Skip to content

පටුනට යන්න

කැලිප්සෝ සංගීතය ඔබ අසා තිබෙනවාද?

කැලිප්සෝ සංගීතය ඔබ අසා තිබෙනවාද?

කැලිප්සෝ සංගීතය ඔබ අසා තිබෙනවාද?

ට්‍රිනිඩෑඩ්හි පිබිදෙව්! ලේඛක විසින්

ට්‍රිනිඩෑඩ් හා ටොබේගො යනු කැරිබියන් මුහුදේ තිබෙන කුඩා දූපත් දෙකක්. සමහරවිට මේ දූපත් ගැන ඔබ අසා නැතත් එහි ජන සංගීතය ලොව පුරා ප්‍රසිද්ධයි. ඒ තමයි සිත්ගන්නා රිද්මයක් තිබෙන, එම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ආ කැලිප්සෝ සංගීතය. *

කැලිප්සෝ සංගීතය විස්තර කරන්නේ කොහොමද? එක් පොතක ඒ ගැන සඳහන් වෙන්නේ, “විශේෂයෙන්ම 1898න් පස්සේ ට්‍රින්ඩෑඩ්හි විනෝදය සඳහා වාර්ෂිකව පැවැත්වූ වීදි සැණකෙළිවල ගායනා කළ ඕනෑම සින්දුවක්” කැලිප්සෝ ලෙස හැඳින්විය හැකි බවයි. (එම පොත Calypso Calaloo) සමහරවිට අප්‍රිකාවෙන් ආ වහලුන්ගේ කතන්දර ගෙතීමේ සම්ප්‍රදාය මෙයට මුල වූවා විය හැකියි. පසුව මේ කතන්දරවලට නැටුම් හා බෙර හඬ වගේම ප්‍රංශ, ඉංග්‍රීසි, ලතින් අමෙරිකානු හා විවිධ ගෝත්‍රික සංගීත ක්‍රම එකතු වී කැලිප්සෝ සංගීත ක්‍රමය ඇති වුණා.

කැලිප්සෝ යන නම කයිසෝ යන බටහිර අප්‍රිකානු වචනයකින් ආ බව සමහර අය සිතනවා. සංගීතය හෝ නැටුම් විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ විට එයට ප්‍රශංසා කිරීම සඳහා ඒ වචනය භාවිත කළා. ට්‍රිනිඩෑඩ්වල 1830 ගණන්වලටත් පෙර, විශේෂයෙන්ම සැණකෙළි සමයේදී ගායකයන් එකතු වී වාද බයිලාවලට සමාන ගී ගායනා කළා. ඒවා මගින් ඒ ගායකයෝ අනිත් කෙනාව පහත් කරමින් තමා ගැන වර්ණනා කරගත්තා. වැඩි ප්‍රසිද්ධියක් ලබාගැනීමේ අටියෙන් ඒ එක් එක් ගායකයා වේදිකාවට ආවේණික වූ නමක් සහ ශෛලයක් තමාට ආරූඪ කරගත්තා.

කැලිප්සෝ සංගීතය ප්‍රසිද්ධ වෙයි

කැලිප්සෝ සංගීතකරුවන් දක්ෂ ආකාරයකින් වචන හසුරුවන බවට නම් දරා සිටින පිරිසක්. ඔවුන්ට ගායනා කරන අතරතුරේදීම ඒ ගීයට පද රචනා කරන්නත් පුළුවන්. ඔවුන් කොතරම් දක්ෂ ලෙස දේවල් විස්තර කරනවාද කිව්වොත් අසා සිටින කෙනාගේ මනසේ ඒ විෂය ගැන පැහැදිලි පින්තූරයක් ඇඳෙනවා. අතීතයේදී මෙයාකාරයට ගී ගායනා කළේ ට්‍රිනිඩෑඩ්වල පදිංචියට ගිය දිලිඳු අප්‍රිකානු ජාතිකයන් විසිනුයි. නමුත් දැන් මෙවැනි ගායකයෝ යම් ජාතියකට හෝ පන්තියකට පමණක් සීමා වී නැහැ.

ආචාර්ය හොලිස් ලිවර්පූල් ඉතිහාසඥයෙක් වන අතර කැලිප්සෝ ගී ගායනා කරන කෙනෙක්. ඒ වගේම ඔහු ට්‍රිනිඩෑඩ්වල සංස්කෘතික කටයුතු සඳහා හිටපු අධ්‍යක්ෂකවරයෙක්ද වෙයි. ඔහු පැරණි කැලිප්සෝ ගායකයන් ගැන පිබිදෙව්! සඟරාවට මෙහෙම කිව්වා. “මේ ගායක ගායිකාවෝ නිතරම පාහේ උත්සාහ කරන්නේ මිනිසුන්ව හිනස්සවන්නයි. බොහෝ අය සවන් දුන්නේ විනෝදයටත් ඒ වගේම ප්‍රදේශයේ අලුත්ම වගතුග හා ඇත්ත නැත්ත දැනගන්නත්. පොහොසත් අය සවන් දුන්නේ දුප්පත් අය කරන දේවල් ගැන දැනගන්න. දේශපාලනඥයන් පවා ඇවිත් සවන් දුන්නා. ඒ ඔවුන් කොතරම් ප්‍රසිද්ධද කියා දැනගැනීමටයි.”

කැලිප්සෝ ගායකයන් සාමාන්‍යයෙන් කළ දෙයක් තමයි දේශපාලනඥයන්ව හා ධනවත් අයව සමච්චලයට ලක් කිරීම. දිලිඳු අය මෙයට කැමැත්තක් දැක්වූ අතර ඔවුන් මේ ගායකයන්ව සැලකුවේ වීරයන් ලෙසයි. අවසානයේදී මෙය කොතරම් ලොකු ගැටලුවක් වුණාද කිව්වොත් මේ තත්වය පාලනය කිරීම සඳහා නීති පැනවීමට සිදු වුණා. මේ තහංචි නිසා කැලිප්සෝ ගායකයන් තම ගීතවලට සැඟවුණු අදහස් ඇතුළත් කළා. දේවල් නොකියා කියන ශෛලියක් තවමත් කැලිප්සෝ ගීතවල තිබෙනවා.

කැලිප්සෝ සංගීතය කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත්, බටහිර කොදෙව් දූපත්වල එමගින් භාෂා ශෛලියක් බිහි වුණා. සමහර අවස්ථාවලදී දේශපාලනඥයන් පවා කැලිප්සෝ ගීතවලින් පද උපුටා ගන්නවා. ඊට හේතුව එමගින් අදහසක් කාවැද්දීමට පහසු නිසා සහ බොහෝ අයට එය තේරුම්ගැනීමට පහසු නිසයි.

සැලකිය යුතු පැත්තක්

අද කැලිප්සෝ ගී මුළු ලෝකයේම ප්‍රසිද්ධයි. ඒ වගේම විවිධාකාරයි. බොහෝ අය ඉන් වින්දනයක්ද ලබනවා. නමුත් සැලකිය යුතු පැත්තක් තිබෙනවා. සමහර කැලිප්සෝ ගීවල ඇති පහත් වචන. මෙවැනි දේවලින් අපි ආරක්ෂා විය යුතුයි. (එෆීස 5:3, 4) අපට හැකියි මේ විදිහට හිතන්න. ‘කැලිප්සෝ ගීයක් ගැන නොදන්නා කෙනෙක් එහි තිබෙන සැඟවුණ අර්ථය පැහැදිලි කරන්න කිව්වොත් මට ලැජ්ජ හිතෙනවාද? නැතහොත් මම අපහසුතාවට පත් වෙනවාද?’

ට්‍රිනිඩෑඩ් සහ ටොබේගො සිත් ඇද බැඳගන්නා දූපත්. ඔබ මෙම දූපත්වල සිරි නරඹන්න ගියොත් වින්දනයක් ලබනවා නිසැකයි. ඒ වගේම මනරම් රිද්මයක් තිබෙන ලෝ පුරා ප්‍රසිද්ධ වී ඇති කැලිප්සෝ ගීතවලට සවන් දීමටත් ඔබට හැකියි.

[පාදසටහන]

^ 3 ඡේ. කැලිප්සෝ සංගීතවලට බොහෝදුරට වාදනය කරන්නේ ගිටාරය, ට්‍රම්පට් එක, සැක්සෆෝනය සහ ඩ්‍රම් සෙට් එකයි.

[24, 25වන පිටුවේ පින්තූර]

සංගීත භාණ්ඩ