Skip to content

පටුනට යන්න

ඔහු ලබා දෙන ජීවිතය

ඔහු ලබා දෙන ජීවිතය

ඔහු ලබා දෙන ජීවිතය

“බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම් කරන්නේය.” යේසුස්ගේ රාජ්‍යය පාලනය පිළිබඳ හද දනවන පොරොන්දු බයිබලයේ නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. තවත් එවැනි පොරොන්දුවක මෙසේ පවසයි. “ඔහු මොරගසන දිලින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිලිඳුන්ගේ ආත්මයන් ගලවන්නේය. . . . ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—යෙසායා 32:1; ගීතාවලිය 72:12-14.

මුළු ලොවටම එවැනි ධර්මිෂ්ඨ පාලනයක් අවශ්‍ය නැහැයි කියා කවරෙකුට හෝ කිව හැකිද? දෙවිගේ රාජ්‍යය ගැන නිතර මතකයේ තබාගන්න කියා යේසුස් තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” කියා ඔහු ඔවුන්ට යාච්ඤා කරන්න ඉගැන්නුවේ ඒ නිසයි.—මතෙව් 6:9, 10.

දෙවිගේ රාජ්‍යය අත ළඟ බවට සාක්ෂි

එම යාච්ඤාවට පිළිතුරු වශයෙන් රාජ්‍යය පැමිණෙන දවස අප දැනගන්නේ කොහොමද? “[පාලනයේ සිටින රජු ලෙස] ඔබේ පැමිණ සිටීමටද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” කියා මුල් ගෝලයන් ඔහුගෙන් ඇසූ විට යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “ජාතියක් ජාතියකට විරුද්ධව . . . නැඟී සිටිනු ඇත. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වනවා ඇත.” එමෙන්ම ඔහු මෙසේ අනතුරු ඇඟෙව්වා. “නීති විරෝධී ක්‍රියා වැඩි වෙන බැවින් වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.”—මතෙව් 24:3-12.

බයිබලයේ සඳහන් තවත් අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය.”—2 තිමෝති 3:1-5.

“අන්තිම දවස්වලදී” යන ප්‍රකාශය හොඳින්ම ගැළපෙන්නේ අප ජීවත් වන මේ කාලයට බව ඔබ එකඟ වේවි. මතු දැක්වෙන බයිබල් අනාවැකිය ඉටුවීමට කාලය මෙය බවට සාක්ෂි සුලබයි. “ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය; ඒ රාජ්‍යයේ තමන් රජකම අන් සෙනඟකට අත්නෑර මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.”—දානියෙල් 2:44.

“සමාදානයේ කුමාරයා” විසින් පාලනය කරද්දී, ලෝක විනාශයෙන් ඉතිරි වන අයට සාමයෙන් ජීවත් වීමට කිසිම බාධාවක් තිබෙන්නේ නැහැ. (යෙසායා 9:6) “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” මෙය බයිබල් අනාවැකියක සඳහන් පොරොන්දුවක්. (1 යොහන් 2:17) ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගැසූ විට මිනිස් පවුලට අහිමි වූ දේ යළි ලබාගැනීමට මේ ලෝක විනාශයෙන් බේරෙන අයට ප්‍රස්තාව ලැබෙයි. එය ලබාගන්න නම් දෙවිගේ කැමැත්ත කිරීම අවශ්‍යයි.

ළඟදීම ලැබෙන ජීවිතය

යේසුස් පැහැදිලි කළේ “නැවත-මැවීමේදී, මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා” බවයි. (මතෙව් 19:28) මෙම “නැවත-මැවීමේදී” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? වෙනත් බයිබලයක විස්තර කරන්නේ “සියලු දේවල් අලුත් කිරීමේදී” කියායි. (නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) ඊට සමානව තවත් බයිබලයක “මතු පැමිණෙන කාලයේදී” ලෙස සඳහන් වෙයි. (ලූක් 18:30) යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාට සදාකාල ජීවනය ලබා දීම සඳහා එදාට ඔහු සමාදානයේ කුමාරයා ලෙස දෙවි තමාට දී තිබෙන බලතල පාවිච්චි කරයි.—යොහන් 5:21.

ආදම් සහ ඒවට පාරාදීස පොළොවේදී භුක්ති විඳිය හැකිව තිබූ ජීවිතය දෙවි ගෙනෙන නව ලොවේදී සියලු ජනයාට භුක්ති විඳීමට හැකි වෙයි. ඔවුන් දෙදෙනාට දෙවි උපදෙස් දුන්නේ දරුවන් ඇති කර “පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න” කියායි. (උත්පත්ති 1:28) එලෙසම නැවත මැවීමේදීත් මේ ලෝකයේ අවසානයේදී ඉතිරි වන අයගෙන්, ඔවුන්ගේ දරුවන්ගෙන් හා නැවත නැඟිටින අයගෙන් පොළොව පිරී යාවි. එවැනි අයට පැවරෙන්නේ දෙවිගේ මුල් අරමුණ වූ පොළොව පාරාදීසයක් බවට පත් කිරීමෙහි හවුල් වීමටයි.

ධර්මිෂ්ඨ පාරාදීස පොළොවේ ජීවත් වන්නන් භුක්ති විඳින සමහර ආශීර්වාද සලකා බලන්න.—2 පේතෘස් 3:13.

මෙම පිටුවල දැක්වෙන පින්තූරවලින් පොරොන්දු වන දේ විශ්වාස කළ නොහැකි ඒවා මෙන් පෙනෙන්න තිබුණත් “මතු පැමිණෙන කාලයේදී” ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. මෙම ආශීර්වාද භුක්ති විඳීම සඳහා ජනයාට අවශ්‍ය දේ ගැන දෙවිට කළ යාච්ඤාවකදී යේසුස් මෙසේ විස්තර කළා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) ජීවනය ලබා දෙන මෙම දැනුම සොයන අය අතරේ ඔබත් සිටීවා!

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘ඔහුගේ නාමය සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය; ඔහුගේ ආණ්ඩුවේ වැඩිවීමටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.’—යෙසායා 9:6, 7

[8, 9වන පිටුවේ පින්තූර]

සෑමදෙනාටම නිවාස හා වැඩ

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි වසන්නෝය; මිදි වතු වවා එහි පල කන්නෝය; . . . අනිකෙකු විසින් කන්ට ඔවුහු නොවවන්නෝය.”—යෙසායා 65:21, 22.

සියල්ලන්ටම බහුල ලෙස ආහාර

“පොළොව ස්වකීය වර්ධනය දුන්නීය.” ‘පොළොව බොහෝ ශස්‍ය වන්නේය.’—ගීතාවලිය 67:6; 72:16.

ලොව පුරා පවතින සාමය සත්වයන්ටත්

“වෘකයා බැටළුවස්සා සමඟ වාසය කරන්නේය. තිත් දිවියා එළුවස්සා සමඟ ලගින්නේය. . . . කුඩා දරුවෙක් උන්ට මගපෙන්වන්නේය.”—යෙසායා 11:6.

යුද්ධ නැති වී සදහටම සාමය

“ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව නූස්සන්නේය; ඔවුහු තවත් යුද්ධ ඉගෙන නොගන්නෝය.” “ආණ්ඩුවේ වැඩිවීමටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 2:4; 9:7.

මිය ගිය ප්‍රේමණීයයන් නැවත නැඟිටියි

“සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට . . . පිටතට එන්නෝය.”—යොහන් 5:28, 29.

අසනීප හෝ මරණය නැති වෙයි

“එහි වැසියා: මම රෝගාතුරවෙමියි නොකියන්නේය.” “මරණයද තවත් නොවන්නේය . . . පළමු දේවල් පහව ගියේය.”—යෙසායා 33:24; එළිදරව් 21:3, 4.