Skip to content

පටුනට යන්න

 යෞවන අය අසති . . .

මේ තරම් නීති මොකටද?

මේ තරම් නීති මොකටද?

“රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන කිව්වාම මට කේන්ති යනවා! අනිත් අයට මට වඩා නිදහස දීලා තියෙන එක මට ඉවසන්න බැහැ.”—ඇලන්.

“මට ඕන විදිහට ජංගම දුරකථනය පාවිච්චි කරන්නවත් මට නිදහසක් නැහැ. හරියට මම පුංචි ළමයෙක් වගෙයි.”—එළිසබෙත්.

නීති, නීති, නීති, ඉවරයක් නැති නීති! ඔබට එහෙම හිතිලා තියෙවාද? හොර රහසේ නිවසෙන් පිටවීමට හෝ ඔබ කරන දේවල් ගැන දෙමාපියන්ට බොරු කීමට හෝ ඔබට හිතිලා තිබෙනවාද? එක් යෞවනියකටත් එසේ හිතුණා. ඇය පවසන්නේ ඇගේ දෙමාපියන් ආරක්ෂක භටයන් වගේ ‘හැම තිස්සෙම ඇහැ ගහගෙන ඉන්නවා කිසිම නිදහසක් නැහැ’ කියායි.

කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන කියා ඔබේ දෙමාපියන් හෝ ඔබව රැකබලා ගන්නා අය නීති දමයි. ඒවා නම් පාසැලෙන් දෙන ගෙදර වැඩ කිරීම, ගෙදර දොරේ වැඩපළ කිරීම, යෑම් ඊම් සඳහා වේලාවන් නියම කිරීම මෙන්ම දුරකථනය, රූපවාහිනිය හෝ පරිගණකය භාවිතය සම්බන්ධයෙන් නීතියි. පාසැලේදී හැසිරීම හා මිතුරන් තෝරගැනීම වැනි නිවසෙන් බාහිර නීතිත් පැනවිය හැකියි.

නමුත් බොහෝ යෞවනයන්ට දෙමාපියන් දමන නීති පිළිපදින්න අමාරුයි. එක් අධ්‍යයනයකදී, සම්මුඛ සාකච්ඡාවකට කැඳවූ යෞවනයන්ගෙන් තුනෙන් දෙකක් පමණ පැවසුවේ තමන්ට දඬුවම් ලැබිලා තිබෙන්නේ ගෙදරින් දැමූ නීති කැඩීමෙනුයි කියායි.

කරදරේ නොවැටෙන්න නම් යම් නීති අවශ්‍ය බව යෞවනයන් වැඩිදෙනෙක් පිළිගන්නවා. එහෙත් නීති අවශ්‍ය නම් සමහර නීති ඕනෑවට වඩා තදයි කියා හැඟෙන්නේ ඇයි? ඒ වගේම දෙමාපියන්ගේ නීතිවලින් තමන්ව කොටු කරලා කියා ඔබට හැඟෙනවා නම් පොඩි සහනයක් ලබාගන්නේ කොහොමද?

“මම දැන් පුංචි බබෙක් නෙවෙයි”!

“මම දැන් පුංචි බබෙක් නෙවෙයි තනියෙන් වැඩ කරගන්න පුළුවන් වයසකයි ඉන්නේ කියලා මගේ අම්මටයි තාත්තටයි ඒත්තුගන්වන්නේ කොහොමද” කියලා නව යොවුන් වියේ පසුවෙන එමලී අහනවා. සමහරවිට එමලිට වගේ නීති දාලා ඔබවත් පුංචි බබෙක්ගෙ ගානට දාලා කියා ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් ඔබේ දෙමාපියන් එම නීති ගැන දරන්නේ ඊට වඩා වෙනස් අදහසක්. ඔබව ආරක්ෂා කිරීමට හා වැඩිහිටියෙකු ලෙස ඔබේ වගකීම් දැරීමට එම නීති ඔබට අත්‍යවශ්‍ය බවයි ඔවුන්ගේ හැඟීම.

 යම් නිදහසක් තිබුණත් දාලා තිබෙන නීති ඔබ ටිකෙන් ටික ලොකු වෙද්දී ලිහිල් වෙලා නැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබට වඩා වැඩි නිදහසක් දී තිබේ නම් ඔබේ කේන්තිය ඊටත් වඩා වැඩි විය හැකියි. මාසී නම් යෞවනිය මෙසේ පවසයි. “මගේ වයස 17යි. රෑබෝ වෙන්න කලින් ගෙදර එන්න ඕන කියලයි මට නීතිය දාලා තියෙන්නේ. වරදක් කළොත් ගේ ඇතුලෙමයි. ඒත් මගේ අයියාට මගේ වයසේ ඉන්දැද්දී මේ වගේ නීති දාලා තිබුණේ නැහැ.” තම නහඹර විය ගැන සිහිපත් කරමින් මතෙව් තම නැඟණිය හා ඥාති සොයුරියන් ගැන පවසන්නේ “ඒගොල්ලන් මොනවා කළත් දඬුවම් කළේ නැහැ” කියායි.

නීති නොදැම්මොත්!

දරුවන්ව හසුරුවන්න දෙමාපියන්ට අයිතියක් තිබෙනවා වුණත් ඉන් මිදෙන්න ඔබට ආශාවක් ඇතිවීම සාධාරණයි. නමුත් ඔවුන් කිසිම නීතියක් නොදැමුවා නම් ඔබට යහපතක් වේවිද? රෑබෝ වෙලා තමන්ට කැමති වෙලාවක ගෙදර එන්න, කැමති දෙයක් අඳින්න හා තමන්ගේ මිතුරන් සමඟ කැමති වෙලාවක කැමති තැනකට යන්න ප්‍රස්තාව ලැබී තිබෙන යෞවනයන් ගැන ඔබ දන්නවා ඇති. සමහරවිට ඔවුන්ගේ දෙමාපියන්ට තම දරුවන් කරන කියන දේ ගැන බලන්න වෙලාව නැතුව ඇති. කෙසේවෙතත් මෙලෙස දරුවන් ඇති දැඩි කිරීම සාර්ථක ක්‍රමයක් වී නැහැ. (හිතෝපදේශ 29:15) මිනිසුන්ගේ ප්‍රේමය හීනවීමට ප්‍රධාන හේතුවක් වන්නේ තමන් ගැන පමණක් හිතීමයි. මෙවැනි අයගෙන් හුඟදෙනෙක් හැදී වැඩී තිබෙන්නේ නීති නොමැතිවයි.—2 තිමෝති 3:1-5.

නීති නොදැමීම ගැන ඔබ පසු කලක වෙනස් විදිහට හිතන්න ඉඩ තිබෙනවා. නීති කීපයක් විතරක් දමා, දෙමාපියන් වැඩි සැලකිල්ලක් නොදක්වා හැදී වැඩුණු තරුණ කාන්තාවන් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළා. නීති නොතිබුණ එක හොඳයි කියා ඔවුන්ගෙන් කිසිවෙක් කීවේ නැහැ. එය තම දෙමාපියන්ගේ නොසැලකිල්ලට හෝ නොදැනුවත්කමට සාක්ෂියක් කියායි ඔවුන් පැවසුවේ.

හිතුමනාපෙට ජීවත් වෙන්න ඉඩ කඩ තිබෙන යෞවනයන්ට ඊර්ෂ්‍යා නොවී, ඔබේ දෙමාපියන් නීති දමන්නේ ඔබට ආදරේ හා සැලකිල්ල දක්වන නිසා බව වටහාගන්න වෑයම් කරන්න. සාධාරණ නීති පැනවීමෙන් ඔවුන් අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි. දෙවි මෙසේ පවසනවා. “ඔබට උගන්වන්නෙමි; ඔබ විසින් යා යුතු මාර්ගයේදී ඔබට ගුරුකම් දෙන්නෙමි; මාගේ ඇස් ඔබ කෙරෙහි යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.”—ගීතාවලිය 32:8.

එහෙත්, දැනට ඔබට දාලා තියෙන නීති වැඩියි කියා සිතෙනවා නම්, දුක් වෙන්න එපා. ප්‍රීතියෙන් නිවසේ කාලය ගත කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි දේවල් තිබෙනවා. අපි ඒවායින් කිහිපයක් බලමු.

 පලදායී අදහස් හුවමාරුව

ඔබට තව නිදහස ඕන නම් හොඳ අදහස් හුවමාරුවකින් එය ලබාගන්න පුළුවන් වෙයි. ‘මං කොච්චර උත්සාහ කරලා තියෙනවාද මගේ දෙමාපියන් එක්ක කතා කරන්න. ඒත් වැඩක් වෙන්නේ නැහැ’ කියා සමහරු පැවසිය හැකියි. ඔබටත් හැඟෙන්නේ එලෙස නම් මෙසේ කල්පනා කර බලන්න. ‘මීට වඩා හොඳ විදිහකට අදහස් හුවමාරු කරන්න මට පුළුවන්ද?’ (1) ඔබට අවශ්‍ය දේ ලබාගැනීමට හෝ (2) ඔබට අවශ්‍ය වුවත් එය නොදීමට හේතුව තේරුම්ගැනීමට නම් අනිවාර්යයෙන්ම අදහස් හුවමාරු කරගත යුතුයි. වගකීමකින් යුතුව යම් දේවල් කිරීමට ඔබට අවශ්‍යයි නම් මේරූ ලෙස අදහස් හුවමාරු කරගැනීමට දක්ෂ විය යුතුයි.

ඔබේ හැඟීම් පාලනය කිරීමට ඉගෙනගන්න. බයිබලයේ මෙසේ පවසයි. “අඥානයා තමාගේ තරහ සහමුලින් ප්‍රකාශ කරයි; එහෙත් ඥානවන්තයෙක් ඒක නවත්වා නිශ්චල කරයි.” (හිතෝපදේශ 29:11) පැමිණිලි කිරීමෙන් පමණක් හොඳ අදහස් හුවමාරුවක් කළ නොහැකියි. එසේ කළොත් සමහරවිට ඔබට තවත් දේශනාවක් අහන්න වෙයි. ඒ නිසා කෙඳිරිගෑමෙන්, කරන්න කිවූ දේ කේන්තියෙන් කිරීමෙන් හෝ කිවූ දේ නොකර සිටීමෙන් වළකින්න. ඔබේ දෙමාපියන් ඔබට නීති දමද්දී කේන්ති ගෙන වැරෙන් දොර වැසීම හෝ පොළොවේ අඩි හැප්පීම වැනි දේ කරනවා නම් වැඩි නිදහසක් ලැබෙනවා වෙනුවට තවත් නීති දමාවි.

ඔබේ දෙමාපියන්ව තේරුම්ගන්න. තනි මාපිය පවුලක ක්‍රිස්තියානි යෞවනියක වන ට්‍රේසිට යමක් උපකාරවත් වී තිබෙනවා. ඒ ගැන ඇය පවසන්නේ මෙයයි. “මම මෙහෙම කල්පනා කරනවා. ‘ඇයි අම්මා මේ නීති දාන්නේ?’ ඇත්තෙන්ම ඇය උත්සාහ කරන්නේ හොඳ කෙනෙක් වෙන්න මට උපකාර කරන්නයි.” (හිතෝපදේශ 3:1, 2) එලෙස වටහගන්නවා නම් ඔබේ දෙමාපියන්ට ඔබේ අදහස ප්‍රකාශ කරන්නත් පහසු වෙයි. උදාහරණයකට, ඔබ යම් සාදයකට යනවාට ඔවුන් අකමැත්ත පළ කරනවා නම් වාද නොකර ඔබට මෙසේ ඇසිය හැකියි. ‘ඕගොල්ලො විශ්වාස කරන මගේ යාළුවෙක් එක්ක ගියාට කමක් නැද්ද?’ මෙලෙස අසන සෑම අවස්ථාවකම ඔවුන් ඔබට අවසර දෙන එකක් නැහැ. ඒ වුණත් ඔවුන් කරදර වෙන්නේ මොකක් ගැනද කියා තේරුම්ගත්තොත් ඔවුන්ගේ අවසර ලබාගත හැකි යෝජනාවක් ඉදිරිපත් කරන්න ඔබට ප්‍රස්තාව ලැබෙනවා.

දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න. දෙමාපියන්ගේ විශ්වාසය දිනාගැනීම බැංකුවක මුදල් තැන්පත් කරනවා වගේ දෙයක්. ඔබට ආපසු ලබාගත හැක්කේ තැන්පත් කළ මුදල් පමණයි. තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගන්න ගියොත් ඔබව අමාරුවේ වැටෙයි. එලෙසම දෙමාපියන් දෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න ගියොත් තිබෙන නිදහසත් නැතුව යයි. ඒ වෙනුවට වැඩි නිදහසක් ලබාගැනීමට හැකි වන්නේ ඔබ වගකීමන් යුතුව වැඩ කරනවා යන විශ්වාසය ඔවුන් තුළ ගොඩනැඟුවොත් පමණයි.

සාධාරණ අපේක්ෂාවන් තබාගන්න. ඔබේ දෙමාපියන් ඔබව යම් දුරකට පාලනය කිරීම අවශ්‍ය වෙයි. එමනිසා බයිබලයේ පවසන්නේ “ඔබේ පියාණන්ගේ ආඥාව රක්ෂා කරන්න; ඔබේ මෑණියන්ගේ පනත අත් නාරින්න” කියායි. (හිතෝපදේශ 6:20) කෙසේනමුත් නිවසේදී ඔබට දමන නීති ඔබේ ජීවිතයට හානියක් කියා ඔබ නොසිතිය යුතුයි. දෙමාපියන්ගේ නීතිවලට ඔබ කීකරු වෙනවා නම් ‘ඔබට ශුභසිද්ධ’ වෙන බවට යෙහෝවා දෙවි පොරොන්දු වෙනවා.—එෆීස 6:1-3.

මේ ගැන සිතන්න

  • කීකරු වීමට අමාරු මොන වගේ නීතිවලටද?

  • දෙමාපියන්ගේ නීතිවලට හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට මේ ලිපියේ කුමන කරුණු ඔබට උපකාර වෙයිද?

  • ඔබට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත හැක්කේ කෙසේද?