ක්‍රියා 23:1-35

23  පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”  එය ඇසූ උත්තම පූජක අනනියස්, ඔහුගේ කටට පහරක් ගසන ලෙස+ ඔහු ළඟ සිටගෙන සිටි අයට අණ කළේය.  එවිට පාවුල් ඔහුට මෙසේ කීවේය. “හුණු ගා සුදු කළ බිත්තියක්+ හා සමාන කුහකයෙක් වන ඔබට දෙවි පහර දෙයි. නීතියට අනුව මාව විනිශ්චය කිරීමට ඉඳගෙන සිටින ඔබ,+ ඒ නීතියම උල්ලංගනය කරමින්+ මට පහර දෙන්න කියාත් අණ කරනවාද?”  ඔහු ළඟ සිටගෙන සිටි අය, “දෙවිගේ උත්තම පූජකයාට ඔබ කතා කරන්නේ ඔහොමද” කියා ඔහුගෙන් ඇසූහ.  එවිට පාවුල්, “සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම දැන සිටියේ නැහැ. මන්ද, ‘ඔබ අතරේ සිටින අධිපතියෙකු ගැන ඔබ අවමන්සහගත ලෙස කතා නොකළ යුතුයි’+ කියා ලියා තිබෙනවා” කියා පැවසුවේය.  මන්ත්‍රණ සභාවේ එක් කොටසක් සද්දුසිවරුන්ගේ ආගමික නිකායට+ අයිති බවත් අනික් කොටස පරිසිවරුන්ගේ නිකායට අයිති බවත් පාවුල් වටහාගත් විට ඔහු ඔවුන්ට මෙසේ ශබ්ද නඟා පැවසුවේය. “සහෝදරයෙනි, මමත් පරිසිවරුන්ගේ නිකායට අයිති කෙනෙක්.+ මගේ පියාත් පරිසිවරයෙක්. අද ඔබ මාව වැරදිකරුවෙක් කරන්න හදන්නේ+ මම නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි.”+  ඔහු ඒ දේ පැවසූ නිසා පරිසිවරුන් සහ සද්දුසිවරුන් අතරේ ආරවුලක් හටගෙන+ ඔවුහු භේද වූහ.  මන්ද සද්දුසිවරුන්ගේ නිකායේ සිටින්නන්+ නැවත නැඟිටීමක්වත් දේවදූතයන් හා වෙනත් නොපෙනෙන බලවේගයන්වත් නැති බව+ පැවසුවත් පරිසිවරුන්ගේ නිකායේ සිටින අය ප්‍රසිද්ධියේම පවසන්නේ ඒ සියල්ලම පවතින බවය.  එවිට කෑගසමින්+ සිටි ඔවුන්ගේ හඬ තවත් උත්සන්න විය. පරිසිවරුන්ගේ නිකායට අයත්ව සිටි නීතිය පිටපත් කරන්නන් කිහිපදෙනෙක් නැඟිට ඉතා සැරපරුෂ ලෙස මෙසේ කීවෝය. “මේ මිනිසා කිසිම වරදක් කර ඇති බව අපට නම් පෙනෙන්නේ නැහැ.+ සමහරවිට නොපෙනෙන යම් ජීවියෙක් නැත්නම් දේවදූතයෙක් ඔහුට කතා කරන්න ඇති.”+ 10  ආරවුල තව තවත් උග්‍ර අතට හැරුණු විට ඔවුන් පාවුල්ට දරුණු ලෙස පහර දී ඔහුව මරා දැමීමට පවා ඉඩකඩ ඇති බව හමුදාපතිට වැටහිණ. එසේ ඔහු බිය වූ නිසා තම හේවා පිරිසට අණ කළේ+ පාවුල් සිටි තැනට ගොස් ඔහුව හමුදා කඳවුරට ගෙන යන ලෙසය.+ 11  නමුත් එදින රාත්‍රියේදී ස්වාමීන් පාවුල් ඉදිරියේ දර්ශනය වී,+ “කිසි දෙයකින් අධෛර්යය වෙන්න එපා.+ ඇත්තෙන්ම ඔබ යෙරුසලමේදී මා ගැන ඉතා හොඳ සාක්ෂියක් දී තිබෙනවා.+ ඔබට රෝමයේදීත් මෙවැනි සාක්ෂියක් දරන්න සිදු වෙයි”+ කියා කීවේය. 12  ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+ 13  එම කුමන්ත්‍රණයට හවුල් වී දිවුරුම් දුන් පුරුෂයන්ගේ ගණන හතළිහකටත් වඩා වැඩි විය. 14  ඔවුහු නායක+ පූජකයන් සහ වැඩිමහල්ලන් වෙතට ගොස් මෙසේ කීවෝය. “පාවුල්ව මරා දමන තුරු කෑම නොකා සිටීමට අපි දිවුරුමක් කර තිබෙනවා. 15  එමනිසා ඔබත් මන්ත්‍රණ සභාවේ සාමාජිකයනුත් හමුදාපතිව හමු වී පාවුල්ගෙන් තවත් තොරතුරු වඩාත් නිවැරදිව දැනගැනීමට අපට අවශ්‍ය බව කියන්න.+ ඒ සඳහා ඔහුව ඔබ රැස් වන තැනට ගෙනා යුතු බවත් කියන්න. ඔහු යන අතරතුරේදී අපි මඟ රැකගෙන සිටිනවා. එවිට ඔහුව මරා දමන්න අපට පුළුවන් වෙයි.”+ 16  එසේ මඟ රැක සිටීමට අදහස් කළ අයගේ සැලසුම් ගැන පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට ආරංචි විය.+ එහෙයින් ඔහු හමුදා කඳවුරට ගොස් පාවුල්ව හමු වී ඔහුට ඒ ගැන දැන්නුවේය. 17  එවිට පාවුල්, හමුදා නිලධාරීන්ගෙන් එක් කෙනෙකුව කැඳවා, “හමුදාපතිට දන්වන්න යම් තොරතුරක් මේ තරුණයා ළඟ තිබෙනවා. ඒ නිසා ඔහුව හමුදාපති ළඟට ගෙන යන්න” කියා පැවසුවේය. 18  එහෙයින් ඒ නිලධාරියා ඔහුව හමුදාපති වෙතට ගෙන ගොස් මෙසේ පැවසුවේය. “පාවුල් නම් සිරකරුවා මාව ළඟට කැඳවා, ඔබට දන්වන්න යමක් මේ තරුණයා ළඟ තිබෙනවා කියා පැවසුවා. ඔහු ඉල්ලා සිටියේ මේ තරුණයාව ඔබ වෙතට ගෙන යන්න කියායි.” 19  හමුදාපති ඔහුව අතින් අල්ලාගෙන පැත්තකට ගෙන ගොස්,+ “ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද” කියා ඔහුගෙන් විමසුවේය. 20  ඔහු මෙසේ කීවේය. “යුදෙව්වන් පිරිසක් එකඟතාවකට ඇවිත් ඔබව හමු වීමට අදහස් කරගෙන සිටිනවා. ඔවුන් එන්නේ හෙට මන්ත්‍රණ සභාව ඉදිරියට පාවුල්ව ගෙන එන්න කියා ඔබෙන් ඉල්ලා සිටීමටයි. පාවුල් ගැන තවත් තොරතුරු නිවැරදිව දැනගන්න අවශ්‍ය නිසා ඔහුව ගෙන එන්න කියා ඔවුන් ඔබට කියයි.+ 21  නමුත් ඔවුන්ගේ අදහස ඒ දේ කරන්න නොවෙයි. දැනටමත් මිනිසුන් හතළිස්දෙනෙකුට වැඩි පිරිසක් ඔහුව මරා දැමීමේ අදහසින් මඟ රැකගෙන සිටිනවා.+ ඔහුව මරා දමන තුරු ඔවුන් කන්නේවත් බොන්නේවත් නැතුව සිටිනවා කියා දිවුරුමකුත් කර තිබෙනවා.+ දැන් ඔවුන් බලාගෙන සිටින්නේ ඔබ පාවුල්ව ගෙන එන තුරුයි. ඒ නිසා ඔවුන් කරන ඉල්ලීමට කොහොමටවත් එකඟ වෙන්න එපා.” 22  එවිට හමුදාපති, “ඔබ මේ දේවල් මට දැන්වූ බව වෙන කාටවත් කියන්න එපා” කියා තරුණයාට අවවාද කර ඔහුව පිටත් කර යැව්වේය. 23  ඉන්පසු ඔහු හමුදා නිලධාරීන් දෙදෙනෙකුව කැඳවා මෙසේ කීවේය. “සිසේරියට යෑම සඳහා හේවායන් දෙසීයක්ද අසරුවන් හැත්තෑවක්ද හෙල්ල අතැතිව සිටින දෙසියදෙනෙක්වද වහාම සූදානම් කරන්න. ඔවුන් පිටත් විය යුත්තේ අද රාත්‍රියේ තුන්වෙනි පැයේදීයි.* 24  පාවුල් සඳහාත් අශ්වයෙක් සූදානම් කරන්න. එවිට කිසිම කරදරයක් නැතුව ඔහුව ආණ්ඩුකාර ෆීලික්ස් වෙතට ගෙන යන්න ඔවුන්ට හැකි වෙයි.” 25  ඔහු ෆීලික්ස්ට මෙවැනි ලිපියක්ද පිළියෙල කළේය. 26  “ක්ලෝදියස් ලිසියස් වෙතින් අතිගරු ආණ්ඩුකාර ෆීලික්ස්+ වෙතටය. ඔබතුමන්ට සුබ පැතුම්! 27  මා ඔබතුමන් වෙතට එවන මේ මිනිසාව යුදෙව්වරු අල්ලාගෙන මරා දමන්න උත්සාහ කළෝය. ඔහු රෝම පුරවැසියෙකු බව මා දැනගත් නිසා+ හේවායන් පිරිසක් සමඟ වහාම පැමිණ ඔහුව බේරාගත්තෙමි.+ 28  ඔවුන් ඔහුට විරුද්ධව චෝදනා කිරීමට හේතුව දැනගැනීම සඳහා මම ඔහුව ඔවුන්ගේ මන්ත්‍රණ සභාව+ ඉදිරියටත් රැගෙන ගියෙමි. 29  ඔහුට එල්ල කර තිබුණු චෝදනා ඔවුන්ගේ නීතියට සම්බන්ධ දෙයක් බව එවිට මට හෙළි විය.+ නමුත් මරණ දණ්ඩනය හෝ සිරදඬුවමක් හෝ ලැබීමට තරම් කිසි චෝදනාවක් ඔහුට විරුද්ධව එල්ල වී නැති බව මට වැටහිණ.+ 30  නමුත් මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණයක්+ දියත් කර තිබෙන බව මට ආරංචි වූ නිසා මා සිතුවේ වහාම ඔහුව ඔබතුමන් වෙතට එවීම සුදුසු බවය. එහෙයින් ඔබතුමන් ඉදිරියට ඇවිත් ඔහුට විරුද්ධව තම චෝදනා ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවන්ට නියෝග කරන්නෙමි.”+ 31  ඒ අනුව එම හේවායෝ+ තමන්ට අණ කළ ලෙස පාවුල්ව රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිස නුවර දක්වා ආවෝය. 32  පසුවදා ඔහු සමඟ අසරුවන් පිරිස ගිය අතර හේවායන් කණ්ඩායම නැවත තම හමුදා කඳවුර බලා ආවෝය. 33  අසරුවන් පිරිස සිසේරියට ඇතුල් වී,+ ආණ්ඩුකාරයාට ලිපිය භාර දී පාවුල්වද ඔහු ඉදිරියට ගෙනාවෝය. 34  එවිට ආණ්ඩුකාරයා ලිපිය කියවා, පාවුල් පැමිණියේ කුමන පළාතෙන්ද කියා විමසූ විට ඔහු සිලීසියාවෙන්+ පැමිණි බව දැනගත්තේය.+ 35  “ඔබට විරුද්ධව චෝදනා කරන අය+ පැමිණි පසු මම ඔබේ නඩුව සම්පූර්ණයෙන්ම විභාග කරනවා” කියා පවසා ඔහු පාවුල්ව හෙරොද්ගේ ප්‍රීටෝරියානු මාලිගාවේ ආරක්ෂාව යටතේ රඳවා තැබීමට අණ කළේය.

පාදසටහන්

එනම්, ප.ව. 9ට පමණ.