෙළපතින් බිහි වන බවද දෙවි අනාවරණය කළේය. (2 සාමුවෙල් 7:16; ගීතාවලිය 89:20, 26-29; යෙසායා 11:1) හෙසකියා රෝගාතුර වූ කාලය වන විට ඔහුට පුතෙක් සිටියේ නැත. මේ නිසා දාවිත්ගේ රාජකීය පෙළපත කෙළවරට පත්වීමේ අවදානමක් තිබිණ. දෙවි මැදිහත් වී හෙසකියාගේ ආයු කාලය දීර්ඝ කළ නිසා මෙසියස් බිහි වන තෙක් දාවිත්ගේ පෙළපත අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම හා සම්බන්ධ විශේෂිත අරමුණ ඉටු විය.

ක්‍රිස්තියානි යුගයට පෙර අවස්ථා බොහොමයකදී යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් මැදහත් වීමට තීරණය කළේය. එසේ කළේ ඔහුගේ අරමුණු ඉටු කරගැනීම සඳහාය. ඊජිප්තුවේ වහල්භාවයෙන් ඊශ්‍රායෙල් ජාතියව නිදහස් කරගැනීම සම්බන්ධයෙන් මෝසෙස් මෙසේ පැවසුවේය. ‘යෙහෝවා ඔබව බලවත් හස්තයකින් පිටතට ගෙනාවේ ඔහු ඔබට ප්‍රේම කළ නිසාත් ඔබගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ට කරන්ට කැමති වූ නිසාත්ය.’—ද්විතීය කථාව 7:8.

ඒ හා සමානව මුල් සියවසේදීද දෙවි ඔහුගේ අරමුණ ඉටු කරගැනීම සඳහා මැදිහත් වූ අවස්ථා තිබේ. නිදසුනක් වශයෙන් සාවුල් නම් යුදෙව් ජාතිකයා දමස්කයට යන අතරතුරේදී ආශ්චර්යවත් ලෙස ඔහු දර්ශනයක් දුටුවේය. එහි අරමුණ වූයේ ඔහු ක්‍රිස්තුස්ගේ ගෝලයන්ට කළ පීඩා නතර කිරීමයි. විවිධ ජාතීන් අතරේ ශුභාරංචිය පතුරුවාහැරීමේදී ප්‍රේරිත පාවුල් බවට පත් වූ මේ මිනිසාගේ හැරීම මගින් වැදගත් කාර්යභාරයක් ඉටු විය.—ක්‍රියා 9:1-16; රෝම 11:13.

මැදිහත් වීම අනිවාර්යය දෙයක් වූවාද?

දෙවි මිනිස් කටයුතුවලට මැදිහත් වීම අනිවාර්යයෙන් සිදු වූවක්ද, නැත්නම් කලාතුරකින් සිදු වූවක්ද? දෙවිගේ මැදිහත් වීම කිසිවිටකත් අනිවාර්යයෙන්ම සිදු නොවූ දෙයක් බව ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීමේදී පැහැදිලිව පෙනී යයි. දෙවි හෙබ්‍රෙව් ජාතික තරුණයන් තිදෙනාව ගිනි උදුනෙන්ද අනාගතවක්තෘ දානියෙල්ව සිංහ ගුහාවෙන්ද බේරාගත්තත් වෙනත් අනාගතවක්තෘවරුන්ව මරණයෙන් බේරාගැනීමට කටයුතු කළේ නැත. (2 ලේකම් 24:20, 21; දානියෙල් 3:21-27; 6:16-22; හෙබ්‍රෙව් 11:37) පළමුවන හෙරොද් අග්‍රිපා විසින් පේතෘස්ව සිරගත කර තිබූ සිරගෙදරින් ඔහුව ආශ්චර්යවත් ලෙස බේරාගන්නා ලදි. එහෙත් ඒ රජුම ප්‍රේරිත යාකොබ්ව ඝාතනය කිරීමට කටයුතු කර තිබිණ. ඒ අපරාධය වැළැක්වීමට දෙවි මැදිහත් වූයේ නැත. (ක්‍රියා 12:1-11) දෙවි රෝගීන්ව සුව කිරීමේ හා මිය ගිය අයව නැවත නැඟිටුවීමේ බලය ප්‍රේරිතවරුන්ට දී තිබුණද, ප්‍රේරිත පාවුල්ට වේදනාව ගෙන දුන් ශාරීරික අසනීපයක් විය හැකිව තිබූ “මාංසයේ කටුව” ඔහුගෙන් ඉවත් කිරීමට දෙවි අවසර දුන්නේ නැත.—2 කොරින්ති 12:7-9; ක්‍රියා 9:32-41; 1 කොරින්ති 12:28.

රෝම අධිරාජ්‍යයා වූ නීරෝ විසින් ක්‍රිස්තුස්ගේ ගෝලයන්ට විරුද්ධව දියත් කරන ලද පීඩා රැල්ල වැළැක්වීමටද දෙවි මැදිහත් වූයේ නැත. එම අධිරාජ්‍යයා ක්‍රිස්තියානීන්ට දරුණු ලෙස වධ දුන්නේය. ඔවුන්ව පණපිටින් පුලුස්සා දමන ලදි. වන සතුන්ට අනුභව කිරීම සඳහා ඔවුන්ව විසි කරන ලදි. කෙසේවෙතත් මෙයාකාරයේ විරුද්ධවාදිකම් එල්ල වීම ගැන මුල් ක්‍රිස්තියානීන් පුදුම වූයේ නැත. දෙවිගේ පැවැත්ම කෙරෙහි තිබූ ඔවුන්ගේ විශ්වාසය කොහොමටවත් බිඳ වැටුණේ නැත. තමන්ගේ ගෝලයන්ව අධිකරණය හමුවට ගෙන යන බවත්, දුක් වේදනා විඳීමට හා මරණයට පවා මුහුණ දීමට ඔවුන් සූදානම් විය යුතු බවත් යේසුස් ඔවුන්ට කලින්ම පවසා තිබිණ.—මතෙව් 10:17-22.

දෙවි අතීතයේදී තමන්ගේ සේවකයන්ව අනතුරුවලින් ගලවාගත්තාක් මෙන් වර්තමානයේදීද ගලවාගත හැකියි. ඔහුගේ ආරක්ෂාව තමන්ට ලැබී තිබෙන බවට හැඟී යන අයව විවේචනය නොකළ යුතුයි. කෙසේවෙතත් එවන් අවස්ථාවලදී දෙවි මැදිහත් වූවාද නැද්ද යන්න ගැන ස්ථිරවම පැවසීම දුෂ්කරයි. ප්‍රංශයේ ටූලුස්හි සිදු වූ විශාල පිපිරීමකින් යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් කිහිපදෙනෙකුටද තුවාල සිදු විය. එමෙන්ම නාට්සි හා කොමියුනිස්ට් කඳවුරුවලදී හෝ වෙනත් ඛේදජනක තත්වයන්ට මුහුණ දීම නිසා විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් දහස් ගණනක් මරුමුවට පත් වී තිබේ. මේවා වැළැක්වීමට දෙවි පියවර ගත්තේ නැත. දෙවි ඔහුගේ අනුමැතිය ලබා තිබෙන සියලුදෙනා වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් නොවන්නේ මන්ද?—දානියෙල් 3:17, 18.

“කාලයත් හදිසි කාරණාත්”

ඕනෑම කෙනෙකු විපත්වලට ගොදුරු විය හැකියි. දෙවිට විශ්වාසවන්තව සිටීම ඒවායින් මිදීමට බලපාන අනිවාර්යය සාධකයක් නොවේ. ටූලුස්හි සිදු වූ විශාල පිපිරීමෙන් අලන් හා ලිල්යාන් බේරුණද තිස්දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනකට තුවාල සිදු විය. ඒ ඔවුන් අතින් යම් වරදක් සිදු වී තිබූ නිසා නොවේ. අපරාධ, නොසැලකිලිමත්කම නිසා සිදු වන රිය අනතුරු හා යුද්ධ යනාදියට දසදහස් ගණන් ජනයා ගොදුරු වෙති. මෙම විපත් සඳහා වගකීම දෙවි පිට දැමිය නොහැකියි. “කාලයත් හදිසි කාරණාත්” සියල්ලන්ට සිදු වන බව බයිබලය අපට සිහිගන්වයි.—දේශනාකාරයා 9:11.

එපමණක්ද නොව, අසනීප මහලු විය හා මරණය යනාදියට මුහුණ දීමට මිනිසුන්ට සිදු වේ. දෙවි ආශ්චර්යවත් ලෙස තමන්ගේ ජීවිතය ගලවා තිබෙනවා කියා සිතන අයද තමන්ගේ අසනීපවලට නොසිතූ විරූ ලෙස ඔහු සුවය ලබා දුන් බව පවසන අයද කවදා හෝ දවසක මිය යනු ඇත. අසනීප සහ මරණය නැති කිරීම හා මිනිසුන්ගේ ඇස්වලින් ‘කඳුළු පිස දැමීම’ සිදු වන්නේ අනාගතයේදීය.—එළිදරව් 21:1-4.

එවන් දෙයක් සිදුවීමට නම් ඉඳ හිට මැදිහත් වෙනවාට වඩා මහා පරිමාණයේ ප්‍රබල යමක් සිදු විය යුතුයි. “යෙහෝවාගේ මහත් දවස” කියා හඳුන්වනු ලබන සිදුවීමක් ගැන බයිබලයේ සඳහන් වේ. (ශෙපනියා 1:14) මෙලෙස මහා පරිමාණයෙන් මැදිහත් වීමේදී දෙවි දුෂ්ටකම් මුළුමනින්ම නැති කර දමනු ඇත. පරිපූර්ණ තත්වයන් යටතේ සදාකාලයටම ජීවත් වීමේ ප්‍රස්තාව මිනිසුන්ට ලැබෙනු ඇත. ඒ කාලයේදී “පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වන්නේවත් නැත.” (යෙසායා 65:17) මිය ගිය අයට පවා නැවත ජීවිතය ලැබෙනු ඇත. මෙසේ මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ප්‍රධානතම ඛේදනීය දෙය වන මරණයට මුහුණ දෙනවා වෙනුවට නැවත ජීවත් වීමේ ප්‍රස්තාව උදා වනු ඇත. (යොහන් 5:28, 29) කිසිදා පහ නොවන තමන්ගේ ප්‍රේමය හා යහපත්කම පෙන්වමින් දෙවි එදාට මනුෂ්‍ය වර්ගයාගේ ගැටලු සදහටම විසඳනු ඇත.

වර්තමානයේ දෙවි මැදිහත් වන අයුරු

කෙසේවෙතත්, ඒ කාලය උදා වන තෙක් තමන්ගේ මැවිල්ලට දුක් වේදනා විඳින්න ඉඩහැර දෙවි නිකම් බලා සිටින බව එයින් අදහස් කරන්නේ නැත. ජාතිය හා සමාජීය පසුබිම කුමක් වුවත් තමන්ව දැන හඳුනා ගෙන තමන් සමඟ පෞද්ගලික සබඳතාවක් ගොඩනඟා ගැනීමේ ප්‍රස්තාව දෙවි සියලුම මිනිසුන් ඉදිරියෙහි තබා තිබේ. (1 තිමෝති 2:3, 4) එවන් සබඳතාවක් ඇති වන ආකාරය ගැන යේසුස් මෙම වදන්වලින් මෙසේ විස්තර කළේය. “මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක.” (යොහන් 6:44, NW) දෙවි ඔහුගේ සේවකයන් ලොව පුරා ප්‍රකාශ කරන රාජ්‍ය පණිවිඩය මාර්ගයෙන් අවංක හදවත් ඇති අයව ඔහු වෙතට ඇදගනියි.

මීට අමතරව, දෙවි ඔහුගේ මඟ පෙන්වීම ලැබීමට කැමති අයගේ ජීවිතවලට බලපෑම් කිරීම සඳහා කෙළින්ම මැදිහත් වෙයි. තමන්ගේ ශුද්ධාත්මය මාර්ගයෙන් දෙවි ඔහුගේ කැමැත්ත තේරුම්ගැනීමටත් ඔහු අපේක්ෂා කරන දේවල් ක්‍රියාවට නැංවීමටත් හැකි වන පරිදි ‘ඔවුන්ගේ සිත් විවෘත කරයි.’ (ක්‍රියා 16:14, NW) දෙවි අප එක් එක් කෙනා කෙරෙහි ප්‍රේමණීය ලෙස සැලකිල්ලක් දක්වන බව පෙන්වන්නේ ඔහු ගැනත් ඔහුගේ වචනය හා අරමුණු ගැනත් දැනගැනීමේ ප්‍රස්තාව ලබා දීමෙනි.—යොහන් 17:3.

වර්තමානයේදී දෙවි ඔහුගේ සේවකයන්ට උපකාර කරන්නේ ඔවුන්ව ආශ්චර්යවත් ලෙස විපත්තිවලින් බේරාගැනීමෙන් නොව, ඔහුගේ ශුද්ධාත්මය ඔවුන්ට ලබා දීමෙනි. ඔවුන් මුහුණ දිය හැකි ඕනෑම තත්වයක් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දීමෙනි. (2 කොරින්ති 4:7, NW) ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “මට බලය දෙන තැනැත්තා නිසා මට සියලු දේ කිරීමට ශක්තිය තිබේ.”—ෆිලිප්පි 4:13, NW.

මේ අනුව බලන කල සෑම දවසකම අප ගත කරන ජීවිතය ගැනත් සියලු ආකාර දුක් වේදනාවලින් තොර ලොවක සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව අප ඉදිරියෙහි තැබීම ගැනත් අප දෙවිට ස්තුතිවන්ත විය යුතුයි. “යෙහෝවා විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන ඔහුට කුමක් දෙම්ද?” කියා ගීතිකාකරු ඇසුවේය. අනතුරුව ඔහු මෙසේ පැවසුවේය. “මම ගැලවීමේ කුසලාන රැගෙන, යෙහෝවාගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.” (ගීතාවලිය 116:12, 13) මේ සඟරාවේ සෑම කලාපයක්ම කියවීමෙන් දෙවි කර තිබෙන දේවල් හා කරමින් සිටින දේවල් මෙන්ම ඉදිරියේදී කරන දේවල් තේරුම්ගැනීමට ඔබට හැකි වනු ඇත. දෙවි ඉදිරියේදී කරන දේවල් දැන සිටීමෙන් ඔබට දැන් සන්තෝෂයෙන් සිටීමටත් අනාගතය සඳහා ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වෙනවාට සැකයක් නැත.—1 තිමෝති 4:8.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වන්නේවත් නැත.”—යෙසායා 65:17

[5වන පිටුවේ පින්තූර]

සෙකරියාට ගල් ගසනු ලැබීම නතර කිරීමටවත් . . .

හෙරොද් විසින් අහිංසකයන්ව බුරුතු පිටින් ඝාතනය කරනු ලැබීම වැළැක්වීමටවත් යෙහෝවා බයිබල් කාලවලදී මැදිහත් වූයේ නැත

[7වන පිටුවේ පින්තූරය]

දුක් වේදනා තවදුරටත් නොමැති, මිය ගිය අය පවා නැවත ජීවත් වන කාලය වැඩි ඈතක නොවේ