Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්

යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්

යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්

“මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනිමින්, දෙවි කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.”—2 කොරින්ති 7:1.

1. යෙහෝවා ඔහුට නමස්කාර කරන අයගෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

 “යෙහෝවාගේ කන්දට නඟින්නේ කවුද? ඔහුගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද?” යෙහෝවා පිළිගනු ලබන නමස්කාරය සම්බන්ධයෙන් සිතුවිලි පුබුදුවාලන එම ප්‍රශ්න නැඟුවේ පුරාණ ඉශ්‍රායෙලයේ රජු වූ දාවිත් විසිනි. අනතුරුව ඔහුම ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් [හදවතක්, NW] ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට යොමු නොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.” (ගීතාවලිය 24:3, 4) යමෙකු දෙවිට කරන නමස්කාරය ඔහු විසින් පිළිගනු ලැබීමට නම් එම තැනැත්තා පවිත්‍ර විය යුතුය. ශුද්ධ විය යුතුය. ශුද්ධකමේ නියම ස්වභාවය දැකබලා ගැනීමට නම්, අප බැලිය යුත්තේ යෙහෝවා දෙසයි. අතීතයේදී යෙහෝවා ඉශ්‍රායෙල් සෙනඟට මේ කාරණය මතක් කර දුන්නේය. “මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍ර වී ශුද්ධව සිටින්න [සිටිය යුතුය, NW].”—ලෙවී කථාව 11:44, 45; 19:2.

2. සැබෑ නමස්කාරයේදී පවිත්‍රකමේ තිබෙන වැදගත්කම පාවුල් හා යාකොබ් අවධාරණය කළේ කෙසේද?

2 ඊට සියවස් ගණනාවකට පසු ප්‍රේරිත පාවුල් සදාචාරය පිරිහුණු නගරයක් වූ කොරින්තියේ විසූ සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර කරගනිමින්, දෙවි කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.” (2 කොරින්ති 7:1) නැවත වතාවක් මෙම වදන් මගින්ද අවධාරණය කරනු ලබන්නේ දෙවි සමඟ සබඳතාවක් ඇති කරගැනීමටත් ඔහු පොරොන්දු කර තිබෙන ආශීර්වාද භුක්ති විඳීමටත් යමෙකුට ඕනෑ නම්, ඔහු තමන්ව ශාරීරික හා ආත්මික කිලුටුකම්වලින් සහ අපවිත්‍රකම්වලින් පවිත්‍ර කරගත යුතු බවයි. මේ හා සමානව දෙවි විසින් පිළිගනු ලබන නමස්කාරය ගැන ශ්‍රාවක යාකොබ්ද මෙසේ සඳහන් කළේය. “අපගේ පිය වූ දෙවි ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුටු වූ භක්තිය [නමස්කාර පිළිවෙත, NW] නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂා කරගැනීමත්ය.”—යාකොබ් 1:27.

3. අපේ නමස්කාරය දෙවි විසින් පිළිගනු ලැබීමට නම් අප ගැඹුරින් සලකා බැලිය යුත්තේ කුමක්ද?

3 පවිත්‍රකම, ශුද්ධකම හා කිලිටි නොවී සිටීම සැබෑ නමස්කාරය හා බැඳි වැදගත් කරුණු වන නිසා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට යමෙකු කැමති නම්, ඔහු දෙවිගේ එම අවශ්‍යතා ඉටු කිරීම ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. අද මිනිසුන්ට පවිත්‍රකම පිළිබඳව තිබෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රමිතිය. මේ නිසා පවිත්‍රයි හා පිළිගත හැකියි කියා යෙහෝවා සලකන්නේ කුමක්ද යන්න අප තේරුම්ගෙන, ඊට අනුකූල වීම අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් දෙවි තම නමස්කාරකයන්ගෙන් ඉල්ලා සිටින දේත්, ඔහු ඉදිරියෙහි පවිත්‍ර වීමට, පිළිගත හැකි අය වීමට හා එලෙස දිගටම සිටීමට උපකාර වශයෙන් ඔහු කර ඇති දේත් අප දැනගත යුතුය.—ගීතාවලිය 119:9; දානියෙල් 12:10.

සැබෑ නමස්කාරය සඳහා පවිත්‍රව සිටීම

4. බයිබලයට අනුව පවිත්‍රකම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 පවිත්‍රව සිටීම යනුවෙන් බොහෝදෙනෙකු අදහස් කරන්නේ හුදෙක් කිලුටු නොවී සිටීමයි. කෙසේවෙතත් බයිබලයෙහි පවිත්‍රව සිටීම යන අදහස ගෙනහැර දක්වන හෙබ්‍රෙව් සහ ග්‍රීක් වදන් කිහිපයක් තිබේ. එම වදන්වලින් විස්තර කෙරෙන්නේ ශාරීරික පවිත්‍රකම ගැන පමණක් නොවේ. බොහෝ අවස්ථාවලදී එම වදන් මගින් සදාචාරමය හා ආත්මික වශයෙන් පවිත්‍ර සිටීමද විස්තර කෙරේ. මේ අනුව එක් බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වේ. “ ‘පවිත්‍ර’ සහ ‘අපවිත්‍ර’ යන වදන් සනීපාරක්ෂාවට සම්බන්ධ කර දක්වන අවස්ථා අඩුය. එම වදන් මූලිකව බැඳී පවතින්නේ ආගමික සංකල්ප සමඟය. මේ විග්‍රහයට අනුව ‘පවිත්‍රකම’ නමැති ප්‍රතිපත්තිය ජීවිතයේ සෑම කාරණයකටම පාහේ බලපායි.”

5. මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාව ඉශ්‍රායෙල්වරුන්ගේ ජීවිතයේ පවිත්‍රකමට කොතෙක් දුරට බලපෑවාද?

5 ඉශ්‍රායෙල්වරුන්ගේ ජීවිතයේ සෑම කාරණයකදීම ප්‍රායෝගිකව අදාළ කරගත හැකි නීති රීති මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථාවේ අන්තර්ගත විය. පවිත්‍ර හා පිළිගත හැකි දේවල් වූයේ හා නොවූයේ මොනවාද යන්න ගැන එහි නිශ්චිතව සඳහන් කර තිබිණ. උදාහරණයක් හැටියට ලෙවී කථාව 11 සිට 15 දක්වා පරිච්ඡේදවල පවිත්‍රකම හා අපවිත්‍රකම පිළිබඳව විස්තරාත්මක උපදෙස් අපට සොයාගත හැකියි. ඇතැම් සතුන්ව අපවිත්‍ර ලෙස සලකන ලදි. ඉශ්‍රායෙල්වරුන් එම සතුන්ව අනුභව නොකළ යුතු විය. දරුවෙකු බිහි කළ ස්ත්‍රියක් නිශ්චිත කාල සීමාවක් පසු කරන තුරු අපවිත්‍ර වී ඇති කෙනෙකු ලෙස සලකන ලදි. යම් පුද්ගලයෙකුට සමේ රෝගයක්, විශේෂයෙන්ම ලාදුරු වැළඳී තිබුණා නම් හෝ ස්ත්‍රියකගේ නැත්නම් පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍රියෙන් ස්‍රාවයන් පිට වූවා නම් එම තැනැත්තා අපවිත්‍ර වීමට එවැනි දෑ හේතු විය. පුද්ගලයෙකු අපවිත්‍ර වූ විට කළ යුතු දේවල් මොනවාද කියා ව්‍යවස්ථාවේ නිශ්චිත දක්වා තිබිණ. උදාහරණයක් හැටියට ගණන් කථාව 5:2හි අපට මෙසේ කියවීමට තිබේ. “සියලු කුෂ්ඨ රෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණ කරන්න.”

6. පවිත්‍රකම පිළිබඳ නීති සැපයීමේ අරමුණ වූයේ කුමක්ද?

6 කලින් සඳහන් කළ දේවල් ඇතුළු යෙහෝවා දුන් වෙනත් නීතිවලින් වෛද්‍ය හා කායික විද්‍යාව පිළිබඳ සංකල්ප පිළිබිඹු විය. එම සංකල්ප වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් සොයාගනු ලැබුවේ බොහෝ කලකට පසුවයි. ව්‍යවස්ථාවේ නීති පිළිපදින විට ඉශ්‍රායෙල්වරු ඉන් මහත් ප්‍රයෝජන ලැබූහ. කෙසේවෙතත් එම නීති දෙනු ලැබුවේ හුදෙක් සෞඛ්‍යය ගැන ප්‍රමිති සැපයීමේ හෝ වෛද්‍යමය මඟ පෙන්වීම් සැපයීමේ අරමුණින්ම නොවේ. ඒවා සැබෑ නමස්කාරයේ කොටසක් විය. එම නීති කෑම බීම, දරුවන් බිහි කිරීම, විවාහක සබඳතා යනාදිය ඇතුළු මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලට බලපෑවේය. ඒවායින් අවධාරණය කළේ තමන් යෙහෝවාට පමණක් කැප කර තිබූ ජීවිතයේ සෑම කාරණයකදීම සුදුසු දෙය හා නුසුදුසු දෙය කුමක්ද කියා ඔවුන් වෙනුවෙන් තීරණය කිරීමට ඔවුන්ගේ දෙවි හැටියට යෙහෝවාට තිබූ අයිතියයි.—ද්විතීය කථාව 7:6; ගීතාවලිය 135:4.

7. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඉශ්‍රායෙල් ජාතියට අත් කරගත හැකිව තිබුණේ කුමන ආශීර්වාදයද?

7 අවට සිටි ජාතීන්ගේ දූෂිත පුරුදුවලින් ඉශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කළේද ව්‍යවස්ථාවයි. යෙහෝවාගේ ඇස් හමුවෙහි පවිත්‍රව සිටීම සඳහා නියම කර තිබූ සෑම දෙයක්ම ඇතුළත් ව්‍යවස්ථාව දිගටම පිළිපැදීමෙන් දෙවිට පිළිගත හැකි ලෙස සේවය කිරීමටත් ඔහුගේ අනුමැතිය දිනාගැනීමටත් ඉශ්‍රායෙල්වරුන්ට හැකියාව තිබිණ. මේ සම්බන්ධයෙන් යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියට මෙසේ පැවසුවේය. “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහු නම් සියලු සෙනඟ අතරින් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොවම මාගේය. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.”—නික්මයාම 19:5, 6; ද්විතීය කථාව 26:19.

8. පවිත්‍රකම ගැන ව්‍යවස්ථාවේ සඳහන් දේවල් අදදින සිටින ක්‍රිස්තියානීන් සලකා බැලිය යුත්තේ මන්ද?

8 පවිත්‍රව හා ශුද්ධව සිටීමටත් තමන්ට පිළිගත හැකි ලෙස ක්‍රියා කිරීමටත් හැකි ආකාරය ගැන ඉශ්‍රායෙල්වරුන්ට කියා දුන් එවන් විස්තර ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ යෙහෝවා විසිනි. එනිසා එහි නියමයන් තමන් කොතෙක් දුරට ඉටු කරනවාද කියා අද සිටින ක්‍රිස්තියානීන් පවා ඕනෑකමින් සලකා බැලීම යෝග්‍ය නොවේද? ක්‍රිස්තියානීන් ව්‍යවස්ථාව යටතේ නොසිටියත් පාවුල් පැහැදිලි කළ මේ දෙය ඔවුන් මනසේ තබාගත යුතුය. ව්‍යවස්ථාවේ සඳහන් සෑම දෙයක්ම “පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්වය ක්‍රිස්තුස්ය.” (කොලොස්සි 2:17, නව අනුවාදය; හෙබ්‍රෙව් 10:1) “මම වෙනස් නොවෙමි” කියා පවසන යෙහෝවා දෙවි පවිත්‍රකම හා කිලිටි නොවී සිටීම ඒ කාලයේ සැබෑ නමස්කාරයේ වැදගත් දෙයක් ලෙස සැලකුවේය. එසේනම්, ඔහුගේ අනුමැතිය හා ආශීර්වාද භුක්ති විඳීමට අප කැමති නම් ශාරීරිකව, සදාචාරමය හා ආත්මික ලෙස පවිත්‍රව සිටීම බැරෑරුම් දෙයක් ලෙස අපි සැලකිය යුත්තෙමු.—මලාකී 3:6; රෝම 15:4; 1 කොරින්ති 10:11, 31.

අපි ශාරීරිකව පවිත්‍ර සෙනඟක් බවට සාක්ෂි දෙමු

9, 10. (අ) ශාරීරික පවිත්‍රකම ක්‍රිස්තියානීන්ට වැදගත් දෙයක් වන්නේ මන්ද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ගැන බොහෝ අවස්ථාවලදී මොන වගේ අදහස් පළ කරනු ලබනවාද?

9 ශාරීරික පවිත්‍රකම එදා මෙන් අදත් සැබෑ නමස්කාරයේ වැදගත් අංගයක්ද? ශාරීරිකව පවිත්‍රව සිටීමෙන් පමණක් කෙනෙකු දෙවිගේ සැබෑ නමස්කාරකයෙකු නොවුවත්, තමන්ට හැකි ආකාරයෙන් සැබෑ නමස්කාරකයෙකු ශාරීරිකව පවිත්‍රව සිටීම සුදුසුයි. මේ කාලයේ බොහෝදෙනෙකු තමන්වත්, තමන්ගේ ඇඳුම් පැළඳුම් හා වටපිටාවත් පවිත්‍රව තබාගැනීම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙවන් යුගයක එසේ පවිත්‍රව සිටින අය අන් අයගේ අවධානයට ලක් වේ. පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවාක් මෙන් එයින් හොඳ ප්‍රතිඵල අත් විය හැකියි. ඔහු මෙසේ පැවසුවේය. “අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී, . . . අපි දෙවිගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමු.”—2 කොරින්ති 6:3, 10ආ.

10 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පවිත්‍රකම, පිළිවෙළ හා ගෞරවාන්විත හැසිරීම හා පුරුදු, මහජන සේවයේ නියුතු නිලධාරීන්ගේ පැසසුමට ලක් වන අවස්ථා බොහෝය. විශේෂයෙන්ම ඔවුන්ගේ විශාල සමුළුවලදී එම ගුණාංග දැකිය හැකියි. උදාහරණයක් හැටියට, ඉතාලියේ සවෝනාහි පවත්වන ලද සමුළුවක් ගැන පුවත්පතක (La Stampa) මෙසේ වාර්තා විය. “සමුළුව පැවැත්වූ ස්ථානයට ගිය විගසම නෙත් ඇදී ගියේ එහි සිටි මිනිසුන්ගේ පවිත්‍රකම හා පිළිවෙළ වෙතයි.” බ්‍රසීලයේ සාන්ත පාවුලෝහි පිහිටි ක්‍රීඩාංගණයක පවත්වන ලද සමුළුවක සිදු වූ දේවල් දුටු එහි නිලධාරියෙක් ඔහු යටතේ සිටි පිරිසිදු කිරීම භාර තැනැත්තාට මෙසේ පැවසීය. “අද ඉඳන් අපි මේ ක්‍රීඩාංගණය පිරිසිදු කරන්න ඕනෙ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කළ විදිහටයි.” ඒ ක්‍රීඩාංගණයේම සේවය කරන තවත් නිලධාරියෙක් මෙසේ පැවසුවේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ ක්‍රීඩාංගණය කුලියට ගැනීමට ඉල්ලන අවස්ථාවලදී අපිට ටිකක් හිතන්න තියෙන්නේ වෙන් කරන දින ගැන විතරයි. වෙන කිසි දෙයක් ගැන කරදර වෙන්න ඕනෙ නැහැ.”

11, 12. (අ) පෞද්ගලික පවිත්‍රකම ගැන සලකා බලන විට අප මතක තබාගත යුතු බයිබල් ප්‍රතිපත්තිය කුමක්ද? (ආ) අපේ පුරුදු හා ජීවන රටාව ගැන කුමන ප්‍රශ්න ඇසිය හැකිද?

11 අප නමස්කාර කරන ස්ථානය පවිත්‍රව හා පිළිවෙළකට තබාගැනීමෙන් දෙවිට ප්‍රශංසාව අත් වේ. එසේනම් පෞද්ගලිකව අපද එම ගුණාංග විදහාපෙන්වීම ඒ හා සමානව වැදගත් වන්නේ නැද්ද? කෙසේවෙතත්, අපේ නිවෙස්වල අප කැමති විදිහට දේවල් කරන්න නිදහසක් අපට තිබෙනවා කියා හැඟෙන්න පුළුවනි. අපේ ඇඳුම් පැළඳුම් හා පෙනුම ගැන සලකා බැලීමේදී, අපට පහසුවක් දැනෙනවා කියා හෝ ලස්සනයි කියා හැඟෙන දේවල් තෝරාගැනීමේ නිදහස තිබෙන බවත් හැඟෙන්න පුළුවන. එහෙත් බොහෝදුරට මේ නිදහස තිබෙන්නේ යම් ප්‍රමාණයකට පමණි. ආහාර සඳහා ඇතැම් දේවල් තෝරාගැනීම ගැන සාකච්ඡා කළ අවස්ථාවේදී පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට මෙසේ අනතුරු ඇඟවූ බව ඔබට මතක ඇති. “නුඹලාගේ මේ නිදහස යම් අන්දමකින් දුර්වලයන්ට බාධාවට හේතුවක් නොවන ලෙස බලාගන්න.” අනතුරුව ඔහු වැදගත් ප්‍රතිපත්තියක් ගැන මෙලෙස සඳහන් කළේය. “සියලු දේ ගැන නිදහස තිබේ. නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.” (1 කොරින්ති 8:9; 10:23) පවිත්‍රකම පිළිබඳ කාරණයේදී පාවුල්ගේ උපදේශය අපට අදාළ වන්නේ කෙසේද?

12 දෙවිගේ සේවකයෙකුගෙන් පවිත්‍රකම හා පිළිවෙළ මිනිසුන් අපේක්ෂා කිරීම සාධාරණයි. මේ නිසා අපේ නිවෙස්වල හා වටපිටාවේ පෙනුම ගැන සැලකිලිමත් විය යුතුය. දෙවිගේ සේවකයන් වශයෙන් අපහට අපකීර්තියක් ඇති නොවන ආකාරයෙන් අපේ නිවෙස් තබාගැනීම වැදගත්ය. අප ගැනත් අපේ විශ්වාසයන් ගැනත් අපේ නිවෙස් මගින් දෙන්නේ කුමන සාක්ෂියක්ද? අප අන් අයට අවධාරණයෙන් යුතුව පවසන පවිත්‍ර සහ පිළිවෙළකින් යුත් නව ලෝකයේ ජීවත් වීමට සැබෑ ආශාවක් අප තුළ තිබෙන බව අපේ නිවෙස්වලින් දැකිය හැකිද? (2 පේතෘස් 3:13) ඒ හා සමානව, අප විවේක කාලය ගත කරන විට හෝ වේවා දේවසේවයේ හවුල් වන විට හෝ වේවා අපේ පෙනුම මගින් අප දේශනා කරන පණිවිඩයේ බලපෑම වැඩි කළ හැකියි, නැත්නම් අඩු කළ හැකියි. උදාහරණයක් හැටියට මෙක්සිකෝවේ පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ අදහස් පළ කළේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර යෞවනයන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් කොණ්ඩය කපා තිබෙන ආකාරය, ඔවුන් පවිත්‍රව හා විනීතව ඇඳ පැළඳ සිටින ආකාරය නිසා ඔවුන්ව හඳුනාගන්න අමාරු නැහැ.” ඇත්තෙන්ම අප අතර එවැනි යෞවනයන් සිටීම ගැන අප තුළ ඇති වන ප්‍රීතිය මොනතරම්ද!

13. අපේ එදිනෙදා ජීවිතයේ සෑම දෙයක්ම පවිත්‍රව හා පිළිවෙළකට තබාගැනීම සඳහා අපට කුමක් කළ හැකිද?

13 අපේ සිරුර හා පෙනුම, අප සතු දේවල් හා අපේ නිවස නිතරම පවිත්‍රව, පිළිවෙළකින් යුතුව තබාගැනීම කියන තරම් ලෙහෙසි දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සඳහා අවශ්‍ය කරන්නේ හොඳ සැලැස්මක් හා අඛණ්ඩ වෑයමක් දැරීම මිසක් මිල අධික හා සංකීර්ණ උපකරණ නොවේ. අපේ සිරුර, ඇඳුම් පැළඳුම්, නිවස, වාහනය යනාදිය පවිත්‍රව තබාගැනීම සඳහා නිශ්චිත කාලයක් වෙන් කර තබාගත යුතුය. එදිනෙදා ජීවිතයේ නොයෙකුත් වගකීම් ඉටු කරනවාට අමතරව, දේවසේවයේ හා රැස්වීම්වලට යෑම හා පෞද්ගලික අධ්‍යයනයේ නිරත වීම වැනි දේවල්ද කරන්න තිබේ. නමුත් ඒ දේවල් නිසා අප දෙවි හා මිනිසුන් ඉදිරියෙහි දිගටම පවිත්‍රව හා පිළිගත හැකි තත්වයක සිටීමේ අවශ්‍යතාව නොසලකා හැරිය නොහැකියි. “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියන අපට හුරුපුරුදු ප්‍රතිපත්තිය අපේ ජීවිතයේ මේ කාරණයටද එක සේ අදාළ වේ.—දේශනාකාරයා 3:1, NW.

දූෂ්‍ය නොවූ හදවතක්

14. ශාරීරික පවිත්‍රකමට වඩා සදාචාරමය හා ආත්මික පවිත්‍රකම වැදගත් කියා පැවසිය හැක්කේ මන්ද?

14 ශාරීරික පවිත්‍රකම ගැන සැලකිලිමත් වීම වැදගත්ය. එහෙත් ඊටත් වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දෙයක් තිබේ. එය නම් සදාචාරමය හා ආත්මික පවිත්‍රකමයි. අප මෙසේ නිගමනය කරන්නේ යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ දෙය අපේ මතකයේ තිබෙන නිසාය. යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කළේ ඔවුන් ශාරීරිකව අපවිත්‍රව සිටීම නිසා නොව, සදාචාරමය හා ආත්මික ලෙස දූෂ්‍ය වී සිටි නිසාය. ‘පාපිෂ්ඨ වූ අයුතුකමෙන් බර වූ සෙනඟක්’ නිසා ඔවුන් ඔප්පු කළ පූජා, නව සඳ හා සබත සැමරීම ඇතුළුව ඔවුන්ගේ යාච්ඤා පවා තමන්ට බරක් වූ බව යෙහෝවා අනාගතවක්තෘ යෙසායා මගින් ඔවුන්ට පැවසුවේය. නැවත වතාවක් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද? යෙහෝවා තවදුරටත් මෙසේ පැවසීය. “නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙන්න. නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහ කර නපුරුකම් කිරීමෙන් වැළකෙන්න.”—යෙසායා 1:4, 11-16.

15, 16. යේසුස් පැවසූ පරිදි මිනිසෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද? යේසුස්ගේ වදන්වලින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

15 සදාචාරමය හා ආත්මිකව පවිත්‍රව සිටීමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීම සඳහා යේසුස් ඵරිසිවරුන්ට හා ලියන්නන්ට පැවසූ දෙය සැලකිල්ලට ගන්න. යේසුස්ගේ ගෝලයන් ආහාර ගැනීමට කලින් අත් සේදුවේ නැතැයි කියා ඔවුන් එකහෙළා කියා සිටි අවස්ථාවේදී, යේසුස් ඔවුන්ව නිවැරදි කරමින් මෙසේ පැවසුවේය. “කටට ඇතුල් වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍ර වෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිට වෙන දෙයින්ය.” අනතුරුව යේසුස් මෙසේ පැහැදිලි කළේය. “කටින් පිට වෙන දේ නික්මෙන්නේ සිතින්ය [හදවතින්ය, NW]. මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ එයින්ය. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂි කීම් සහ අපහාස කිරීම් සිතින් නික්මෙන්නේය. මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ නැත.”—මතෙව් 15:11, 18-20.

16 යේසුස්ගේ එම වදන්වලින් අපට කුමක් ඉගෙනගත හැකිද? මෙහිදී යේසුස් පෙන්වා දෙමින් සිටියේ පුද්ගලයෙකු නපුරු, දුරාචාරමය හා අපවිත්‍ර ක්‍රියා කිරීමට කලින් ඔහුගේ හදවත නපුරු, දුරාචාරමය හා අපවිත්‍ර දේවල් කෙරෙහි නැඹුරු වන බවයි. ශ්‍රාවක යාකොබ් සඳහන් කළ පරිදි ‘එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලැබ, පොලඹවනු ලබයි.’ (යාකොබ් 1:14, 15) යේසුස් විස්තර කළ බරපතළ පාප අප අතින් සිදු වෙනවාට අප කැමති නැත්නම්, එවන් දේවල් සඳහා ඇති විය හැකි ඕනෑම නැඹුරුවාවක් අපේ හදවත්වලින් මුලිනුපුටා දැමිය යුතුය. අපේ හදවත්වල එවැනි දේවල් සඳහා කිසිම ඉඩක් නොදිය යුතුය. මෙසේ කරන්න නම්, අප කියවන, නරඹන හා සවන් දෙන දේවල් ගැන කල්පනාකාරි වීම අවශ්‍යයි. අදදින කතා කිරීමේ නිදහසේ සහ කලාවේ නාමයෙන් විනෝදාස්වාදය සඳහා දේවල් නිපදවන ආයතන හා ප්‍රචාරණ කටයුතුවල යෙදෙන ආයතන මගින් පහත් මාංසයේ තෘෂ්ණාවලට පොලඹවන ස්වර හා රූප නිමක් නැතිව නිපදවනු ලැබේ. අපේ හදවත් තුළ එවන් අදහස් මුල්බැස ගැනීමට ඉඩ නොදෙන්න අපි අදිටන් කරගත යුත්තෙමු. මෙහිදී සැලකිල්ලට ගත යුතු මූලික ප්‍රතිපත්තිය වන්නේ දෙවිව ප්‍රසන්න කිරීමට හා ඔහු විසින් පිළිගනු ලැබීමට නම් අපේ හදවත් අප දිගටම පවිත්‍රව හා දූෂ්‍ය කර නොගෙන රැකගැනීමයි. මේ සඳහා අප නිතරම සුපරීක්ෂාකාරිව සිටිය යුතුය.—හිතෝපදේශ 4:23.

යහපත් ක්‍රියා සඳහා පවිත්‍රව

17. යෙහෝවා ඔහුගේ සෙනඟව පවිත්‍ර තත්වයකට ගෙනැවිත් තිබෙන්නේ මන්ද?

17 යෙහෝවාගේ උපකාරය ඇතුව අපට ඔහු ඉදිරියෙහි පවිත්‍ර තත්වයක සිටින්න ලැබීම ඇත්තෙන්ම ආශීර්වාදයකි, ආරක්ෂාවකි. (2 කොරින්ති 6:14-18) කෙසේවෙතත්, යෙහෝවා ඔහුගේ සෙනඟව පවිත්‍ර තත්වයකට ගෙනැවිත් තිබෙන්නේ විශේෂ අරමුණක් සඳහා බව අපි දනිමු. යේසුස් ක්‍රිස්තුස් “සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍ර කරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්” බව පාවුල් තීතස්ට පැවසුවේය. (තීතස් 2:14) පවිත්‍ර කරන ලද සෙනඟක් හැටියට අප ජ්වලිත විය යුත්තේ කුමන ක්‍රියා සඳහාද?

18. අප යහපත් ක්‍රියා සඳහා ජ්වලිතව සිටින බව පෙන්විය හැක්කේ කෙසේද?

18 මූලිකවම, දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අප මහත් පරිශ්‍රමයක් දැරිය යුතුය. (මතෙව් 24:14) මෙසේ කිරීමෙන් අපි කිසිවකින් දූෂ්‍ය නොවූ පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව සෑම තැනකම සිටින ජනයාට ඉදිරිපත් කරන්නෙමු. (2 පේතෘස් 3:13) අප කරන යහපත් ක්‍රියාවලට ඇතුළත් වන තවත් දෙයක් වන්නේ අපේ දෛනික ජීවිතයේදී දෙවිගේ ආත්මයේ ඵල විදහාපෙන්වීමයි. මෙසේ කිරීමෙන් අපේ ස්වර්ගික පියාව අපි ගෞරවයට පත් කරන්නෙමු. (ගලාති 5:22, 23; 1 පේතෘස් 2:12) ස්වාභාවික විපත් හා වෙනත් කනගාටුදායක අනතුරුවලට ගොදුරු වන සත්‍යයේ නොමැති අයවද අප අමතක කරන්නේ නැත. පාවුල්ගේ මෙම උපදේශය අපි අමතක නොකරමු. “අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම් කරමු.” (ගලාති 6:10) පවිත්‍ර හදවතකින් හා පිරිසිදු චේතනාවෙන් යුතුව කරන එවන් සේවාවන් දෙවිට ප්‍රසන්නය.—1 තිමෝති 1:5.

19. ශාරීරික, සදාචාරමය හා ආත්මික පවිත්‍රකම හා සම්බන්ධ උසස් ප්‍රමිති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමෙන් අපට භුක්ති විඳිය හැකි යහපත් දේවල් මොනවාද?

19 මහෝත්තම තැනැත්තාගේ සේවකයෝ හැටියට අපි පාවුල්ගේ මෙම වදන් සිතට ගනිමු. “සහෝදරවරුනි, දෙවිගේ දයානුකම්පාව පදනම් කරගෙන මා ඔබෙන් බැගෑපත්ව අයැද සිටින්නේ ඔබේ ශරීර ජීවමාන, ශුද්ධ, දෙවිට පිළිගත හැකි වූ පූජාවක් මෙන්, එනම් ඔබේ බුද්ධියෙන් යුතුව පරිශුද්ධ සේවයක් මෙන් ඉදිරිපත් කරන්න කියාය.” (රෝම 12:1, NW) යෙහෝවා විසින් පවිත්‍ර කරන ලද සෙනඟක් වීමේ වරප්‍රසාදය අපි දිගටම වටිනා උරුමයක් ලෙස රැකගනිමු. ශාරීරික, සදාචාරමය හා ආත්මික පවිත්‍රකම හා සම්බන්ධ උසස් ප්‍රමිති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේ උපරිමය කරමු. මෙසේ කිරීමෙන් අපට ආත්ම ගරුත්වයක් මෙන්ම තෘප්තියක්ද ලැබිය හැකියි. එපමණක්ද නොව, “පළමු දේවල්,” එනම් වත්මන් දුෂ්ට හා අපවිත්‍ර ක්‍රමය පහ කර, දෙවි ‘සියල්ල අලුත් කරන’ කාලය දැකීමේ අපේක්ෂාවෙන් සිටීමටද අපට පුළුවන.—එළිදරව් 21:4, 5.

බට මතකද?

• ඉශ්‍රායෙල්වරුන්ට පවිත්‍රකම ගැන නීති බොහොමයක් දෙනු ලැබුවේ මන්ද?

• ශාරීරික පවිත්‍රකම අප දේශනා කරන පණිවිඩයේ ආකර්ෂණීයබව ඉහළ නැංවීමට දායක වන්නේ කෙසේද?

• ශාරීරික පවිත්‍රකමටත් වඩා සදාචාරමය හා ආත්මික පවිත්‍රකම වැදගත් වන්නේ මන්ද?

• අප ‘යහපත් ක්‍රියා සඳහා ජ්වලිත’ සෙනඟක් බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූර]

ශාරීරික පවිත්‍රකම අප දේශනා කරන පණිවිඩයේ ආකර්ෂණීයබව ඉහළ නංවයි

[22වන පිටුවේ පින්තූරය]

නපුරු සිතුවිලි නපුරු ක්‍රියාවලට මඟ පාදන බවට යේසුස් අනතුරු ඇඟෙව්වේය

[23වන පිටුවේ පින්තූර]

පවිත්‍ර කරන ලද සෙනඟක් වන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යහපත් ක්‍රියා සඳහා ජ්වලිතව සිටිති