දානියෙල් 3:1-30

3  නෙබුකද්නෙෂර් රජ බැබිලෝනියේ පිහිටි දූරා නම් සමභූමියේ+ රන් රූපයක් ඉදි කළේය.+ එහි උස රියන්* හැටක්ද පළල රියන් හයක්ද විය.  නෙබුකද්නෙෂර් රජ එම රූපය විවෘත කරන පිණිස උත්සවයක් පැවැත්වීමට සැලසුම් කළේය. ඔහු තම රාජධානියේ දිසාපතීන්වද ප්‍රධාන නිලධාරීන්වද+ ආණ්ඩුකාරයන්වද උපදේශකයන්වද භාණ්ඩාගාරිකයන්වද විනිශ්චයකරුවන්වද මුලාදෑනීන්වද+ පළාත් පරිපාලන කටයුතු භාරව සිටි සියලුදෙනාවද එම උත්සවයට කැඳවන ලෙස නියෝග කළේය.+  එවිට දිසාපතීහුද+ ප්‍රධාන නිලධාරීහුද ආණ්ඩුකාරයෝද උපදේශකයෝද භාණ්ඩාගාරිකයෝද විනිශ්චයකරුවෝද මුලාදෑනීහුද පළාත් පරිපාලන කටයුතු භාරව සිටි සියලුදෙනාද එම රූපය විවෘත කිරීමේ උත්සවයට පැමිණියහ. එම රූපය ඉදිරියේ රැස්ව සිටි ඔවුන්ට  රජුගේ පණිවිඩකරු+ මහ හඬින් මෙසේ කීවේය. “ජනයෙනි, විවිධ භාෂා කතා කරන, විවිධ ජාතීන්ට හා ගෝත්‍රයන්ට අයත් ඔබ සියලුදෙනාටම+ රජු මෙසේ අණ කර තිබේ.  හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළු අනිකුත් සියලුම සංගීත භාණ්ඩ වාදනය කළ වහාම+ ඔබ සියලුදෙනාම නෙබුකද්නෙෂර් රජු ඉදි කළ මේ රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි.  යමෙක් එය ඉදිරියේ වැඳ වැටුණේ නැත්නම්+ ඔහුව ඒ මොහොතේම+ ඇවිළෙන ගිනි උදුනට දමනු ඇත.”+  එබැවින් සංගීතය ඇසුණු වහාම* විවිධ ජාතීන්ට අයත්, විවිධ භාෂා කතා කරන ඒ සෙනඟ+ රූපය ඉදිරියේ වැඳ වැටුණෝය.  එවිට කල්දිවරු කිහිපදෙනෙක් රජු වෙතට ගොස් යුදෙව්වරුන්ට විරුද්ධව චෝදනාවක් එල්ල කළෝය.*+  ඔවුහු නෙබුකද්නෙෂර් රජුට මෙසේ කීවෝය. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා!+ 10  රජතුමනි, සංගීතය+ ඇසෙද්දී* සියලුදෙනාම රන් රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි කියා ඔබ අණ කළා නේද? 11  එය ඉදිරියේ වැඳ වැටෙන්නේ නැති සියලුදෙනාවම ඇවිළෙන ගිනි උදුනට දමනවා කියාත් ඔබ නියෝග කළා නේද?+ 12  නමුත් රජතුමනි, ඔබ දුන් නියෝගය ගණනකටවත් ගත්තේ නැති යුදෙව්වරු කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් බැබිලෝනියේ පරිපාලන කටයුතු බලාගැනීමට ඔබ විසින්ම පත් කළ පුරුෂයන්.+ ඔවුන්ගේ නම් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ. ඔවුන් ඔබේ දෙවිවරුන්ටවත් ඔබ ඉදි කළ රන් රූපයටවත් නමස්කාර කරන්නේ නැහැ.”+ 13  එය අසා නෙබුකද්නෙෂර් රජ අතිශයින් කෝප වී+ ෂද්‍රක්වද මේෂක්වද අබෙද්නෙගෝවද+ එතැනට කැඳවන ලෙස අණ කළේය. එබැවින් ඔවුන් තිදෙනාව රජු ඉදිරියට ගෙන එන ලදි. 14  එවිට නෙබුකද්නෙෂර් රජ ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, මේ අය කියන දේ ඇත්තද? නුඹලා ඇත්තටම මගේ දෙවිවරුන්ටත්+ මම ඉදි කළ රූපයටත් නමස්කාර කරන්නේ නැද්ද?+ 15  මම දැන් සංගීතය වාදනය කරන්න අණ කරනවා. සංගීතය ඇසෙද්දී*+ නුඹලා මම හදපු රූපය ඉදිරියේ වැඳ වැටිය යුතුයි. එහෙම කළේ නැත්නම් මම නුඹලාව ඇවිළෙන ගිනි උදුනට විසි කර දමනවා. මගේ අතින් නුඹලාව ගලවාගන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවාද කියා අපි බලමු.”+ 16  එවිට ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ මෙසේ පිළිතුරු දුන්නෝය. “නෙබුකද්නෙෂර් රජතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් ඔබට කිසි උත්තරයක් දෙන්න අපි බැඳී නැහැ.+ 17  ඔබ අපිව ගිනි උදුනට විසි කළත් අපි නමස්කාර කරන දෙවිට පුළුවන් එයින් අපිව බේරගන්න. ඔහුට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+ 18  නමුත් මේ දේ අපි ඔබට දැන්විය යුතුයි. දෙවි අපිව බේරාගත්තේ නැතත් අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. ඔබ ඉදි කළ මේ රන් රූපයට අපි කොහොමටවත් නමස්කාර කරන්නේ නැහැ.”+ 19  එවිට නෙබුකද්නෙෂර් රජ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ සමඟ අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණේ පෙනුම පවා වෙනස් විය. ගිනි උදුන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන ලෙස ඔහු නියෝග කළේය. 20  ඉන්පසු ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව ඇවිළෙන ගිනි උදුනට දැමීමට+ පෙර ඔවුන්ගේ අත් පා බඳින ලෙස රජ තම හමුදාවේ සේවය කළ ශක්ති සම්පන්න මිනිසුන්+ කිහිපදෙනෙකුට අණ කළේය. 21  එබැවින් ඔවුන් තිදෙනාගේ ඇඳුම්වත් හිස්වැසුම්වත් නොගලවා ඒ සියල්ල පිටින්ම ඔවුන්ව බැඳ, ඇවිළෙන ගිනි උදුනට දැමුවෝය. 22  රජු දුන් දැඩි නියෝගය නිසා උදුනේ උෂ්ණත්වය දරාගත නොහැකි තරමට වැඩි කර තිබිණ. එබැවින් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව උසුලාගෙන ගිය ශක්ති සම්පන්න මිනිස්සු ගින්නට පිලිස්සී මිය ගියෝය. 23  අත් පා බැඳ තිබූ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඇවිළෙන ගිනි උදුන මැදට වැටුණෝය.+ 24  එවිට නෙබුකද්නෙෂර් රජ භය වී හිඳගෙන සිටි තැනින් විගස නැඟිට ඔහු යටතේ සේවය කළ නිලධාරීන්ගෙන් මෙසේ ඇසුවේය. “අපි උදුනට දැම්මේ අත පය බැඳ තිබූ මිනිස්සු තුන්දෙනෙක්ව නේද?”+ ඔවුහුද, “එසේය රජතුමනි” කියා පිළිතුරු දුන්හ. 25  එවිට රජ මෙසේ කීවේය. “අර බලන්න! උදුන ඇතුළේ දැන් මිනිස්සු හතරදෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා. අපි උදුනට දැම්ම තුන්දෙනා එක්ක ඉන්න අනික් කෙනා දෙවි කෙනෙක් වගෙයි. ඔවුන්ට කිසිම හානියක් වෙලා නැහැ!”+ 26  ඉන්පසු නෙබුකද්නෙෂර් රජ උදුනේ දොර ළඟට ගොස්+ මෙසේ කීවේය. “මහෝත්තම දෙවිට+ සේවය කරන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ උදුනෙන් පිටතට එන්න.” එවිට ඔවුහු තිදෙනා උදුනෙන් පිටතට ආවෝය. 27  එතැන රැස්ව සිටි දිසාපතීහු, ප්‍රධාන නිලධාරීහු, ආණ්ඩුකාරයෝ සහ රජු යටතේ සේවය කළ නිලධාරීහු+ ඔවුන් තිදෙනාට ගින්නෙන් කිසි හානියක් සිදු වී නැති බව දුටුවෝය.+ ඔවුන්ගේ එක කෙස්ගහක්වත් පිලිස්සී නැති බවත්+ ඔවුන්ගේ ඇඳුම්වලින් දුම් ගඳවත් නික්මුණේ නැති බවත් සියලුදෙනාටම පෙනී ගියේය. 28  නෙබුකද්නෙෂර් රජ මෙසේ කීවේය. “ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවිට ප්‍රශංසා වේවා!+ ඔවුන්ගේ දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! මගේ අණ කඩ කර මැරෙන්න වුණත් ඔවුන් සූදානමින් සිටියා. ඔවුන් තමන්ගේ දෙවි හැර+ වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ.+ ඒ නිසා දෙවි තම දූතයාව එවා+ ඔවුන්ව ගලවාගත්තා.+ 29  තමන්ගේ සේවකයන්ව මේ විදිහට ගලවාගන්න පුළුවන් වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+ ඒ නිසා යම් කෙනෙක් ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවිට විරුද්ධව යමක් කිව්වොත් ඔහුව මරා කෑලිවලට කපා දමන්නත්+ ඔහුගේ නිවස වැසිකිළියක් බවට පත් කරන්නත්+ මම නියෝග කරනවා.+ ඔහු මොනම භාෂාවක් කතා කළත් ඔහු මොනම ජාතියකට හෝ ගෝත්‍රයකට අයිති වුණත් ඔහුට ලැබෙන දඬුවම එයයි.” 30  රජු ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝට හොඳින් සැලකූ නිසා බැබිලෝනියේ ගෞරවනීය තත්වයක් ඔවුන්ට හිමි විය.+

පාදසටහන්

උත් 6:15හි පාදසටහන බලන්න.
මූ.අ., “හොරණෑ, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළු අනිකුත් සියලුම සංගීත භාණ්ඩ වාදනය කළ වහාම”
හෝ, “නින්දා කළෝය.” මූ.අ., “කෑලිවලට ඉරා මස් කා දැමුවෝය.”
දානි 3:7හි පාදසටහන බලන්න.
දානි 3:7හි පාදසටහන බලන්න.