Skip to content

පටුනට යන්න

ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසා

ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසා

ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසා

ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසා කවරෙක් කියාද ඔබ සිතන්නේ? නෝවාද? ඔහු ජලගැල්මෙන් බේරී අද වෙසෙන සියල්ලන්ගේ මුතුන්මිත්තා වුණා. (උත්පත්ති 7:1, 21, 22; 9:18, 19) නෙබුකද්නෙශර්ද? පුරාණයේදී අසමසම නගරයක් වූ මහත් බැබිලෝනිය ඉදි කර එහි පාලකයා බවට පත් වූ තැනැත්තා ඔහුයි. (දානියෙල් 4:28-30) මහ ඇලෙක්සැන්ඩර්ද? ඔහුගේ ජයග්‍රහණයන් ගැන බයිබල් අනාවැකිවල පවා සඳහන් වෙනවා. (දානියෙල් 8:5-8, 21-22) නැතහොත් සුප්‍රකට රෝම පාලකයෙකු වූ ජුලියස් සීසර්ද?

එසේත් නොවේනම්, සීසර්ගේ මරණයෙන් පසු වසර 45ක් ඇතුළත බෙත්ලෙහෙමේ උපන් යේසුස් නම් දරුවාද? එදාටත් අදටත් හෙටටත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා ඔහු විය නොහැකිද? වසර සියයකට පෙර එක් පොතක මෙසේ සඳහන් වුණා. “ඓතිහාසික වාර්තාවලට අනුව ඉතිහාසයේ සිටි කිසිම කෙනෙකුගේ ක්‍රියා [යේසුස්ගේ] ක්‍රියාවලට සම කළ නොහැකියි. ක්‍රිස්තියානි නොවන ආගම් පවා ඊට එකඟ වෙයි. නව යුගයක් බිහි වුණේ ඔහුගේ උපතින් බව ලොව පුරා ප්‍රධාන පෙළේ ශිෂ්ටාචාරවලට අයත් ජනයා පවා පිළිගනියි.”—එම පොත The Historians’ History of the World.

අදටත් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව බොහෝ දේ අහන්න දකින්න ලැබෙනවා. වසර කීපයකට පෙර එක්සත් ජනපදයේ ටයිම්, නිව්ස්වීක් සහ යූ.එස්.නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් වැනි පුවත් සඟරාවල එකම වකවානුවකදී මුල් පිටුවල සඳහන් වුණේ ඔහු ගැනයි. ඇත්තෙන්ම කියනවා නම් මේ කාලයේදී යේසුස් ගැන දක්වන උනන්දුව වැඩි වී තිබෙනවා. “චිත්‍රපට, සංගීතය හා විලාසිතා යන ක්ෂේත්‍රවල අහන්න දකින්න ලැබෙන දෙයින් ඔහු ගැන දක්වන උනන්දුව පැහැදිලි වෙනවා. ඔහු අපට නැතුවම බැරි වීරවරයෙක් වී හමාරයි” කියා 2004දී ටොරොන්ටෝ ස්ටාර් පුවත්පතේ සඳහන් වී තිබුණා.

කෙසේවෙතත් යේසුස් සැබෑ මිනිසෙක් නොවෙයි කියා මෑත අතීතයේදී සමහරු තර්ක කර තිබීම පුදුමයට කරුණක්. ප්‍රසිද්ධ ගුරුවරයෙකු වූ බෲනෝ බවර් ඉන් කෙනෙක්. (1809-1882) කාල් මාක්ස් ඔහුගේ ශිෂ්‍යයෙක්. මෑතකදී රොබර්ට් ඊ. වැන් වූර්ස්ට් තමා ලියූ පොතක මෙසේ පවසා තිබුණා. “බවර්ගේ අදහස වුණේ යේසුස් මිථ්‍යාවක් බවයි. මාක්ස්ද එම අදහසම දරන්න පටන්ගත් අතර පසු කලෙක සෝවියට් රජයේ පොත් පත්වලත්, කොමියුනිස්ට් ප්‍රචාරක මාධ්‍යයන් තුළිනුත් මේ අදහස ව්‍යාප්ත කළා.”—එම පොත Jesus Outside the New Testament.

එහෙත් යේසුස් ජීවත් වුණා කියා අද දින නොපිළිගන්නේ ටිකදෙනයි. හුඟදෙනෙකුගේ අදහස ඔහු සැබෑ මෙන්ම ඉතා වැදගත් පුද්ගලයෙක් බවයි. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ 2002 දෙසැම්බර් කලාපයේ කතුවැකියේ සිරස්තලය වුණේ මෙයයි. “විද්‍යා ක්ෂේත්‍රයේදීත් යේසුස් ගැන කතා නොකර බැහැ.” ලේඛකයා අවසන් කළේ “ප්‍රවීණයන් අතුරෙන් අදේවවාදීන් එක්කෙනෙක් දෙන්නෙක් හැර හුඟදෙනෙක් නාසරෙත්හි යේසුස් ඉතිහාසයේ සිටි සැබෑ පුද්ගලයෙක් බව පිළිගන්නවා” කියායි.

යේසුස් ඉතිහසයේ සිටි තවත් එක් පුද්ගලයෙක් පමණක් නම් නොවෙයි. “පසුගිය වසර දෙදාහට පමණක් නොව මුළු ඉතිහාසයටම ජීවත් වී ඇති බලවත්ම මිනිසා නාසරෙත්හි යේසුස් බව පැවසීමට හොඳ හේතු තිබෙනවා. වෙන කිසිවෙකු මෙතරම් වටිනා පුද්ගලයෙක් බවට පත් නොවුණු බව අවිවාදයෙන් පැවසිය හැකියි” කියා ටයිම් සඟරාවේ වාර්තා වුණා.

කෙසේනමුත් මෙම ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. ඇත්තෙන්ම ඔහු කවුද? ඔහු පැමිණියේ කොහේ සිටද? මිහිපිට සිටියදී ඔහුට තිබුණේ කුමන අරමුණක්ද? ඔහු ගැන දැනගත හැකි සියල්ල අපි දැන සිටීම වැදගත් වන්නේ මන්ද?